Hima Mal Renu හිම මල් රේණු
නැන්දා මෙන්ම නදීරාද අනුරාග් ගෙන ආ යෝජනාව කෙරෙහි දැක්වූයේ සොම්නස් සහගත ප්‍රතිචාරයක් වූ මුත් මා සිටියේ නම් දෙගිඩියාවෙනි. අවීශ්ගේ මතකය සිත තුළ තෙරපගෙන මට එම යෝජනාව පිළිබඳව සිතන්නට හෝ නොහැකිය. ලෝකයට ඔහු මිය ගිය අයෙකු වුවද මා හද තුළ ඔහු තවමත් ජීවමාන විය.
“දැන් ඉතින් තවත් වැට උඩ ඉන්න වුවමනා නැහැනේ…අනුරාග්ට වඩා හොඳ කෙනෙක් මුණගැහෙයි කියලා බලන් ඉන්නත් එපා…හිතන්නත් එපා…ඔයාගේ අනාගතය ගැන හිතන්න…මං එහෙම කියන්නේ අවීශ්ව අමතක කරන්න කියලා නෙවේ…”
නදීරා දුන්නේ එවන් අවවාදයකි.
“අනුරාග් හොඳ කොල්ලෙක් දුව…ජීවිතේ කට්ටක් කාලා ආව කෙනෙක් තව කෙනෙකුගේ දුක වේදනාව හොඳට අඳුනනවා…”
නැන්දාද එසේ පවසන විට මම නිහඬව සිටියෙමි. අනුරාග් පැමිණි කාරණය තාත්තා මුළ පටන් දැන සිටි බවට සැකයක් නොවූයේ ඔහු කිසිවක්ම ඒ ගැන මගෙන් නෑසූ නිසාය.
“අනුරාග් ගැන මොකද දුව කියන්නේ…?”
පසුව ඔහු නැන්දාගෙන් එසේ අසා තිබූ බව ඈ මා හා කීවාය. මා එයට කැමති හෝ අකමැති බවක් තවම පවසා නොතිබූ බවත් ඈ කියා තිබුණාය.
“අකමැති නැහැ කියන්නේ…කැමැත්තක් තියනවා කියන එකනේ…”
ඔහු මඳහසක් පාමින් එසේ පවසා තිබිණි. නැන්දා මා හා එය පවසන විට මම කිසිත් නොකියා එය නෑසුණා සේ සිටියෙමි. අනුරාග් පොරොන්දු වූවා සේම මගෙන් ඔහු පැවසූ යෝජනාව ගැන කිසිවක්ම නෑසූ අතර එය මා සිතේ යම් සහනයක් මෙන්ම ඔහු කෙරෙහි ගෞරවය මුසු හැඟීමක් එක් කරන්නටද සමත් විය. ඔහු ඉන්පසු කිසිම විටෙක මා සිය කාර්යාලයට වුවද කැඳවූයේ නැත. එසේම මමද එහි ගියද සුහද කතා බහකට නොනැවතුණෙමි.
එළඹි සති අන්තයේ නිවාඩු කීපයක් වැටී තිබූ නිසා මාත් නැන්දාත් ආච්චි අම්මා බැලීමට ගමේ පැමිණියෙමු. අපි මෙහි පැමිණියේ බොහෝ කලකට පසුවය. අවීශ්ගේ මතකය මෙහිද අස්සක් මුල්ලක් නෑර ඇතැයි කියා මට සිතිණි. ආච්චි අම්මාත් නැන්දාත් එකතුවී පුංචි අම්මාත් නංගීත් ගැන කරන කතා බහ මඟ හැර මම මිදුලට පැමිණියෙමි. මිදුල මැද වූ සේපාලිකා ගස පාමුල මල් බොහෝමයක් වැටී තිබුණේ මල් පළසක් මවමිනි.
“සේපාලිකා මල් වගේ සුවඳ හමන මල් වලට වැඩි ආයුෂ නැහැ…රෑට පිපෙනවා…උදේ වෙත්දී පර වෙලා බිමට වැටෙනවා…”
මේ සේපාලිකා මල් ගස යටම හිඳ අවීශ් කියූ හැටි මට සිහි වී අලුත් වූ දුකකින් මසිත පිරී ගියේය.
“ඒක ඇත්ත…ඇට්ටේරියා වල..මල් පෙති හැළෙනවා…පිච්ච මලුත් ඒ වගේම තමා…”
මමද ඔහුගේ කතාවට එකඟ වෙමින් කීවෙමි.
“හරියට අපේ ජීවිත වගේ නේද…? කොයි මොහොතේ පරවෙලා යයිද දන්නේ නැහැ…”
එදින ඔහු එසේ කියන විට මම දෑස් හයා ඔහු දෙස බලා සිටි හැටි මට සිහි විය. මා දෑස් බොඳ වූයේ ඒ කතාව ඔහු ඒ මොහොතේ කීවේ නිකමට වුවත් එය දැන් සැබෑවක් බවට පත් වී ඇති බැවිනි. අද ඔහු නැත. ඔහු යන්නට ගොස්, ඉතිරිව ඇත්තේ ඔහුගේ සුවඳ පිරිණු මතකය පමණකි. මම ආපසු හැරුණේ පෑරුණු සිතිනි. නැන්දා මා පසෙක වූ බව දැක මම වහ, වහා ඇසි පිය ගසමින් දෑසට ඉනූ කඳළු සඟවා ගැනීමට අසීරු ප්‍රයත්නයක යෙදුණෙමි. නැන්දා මා දෙස වුවමනාවෙන් බලනු දුටුවද මම ඇගේ දෙනෙත් මඟ හැර ඉවත බලා ගතිමි.
“අවිශ් එක්ක පන්සල් යන්න මල් කඩපු හැටි මතක් වුණාද…?” නැන්දාටද එය මතකයට නැඟෙන්නට ඇත.
“හ්ම්ම්…” මම හූ මිටි තැබුවෙමි.
“ඔයා දන්නවද දුව…?”
ඈ අසන විට මම නැන්දා දෙස වඩාත් වුවමනාවෙන් බැලුවේ ඈ කුමක් කීමට සැරසෙනවාදැයි නොදැනය. පොල්කිච්චකු නඟන මිහිරි නද මා සවන් වලට ගලා ආවේය. සේපාලිකා ගස යටද වූයේ සිත් නිවන සුවඳකි. මල් බිම වැටී ගියද තවමත් එහි සුවඳ වියැකී නොතිබුණාක් මෙනි.
“මොකක්ද නැන්දා…?”
“ඔයාගේ මතකේ නොතිබුණ කාලේ…දවසක් මං ඔයාව මේ සේපාලිකා ගහ යටට එක්ක ආවා…මල් සුවඳ දැනිලා…ඔයා ඇහුවා ඒ මොන සුවඳක්ද එන්නේ කියලා…මං මලක් කඩලා ඔයාගේ අතට දුන්නා…”
මට ඒ කිසිත් මතක නැත.
“ඉතින්…?”
“මල නහයට ළං කරනකොටම… ඔයා ගැස්සිලා ගියා…මං අහද්දී මොකද වුණේ කියලා…ඔයා කිව්වා…ඔයාට කාවද මතක් වුණා…කවුදෝ කෙනෙක් ඔයා ළඟ හිටගෙන හිටියා වගේ කියලා…”
“අවීශ්…”
“හ්ම්ම්…අවීශ් තමා…අපි ඒ දවස් වල ඔයාට එයාගේ නමවත් මතක් කළේ නැහැ…ඒකෙන් ඔයාගේ මනසට කම්පනයක් ඇති වෙයි කියලා හිතලා…ඔයාලා මෙතන ඉඳන් මල් කඩපු මතකය ඔයාගේ මනස ඇතුළේ හැංගිලා තිබුණා…මල් සුවඳට ඒක එකපාරම උඩට මතු වුණා…”
“අපි මෙතන ඉඳන් මල් කැඩුවා තමා…මේ ගහ යට ඉඳන් කතා කර කර ඉඳලා තියනවා…මේ ගහ යට ඒ මතකය තාමත් ඉතිරි වෙලා…”
සුසුමක් හෙළමින් මම කීවෙමි.
“ඔය දෙන්නා විතරක් නෙවේ…කාලෙකට ඉස්සර මායි බන්දුලත් මේ ගහ ළඟ ඉඳගෙන කතා බහ කරලා තියනවා…”
“මොනවා…එතකොටත් මේ ගහ තිබුණද…?”
“ඔව්…එතකොට මේ ගහ මේ තරම් උස නැහැ…ඒත් ගහ පිරෙන්න මල් පිපුණා…” නැන්දා කීවේ ශෝකී හඬකිනි.
“නැන්දාට එයාව මතක් වෙනවද…?”
“මතක් වුණා කියලා මොකටද…? බන්දුල දැන් කසාඳ බැඳලා…ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා…”
ඒ බව මමද දැන සිටියෙමි.
“හ්ම්ම්…කවදා හරි අපට ඉතුරු වෙන්නේ මතකය විතරයි නේද නැන්දා…?”
සුසුමක් හෙළමින් මම කීවෙමි.
“හ්ම්ම්…සුන්දර වුණත්…අද මතක් වෙනකොට ලොකු වේදනාවක් දැනෙනවා…”
නැන්දාද හුස්මක් අදිමින් කීවාය.
සැඳෑ වරුවේ මම ශ්‍රීමා සොයා ඇගේ නිවසට ගියෙමි. අලුතින් නිවස ඉදිවූවාට පසු මා මෙහි පැමිණි පළමු වතාවය. නවීන පන්නයට සෑදූ නිවස දකින විට මා සිතේ සතුටක් මෙන්ම දුකක්ද එකසේ ඇති විය. දුක සිතුණේ කටු මැටි ගෑ පැරණි නිවස එහි නොවූ නිසාය. මගේ හඬ ඇසී සිඟිති නිවසේ සිට පිටතට දිව ආවේ ඉහ වහා ගිය ප්‍රීතියකිනි.
“අනේ…ආරාණ්‍යාක්කා…”
සිඟිති මා වැළඳ ගත් අතර ඈ දැන් මා තරමටම උසින් වැඩී සිටියාය.
“ඇති යාන්තම් මෙයාට අපිව මතක් වුණා…”
ශ්‍රීමා නෝක්කාඩු කියන්නට ඇත්තේ මා අවුස්සනට සිතා වන්නට ඇත.
“අර අමතක වෙලා තිබුණ විදියටම තිබුණා නම්…මං මෙහෙමවත් එන එකක් නැහැ…”
“කියන මූසල කතා…”
ශ්‍රීමා නොමනාපයෙන් කීවේ මගේ බාහුවකට වේගවත් පහරක් ගසමිනි.
“ඌයී…රිදුණා…”
“රිදෙන්න තමා ගැහුවේ…ඔය වගේ කතා… කියනවට…”
“ඉතින් ඇත්තනේ කිව්වේ…”
“යමු…යමු…ගෙට…විකාර කියවනවා…”
මම සිඟිතිද අතින් අල්ලාගෙන ශ්‍රීමා සමඟ නිවසට ගොඩ වුණෙමි. ඇගේ නිවස සැබෑවටම පියකරුය.
“ගේ ලස්සනයි ශ්‍රීමා…”
ආලින්දයේ සුව පහසු අසුනක හිඳ ගනිමින් මම කීවෙමි.
“ලෝන් එක ගැන මං ඔයාට කිව්වා නේද…?”
“ඔව්…ඔයා කිව්වේ…”
“හ්ම්ම්…ඒ නිසා මෙහෙම හරි කරගත්තා ආරාණ්‍යා…ඒත්…අර කටු මැටි බිත්ති අතරේ…පොල් අතු වහල යට…කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරපු හැටි මතක්වෙත්දී නම් මහා අමුතු දුකක් දැනෙනවා…ඒ කාලේ හරි සුන්දරයි…”
ශ්‍රීමා කීවේ ශෝකයෙන් මෙනි.
“මාත් ඒ ගෙදරට හරි ආසයි…මටත් දුක හිතුණා…ඒ ගේ මතක් වෙලා…ඒත් ශ්‍රීමා… හැමදාම එහෙම ඉඳලා බැහැනේ…”
“අනේ මන්දා ආරණ්‍යා…මට නම් මතක් වෙත්දී දුකයි…ඒ අතීතයේම ඉන්න තිබුණා නම් හොඳයි…”
“හැමදාම අතීතයේ ජීවත් වෙන්න බැහැ… ශ්‍රීමා…”
මම එසේ කීවද නොකිව යුතු යමක් මා මුවින් පිට වූවා යයි වරදකාරී හැඟීමක් මා සිතේ ඇති විය. මාද ජීවත් වන්නේ එම අතිතයේම නොවේද….?
“මටත් කියන්න තියෙන්නේ ඒකම තමා… ආරණ්‍යා…ඒ අතීතයේ ජීවත් වුණා ඇති…ලොකු මැඩමුත් ඉන්නේ හරිම දුකෙන්…එයා හැම වෙලේම ඔයාව මතක් කර කර අඬනවා…දැන් අනාගතය ගැන හිතන්න…”
“මම මෙහෙම හරි ජීවත් වෙලා ඉන්න එක ගැන එයාලා සතුටු වෙන්න ඕන…අර අම්මා මැරී මැරි ඉපදෙනවා ඇති…”
මා දෑසට කඳුළු එක් රොක් වන විට මම ඇසි පිය සලමින් ඒ වළකා ගත්තද සිතේ ඇති වූ ශෝකය නම් මට වළකා ගන්නට නොහැකිය.
“ආරණ්‍යාක්කේ…ඔයාට දැන් හැමදේම මතකද…?”
මෙතෙක් නිහඬව සිටි සිඟිති මා විමසුවේ කල්පනාකාරී හඬකිනි.
“ඔව් සිඟිති…දැන් මට මතකයි…”
“ඔයාට ඇස් පේන්නෙත් නැතුව තිබුණානේ…”
“ඔව්නේ…”
“ඔයාට දැන් අවීශ් අයියාව මතකද…? ඒ දවස් වල මට කවුරුත් ඔයාට අවීශ් අයියා ගැන කියන්න එපා කියලා තිබුණා…”
“ඒ ඇයි සිඟිති…?”
“ඔයාට අසනීප නිසා…ඔයාට දුක හිතෙයි කියලා…අවීශ් අයියා සනීප වෙලා ආයේ මෙහෙ එයි නේද ආරාණ්‍යාක්කේ…එයාටත් ඔයාට වගේම අමතක වෙලා තිබ්බ නිසාද ආවේ නැත්තේ…?”
සිඟිති ද මා මෙන්ම අවීශ් මිය ගිය බවක් නොදන්නා බව ශ්‍රීමා මා හා පවසා තිබිණි. ඈ එසේ අසන විට මා සිත නැවතත් දැඩි ශෝකයකින් පිරී ගියේය. සිඟිතිද ඔහු යළි පැමිණේවි යැයි කියා බලා හිඳින්නීය. කෑ ගසා හැඬීමට මට වුවමනා වුවද මම දෙතොල් පට සපාගෙන ඉවසා සිටියෙමි.
“අවීශ් අයියා එයි සිඟිති…එයාට සනීප වුණාම…එයා දැන් ඉන්නේ පිටරටකනේ…”
අකමැත්තෙන් වුවද ඇයට බොරුවක් කීමට මට සිදු විය. කවදා වන තුරු මෙසේ ඇයටත් බොරු කරන්නද…? මම යළි නිවසට පැමිණියේ අලුතින් බර වූ සිතිනි.
“සිඟිති හිතන් ඉන්නේ අවීශ් සනීප වෙලා ආයෙම එයි කියලා ආච්ච් අම්මා…”
ආච්චි අම්මාගේ යහන මත හිඳගෙන මම ඇගේ හිස පීරමින් කීවෙමි.
“අනේ ළමයෝ…අපි එයාට කියලා තිබුණේ අවීශ් පුතාව සනීප කරගන්න පිට රටකට අරන් ගියා කියලා…”
“පව්…ආච්චි අම්මා…ඇයි එහෙම බොරුවක් කිවුවේ…? සිඟිති බලන් ඉන්නේ අවීශ් එනකල්…එයා විතරක් නෙවේ…මාත් හිතන් ඉන්නේ අවීශ් කොයි මොහොතේ හරි ආයෙමත් එයි කියලා…”
ඇගේ කොණ්ඩය පීරා අවසන් වන විට ආච්චි අම්මා මවෙත හැරුණාය.
“කවදා වෙනකල් අපි අපිවම රවට්ට ගන්නද දුව…?”
මම පුදුමයෙන් ආච්චි අම්මා දෙස බැලුවේ ඇගේ හඬට මුහුව තිබූ ශෝකී රාවය නිසාය. ඒ දෑස් වල දිලිසෙන කඳුළු මට ලා කහ පැහැති විදුලි පහන් එළියෙන් මනාව දිස් විණි.
“අනේ…ආච්චි අම්මා… ඔයාත් හිතන් ඉන්නේ අවීශ් එයි කියලාද…අච්චි අම්මාත් එයා ගැන දුක් වෙනවද…?”
“අනේ…අනේ…ළමයෝ…දුකක් නැත්තේ කාටද…? මටත් ඒ දරුවාව නිතරම මතක් වෙනවා…මෙහෙ හිටිය දවස් ටිකෙත් ඉතින් දැවටි දැවටි…ළඟ හිටියානේ…”
ආච්ච් අම්මා කඳුළක් පිසිමින් කියන විට මා දෑස්ද අලුතින් ඉනූ කඳුළින් තෙත් විය.
පසු දින උදෑසනම ශ්‍රීමාත් සිඟිතිත් එහි පැමිණියෝය. අපි තිදෙන දොළට ගොස් දිය පාරේ තිත්ත පැටවුන් සෙවීමු. කුඩා කල මෙන් උන් අල්ලා නිවසට ගෙන ඒමට නම් නොසිතිණි. එකල ආච්චි අම්මාට හොරෙන් ජෑම් බෝතල් වලට දමාගෙන එන මාළු පැටවුන් ඈ දුටු විගසම යළි දොළට ගෙන්විත් දමන්නේ පව් වැඩ නොකරන්නැයි අපට අවවාද කරමිනි. ඒ ගෙවී ගිය සුන්දර අතීතය සිහි වී මා මුවින් සුසුමක් ගිළිහිණි. එවිට ශ්‍රීමා මා අතින් අල්ලා ගත්තේ යමක් කීමට සැරසෙමිනි.
“මටත් හැම වෙලේම අවීශ් මතක් වෙනවා ආරණ්‍යා…”
ඈ සිතන්නට ඇත්තේ මේ මොහොතේත් මා ඔහු පිළිබඳව සිතමින් සුසුම් හෙළනවා කියා වන්නට ඇත. එය නිවැරදි කරන්නට මට වුවමනා නොවිණි. මන්දයත් ඒ මා කතා කරන්නට කැමතිම දේමය. මට ඔහු සිහි නොවන වෙලාවක් නොමැති තරම්ය.
“එහෙම නොවුණොත් තමා පුදුම ශ්‍රීමා…”
“එයා හරියට හීනයක් වගේ ආරණ්‍යා…හරියට ශීත ඍතුවේ මුළින්ම වැටෙන හිම මල් රේණු වගේ…ඉක්මනින් වැටිලා ඉක්මනින් බොඳ වෙලා ගියා…අපිට මතකේ විතරක්ම ඉතුරු කරලා…”
ඇගේ කතාවට මා මුවින් ඉකියක් පිට වන විට ශ්‍රීමාද හඬන්නට වූවාය.
“එයාව ඒ වගේ කවදාවත් මගේ හිතින් බොඳ වෙලා යන්නේ නැහැ ශ්‍රීමා…”
සිඟිති දියේ බැසගෙන තනිවම සෙල්ලම් කරන හැටි පවා මට පෙනුණේ බොඳවය.
“ඒක ඇත්ත ආරණ්‍යා…අනේ ඇයි අපි එයාව අඳුන ගත්තේ…මෙච්චර ඉක්මනට අපිව දාලා යන්න නම්…?”
ඈ යළිත් එසේ කියන විට මට යළිත් හැඬිණි. අපි දෙදෙන එකිනෙකා වැළඳ හඬනු දැක දෝ සිඟිති අප වෙත දිව ආවේ බියෙන් මෙනි.
“අනේ ඇයි අක්කේ…ඔයාලා අඬන්නේ…මොකද වුණේ…?”
අපි දෙදෙන එකිනෙකාගෙන් මෑත්ව වහ, වහා කඳුළු පිස ගතිමු.
“නිකන් සිඟිති…අපිට දුක හිතුණා…” බර වූ නාසය පිසිමින් මම කීවෙමි.
“ඒ මොකද…?” ඈ අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවාය.
“හෙට ආරණ්‍යාක්කා යනවානේ…ඒක නිසා…” කුමක් කියම්දෝයි මා සිතමින් සිටින විට ශ්‍රීමා වහා කීවාය.
“ඉතින් ඕකට අඬන්න ඕනද…? ඔයාලා නිකන් පොඩි බබාලා වගේනේ…ආරණ්‍යක්කා ආයෙම එනවානේ ඉතින්…”
එසේ කී සිඟිති මහා හඬින් සිනහසෙමින් දිය පහර දිගේ දිව යන විට වෙලේ ගොදුරු සොයමින් සිටි කොකුන් රෑනක්ද බියට පත්ව මෙන් අහසට ඉඟිළ ගියෝය. සුදෝ සුදු පුළුන් රොදවල් මෙන් වලාකුළු නීල අහස මත පාව ගියේ ඈත කඳු හිස් සිප ගනිමිනි. අවීශ් ඇඳි සිතුවම සිහි වී මා මුවින් දුක් බර සුසුමක් පිට විය. මා ශ්‍රීමා සමඟ අනුරාග්ගේ යෝජනාව පිළිබඳව පවසා තිබුණේ ඔහු පැමිණිදාමය. මේ මොහොතේ ශ්‍රීමා ඒ පිළිබඳව මා විමසුවාය.
“මම දන්නේ නැහැ ශ්‍රීමා…මං තවම ඒ ගැන මොකුත් හිතුවේ නැහැ…”
සුසුමක් හෙළමින් මම කීවෙමි.
“ඒ වුණත් ආරණ්‍යා…දැන්ම ඒ ගැන හිතන්න…නොදන්න කෙනෙක්ව ජීවිතේට සම්බන්ධ කරගන්නවට වඩා දන්න කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබුණා නම් නේද හොඳ…කොහොම වුණත්…ඔයා කරන්න ඕන ඔයාගෙ හිතට එකඟ දේ…”
සිතට එකඟ දේ කිරීමත් සිතන තරම් පහසු නැති බව මම ඇය හා නොකීවෙමි. නැන්දා අමතන හඬ ඇසී අපි තිදෙන නිවස දෙසට පියවර තැබීමු.
එදින සවස බන්දුල මාමා නිවසට පැමිණි අතර මම ඔහු දුටුවේ පළමු වතාවටය. එතරම් උස් නොවූ මුත් ඔහු පැහැපත් සමක් සහිත කඩවසම් අයෙකු විය. හිස කෙස් කීපයක් තැනින් තැන සුදු පැහැ ගෙන තිබුණද, එතරම් වියපත් බවක් ඔහු කෙරෙන් පළ නොවීය. ඔහු පැමිණ සිටියේ තම දියණියන් දෙදෙනාද සමඟය. එක් අයෙකු සිඟිතිගේ වියේම ඇගේ මිතුරියක වූ අතර අනික් දැරිය පස්වන වසරේ ඉගෙනුම ලබන බව මා හා කීවාය. ඔවුන් දෙදෙන අප සමඟ මිතුරු වූයේ ඉතා ඉක්මණිනි. නැන්දාට බන්දුල දකින විට දැනුණ හැඟීම කෙබඳු වූවක්ද කියා මම දැන නොසිටියෙමි. කෙසේ නමුත් ඈ නොලැබුණ ප්‍රේමය පිළිබඳව දුක් වනවා වන්නට ඇතැයි කියා මට සිතේ.
“පව් ආච්චි අම්මා…නැන්දා…ආච්චි අම්මලාට තිබුණේ ඒකට ඉඩ දෙන්නනේ…”
පසුව මම ආච්චි අම්මා සමඟ කීවෙමි.
“සීයා තදින්ම හිටියා නේ…එයාව නම්ම ගන්න බැරි වුණා…”
ශෝකී හඬකින් ආච්චි අම්මා කීවේ සුසුමක් හෙළමිනි. මම ඒ කතා බහ වැඩි දුර ගෙන යෑමට නොසිතුවෙමි. සියල්ල අවසානයේ ඉතිරි වන්නේ දුකක්ම පමණක් නම් තව දුරටත් කිසිවක් ගැන සිතා හෝ කතා කර පළක් නැත. නැන්දා වුවද තවමත් ඒ මඟහැරුණු අතීතයේ සුන් බුන් අතර සිර වී තනිව වේදනා විඳිනවා ඇති බවට සැකයක් නැත.