Tharu Mal Viyan තරු මල් වියන්
“අංජලී…”
එහා පසින් ඇසුණු හඬ නිසා ඇගේ සිත ගැහෙන්නට විය. නාඳුනන හඬක් වුවද ඇයට එය දැනුණේ හුරු පුරුදු ලෙසිනි. ඉතා ලෙංගතු හඬින් ඇසුණු එම හඬ සවන් වැකෙන විට ඇගේ සිත පුරා විදුලි රේඛාවක් ඇදී ගියාක් මෙන් ඇයට දැනිණි.
“ශා…මි…න්…ද…”
ඈ වෙවුළන හඬින් ඔහුගේ නම උච්චාරණය කළාය.
“ආහ්…ඔයා එහෙනම් මාව අඳුන ගත්තා නේද…?”
“හ්ම්ම්…”
“කොහොමද එහෙම අඳුන ගත්තේ…? මගේ නම්බර් එක ඔයා ගාව තියෙන්න විදියක් නැහැ…මං මීට කළින් ඔයාට කතා කරලත් නැහැනේ…”
ඇයට එයට පිළිතුරක් දිය නොහැකි විය. ඒ හඬ ඇයට හුරු පුරුදු බවක් දැනුණේ ඇයිද කියා ඇයම නොදත්තාය.
“ම්ම්…මට නිකමට හිතුණා…දන්න කෙනෙක් වුණා නම් නම්බර් එක සේව් කරලා තියනවනේ…”
“ආහ්..ඒකද ඉතින්…ඔයා ගෙදරට ආවද…?”
“ඔව්…දැන් ආවේ…ගයා ආවද…?”
“ම්ම්ම්…ඔව්…නංගී ගෙදර ආවා කිව්වා…මං නම් පොඩ්ඩක් එළියට ඇවිත් ඉන්නේ…”
“ආව දවසේ ඉඳන් ගෙදර නැතුව කොහෙද අනේ යන්නේ…?”
ඈ ඇසුවේ සිනහසෙමිනි.
“ඕකම අපේ අම්මත් අහනවා…”
ඔහුද උස් හඬින් සිනහසෙන හඬ ඇගේ සවනට ගලා ආවේය.
“ගෙදර ඉන්න වෙලාවක් ආවෙම නැහැ තමා…මං මෙහෙ ඇවිත් ඩිලිවරි ජොබ් එකක් කරන්න ගත්තානේ…”
“ආහ්…ඇත්තටම…?”
ඈ ඇසුවේ මවිතයෙනි. යළිත් ඔහුගේ උස් සිනහ හඬ.
“ජෝක් එකක් කළේ ළමයෝ…එහෙ ඉන්න යාළුවෝ ඔය ගෙවල් වලට යවන්න පොඩි, පොඩි පාර්සල් ටිකක් දුන්නා…මං මේ ටිකේ ඒවා ගෙනියනවා…”
ඒ කතාවට ඇයටද සිනහ නැඟිණි. ඔහු සැහැල්ලුවෙන් ජීවත් වෙන අයෙකි.
“මං හිතුවා ඇත්තම කියලා…”
මුහුණ රත් පැහැයට හරවා ගනිමින් අංජලී කීවේ ලැජ්ජා මුසුවය.
“කවුරු වුණත් කියන දෙයක් එක පාරම ඇත්ත කියලා බාර ගන්න එපා…බොරු කියන අයත් ඉන්නවනේ…”
ඔහු ඒ දුන්නේ අවවාදයක් කියා ඇයට වැටහිණි. ඇයට සිහි වූයේ මාලකය. ඔහු කීයක් නම් බොරු මේ වන විට පවසා ඇතිද…? ඔහුත් සංචලාත් අතර සබඳතාවයක් ඇතැයි කියා ඇයට මේ මොහොතේත් සිතිණි.
“ඔයා දැන් කිව්වා වගේ බොරුද…?”
ඈ විහිළුවට ඇසුවාය.
“මං බොරු කියන්නේ නැහැ…”
“මං විහිළුවක් කළේ…”
“මාත් විහිළුවක් කළේ…”
“මොකක්ද…බොරු කියන්නේ නැහැ කියපු එකද…?”
ඈ අසන විට ඔහුගේ උස් සිනහා හඬ යළිත් ඇයට ඇසිණි. එය සවනට අසා සිටින්නට ආසා සිතෙන සිනහා හඬකි. කිව නොහැකි හැඟුම් සමුදායක් ඈ සිතේ යළිත් ඇති විය. සිතට වැට කඬුළු බඳින්නට නොහැකිය. ඔහු ගැන මෙතරම් ලෙංගතු හැඟීමක් සිතේ නැඟෙන්නේ මන්ද කියා ඇයට වටහා ගන්නට නොහැකිය. ඔහු තමාට විශේෂයක් කරනවා නොවේ. රංගිකා සමඟද ඔහු මෙසේ කතා බහ කරන බව ඈ දැන සිටියාය.
“මං එදා එනකොටත් ඔයා හිටියේ නැහැ…”
“අනේ ඔව්…එදා හදිසි වැඩකට පිළියන්දල ෆැක්ටරි එකට ගියා…”
“ඔව්…ඔව්…මට කිව්වා…මං එන්නම්කෝ ඔයාව බලන්න අංජලී…”
ඇගේ සිත තටු සළා ඉඟිලෙන්නට දඟලන සෙයකි. ඔහු එය කීවේ සැබෑවටමද…? ඔයාලා නොකියා ඔයා කීවේ එහි යම් විශේෂයක් ඇති නිසාද…? එය එසේ වුවත් ඇයට ඒ ඔස්සේ වැඩි දුර සිතන්නට නොහැකිය.
“ඇත්තටම…එන්න එන්න…ඔයාගේ ඩිලිවරි වැඩ ටික ඉවර කරන්ම එන්න…නැත්නම් ආව ගමන් දුවන්න හදයි…”
ඈ සිනහසෙමින් කීවාය.
“නංගී…”
කතා බහ නිමා කරන්නට සිදු වූයේ ගිම්හානි ඈ අමතන හඬ නිසාය. ගිම්හානි කාමරයට එබෙන විට අංජලී යහනින් නැඟී සිටියාය.
“අපෝ…මොකද අනේ මේ…තාම වොෂ් එකක් දාගත්තේ නැත්ද…? ඉක්මනට එන්න…”
ගිම්හානි එසේ කියා කතාවට නොරැඳී පිටව ගියාය. නිවසට පැමිණෙන විට මාලක නිසා බරව තිබූ සිතේ බර, නොසන්සුන් බව මේ වන විට පහව ගොස් තිබුණේ ශාමින්දගේ ඇමතුම නිසාය. ඇගේ සිතට සැහැල්ලුවක් දැනුණ මුත් සංචලා ගැන නම් ඔහු සමඟ කතා බස් කරන්නටම ඈ සිතා සිටියාය.
“ගෙදර එනවා කියලා කියන්න එපා…”
මාලක ඇයට නෝක්කාඩු කීවේ පසු දින උදෑසනය.
“ඔයාගේ ගෙදරට එනකොට කියලා එන්නම්කෝ…”
අංජලී කීවේ නොසතුටෙනි.
“මොකක්ද ඒ කතාව…?”
“කිව්වා නම් ඔයා එක්ක යන්න එනවද…?”
ඔහු ඇසූ දෙයට පිළිතුරක් නොදීම ඈ ඇසුවාය.
“කිව්වා නම් එනවා තමා…”
“කී දෙනෙක්ට කියලා ට්‍රාන්ස්පෝර්ට් දෙන්නද නේද…?”
“මොකක්ද ඒ කතාව…?”
“ඇයි…අර සංචලාත් බලන් ඉඳලා ඉඳලා බස් එකේ ආවේ ඊයේ…එයාවත් එක්ක යන්න එනවා කිව්වලු නේද…?”
ඈ එක එල්ලේම ඔහු දෙස බලාන ඇසුවේ ඔහුගේ මුහුණේ හැඟීම් දෙස වඩා විමසිළිමත් වෙමිනි. මාලක තිගැස්සී ගිය බව ඈ පැහැදිලිවම දුටුවාය.
“එයාව කොහෙදිද මුණ ගැහුණේ…?”
පිළිතුරක් දෙනු වෙනුවට ඔහු කළේ පෙරළා පැනයක් නැඟීමය.
“අහන ප්‍රශ්නෙට උත්තර නොදී වෙන ඒවා අහන්න ඕන නැහැ…”
ඈ එසේ කියා නොරුස්සුම් මුසු බැල්මක් ඔහු වෙත හෙළමින් ඉවතට පැමිණියාය. නිවැසියන් අද සිටින්නේ සතුටිනි. කාලකයකට පසුව සැවොම එකට එකතු වී ඇත. අංජලී විත් මේනක පසෙක හිඳ ගත්තේ ගිම්හානිගේ තාත්තා කියන කතාවකට සියල්ලෝ උස් හඬින් සිනහසෙන විටය.
“මෙයාව හොඳයි මල ගෙවල් වල පාළු මකන්න…”
ගිම්හානිගේ අම්මා කීවේ සිනහව අතරින්මය.
“කමක් නැහැ…ගානක් ගෙවනවා නම් ඒකත් කරන්නම්කෝ…”
සිරිවර්ධනද එයට පිළිතුරු ලෙස කියන විට යළිත් පැතිර ගියේ සිනහවකි. නිවසේ සීනුව නද වන විට සියළු දෙනගේ අවධානය එවෙත යොමු වූයේ කිසිවෙකු ගේට්ටුව විවරකරන හෝ පැමිණෙන හඬ නොඇසුණ නිසාය. දොර අසළ සිටගෙන සිටි සංචලාගේ රුව දුටු අංජලී තිගැස්සී ගියාය.
“සංචලා…”
ඇයව දුටු මාලක වහා හුනස්නෙන් නැඟී සිට ඇයව පිළිගැනුමට ඉදිරියට ගියේය.
“චූටි පුතාගේ යාළුවෙක් වගේ…”
සිරිවර්ධන හේෂාන්ට කීවේය.
“හ්ම්ම්..”
ඔහු පිළිතුරු ලෙස කියන විට අංජලීට බැලුණේ ගිම්හානිගේ මුහුණ දෙසය. මාලක සමඟ නිවසට ගොඩ වුණු රුව දෙස සැමගේ අවධානය යොමු විය. සංචලා හැඳ සිටියේ අත් රහිත ටී ෂර්ටයකුත් කෙටි සායකුත්ය. එය දණහිසටත් වඩා කෙටි වූ බැවින් ඇගේ සුදු දිගු දෙපා කැපී පෙනිණි. සිරිවර්ධන බිරිඳටත් ඉඟි කරමින් අසුනින් නැඟිට කාමරයට වැදුණේය. ගිම්හානිද මේනක සමඟ නැඟිට ගෙතුළට යන විට අංජලීද නැඟිට කාමරයට පැමිණියේ නොසතුටිනුත් නොමනාපයෙනුත් යුතුවය. ඉන්ද්‍රාණි සිටියේ කෝපයෙනි. හේෂාන් මාලක දෙස එක එල්ලේ බලා සිටියේ මෙහි තේරුම කුමක්ද කියා විමසන බැල්මකිනි.
“කවුද පුතා මේ…ඔයාගේ යාළුවෙක්ද…?”
මාමාගේ හඬ අංජලීට ඇසිණි.
“ආහ්…ඔව්…තාත්තා…”
මාලක පැකිළෙමින් උත්තර දුන්නේය.
“හ්ම්ම්…”
“අනේ සොරි අංකල්…මං නොකියාම ආවට…ගෙදර ඉන්න බෝරින් වගේ…ඒකයි මෙහේ ආවේ…”
සංචලා තොඳොල් හඬකින් කීවාය.
“ගැහැණු ළමයෙක්ට ගෙදර ඉන්න කම්මැලියි කියලා…එහෙම හිතුණු ගමන් පිරිමි යාළුවන්ගේ ගෙවල් වලට යන එන සිරිතක් තියනවද…?”
ඉන්ද්‍රාණි ඇසුවේ කෝපය හා උපහාසය මුසු හඬකිනි. සංචලා පත්වූයේ අපහසුතාවයකටය. ඔවුන් දෙදෙනද ආලින්දයෙන් ඉවතට ගියේ නොසතුටු බැල්මක් මාලක වෙත හෙළමිනි. සුළු මොහොතකට පසුව මාලක සංචලා හැරළවීමට ගොස් යළි පැමිණි විට හේෂාන් ඔහුට දොස් පැවරුවේය.
“මම දන්නේ නැහැ තාත්තා එයා ගෙදර එයි කියලා…”
“ගෑණු ළමයෙක් වුණාම හැදියාවක් තියෙන්න ඕන…දැක්කානේ ඇඳන් ආව ඇඳුම…”
හේෂාන් කෑ ගැසුවේ කෝපයෙනි.
“එහෙම එනවද ගෑනු ළමයෙක් අනවසරයෙන් ගෙදරකට…තට්ට තනියම…?”
මාලක නිරුත්තරය. සංචලා මෙසේ දැනුම් දීමක් නොකරම නිවසට ඒවි යැයි කියා ඔහු කෙසේ සිතන්නද..? ඔහුද සංචලාට නොසෑහෙන්න දොස් පැවරුවේය. ඒ බවක් නිවැසියන් දන්නේ නැත. බිමට යොමා ගත් හිසින් මාලක කාමරයට වැදී දොර වසා ගත්තේය. සිරිවර්ධන යුවළද එදිනම සවස යළි පිටව ගියේ හදිසි වැඩ කටයුතු කීපයක් ඇති බව කියමින් වුවද එය මුසාවක් බව අංජලී දැන සිටියාය. සංචලාගේ පැමිණීමෙන් නිවස තුළ ඇති වූයේ අමිහිරි වාතාවරණයකි. අංජලීද නිවසින් පිටව රංගිකාගේ නිවසට පැමිණියේ තව දුරටත් එහි රැඳී සිටීමට අකමැත්තෙනි.
“සංචලා එහෙම ගෙදරට එන්න තරම් දුර දිග බැඳීමක් තියෙන්න එපැයි අංජු…”
රංගිකා සිදුවීම අසා සිට කීවාය.
“මටත් හිතුණා…”
“අනේමන්දා…මෙයාලව කොහොමද අනේ විශ්වාස කරන්නේ…?”
අංජලීගේ සිතේද වූයේ එයමය. ඈ සිතේ වූයේ ඊර්ෂ්‍යාවක්ද කෝපයක්ද කියා ඇයට සිතා ගන්නට නොහැකි විය. මාලක යනු වංචාකාරයෙකි. සංචලා නිසා සිතේ ඇති වූ වේදනාව තවමත් පහව ගොස් නැත. ඈ නින්දට ගියේත් රාත්‍රී ආහාරවත් නොගෙනමය. රංගිකා කොතෙක් ඇවිටිළි කළද ඈ කෑම ගැනීමත් ප්‍රතික්ෂේප කළාය.
——————————————————————————————————
දින කීපයක් යන තුරුම අංජලී සිටියේ කණස්සල්ලෙනි. සැහැල්ලු බවක් මවා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ ප්‍රයත්නයක් පමණක් විය. ඇයට මාලක සමඟද කතා බහ කිරීමට සිතක් නොවීය. වෙනදාට ඔහු ඇමතුම් ගත්තද මේ ගෙවුණු දින කීපයේ ඔහුද එකදු ඇමතුමක් හෝ නොගත්තේය.
“එයාට එපා නම් මටත් එපා…”
ඈ එසේ සිතුවාය. ගිම්හානි ඉඳහිට කතා බහ කළද සිදු වූ කිසිවක් ඈ අංජලී සමඟ නොපැවසුවා සේම, අංජලීද ඒ කිසිත් කතා බහ කරන්නට නොසිතුවාය. සංචලා කෙතරම් බලපෑමක් පවුල මතම සිදු කළාද කියා සිතන විට අංජලීගේ සිතේ ඇති වූයේ කෝපයකි. නමුත් ආදිත්‍ය රංගිකා සමඟ මේනකගේ නිවසේ පැවති වර්ථමාන තත්වය පවසා තිබිණි. ඒ ඇසූ ඇයට නැන්දාත් මාමාත් කෙරෙහි උපන්නේ අනුකම්පාවකි.
“ගෙදර අය සේරම අවුලෙන්ලු ඉන්නෙ අංජු…”
එක් දිනක් සවස රංගිකා කීවාය.
“කාගෙද…අපේ..?”
“හ්ම්ම්…ආදි කිව්වේ…සුදු අයියා කියලා…”
“අනේ ඒ ඇයි…”
මවිතයෙන් ඈ ඇසුවාය.
“එදා ඔයා ආවට පස්සෙත් මාමා මාලකට හොඳටම දොස් කියලා…දැන් මාලක ඒ දෙන්නා එක්කම කතා කරන්නේ නැහැලු…”
අංජලීගේ සිතේ මාමාත් නැන්දාත් කෙරෙහි ඇති වූයේ අනුකම්පාවකි.
“මට ඒ ගැන කවුරුත් කිව්වේ නැහැනේ…”
“ඔයාත් අවුලෙන් ආවා කියලා තමා එයාලා හිතන්නේ…ඔයා නැන්දාට කෝල් එකක් දෙන්න…”
එය මේ මොහොතේම කළ යුතුයැයි සිතූ අංජලී නැන්දාගේ අංකය ඇමතුවාය.