Hima Mal Renu හිම මල් රේණු
නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි.
“ඔයාම කියනවනේ ආරණ්‍යා …අනුරාග් හොඳ කෙනෙක් කියලා…ඉතින්…ඒ ගැන හිතලා…හොඳ තීරණයක් ගන්න කියලයි මම කියන්නේ…”
ඈ එසේ කියනු ඇතැයි කියා මම කිසි මොහොතක සිතා නොසිටියෙමි. ගිළිහෙන්නට ගිය සුසුම මම මැඩ ගත්තේ ආයාසයෙනි.
“ඔයාට මුළු ජීවිත කාලෙම තනියම ඉන්න ලැබෙයි කියල නම් හිතන්න එපා ආරාණ්‍යා…තාත්තවත් නැන්දවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා…මට සීයට සීයක් ෂුවර්…ඔහොම ගිහින්…අන්තිමේදී මොන වගේ කරුමෙකට කරගහන්න වෙයිද කවුද දන්නේ…ඒ නිසා මේ චාන්ස් එක නම් අතාරින්න එපා…”
නදීරා එක දිගටම කියවන් යන විට මට රෝවන් සිහි වී ගත හී ගඬු නැංවිණි.
“අනික ඉතින් අවීශ් ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙලා හිටියා නෙවේනෙ…”
සිත් පිත් නැති සේ ඈ යළිත් කියන විට මා හද වඩාත් රිදිණි.
“ඔයාට එහෙම කියන්නවත් පුළුවන්ද…?”
“ඔව්…ඉතින්…මං දැන් කිව්වේ එහෙම නේන්නම්…”
“මට හිත හදා ගන්න බැහැ නදීරා…අවීශ් මතක් වෙත්දී මට පුදුම තරම් දුකයි…”
මා දෑස් තෙත් කරමින් කඳුළු බොඳ විය.
“දුක් වුණා කියලා මොනවා කරන්නද…මොකද සිද්ද වුණු දේ හදන්නද…?”
එසේ කළ නොහැකි බව මම දනිමි.
“අවීශ් නැහැ කියලා මට කොයි මොහොතකවත් හිතන්න බැහැ…මට දැනෙන්නේ…එයා…ඉන්නවා…ඉන්නවා වගේ කියලාමයි…”
“මටත් එහෙම නොහිතෙනවා නෙවේ ආරාණ්‍යා…මේ දකින්නේ හීනයක්…අවීශ් ඇවිත් නදීරා…නදීරා…කියලා මට කතා කරයි කියලා මට හුඟාක් වෙලාවට හිතෙනවා…ඒත් ඒක ඇත්ත නෙවේ කියලා…මට අනික් පැත්තට මතක් වෙනවා…”
දිගු සුසුමක් හෙළූ ඈ දෑසට ඉනූ කඳුළු පිස දැමුවාය.
“ආන්ටිව හරි හොයා ගත්තා නම්…අඩුම තරමේ එයා අන්තිමට මොනවද කිව්වේ කියලවත් දැන ගන්න තිබුණා…” හැඬුම් මුසුව මම කීවෙමි.
“ඒ ගැන දැනගත්තත් වෙන්නෙ හිත පෑරෙන එක විතරනේ…ඔයා අවීශ්ට ආදරේ කළාද…?” මම තිගැස්මෙන් ඈ දෙස බැලීමි.
“අවීශ් ගැන හිතන්න ආදරේ කරන්නම ඕනද…?”
“මේ අහනවා මෝඩි…අපිටත් දුක නැතිවා නෙවේ…ඒත් එහෙම කියලා මට මැරි කරන්න බැරි කමක් නැහැනේ…ඒත් ඔයාට වෙන කෙනෙක් ගැන හිතන්න බැරි හේතුව…ඔයා එයාට ආදරේ කළා…තාමත් එහෙමයි…කටින් නොකීවට…හිත ඇතුලෙ ඒ ආදරේ තියෙනවා…ඒකත් ආදරේම තමා…අනික ඔය දෙන්නා ඒ කාලේ හැසිරුණ විදිය…කතා බහ කළ විදිය… ඒකට හොඳම සාක්ෂියක්…”
මම දිගු හුස්මක් ගෙන ළය පුරවා ගතිමි. මා පිළිගැනීමට අකමැති සත්‍ය එයද…?
අනුරාග් පැමිණෙන බව මා තාත්තා හා පැවසූ මොහොතේ ඔහු මුවේ ඇඳුණ සිනහව අමුතුය. නදීරා කියා තිබුණේ සත්‍යයක් යැයි කියා මට නොසිතුණා නොවේ. නමුත් මම ඒ ඔස්සේ වැඩි දුර නොසිතුවෙමි. පොහොය දින උදෑසනම තාත්තා නිවසින් පිටව ගියේ හදිසි වැඩ කටයුතු වගයක් ඇති බව පවසමිනි. ඒ ඔහු සිතා මතා මඟ හැර යෑමක් යැයි කියා මට නොසිතා බැරි විය. අනුරාග් වුවද ඔහුට තමා පැමිණෙන බව දැනුම් දෙන්නට ඇතිවාට සැකයක් නැත. එසේ තිබියදීත් තාත්තා මෙසේ මඟ හැර ගියේ ඔහු සමඟ මට තනිව කතා බහ කිරීමට මඟ සළසා දීමටද….? නමුත් ඔහු සිටියා වුවද එයට බාධාවක් ඇති නොවේ. අනුරාග් පැමිණෙනවා යැයි කියා මම විශේෂයන් සූදානම් වූවා හෝ පෙරමඟ බලා සිටියේ නැත. මා නිවසට අඳින සැහැල්ලු ගවුමකින් සැරසෙන විට නදීරා මා දෙස හෙළුවේ නොරිස්සුම මුසු බැල්මකි.
“ඕකද අඳින්නේ…?”
ඈ මුවින් නොකීවද එහි සටහන් වී තිබුණේම එම හැඟීම යැයි කියා මට සිතිණි.
අනුරාග් පැමිණි බව දන්වමින් ඇමතුමක් ගන්නා විට මාත් නදීරාත් පිටතට විත් ගේට්ටුව විවර කළෙමු.
“වාව්…අනේ…මාර හැන්ඩ්සම් නේ…හින්දි නළුවෝ පරාදයි…”
අනුරාග් රථයෙන් බසින විටම නදීරා මගේ අතේ එල්ලෙමින් රහසින් කෙඳිරුවාය.
“සෙට් කරල දෙන්නද…?” ගේට්ටුව වසා දමමින් මම ඇසුවේ සිනහා මුවෙනි.
“නැතුවට කමක් නැහැ…ඔය වෙන එකෙක් ගැන හිත හිත ඉන්න අය අපිට මොකටද…? මං ගැන හිතන එකෙක් මට ඉන්නවා…”
ඇගේ කතාවට සිනහසෙමින් මම ඇයවත් අතින් ඇදගෙන මෙන් අනුරාග් අසළට පැමිණ ඔහුට නදීරා හඳුන්වා දුනිමි.
“හමුවීම සතුටක්…නදීරා…”
ඔහු දෑත් එකතු කර ආචාර කරමින් කියන විට නදීරා මා දෙසත් බලමින් නුහුරු ලෙස දෑත් එකතු කොට ඔහුට ප්‍රතිචාර දැක්වූවාය.
“මටත්…ඔයාව හමුවීම සතුටක්…හැබැයි මම අද ආවේ ඔයාව බලන්න නම් නෙවේ…දවස් ගානක ඉඳන් මං එන්න ප්ලෑන් කළේ…”
නදීරා එසේ කියන විට ඔහු උස් හඬින් සිනහසුණ අතර ඒ මා ඔහු එසේ සිනහසෙනු දුටු පළමු වතාවය. ඔහු හැඳ සිටි ලා කහ පැහැති ටී ෂර්ටයටත් කළු පැහැති ඩෙනිම් කළිසමටත් ඔහු තුළින් දිස් වූයේ මා වෙනදා දකින පෙනුම නොව අමුතුම ආකාරයේ දඟකාර සැහැල්ලු බවකි.
“යාළුවට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්ව යාළුවා කරගෙන තියෙන්නේ…”
ඔහු නදීරාට පැවසුවේ මා දෙසත් බලමිනි.
“ඒ ඇයි එහෙම කියන්නේ…?” නදීරා මට පෙර ඇසුවේ පුදුමයෙනි.
“ආරණ්‍යා වැඩිපුර කතා නොකළාට…ඔයා නම් හොඳට කතා බහ කරනවා කියල පේනවා…”
“ආහ්…ඒ නම් ඔයාට වැරදිලා…අනුරාග්…”
නදිරා ඔහු නමින්ම ඇමතුවේ බොහෝ කාලයක් පටන් ඔහුව දැන හැඳින සිටින මිතුරෙකු අමතන විලසිනි.
“ඔයා මෙයා ගැන දශමයක තරම් වත් දන්නේ නැහැ…මෙයා කියවන ඒවා අහන් හිටියා නම් ඔයාට කන් දෙකේ ඇබ ගහගන්න තමා වෙන්නේ…”
අනුරාග් “ඇබ” යන වචනයේ තේරුම දැන නොසිටි අතර ඔහු ඒ කුමක්දැයි නදීරා විමසුවෙන් ඇය එහි තේරුම පැවසූ පසු ඔහුද යළිත් වරක් උස් හඬින් සිනහසුණේය.
“ආරණ්‍යා ඔෆිස් එකේදි නම් හරිම නිහඬයි…කා එක්කවත් කතා බහ කර කර ඉන්නවාවත් මං දැකලා නැහැ…”
“ඔව්…වෙන්නැති…එයාට අලුත් යාළුවෝ ඕන නැහැ…අපි වගේ හොඳ යාළුවෝ ටිකක් ආයේ එයාට කොහෙන්වත් හම්බෙන්නේ නැහැ…”
මම ඇයට මුව ඇද කළෙමි. නදීරා ඒ නොදුටුවා සේ දිගටම කතා කරන්නට වූවාය.
“ආරණ්‍යා…කොලේජ් එකේදි නම් චණ්ඩියා…හදන්න බැහැ කියලා ටීචර්ස්ලා අතහැරලා දාපු අයව පවා මෙයා කණපිට හරවලා ගත්තා…දැන් පාඩුවේ ඉන්නවා…”
නදීරා මා අතින් අල්ලාගෙන කියන විට, අවීශ්ගේ මතකය හිස ඔසවා මා හිස ඉබේම බිමට නැඹුරු විය. නැන්දා පිටතට පැමිණියේ අපට දොස් පවරමිනි. අනුරාග්ට තවම නිවස තුළට ඇරයුම් නොකර මිදුලේ තබාගෙන කතා බහ කරමින් සිටීම ගැන ඈ සිටියේ නොසතුටෙනි.
පරිසරය නිහඬය. අහස වළාකුළින් බරව තිබූ නිසාදෝ වෙනදා තරම් අව් රශ්මියක්ද නොවීය. ගුණතුංග මාමා උදෑසන තණ බිමට වතුර දැමූ නිසාවෙන්දෝ තවමත් තෙත් බවක් එහි විය. අනුරාග් කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔහු පැමිණියේ එයටය. දැන් ඔහු නිහඬය. නදීරාගේ දෑසට නම් අනුරාග් මනා කඩවසම් තරුණයෙකි. එය එසේ බව මමද පිළිගනිමි. ඔහු ගතිගුණ අතින්ද යහපත් බව මට වැටහී බොහෝ කලකි. කාර්යාලය තුළ වුවද කිසිවෙකුගේ වරදක් දුටුවෝතින් ඔහු එය අදාළ අය ගෙන්වා කතා බහ කර විමසනවා ඇරුණු කොට කිසිවෙකුට උස් හඬින් හෝ දොස් පවරනු මම අසා හෝ දැක නොතිබුණෙමි. ඔහු රෝවන් වැන්නෙකු නොවේ. දක්ෂ ව්‍යාපාරිකයකු වුවද ඔහු නිතර එම මානසිකත්වයෙන් සිටියේ නැත. නමුත් මා සිතේ ඔහු පිළිබඳව වෙන යම් හැඟීමක් ඇති නොවීම පුදුම සහගත දෙයක් ලෙස නදීරා දකින්නීය. ඇගේ අදහසට අනුව එසේ වීමට හේතුව අවීශ්ය. අවීශුත් මාත් අතර වුයේ ආදරයක්ද, මිතුරුදමක්ද නොවූ අමුතු බැඳීමකැයි කියා මට දැන් දැන් සිතේ. මම ඔහු ප්‍රිය කළා සේම ඔහුද මා ප්‍රිය කරන්න ඇත. ඔහු කෙරෙහි මා සිතේ වූයේ දැඩි විශ්වාසයකි. ඔහු ළඟින් සිටින විට මා සිතට දැනුණේද මහා ආරක්ෂිත හැඟීමකි. අවීශ් අකමැති යමක් කිරීමට පවා මම කිසිදු විටෙක උත්සාහ නොකළෙමි. ඔහුද එසේමය. මා මුවින් සුසුමක් ගිළිහී ගියේ මාද නොදැනුවත්වමය. අනුරාග් මා අසළ සිටින බවත් ඔහු මා දෙස බලා හිඳින බවත් දැනී මම ඔහු දෙස බැලීමී.
“ඔයා ඒ අනතුර ගැන තාම මතක් කරනවා නේද…?”
ඔහු කතා බහ ඇරඹුවේ එලෙසය. සමහරවිට මා මුවින් ගිළිහී ගිය සුසුම නිසා ඔහු සිතේ යම් අනුමානයක් ඇති වූවා වන්නට ඇත. එය කෙසේ වුවත් මා අමතක කරන්නට අකමැති තැනකින් ඔහු කතා බහට මුළ පිරීම පිළිබඳව නම් මා සිතට සියුම් සතුටක් දැනිණි.
“මම ඒක අමතක කරන්න කැමති නැහැ මිස්ටර් අනුරාග්…” පහත් හඬකින් මම කීවෙමි.
“කරුණාකරලා…ආරාණ්‍යා…මේ වෙලාවේ මට මිස්ටර් කියන කෑල්ල අයින් කරලා අනුරාග් කියලා කතා කරනවා නම් මම කැමතියි…අපි දෙන්නාටම ඒක පහසුවක් වගේ වෙයි…අනික අපි දැන් යාළුවෝනේ…නේද…?”
ඒ අවසන් වැකිය නිසා මා සිත අලුතින් තිගැස්සී ගියේය. මේ මොහොතේ පවා මට අවීශ් සිහි විය.
“අපි තවම යාළුවෝ නෙවේ…”
ඔහු වරෙක එසේ පැවසූ හැටි මට සිහි විය. කෙසේ වුවත් අනුරාග් කළ ඉල්ලීම නිසා මම හිස සෙළවීමි.
“එයා ඔයාගේ ජීවිතේට හුඟාක් සමීප කෙනෙක් කියලා ඔයා කිව්වානේ… නේද…?”
“ඔව්…ඒ නිසාමයි මට ඒ දේ අමතක කරන්න බැරි…මට කවදාවත්ම ඒක අමතක කරන්න බැරි වෙයි…”
“ඔව්…ඒක සාමාන්‍යයි…අපි හැමෝගෙම ජීවිත වලට හිමි, අහිමි, ලැබීම් නොලැබීම් කියන දේ පොදු දෙයක් ආරණ්‍යා…මගේ අම්මා නැති වෙත්දී…මට අවුරුදු දහයයි…මම පවුලේ බාලයා…අයියයි…අක්කයි නම් ඒ වෙත්දී තේරුම් තියන වයසක හිටියේ…මට අම්මා නැති අඩුව හුඟාක් දැනුණා…තාත්තා අපි වෙනුවෙන් පුදුම කැප කිරීමක් කළා…අම්මා නැති අඩුව එයාට පුරවන්න බැරි වුණත්…එයා එයාගේ යුතුකම් පැහැර හැරියේ නැහැ…ඒ කාලේ අපි හුඟාක් පොහොසත් අයත් නෙවේ…”
සුසුමක් හෙළමින් ඔහු දිගටම කතා කරගෙන යන විට මම නිහඬවම අසා සිටියෙමි. ඔහුගේ ජීවිතයේත් මේ තරම් කම් කටොළු ඇති බවක් මා සිතා තිබුණේම නැත.
“මම…හුඟාක් දුක් මහන්සියෙන් මේ තැනට ආවේ…අද මං යම් තැනක ඉන්නවා නම්…ඒ මගේ තාත්තා නිසා…මීට අවුරුදු දෙකකට කළින් එයත් නැති වුණා…”
“අනේ…මට කණගාටුයි…” ශෝකී හඬකින් මා මුවින් පිට විය.
“එයා වයසයි…ඒක මට දරාගන්න බැරි දුකක් වුණා…මොකද එයා තමා මගේ පිටිපස්සෙන් ඉඳගෙන මට මේ හැමදේටම හයියක් වුණේ…මට විතරක් නෙවේ…අපි තුන්දෙනාටම… ඒ නිසා…ජීවිතේ ළඟින්ම හිටපු කෙනෙක් නැති වුණාම…දැනෙන දුක…මොන වගේද කියලා මට අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නැහැ…තමුන්ටම දෙයක් වෙනකල්…අනික් අයට ඒ දුක වේදනාව තේරෙන්නේ නැහැ…දැනෙන්නේ නැහැ…ඒක තමා ඇත්ත…ඒ නිසා ආරණ්‍යා … ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා මට හොඳට දැනෙනවා…”
ඔහු නිහඬ වන විට මම වහා වහා කඳුළු පිස ගතිමි. මා සිත පාරවමින් යම් වේදනාත්මක හැඟීමක් මා සිත වෙළා ගත්තේ අනුරාග් නිසාද නැත්නම් අවීශ් නිසාද කියා මට තේරුම් බේරුම් කර ගැනීමට අපහසු විය.
“මට කණගාටුයි…මං ඔයාව අඬවන්න නෙවේ…මේ කතාව කිව්වේ…ඔයාට එයාව මතක් වෙන්න ඇති ආයෙමත්…?”
“කණගාටු වෙන්න ඕන නැහැ අනුරාග්…මට අවීශ්ව අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ…මම එයාව හැම මොහොතකම මතක් කරනවා…”
බරවූ හඬකින් මම කීවෙමි.
“ඒක වෙන්න පුළුවන්…අන්තිමට එයා ළඟ හිටියෙත් ඔයානේ…ඒක හරි අමුතු හැඟීමක්…නැත්ද…? විස්තර කරන්න බැරි…කොයිතරම් හිත රිදුණත්…දුක දැනුණත්…හැම වෙලේම මතක් කර කර…පපුව පුච්ච ගන්නම හිතෙනවා නේද…ඒ දුක නැති වෙනවට කැමතිත් නැහැ…නැති කරගන්න ඕනත් නැහැ…එහෙම නේද…?”
පුදුමයෙන් විසල් කොට ගත් දෑසින් යුතුව මම අනුරාග් දෙසම බලා සිටියෙමි. ඔහු මා සිත හැඳින්නාක් මෙන් මෙසේ කතා කරන්නේ කෙසේද….? ඒ මගේම සිතුවිලිය. මෙතෙක් කල් කිසිවෙකු මට මෙසේ පවසා තිබුණේ නැත. සැවොම කීවේ සියල්ල සිදුව අවසන් නිසා එය අමතක කරන ලෙසය. කිසිවෙකු ඒ ගැන කතා කිරීමට කැමති නොවීය. මිතුරු මිතුරියන් වුවද සැම විටම කළේ එම කතා බහ මඟ හැර යාමය. සමහරවිට එසේ කරන්නට ඇත්තේ ඉන් මා සිත මෙන්ම ඔවුන්ද වේදනාවට පත් වන නිසා වන්නට ඇත. නමුත් අනුරාග් මෙය දකින්නේ වෙනස්ම කෝණයකිනි. ඔහුට මා සිත හඳුනාගන්නට හැකිවාක් මෙනි.
“ඔව් අනුරාග්…ඒ අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ…සමහර දවස් වලට මං හීනෙන් ගැස්සිලා ඇහැරෙනවා…බයකට නෙවේ…අවීශ්ගේ ලෙයින් නෑවුණ මූණ දැකලා…අනේ…එයා ඒ වෙලෙත් මට මගේ නම කියලා කතා කරලා මොනවා හරි කියන්න හැදුවා…”
යළිත් වතාවක් මට හැඬිණි. නොහඬා සිටීමට හෝ අනුරාග් ඉදිරියේ කඳුළු සඟවා ගැනීමට හෝ මට වුවමනා නොවීය. සුළු මොහොතකට පසු මම හිස ඔසවන විට අනුරාග් මා දෙස බලා සිහින් වූ මඳහසක් පෑවේය. සිත නිවී යන බවක් ඔහුගේ දෑස් වල තැවරී ඇතැයි මට සිතුණේ පළමු වතාවටය. සමහරවිට මා ඔහු දෙස එක එල්ලේ එලෙස බැලුවේ පළමු වතාවට විය හැකිය. එවන් හැඟීමක් මා සිතට දැනීම අමුතුය. මට ඔහු කෙරෙහි වෙනස්ම කෝණයකින් බැලිය හැකි වීද..? මා සිතේ ඔහු කෙරෙහි යම් හැඟීමක් ඉපදෙමින් තිබුණේද…….?