More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 60

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී තුවාලා වූ නිසා පූජිත උයන්නට බාර ගත්තේ මගේ ඇඟිල්ලට කෝපි කුඩු දමා වෙළුම් පටියකින් බැඳ ඔහු උයන තුරු මට හිඳගෙන සිටින්නැයි අණ කරමිනි. වැව් මාළු මිරිසට උයා ඔහු පරිප්පු සමඟ අඟුණ කොළ සම්බෝලයක්ද සෑදුවේ මා මවිත කරමිනි.

    “ඔච්චර දේවල් පුළුවන් කියලා මං දැනගෙන හිටියේ නැහැනේ…”

    සිනහසෙමින් මම කීවෙමි.

    “තව තව ඒවා පුළුවන් ඉතින්…උයන වැඩ අයිති ගෑනුන්ට…නැත්ද මං අහන්නේ…?”

    ඇසක් ඉඟි මරමින් ඔහු කීවේ වෙනත් අරුතක් ඇතිව බව වැටහී මම යටි තොළ සපා ගතිමි.

    “එහෙනම් ඉතින් ඔය ඕන තරම් හොටෙල් වල උයන්නේ පිරිමි අයනේ…”

    මම කීවෙමි.

    “ඒ ඉතින් හොටෙල්නේ…”

    ඔහු සිනහවක් පාමින් කීවේය. මුළුතැන්ගෙය අස්පස් කොට ඔහු අතුගාන විට අම්මා “ළමයෝ”යි කියමින් මුළුතැන්ගෙයට එබුණාය.

    “අන්න…යාළුවෝ වගයක් ඇවිත්…”

    පූජිත මදෙස බැලුවේය. මම නැඟී සිටියේ ඔහු අතින් කොස්ස ගන්නටය.

    “ඔයා බලන්න…මං ඔය ටික අතුගාලා දාන්නම්…” මම කීවෙමි.

    “පුතාගේ නෙවේ…දුවගේ යාළුවෝ දෙන්නෙක් ඇවිත් තියෙන්නේ…”

    අම්මා කියන විට මම පුදමයෙන් ඈ දෙස බැලීමි.

    “මගේ…?”

    “ඔව්…අන්න සාලේ ඉන්නවා…”

    අම්මා එසේ කියා මිදුලට බැස පිටුපසට ඇදුණාය.

    “ගිහින් බලන්න…”

    පූජිත කීවේය. ගවුමට උඩින් හැඳ සිටි චීත්තය මට තනි අතින් ගළවා දමන්නට නොහැකි බව දුටු පූජිත සෙමෙන් ගැටය ලෙහා චීත්තය ගළවා පුටුව මත දැමුවේය.

    “පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ද දන්නැහැ ඇවිත් ඉන්නේ…?”

    ඔහු කළේ විහිළුවක් වුවද මසිත ගැස්සිණි.

    “හරි…හරි…විහිළුවක් කළේ…යාළුවෝ හිතයිද දන්නැහැ…ඇඟිල්ල කැපුවේ මම කියලා…”

    ඔහු තරමක් හඬින් සිනහසෙමින් කීය.

    “ඔයත් එන්න ඉස්සරහට…”

    ඒ කී දේ නොතකමින් මම කීවෙමි.

    “හරි, හරි…යන්නකෝ…මං අත පය සෝදන් එන්නම්…”

    මම ඉදිරිපසට පැමිණියේ තරමක කුතුහළයකිනුත් තිගැස්සුනු සිතිනුත්ය. පැමිණ සිටියේ තරුෂිත්, කමලුත් බව දැක මා සිතේ තැති ගැන්ම පහව සතුටක් ඉපදිණි.

    “තරූ…ඔයාලද ආවේ…?”

    මම දිව ගොස් ඇයව වැළඳ ගතිමි.

    “මංදි…කොහොමද…ඔයාට…?”

    ඈ සැකමුසු බැල්මක් මවෙත හෙළමින් ඇසුවාය. මුවින් නෑසු බොහෝ දේ ඇගේ දෑසේ ලියැවී ඇතැයි කියා මට නිකමට සිතිණි. ඈ මගේ වෙළුම්පටිය දැවටූ ඇඟිල්ල දෙසත් බැලුවේ කුතුහළයෙන් පිරි බැල්මකිනි.

    “මම හොඳින් තරූ…ඔයාලාට කොහොමද… වාඩි වෙන්නකෝ…”

    ඈ තවමත් පුදුමයෙන් බලා සිටින විට මම කීවෙමි.

    “කමල් අයියේ කොහොමද ඉතින්…?”

    තරුෂි කමල් පසෙක හිඳ ගන්නා විට මම ඔවුන් ඉදිරියේ අසුනක හිඳ ගතිමි.

    “අපි හැමෝම හොඳින් ඉන්නවා නංගී…”

    කමල් ඒ වචන ඉතා බර කොට කීවා යැයි කියා මට සිතිණි. ඔවුන් දෙදෙනා මෙසේ එවන්නට ඇත්තේ රජිව් යැයි අනුමානයක් මා සිතේ ඇති විය.

    “මිස්ලා නිතරම ඔයාව මතක් කරනවා මංදි…මිස් තමා කිව්වේ ඔයාව ගිහින් බලලා එන්න කියලා…”

    ඈ එසේ කීවේ රජිව්වත් ඇතුළත් කරමින් බව නොකිවමනාය.

    “මිස්…ප්‍රේමා නැන්දා හොඳින් ඉන්නවා නේද…?”

    රජිව්ගේ නම සඳහන් කරන්නට මට නොහැකි නිසා මම ඇසීමි.

    “ඔව්…මිස්ලා හොඳින්…කොයි වෙලෙත් ඔයාට පින් දෙනවා…ඔයා ආව දවසේ ඉඳන් මිස් ඔයාට බෝධි පූජා තිබ්බා…අපිත් දවස් හතම ගියා…එයා හරි අවුලෙන් හිටියේ…දැන් නම් අවුලක් නැහැ කියලා දන්නවා…ඒක ඇත්තද…?”

    තරුෂි ඇසුවේ පහත් හඬිනි.

    “ඔව් තරූ…”

    රජිව් මෙහි පැමිණි බව ඔවුන් දැන සිටිනවා වන්නට ඇත. මට ඒ කිසිත් විමසන්නට නොහැකිය.

    “එහෙනම් කමක් නැහැ…අපි අම්මාගෙන් පාර අහගෙන මෙහේ ආවේ…නේද කමල් අයියේ…?”

    අවස්ථාවේ හැටියට ඈ එසේ පවසන්නට ඇත.

    “ඔයාලා ගෙදර ගියාද…?”

    මවිතයෙන් මම ඇසීමි.

    “හ්ම්ම්…ගියා…දැන් ලස්සනයි ගෙදර…”

    මම කෙටි සුසුමක් හෙළීමි. පූජිත පැමිණියේ දොඩම් යුෂ වීදුරු දෙකක්ද බන්දේසිය මත තබාගෙනය. මම මවිතයෙන් ඔහු දෙස බලන විට තරුෂිද ඉක්මන් බැල්මක් මවෙත හෙළනු නෙතගින් මම දුටිමි. මම ඔවුනට පූජිතව හඳුන්වා දුනිමි.

    “කොහොමද…ඉතින්…? යාළුවෝ ආවා කිව්වා…මං පොඩි වැඩ වගයක් කර කර හිටියේ…”

    පූජිත කමල් සමඟ කතා බහ ඇරඹුවේ බොහෝ කලක් දැන හඳුනාගෙන සිටියාක් මෙන් සුහදවය.

    “අපි මේ කුරුණෑගල යන ගමන්…මංදාකිණිව බලලා යන්න එක්ක ආවා… අම්මාගෙන් පාර අහගත්තේ…හංදියට ඇවිත් පූජිත කියලා ඇහුවාම ඕන කෙනෙක් කියයි කිව්වා…හරි ෆේමස් නේද…?”

    කමල්ද සිනහවක් පාමින් කියන විට පූජිතද මදෙස බලා සිනහවක් පෑවේය.

    “කෑම ටිකක් කාලා යන්න ඉන්න තරූ…අද පූජිත ඉව්වේ…මාළු කපන්න ගිහින් මගේ අත කැපුණා…”

    මා කියන්නක් විශ්වාස කිරීමට නොහැකිවාක් මෙන් තරුෂි මවිතය රැඳි දෑසින් මදෙස බැලුවාය.

    “ආහ්…එහෙමද…? ඒත් අද නම් ඉන්න බැහැ…අපි මේ වෙඩින් එකේ වැඩකට කුරුණෑගල යන ගමන්…වෙන දවසක අනිවාර්‍යයෙන් එන්නම්…නේද තරූ…?”

    කමල් වහා කීවේය. එය බොරුවක් බව මම දැන සිටියෙමි.

    “ඔව්…මංදි…අපි ආයෙ දවසක එන්නම්කෝ…බීම එක නම් රසයි…”

    තරුෂි කීවේ පූජිත අගය කරමිනි. කමල්ද එය අනුමත කරන විට පූජිත මඳහසක් පෑවා පමණි.

    “වෙඩින් එක ළඟදි ගන්නවද තරූ…?”

    “නැහැ…ළඟදිම නම් නෙවේ…මේ අවුරුද්ද ඇතුළත ගන්නවා…අපි මේ අද කුරුණෑගල යන්නේ ෆොටෝග්‍රැපර් හම්බවෙන්න…පොඩි විස්තර ටිකක් තියනවා කතා කරගන්න…”

    තරුෂි එසෙ කීවේ ඒ මොහොතේ මුවට ආවක් බව මට වැටහිණි.

    “ඒව කලින් කතා කරගෙන ඉන්න එක හොඳයි…ඔය ෆොටෝග්‍රෑපර්ලා අල්ල ගන්න මාර ගේමක් දෙන්න ඕන…”

    පූජිතද කතා බහට එකතු වෙමින් කීය. සුළු මොහොතක් අප සමඟ කතා බස් කරමින් හිඳ ඔවුන් දෙදෙන අපෙන් සමුගන්නට සූදානම් වූයේ නැවත දිනක එන පොරොන්දුව පිටය. මමද ඔවුන් සමඟ මිදුලට බැස්සෙමි. දෙදෙනා පැමිණ සිටියේ රජිව්ගේ යතුරු පැදියෙන් බව දැක මසිත අලුතින් හිරි වැටී ගියේය.

    “එයා ඇත්තටම වෙනස් වෙලාද මංදි…?”

    තරුෂි රහසින් මෙන් ඇසුවේ තවමත් සැකයෙන් මෙනි.

    “ඔව්…තරූ…”

    මමද පහත් හඬින් කීවෙමි.

    “හොඳින් ඉන්න මංදාකිණි…පරණ දේවල් අමතක කරන්න…”

    කමල් එසේ කියන විට නම් මසිත සියුම් වේදනාවකින් ඇවිළී ගියේය. එසේ කිරීමට හැකි වූවා නම් හොඳය. දෑස් වලට එක් රොක් වන කඳුළු බිඳු නවතා ගන්නට මම වේගයෙන් ඇසි පිය සැළීමි. තරුෂිට මා හදේ වූ වේදනාව වැටහෙන්නට ඇත. ඈ මා වැලඳ සිප ගත්තාය.

    “පරිස්සමින් ඉන්න මංදි…”

    යතුරු පැදියට නඟිමින් ඈ කීවාය. මා අසළට ආ පූජිත කරවටා දෑත යවා මා ඔහුගේ තුරුළට ළංකොට ගත්තේ අපි දෙදෙන ඉන්නේ සතුටින් බව ඔවුනට අඟවන්නට මෙනි. අලුත් වූ සාංකාවකින් මසිත පුරවා ඔවුන් යන්නට ගියෝය. ඔවුන් රජිව් හා සියළු තොරතුරු පවසනු ඇත. දැන් ඔහුට සිත හදාගෙන ලොකු අම්මා ගෙන ආ යෝජනාවට එකඟවන්නට හැකි වෙනු ඇත. අපි දෙදෙන ගෙතුළට යෑමට සූදානම් වන විටම වේගයෙන් ආ පෙජරෝ රථයක් මිදුල මැදම නවතන විට තැති ගැන්මක් මා සිතේ ඇති විය. රථයෙන් බැස්සේ රාජකරුණා බව දැක මම වහා වහා ගෙතුළට පැමිණියේ ඔහුව දැකීමත් මට අප්‍රසන්න වූ නිසාය. එකත් එකටම ඔහු පැමිණ ඇත්තේ පූජිත බොහෝ කලකින් නොපැමිණි නිසා වන්නට ඇතිවාට සැක නැත. පූජිත කාමරයට පැමිණියේ ඔවුන් පිටව යන හඬ ඇසී සුළු මොහොතකට පසුවය. ඔහුගේ මුහුණ අඳුරුව තිබූ අතර කුමක් සිදුවූවාද කියා මා සිතේ ඇති වූයේ කුහුළකි.

    “මොකක් හරි ප්‍රශ්නයක්ද…?”

    “ඔව්…හෙට පාන්දරම කොළඹ යන්න වෙලා…”

    ඒ හඬේ වූයේ නොරුස්සුමකි. ඔහු වෙනත් යමක් මා හා පවසනු ඇතැයි කියා මම සිතුවද නිහඬවම යහන මත වැතිර ගත් පූජිත හිස් දෑසින් වහලය දෙස බලා සිටියේ දෙඅත්ලට හිස බර කරගෙනය. කිසිත් හාර, හාරා ඇසීමට මටද සිතක් නොවීය. රාජකරුණා හා ඔහුට ඇත්තේ කුමනාකාරයේ රාජකාරීමය පසුබිමක්ද කියා මට තවමත් අභිරහසකි. පසුදින උදෑසනම රාජකරුණාගේ රථය පැමිණි අතර පූජිත පිටව ගියේ එදිනම නැවත පැමිණෙන බව කියාය. දහවල රාජකරුණාගේ නිවසේ රියැදුරු නිවසට පැමිණියේ කුමක් හෝ වැඩ කටයුත්තකට යන ගමන් අම්මා හමු වීමටය. ඔහු මීට පෙරත් පැමිණ තිබූ බව මට සිහි විය. දෙදෙනා ආලින්දයට වී කතා බහ කරමින් සිටි නිසා මම පිටුපස මිදුලට වී සිටියේ ඔහු යළි පිටව යන තුරුය. අම්මාත් ඔහුත් අතර මෙතරම් කුළුපඟ බවක් ඇති වූයේ කෙසේද කියා මම සිතුවේ පුදුමයෙන් වුවද මම ඒ ඔස්සේ වැඩි දුර සිතන්නට නොගියෙමි. එදින රාත්‍රියේ පූජිත නිවසට පැමිණියේ පැවසු ලෙසමය. ඔහු බීමතින් පැමිණියාද කියා සැකයක් මා සිතේ ඇති වුවද එවැන්නක් නොවූ නිසා මා සිතට දැනුණේ අසීමිත වූ සැනසීමකි. පසුදින දහවල් වන තුරු ඔහු නිදා ගත්තේය. මිතුරෙකු ඔහු සොයා පැමිණියේ ඔහු නින්දේ සිටින විටය. මම ඔහු අවදි කිරීමට නොසිතුවේ ඔහු නැවත පැමිණෙන බව කී නිසාය. ඔහු අවදි වූයේ දහවලය. තේ කෝප්පයක් බීමට වුවමනා බව කී නිසා මම ඔහුට තේ සාදන අතරේ පූජිත මුළුතැන්ගෙයි පුටුවක හිඳ සිටියේ මගේ තනියට මෙනි.

    “අර සේන කියලා කෙනෙක් ඇවිත් ගියා…”

    සෑදූ තේ කෝප්පය ඔහුට පිළිගන්වමින් මම කීවෙමි.

    “ෂා…! කොයි වෙලේද ආවේ…? මට කතා කරන්න තිබුනණේ…”

    “ඔයා නිදි හොඳට…මං කතා කරන්න ගියේ…එයා කිව්වා…ආයෙ එන්නම් කියලා…”

    “පොඩි ලොරියක් බැලුවා…ඒකට වෙන්නැති එන්න ඇත්තේ…මම ගිහින් බලලා එන්නම්…”

    “මේ දැන්ද…?”

    “ඔව්…ඌ ඉන්නේ මේ ළඟ…”

    අම්මා පිටුපස දොරින් නිවසට කඩා වැදුණේ කළබලයෙනි. අපි දෙදෙනම තිගැස්මෙන් ඈ දෙස බැලීමු.

    “මොකද අම්මේ…?”

    පූජිත ඇසුවේ ඈ බියෙන් සිටිනු දැකය.

    “කොළඹ බෝම්බයක් පුපුරලාලු…මේ දැන් ටී.වී එකේ පෙන්නුවා…බර ගානකට තුවාළලු…”

    ඒ ඇසූ අපිද බියෙන් තැති ගතිමු.

    “කොහේද…?”

    අම්මා ඒ බවක් දැන නොසිටියාය. පූජිත ආලින්දයට දිව ගියේ රූපවාහිනිය පණ ගන්වන්නටය. අපිද ඔහු පසුපස දිව ගියෙමු.

    “හොඳ වෙලාවට උඹ ඊයෙම ගෙදර ආවේ…”

    පූජිත එය නෑසුණාක් මෙන් රූපවාහිනිය දෙස බලා සිටියේය. යුද්ධයේ බරපතළ කම අපට එතරම් නොවැටහුණේ එය අප ප්‍රදේශයට එතරම් බල නොපෑ නිසා විය හැක. කී දෙනෙකුට ජිවිත අහිමි වී ඇතිදැයි කියා තවම සිථීරවම පැවසිය නොහැකි බව ප්‍රවෘත්තියට පැවසීය. තුවාලකරුවන් ගිලන් රථ වලට පටවන සැටි දකින විට මා ගත කිලිපොළා ගියේය.

    “මේ ටිකේ ඔය කොළඹ නොයා ඉඳපන් පුතේ…කොතන බෝම්බ පුපුරයිද මංදා…”

    අම්මා බිය වී සිටියේ පූජිත ගැනය.

    “මැරෙන්න තියනවා නම් කොහේ හිටියත් මැරෙනවා…”

    පූජිත කීවේ අම්මා කී දේ ගැන කිසිදු තැකීමක් නොකරය.

    “අනේ උඹලගේ පණ්ඩ්ත කම්…”

    ඈ කාමරයට වැදුණේ ඔහු කෙරෙහි ඇති කරගත් නොමනාපයකිනි.

    “අම්මා කියන්නෙත් ඇත්තනේ…එයාට ඉන්නේ ඔයා විතරයි…කෝකටත් මේ ටිකේ ගෙදර ඉන්න…”

    මමද ඔහුට කීවෙමි. ඔහු මදෙස බලා මඳහසක් පෑවේ මා කී දේට එකඟතාවය පළකරමින් මෙනි.

    -අප්‍රේල් 14 වන සඳුදා නැවත හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Mahiyangana යේ වෙඩි තැබීමක්

    Mahiyangana - මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික...

    Election කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    Election - දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන...

    Announcement පොලිසියෙන් රියදුරන්ට

    Announcement - මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයෙන් තොරව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයින්...

    Celebrations ජනතාවගේ අවුරුදු උනන්දුව

    Celebrations - අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් ජනතාව අද සමරනු ලැබුවා. ඒ, නැකැත්වලට මුල්තැන දෙමින්. ඒ අනුව ඊයේ රාත්‍රී 08.57ට...
    - Advertisement -spot_img

    Announcement පොලිසියෙන් රියදුරන්ට

    Announcement - මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයෙන් තොරව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයින්...

    Celebrations ජනතාවගේ අවුරුදු උනන්දුව

    Celebrations - අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් ජනතාව අද සමරනු ලැබුවා. ඒ, නැකැත්වලට මුල්තැන දෙමින්. ඒ අනුව ඊයේ රාත්‍රී 08.57ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page