Sadewthara – මාලක රෝහලේ සිට ආ ගමන් ඇඳට වැටුණේ, කෝපයෙන්ද, කළකිරීමෙන්ද කියා ඔහුටම තේරුම් ගත නොහැකිව තිබිණි. නිම්නා සහ මිහිර රෝහල් අවන්හලේදී මුණගැසුණු වේලේ ඔහු පාලනයෙන් තොර වූයේය. ඇත්තෙන්ම තමාට අවශ්‍ය වූයේ මිහිරට පහර දීමට බව සැකයක් නැත. එහෙත් නිම්නාගේ වචන කිහිපයකින් තමා මිහිර ඉදිරියේ ලැජ්ජාවට පත් වූවා පමණක් නොව, වැදගැම්මකට නැති එකෙකු, ආගන්තුකයෙකු ලෙස එතැනින් පිටව ඒමටද සිදු වූවා නොවේදැයි සිතී ඔහු ආවේගයෙන් නළියන්නට වූයේය. නිම්නාගේ වචන මාලකගේ දෙසවනෙහි යළි,යළිත් දෝංකාර දෙන්නට වූවේ එහෙයිනි.
“මාලක..මේක ඔයාගේ ගෙදර නෙවේ..මගේ තාත්තිගෙ හොස්පිට්ල් එක…ඔයා ඒක අමතක කරලා මෙතන රස්තියාදුකාරයෙක් වගේ හැසිරුණොත්, මාත් ඔයා මගේ යාළුවෙක් කියනෙක අමතක කරලා සෙකිරියුටි එකට කතා කරලා ඔයාව මෙතනින් එළියට ඇදලා දානවා…”
මාලක තදින් සිය දෙසවන් වසා ගත්තේය. නිම්නා කිසිදිනක තමාට එසේ කතාකොට නැත. ඒ සියල්ලට මුල මිහිර බව ඔහුට දැනෙන්නට වූයේය. මිහිර තමා ගැන කිසියම්ම හෝ දෙයක් නිම්නාට පවසා ඇති බව ඔහුට ස්ථීරය. ඒ කුමක් විය හැකිද..? ඔහු ඇඳෙන් නැඟිට, කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් සිතන්නට වූයේ එයයි. මධුර, සැනෙන් ඔහුගේ මතකයට ආවේ මිහිරගේ සොහොයුරාය. දියතලාවට යැවූ ගිලන් රථයේ රියදුරු පිළිබඳව යමක්, තම පියා විසින් මිහිරගේ සොහොයුරාට පවසා තිබුණේනම් ඒකාන්තයෙන්ම එම තොරතුර ඔහුගේ සොහොයුරා විසින් මිහිරට පවසනු ඇත. තමාටත් කලින් නිම්නා මුණගැසී ඒ සියල්ල ඇයට පවසන්නට ඇත්තේ මිහිර විසින් විය යුතුය. දැන් තමා ඇත්තේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක බව මාලක සිතුවේය. එබැවින් මේ සිද්ධි වලට විසඳුම් සෙවීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසිය යුතු බව ඔහුට සිතෙන්නට වූයේය. එහි අනුපිළිවෙල අනුව තමා පළමුවෙන්ම කළ යුත්තේ, තාරා සදෙව්ට ළං කිරීම නොව, නිම්නාගෙන් මිහිර ඈත් කිරීම බව ඔහු දැනෙන්නට වූයේ එහෙයිනි.
“මේහ්ං. අයියේ…”
ඒ වේගවත් කෑගැසිල්ලට මාලක ගැස්සී දොර දෙස බැලුවේය. ඉනට අත තබාගෙන තමා දෙස බලා සිටියේ සිය නැගණිය වූ සුරේඛාය.
“තමුසෙට මොලේ අමාරුවක්ද ඕයී..කන උඩ ඉඳගෙන බෙරිහං දෙන්නේ…”
“මට නෙවේ ඔහේටයි කනේ අමාරුවක් ඇත්තෙ…දැන් මං මෙතන ඉඳලා විනාඩි පහක් විතර කතා කරනව..තමුසෙ මොන ලෝකෙද ඕයී හිටියෙ….”
“ඇති,ඇති කරච්චලේ..ආපු මලදානයක් කියලා යනවද මෙතන වාතයක් නොවී…”
“කරච්චලේ කාමරේ නෙවෙයි ආං සාලේ..තාත්තා තමුසෙ එනකං බලං ඉන්නවා…” සුරේඛා එසේ කියමින් කාමරයෙන් පිටවූවාය.
“අලි මදිවට කොටි…”
කියමින් මාලකද ඇය පසුපසින් සාලය දෙසට ඇවිද ආවාය. මාලකගේ පියා වූ අපොන්සු, දෑත් පිටුපසට බැඳගෙන සාලයේ ඇවිදිමින් හිඳ, ඔහු එනු දැක නොරිස්සුම් සහගතව ඔහු දෙස බලන්නට වූයේය.
“කොහෙද මනුස්සයෝ ආපු දවසෙ ඉඳලා රස්තියාදු ගහන්නේ…”
“කොහෙ යන්නද තාත්තේ…නිම්නත් එක්ක හොස්පිට්ල් එකේ හිටියේ…”
“මේ තමුසෙ…මාරයිනෙ…”
“ඔව්.. ඇයි…”
අපොන්සු, මාලක අසලට පැමිණ සෙමෙන් මෙසේ කීවේය.
“නිම්නා ඉස්සරහ කලිසම ගලවා ගත්තා මදිවට, නංගී ඉස්සරත් ඒකම වෙන්න කලින් වරෙං එළියට…”
කියා පවසා සුරේඛා දෙස බැලූ අපොන්සු ගෙයින් මිදුලට බැස්සේය. වටපිට බැලූ මාලකද සිය පියා අනුගමනය කරමින් ඔහු පසුපස වැටුණේය.
“මොකක්ද දවල් හොස්පිට්ල් එකේදී වුණේ..”
අපොන්සු එසේ ඇසූයේ මාලකගෙනි. ඔහු වටපිට බලමින් වචන සොයන්නට වූයේය.
“උඩ,බිම බල,බලා මෙතන පච කෙලින්න තියාගන්නෙපා මාලක..තමුසෙට වෙච්චි සේරම මං දන්නවා….නොදන්නෙ එහෙම වෙන්න හේතූව විතරයි..වටේ යන්නැතුව ආන්න ඒක කීවනම් අපි දෙන්නටම ලේසියි….”
“අර මධුරයගෙ මලයා මොකක් හරි කේළමක් නිම්නයෙ කණේ තියලා…”
“මොකක් හරි කිව්වේ..තමුසෙට අදහසක් නැද්ද ඒ මොකක්ද කියලා…”
“මං හිතන්නෙ ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර් අපේ කෙනෙක් කියලා වෙන්නෝනෙ…”
“එහෙමනම් කරන්න තියෙන්නේ මෙච්චරයි….” අපොන්සු මාලක වෙතට හැරුණේය.
“හෙට ඉඳලා මධුරයා මං ළඟ වැඩ නෑ…තමුසෙ හෙට ඉඳලා කැබ් සර්විස් එකට එන්නෝනෙ ඒක බලාගන්න…”
මාලක යමක් කියන්නට තැතනුවේය. එහෙත් අපොන්සු සිය ඇඟිල්ල ඔහු දෙසට උරුක් කරමින් කතා කරන්නට වූයේය.
“මං තමුසෙට රත්තරං අශ්වයෙක් පෙන්නලා තියෙන්නේ උගේ දත් ගනින්න නෙවේ..අශ්වයා අරං පදින්න..ඒ නිසා මෙතන අත් දෙක එල්ලං ටක් ටුක් කිය,කියා ඉන්නැතුව ඒකට ලෑස්ති වෙයං…”
කේන්තියෙන් පිටව යන සිය පියා දෙස මාලක, හිස කසමින් බලා හුන්නේය.
සදෙව් වාට්ටු කාමරයේ ඇඳ විට්ටමට හේත්තු වී සිය ජංගම දුරකතන තිරය ඇඟිලි තුඩුවලින් එහා, මෙහා කරමින් සිටියේය. තාරා කාමරයට ඇතුල් වූයේ ඒ මොහොතේය. සදෙව් සිනහමුසුව ඇය දෙස බලා ජංගම දුරකතනය පසෙකින් තැබුවද, තාරා ඔහු දෙස කෙලින් නොබැලුවාය. හැන්දෑ වෙමින් තිබූ නිසාම කාමරය පැවතියේ තරමක් අඳුරේය. තාරා පළමුව කළේ එහි විදුලි පහන් දැල්වීමය. අනතුරුව ඇද පසෙකින් තිබූ කසල දමන භාජනය ගන්නට ඒ දෙසට පහත් වූවාය
“තාරා…”
සදෙව්ගේ ඇමතුම ආදරණීය හඬක් ගත් බැවින්දෝ ඇය තරමක් සසැලී ගියාය. මාලක කියු සමහර දේ එක පෙළට ඇගේ මතකය තුළට ගලා එන්නට වූවාය.
“මං මේක ගාබේජ් ඒරීයා එකට දාලා එන්නං…”
ඇයට අවශ්‍ය වූයේ සදෙව්ගේ ඇස් මානයෙන් වහා පලා යන්නටය.
“ඕන්නෑ…”
කියා සදෙව් සිය ඇඳ ඉහත්තාවේ වූ රෝහල් දුරකතනය අංකනය කොට කනේ තබාගත්තාය. කසල භාජනය වෙත දිගු කෙරූ අත එලෙසම තබාගෙන තාරා නොසෙල්වී බලා උන්නාය.
“මගේ රූම් එකේ ඩස්බින් එක අයින් කරන්න කවුරුහරි එවනවද ප්ලීස්..”
සදෙව් එසේ කියා දුරකතනය තැබුවේය. අනතුරුව තාරා දෙස සෘජු බැල්මක් හෙලුවේය. අපහසුවෙන් වුවද එය දරාගෙන නිහඬ වන්නට ඇයට සිදුවූවාය.
“ඔයා මගේ සර්වන්ට් කෙනෙක් නෙවේ තාරා…අයි බිලීව් යු ආර් හියර් ඈස් මයි ක්ලෝස් ෆ්‍රෙන්ඩ්…ඊස් ඉට්….”
ඊට දෙන්නට තරම් නිරවුල් උත්තරයක් එකවරම තාරාගේ මුවට නැඟුණේ නැත. ඇය හැඟීම් විරහිත බැල්මකින් සදෙව් දෙස බලා උන්නාය.
“අනික ඔයා දන්නවා ඇයි මං මෙහෙම වෝඩ් එකකට වෙලා ඉන්නෙ කියලා…නොට් බිකෝස් ඔෆ් එනි අදර් රීසන්..ඔන්ලි ආන්ටි සමදරා ඇන්ඩ් යූ…”
සදෙව්ගේ මුහුණින් වෙනදා තිබූ, සරල, සැහැල්ලු පෙනුම අතුරුදන්ව බැරෑරුම් ස්වරූපයක් ගෙන ඇතැයි තාරාට සිතුණාය.
“ඊයේ ආන්ටි මගේ හිත හැදුවා…මං සතුටෙන් හිටියෙ..ප්ලීස් තාරා..ඩෝන්ට් හර්ට් මී අගේන්…”
තාරාට ඔහුගෙන් අසන්නට, අසා නිරවුල් කරගන්නට දහසකුත් ප්‍රශ්න තිබුණාය. කුමක්දෝ හේතුවකට ඒ කිසිත් ගළපාගන්නට ඇයට හැකියාවක් ලැබුණේ නැත.
“ඇත්තටම ඔයාට මගෙත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද තාරා…අඩුම තරමෙ අහලා දැනගන්න ප්‍රශ්නයක්වත්…”
“තියනවා…”
තාරාගේ පිළිතුරෙන් සදෙව්ගේ මුහුණ ප්‍රබෝධමත් වී ගියේය. අලසව ඇඳේ වැතිර හුන් ඔහු වහා නැඟිට ඇඳ කොනක වාඩි වූයේ ඒ උද්දාමය සහිතවය.
“ඒකනෙ..අපි ටිකක් කතා කරමු… ”
“ඔයයි නිම්නයි යාළුවෙලාද ඉන්නේ…”
තරාගේ පැනයට සදෙව් උස් හඬින් සිනාසෙන්නට පටන් ගත්තේය. එහෙත් තාරා තියුණු ලෙස ඔහු දෙසම බලා සිටියාය. ඒ බැල්මෙන් සදෙව්ගේ සිනහව නතර වී ගියේය.
“ඔව්..මං නිම්නා එක්ක යාළුයි..ඔයා එක්ක යාළුයි…මිහිර එක්ක යාළුයි..එතකොට මාලක….”
“මං අහන්නෙ නිම්නා ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද කියලා….”
තාරා එසේ ඇසූයේ සෘජුවය. සදෙව් කිසිදිනෙක ඇගෙන් එවන් සෘජු ප්‍රතිචාරයක් දැක තිබුණේ නැත.
“නෑ තාරා….අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලා විතරයි…ඊවන් අයි ඩෝන්ට් ෆීල් සම්තින් එල්ස් අබවුට් හර්…ඇයි ඔයාට එකපාරටම මගෙන් එහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණෙ…”
“විශේෂයක් නෑ සදෙව්..නිකමට දැනගන්න හිතුණා…”
“දැට්ස් ගුඩ් ෆෝර් යුවර් නොලේජ්…ඊවන් අයි ෆීල් කම්පටබල් ෆ්‍රොම් මයි එන්ඩ්…”
සදෙව් තනිවම කියවන්නට පටන් ගත්තේය. තාරා දැඩිව ඔහු නිරීක්ෂණය කරමින් සිටියාය. පෙර සිටියාට වඩා සැහැල්ලුවක් හා සතුටක් ඔහු වෙතින් ඇයට පෙනෙන්නට වූයේය. හදිසියේම යමක් මතක් වූවාක් මෙන්, ඇඳෙන් නැඟිට ගත් සදෙව් තාරා අසලට පැමිණියේය.
“අපි සෙල්ෆියක් ගමු…”
කියනා ගමන්ම තාරාගේ කරවටා අත යැවූ ඔහු තාරා සමඟ සෙල්ෆි ජායාරූපයක් ගත්තේය. තප්පර කිහිපයක් ඇතුලත සිදුවූ දෙය සිතාගන්නට නොහැකිව තාරා ගල්ගැසී උන්නාය.
“අපි මේක ෆේස්බුක් අප්ලෝඩ් කරමු..ෆීලීන් සෑඩ් ඉන් ද හොස්පිට්ල් විත් තාරා මුදලිනායක කියලා…”
“එපා….”
තාරා සදෙව්ගේ අතින් අල්ලාගත්තේ ඔහු හැරී ඇඳට යන්නට හදද්දීය. සදෙව් තමාගේ අතින් අල්ලාගෙන සිටින තාරාගේ දිගු කේරළ ඇස් දෙස ආදරණීයව බලා හුන්නේය.