Tharu Mal Viyan තරු මල් වියන්
දැස් වලින් පනින්නට දඟකරන අකීකරු කඳුළු ගුළි කීපය වළකා ගන්නට කෙතරම් උත්සාහ කළත් ඒවා කම්මුල් මතින් පෙරී ගලා ගියේය. මේනක ඉදිරියේ හඬා වැටෙන්නට ඇයට වුවමනා නොවීය. ඔහුව ගෙන්වා ගත්තේ ගයානිය. නවාතැනට පැමිණෙන තුරුම අංජලී ඔහු පැමිණෙන බව නොදත්තාය.
“සුදු අයියායි ආදි අයියායි ඇවිත් ඉන්නේ…එන්න….එයාලා කතා කරනවා…”
ගයානි විත් අංජලීට පවසන විට ඈ මවිතයෙන් බැලුවාය. ඔවුන් මඟහැර සිටින්නට ඇයට නොහැකිය. ඈ ආලින්දයට පැමිණියේ බිමට නැඹුරු කරගත් හිසිනි.
“මෙහෙම දෙයක් කළින් දන්නවා නම්..මං මේවා දුරදිග යන්න දෙන්නේ නැහැ…”
මේනක කීවේ දෝෂාරෝපණයක ලෙසිනි.
“වැරැද්ද මගේ සුදු අයියේ…කාටවත් දොස් කියලා වැඩක් නැහැ…ගයානි රංගි මට කොච්චරවත් කිව්වා මේ දේට කැමති වෙන්න එපා කියලා…මේක පටන් ගත්තු දා ඉඳන් නවත්තන්න කියලා…මං එයාලා කියන දෙයක් ඇහුවේ නැහැ…”
කඳුළු පිස ගනිමින් ඈ කීවාය.
“මං ඔයාට දොස් කියන්නේ නැහැ…මේක ඔයා තනියම කරපු දෙයක් නෙවේනේ…මල්ලි කවුද කියලා මං දන්නවානේ…ඔයා මගේම නංගී…එයා දැන් එයාගේ තනි මතේටයි මේ තීරණේ අරන් තියන්නේ…අපි කවුරුත් කැමති නැහැ…එයාගේ තීරණේනේ…පස්සේ බැරියැ නිවී සැනසිල්ලේ පසුතැවෙන්න…”
මේනක එසේ කීවේ උපහාසය මුසුවද නැතිනම් ශෝකී හැඟීමකින්ද කියා ඇයට සිත ගන්නට නොහැකි විය.
“ඔය හැමදේම අමතක කරලා දාන්න නංගී…”
ආදිත්‍යද ඇයට පැවසුවේ දයාබර හඬකිනි. අංජලී මඳහසක් පෑවාය.
——————————————————————————————————
ගයානිටත් රංගිකාටත් පෙර අවදි වූ අංජලී නැඟිටගෙන රැකියාවට යෑමට සූදානම් වනු දැක රංගිකාත් ගයානිත් එකිනෙකාට ඉඟි මරමින් සතුටු වූයේ ඇගේ ශෝක කාලය අවසන් වුණා යැයි සිතමිනි. තුෂර ඔවුන් කැඳවාගෙන යෑමට පැමිණෙන විට අංජලී ගොස් රථයට නැගුණේ සිතේ වූ සියුම් ලජ්ජාමුසු හැඟීමෙන්ද යුතුවය. ඔහුද මෙවන්ම වූ අත්දැකීමක් පසු කර ඇති බව ඇයට සිහි නොවීය. තුෂර පසුපස බලන කන්නාඩියෙන් වරින් වර ඈ දෙස බලනු ඈ නොදුටුවාය. ඇගේ දුක්බරිත මුහුණේද ඇත්තේ අපූරු සුන්දරත්වයකැයි කියා ඔහුට සිතිණි. රථගාලේ රථය නවතන විට සියලු දෙනම නිහඬවම ඉන් බැස ගත්හ. මියුරද පැමිණ සිටියේ ඒ මොහොතේම වාගේය. අහස අඳුරු වී තිබුණේ මහා වැස්සක පෙර නිමිති කියා පාමිනි.
“ඔන්න අදත් දෙන්න යන්නේ දොඹෙන්…වැස්සේ නාන්න ආස අයට නම් ඔන්න හොඳ වැස්සක් දෙන්න යන්නේ…”
මියුර කීවේ විහිළුවට වුවද අංජලී වහා දෙතොල් පට සපාගෙන හිස බිමට නැඹුරු කොට ගත්තේ අලුතින් පෑරුණ සිතැතිවය. පෙර දින සිදු වූ කිසිත් මියුර දැන නොසිටියේය. ගයානි ඔහුවත් අතින් ඇදගෙන පෙරමුණ ගත්තේ අංජලීගේ සිත පෑරුණ බව දැනය. බොහෝ වෙලවට උදෑසන කාර්යාලය විවෘත කරන්නේ අංජලීය. මෙදිනත් තුෂර ඇයට සුපුරුදු පරිදි යතුරු කැරැල්ල දුන්නේ පැමිණි ඇමතුමකට පිළිතුරු දෙමිනි. පිටතින් සන්සුන්ව සිටියද අංජලී සිටියේ ඇතුළතින් කැළඹුණු සිතිනි. යතුරු කැරැල්ලෙන් නිවැරදි යතුර තෝරාගෙන දොර හරින්නට උත්සාහ කළද ඇයට මෙදින එය කළ නොහැකි වූයේ සිතේ වූ නොසන්සුන් බව නිසාය. රංගිකා වහා යතුරු කරැල්ල ගෙන දොර විවර කරන විට අංජලී ඇයට ඉඩ දී පසෙකට වූවාය. තුෂර ඇමතුමට පිළිතුරු දෙන අතරේ මේ සියල්ල දෙස බලා සිටියේ අනුකම්පා මුසු හදිනි. සිත සන්සුන් කරගෙන අංජලී සිය කාර්යය නිසි ලෙස ඉටු කිරීමට වෙහෙස දැරුවාය. තමාට නම් සිත හදාගන්නට බොහෝ කලක් ගත වූ බව තුෂරට මතකය. කිසිවෙකු අංජලීගෙන් කිසිවක් නෑසුවේ ඉන් ඇගේ සිත අලුතින් පෑරෙණු ඇතැයි සිතාය.
“අංජලී ඔහොම හරි හිත හදන් වැඩ කරනවා…මට හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා…ඒ අතින් එයා මට වඩා හොඳයි…ඇත්තටම මට ඒ මාලක කියන එකා හම්බුණා නම් හොම්බ තළනවා…”
තුෂර කතා කළේ කෝපය මුසු හඬකිනි. අංජලී ඒ මොහොතේ උඩු මහලට ගොස් සිටියේ කිසියම් කාර්යයකටය.
“ඔය පිටින් පේන සන්සුන් බව ඇතුළේ නැහැ…එයා තාම දුකින් ඉන්නේ…”
රංගිකා සුසුමක් හෙළමින් කීවාය.
“හිත හැදෙන්න කාලය ඕන…”
“ඒ කිව්වේ අත්දැකීමෙන් නේද…?”
තුෂර ඊට මඳහසක් පා හිස සැළිය.
“ආදරේ කරන්න ඕන…ආදරෙන් පැරදෙන්න ඕන…විරහව විඳින්න ඕන…එතකොට තමා ඒකේ රස වැඩි…”
තුෂර එසේ කීවේ දාර්ශනිකයෙකු ලෙසිනි.
“ඒ දවස් වල නම් ඔහොම කිව්වේ නැහැලු කියලයි අපිට ආරංචි වුණේ…”
රංගිකා කියන විට ඔහු උස් හඬින් සිනහසුණේය.
“ඒත් දැන් හිතෙනවා මොන පිස්සුද කියලා..අපිව එපා එකෙක් වෙනුවෙන් අපි මැරෙන්නේ මොකටද…අපි ඊට වඩා හොඳට ජීවත් වෙලා පෙන්නන්න ඕන…”
සිනහව නවතාගත් ඔහු කීය.
“ඒක නම් ඇත්ත තුෂර…”
රංගිකාද එය අනුමත කළාය. අංජලී පැමිණි බැවින් දෙදෙනාගේ කතා බහ වෙනතකට යොමු විය.
——————————————————————————————————
අංජලී නැවත මුණ ගැසෙන්නට යෑමට වුවමනා වුවද ශාමින්දට එයට හේතුවක් සාදා ගන්නට නොහැකි විය. එක් වරම නැවත එහි යෑම සුදුසු නොවේ යැයි ඔහුගේ සිත කීවේය. නැඟණිය වුවද වැරදි වටහා ගැනීමක් ඇති කර ගතහොත් කියා ඔහු පසු බාමින් සිටියේ ඒ නිසාය. සතියේ මැද දිනක පොහෝ දිනක් යෙදී තිබූ නිසා ඔහු ගයානිට ඇමතුමක් ගත්තේ ඈ නිවසට එනවා නම් ඊට පෙර දින ගොස් ඇයව කැඳවාගෙන එන අදහසිනි.
“අනේ අය්යේ…අපි බදාදාට බෙල්ලන්විල පන්සල් යන්න හිතන් ඉන්නේ…රේණුකා ආන්ටිලා එක්ක…”
ගයානි එසේ කීවේ ඔහු සිතේ බලාපොරොත්තු සුන් කරමිනි.
“ආහ්…ඒකත් එහෙමද දැන් යන එන ගමන් බිමන් ගැන අපිව දැනුවත් කරන එකත් අමතක වෙලාද…?”
ශාමින්ද එසේ ඇනුම්පදයක් එල්ල කළේ සිතේ උපන් නොසතුට නිසාය. දැන් ඉතින් අංජලී මුණ ගැහෙන්නේ කෙසේද කියා ඔහු සිතුවේ නොමනාපය මුසුවය.
“මං අම්මට කිව්වනේ…අනික ගෙදර ආවාත් මං පහුවදා උදෙන්ම එන්න එපැයි…අයියාත් එන්නකෝ අපි එක්ක බෙල්ලන්විල යන්න…කළින් දවසේ හවස එන්න…රෑ මෙහෙ ඉන්න පුළුවන්නේ…මං ආන්ටිට කියන්නම්…”
ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කීවාලු. මෙය නම් ඔහුට කදිම අවස්ථාවක් විය. නමුත් එක්වරම එයට කැමැත්ත පළ කිරීම සුදුසු නොවේ.
“ඔය ආච්චිලා එක්ක බෙල්ලන්විල යන්න පුළුවන්ද…ලස්සන කෙල්ලෙක් වත් ඉන්නවා නම් කමක් නැහැ…”
ඔහු අගය කරන්නට සිතා කීවේ නොකමැත්තෙන් මෙනි.
“ලස්සන කෙල්ලෙක් ගිහින් සෙට් කරගන්න බැරියැ…අනික ආච්චිලා නැහැ මෙහේ…හරිද…”
ගයානිද කීවේ මවා ගත් නොමනාපයකිනි.
“හරි…හරි…බලමුකෝ…වැඩක් වැටෙයිද දන්නැහැ…”
“ඔයා ඉතින් ආවදා ඉඳන් අනුන්ගේ වැඩමනේ කළේ…අපිව ට්‍රිප් එකක්වත් එක්ක ගියාද…?”
ගයානි යළිත් නෝක්කාඩු කීවාය. ඒ දහස නම් හොඳ යැයි කියා ශාමින්ද සිතුවේය.
“හරි එහෙනම් යන්න තැනක් බලනවකෝ…මං එක්ක යන්නම්…”
“ඔය ඇත්තමද…?”
ගයානි සතුටින් උඩ පැන්නාය.
“ඔව්…ඔව්…නැතුව…”
“හරි…මං බලන්නම්…”
“මේ දැන් පන්සල් යන්නේ කවුරු කවුරුද…?”
ඔහු වහා ඇසුවේ ගයානි සතුට නිසා කතා බහ නිමා කරාවි යැයි සිතාය.
“අපි ටික විතරයි…ඔයාත් එන්නකෝ…”
ඈ ඇවිටිල්ලක ස්වරයෙන් කීවාය.
“හරි…එන්නම්…එන්නම්…ඔය ඇඬියාව නවත්ත ගන්නවා…”
ගයානිගේ පෙරැත්තා නිසා එන බව අඟවමින් ශාමින්ද කීය.
——————————————————————————————————
රාත්‍රිය බොහෝ නිහඬය. අහස මත සඳ බැබළුණේ ඉමහත් කාන්තියක් විහිදුවමිනි. අංජලී ශාමින්ද සමඟ මිදුලේ වූ බංකුව මත හිඳගෙන සිටියේ ඔහුගේ තනියට ගයානි ඇයව තබා ගිය නිසාවෙනි.
“අයියා තනියමනේ…ඔයා එයා එක්ක ඉන්න ටිකක්…අපි ආන්ටිට හෙල්ප් එකක් දෙන්නම්…”
ගයානි එසේ කියා ඇයව ඔහු සමඟ හැර දමා ගෙතුළට දිව ගොස් දැන් අඩ පැයකට ආසන්නය. ඈ ඔහු සමඟ හිඳ සිටියා මිස මුවින් දෙඩූ වචනයකුද නැත. මුවින් කිසිත් නොකීවද ඇගේ සිත නම් බොහෝ දොඩමළු වී තිබිණි. මාලක සමඟ සමඟ තිබූ සබඳතාවයත් එය බිඳී ගිය අයුරුත් ගයානි ඔහු හා පැවසුවේ ඔහු පැමිණි මොහොතේය.
“අංජලී ඉන්නේ අවුලෙන්…අයියා පුළුවන් නම් එයා එක්ක ටිකක් කතා කරන්න…හැබැයි ඒවා ගැන මොකුත් කතා කරන්න යන්න නම් එපා…”
ගයානි ඔහුට පැවසුවාය. ලද පුවතින් ඔහු සිතේ ඇති වූයේ සතුටක් සේම නොසතුටකි. සතුට නම් ඇයට දැන් කිසිදු සබඳතාවයක් නොමැති වීමය. නොසතුට නම් ඇගේ සිත රිදවා තිබීමය. මාලක කෙරෙහි කෝපයක් ඔහු සිතේ ඇති වූයේ නිතැනිනි. අංජලී කෙරෙහි තම සිතේ ඇති හැඟීම් පැවසීමට මේ මොහොතේ ඉක්මන් නොවිය යුතුය. එසේ වුවහොත් ලැබෙන පිළිතුර සතුටුදායක නොවන්නේය. එයට කාලය අවශ්‍යය. එතෙක් ඇගේ සිත සෑදිය යුතුය.
“ඔයාට තිබුණේ අංජලී…තාරකා විද්‍යාඥයෙක් වෙන්න…”
අහසේ දිළෙන සඳේ සිරි නරඹමින් සිටි අංජලී එම හඬින් ශාමින්ද දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් දෑසේ රඳවාගෙනය.
“ඇ…ඇයි…එහෙම කිව්වේ…?”
ඈ ඇසුවේ මඳ ගොතයකින් යුතුවය. ඔහුගේ බැල්මට පවා සිත දියවී යන්නාක් මෙන් දැනෙන්නේ මන්ද කියා ඇයට සිතා ගන්නට නොහැකිය. මාලක ළඟ සිටියදී වුවද ඇයට මෙසේ නොහැඟිණි. ඒ සිහි වී ඇගේ මුවින් ගිළිහෙන්නට ගිය සුසුම ඈ වළකා ගත්තේ අපහසුවෙනි. මේ මොහොතේ පවා ඔහු සිහි කරන්නේ මන්ද.? ඔහු ළඟින් සිටියාට වඩා සිටියේ ඉතා දුරස්ව යැයි කියා ඇයට සිතුණේ මේ මොහොතේදීය.
“ඇයි ඔයා එහෙම කිව්වේ…?”
සිතුවිලි දැහැනෙන් මිදී අංජලී ඇසුවාය.
“අහස දිහා බලන් කල්පනා කර කර හිටපු නිසා…”
ඈ ලැජ්ජාමුසු හැඟීමෙන් ඔහු දෙසම බලා සිටියාය. ඒ අළු පැහැති දෑස් තමාට මෙතරම් හුරු පුරුදු බවක් දැනෙන්නේ මන්ද…? සඳ එළියෙන් ඔහුගේ දෑස් දිදුළණ සෙයකි.
“අනේ…ඔයා ඒ නිසාද එහෙම කිව්වේ…? අර බලන්නකෝ…අද අහස හරි ලස්සනයි…සඳ ගැන කවියෝ මොනතරම් නම් කවි ලියලා ඇත්ද…ඒත් ඒවා කවදාවත් ලියලා කියලා ඉවර වෙන්නේ නැහැනේ…”
“හ්ම්ම්…ඒක නම් ඇත්ත…සඳ ගැන වගේම කවියෝ ආදරේ ගැනත් කොච්වර නම් කවි සිංදු ලියලා ඇත්ද…ඒවත් ඉතින් කවදාවත් ලියලා ලියලා ඉවර වෙන ඒවා නෙවේනේ…”
“ඇත්ත…මේ ලෝකේ පවතින්නේ ආදරේ නිසා…”
කෙටි සුසුමක් හෙළමින් ඈ කීවාය. ආදරය ගැන පැවසූ සැණින් ඈ නොසන්සුන් වූ බව ශාමින්දට වහා පෙනී ගියේය. ඔහුගේ සිතේ ඇති වූයේ පසුතැවීමකි. තමා ඇගේ සිත අලුතින් පෑරුවාදෝයි කියා ඔහු සිතුවේය.
“ඇයි…ඔයා එක පාරම අප්සට් ගියේ…?”
ඔහු ඇසුවේ ඈ යමක් පවසනු ඇතැයි සිතාය.
“න්…නිකන්…”
ඈ කීවාය.
“නිකන් අප්සට් යන්නේ නැහැනේ…ඒකට මොකක් හරි හේතුවක් ඇති…හැබැයි මං ඔයාගෙන් ඒ ගැන අහන්නේ නැහැ…”
“පස්සේ දවසක කියන්නම්…”
ඈ පහත් හඬින් කෙඳිරුවාය. සමහරවිට ගයානි සොයුරා හා යමක් පවසා ඇතැයි කියාද අංජලීට සිතිණි.
“ඔයාගේ කැමැත්තක්…ඒත් මොනවා වුණත්…සමහර දේවල් අමතක කරන එකම අපිට හොඳයි…”
ඔහු කියන්නේ සැබෑවකි. ඈ ඔහු වෙත හැරී මඳහසක් පෑවාය.
“ඔයා තව කොච්වර කාලයක් මෙහෙ ඉන්නවද…?”
ඈ කතා බහ වෙනතකට යොමු කරමින් ඇසුවාය.
“අනේ මන්දා…ඇවිල්ලත් දැන් මාසෙකුත් ඉවරයි…කාලය ගෙවුණා කියලා දැනුනෙවත් නැහැ…මං ආයේ ගියාම ඔයාට මාව අමතක වෙයිද…?”
ඔහු අසන විට ඈ අමුතු වූ තිගැස්මකින් සිත ගැහෙන විට ඔහු දෙස බලා සිටියේ මුවින් නොකී දහසකුත් හැඟුම් පොදි බැඳුණු දෑසිනි.
“නැහැ…කවදාවත් නැහැ…ඔයාට ඔයාව අමතක වුණත්…මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැහැ…”
ඇගේ මුවින් නොදැනුවත්වම වුවද එසේ පිටවන විට ශාමින්ද දෑස් අයා ඈ දෙසම බලා සිටියේ සිත පුරා පෙම් පැතුම් මල් පිබිදී එන විටය.
“ඒ කිව්වේ ඇත්තටමද…?”
ඔහු අසන විට ඇයට පිළිතුරක් දීමට අවස්ථාවක් උදා නොවුණේ ගයානිත් රංගිකාත් ඔවුනතරට දිව ආ බැවිනි.