More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 45

    Hima Mal Renu හිම මල් රේණු – 45

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    ටික දිනකට පසු අපි යළි කොළඹ පැමිණියේ මා නැවත වෛද්‍යවරයා ළඟට කැඳවා ගෙන යෑමට දින යෙදී තිබූ නිසාය. ඔහු මා බොහෝ වේලාවක් පරීක්ෂා කළ අතර පහුගිය දිනවල මා මුහුණ දුන් අත්දැකීම් නැන්දා ඔහු හා පැවසුවාය.

    “ඒක හොඳ රිසාල්ට් එකක්….මේ ෂොක් එක නිසා පරණ මතක නිද්‍රාවට පත්වෙලයි තියෙන්නේ…ඒවා මේ විදියට සැරෙන් සැරේ ඉස්මතු වෙනවා කියන්නේ මතකය ඉක්මනින් හෝ ටිකෙන් ටික ලැබෙන්න පුළුවන් කියන එක…ඒ වගේම තමා මේ වුණා වගේ ෂොක් එකක්…ආයේත් වුණොත්…සමහරවිට එකපාරම ඒ මතකය ලැබෙන්නත් පුළුවන්…ඒ වගේමයි පෙනීමත්…බට් නොට් ෂුවර්…විල් සී…”

    ඔහු පැවසුවේ එවන් දෙයකි.

    “මං හිතුවේ දුවව ඇමරිකා එක්ක යන්න කියලා නංගී…”

    අපි යළි එන අතරේ තාත්තා නැන්දා හා කියනු මට ඇසිණි. මා සිටියේ නැන්දාගේ උරමත හිස තබාගෙන ය. මට නින්ද ගොස් වන්නට ඇතැයි කියා ඔවුන් සිතුවා වන්නට ඇත.

    “අපි තව ටික දවසක් බලමු…දුව දැන් හිටියට වඩා හොඳයිනේ…ඩොක්ටර්ත් කිව්වනේ…එකපාරම මතකෙ ලැබෙන්න නම් අර වගේම කම්පනයක් වෙන්න ඕන කියලා…ටික ටික හරි යයි…එයාට දැන් සමහර දේවල් ටික ටික මතක් වෙනවා…එයා ඒ ගැන මගෙන් විස්තර ඇහුවා…”

    “ඒ මොනවා ගැනද…?”

    තාත්තාගේ හඬ තුළ තිගැස්මක් ඇති බවක් මට දැනිණි.

    “නැහැ…මේ…පොඩි පොඩි මතක…”

    නැන්දා එසේ කියන විට මා සිතේ සැකමුසු හැඟීමක් ඇති විය.

    “එක පාරම මේ දේවල් කියලා එයාව කළබල කරන එක හොඳ නැහැ…”

    “ඔව්…ඔව්…හොඳම දේ තමා එයාටම මතක් වෙන්න අරින එක…”

    “මට හිතා ගන්න බැරි මේ ළමයා පාන්දර කොහෙද ගියේ කියන එක…”

    “වැරදි ගමනක් ගියා නෙවේනෙ…චන්ද්‍රලතා මෙයාව තනියම යවපු එකත් වැරදියි…”

    “ඒ ගෑණිත් මොනවා කරන්නද…මෙයා බල කරලම කිව්වලුනේ…ගේට් එක ඇරලා දෙන්න කියලා…මං මෙයාට මෙච්චර එපා කියල තියෙද්දීත් එයා මෙහෙම ගිය එක නම් හරිම වැරදියි…”

    “හදිසියක් නෙවේ නම් අයියේ දුව කවදාවත් මෙහෙම යන්නේ නැහැනේ…”

    “මගේ කෙල්ලව මං අවිශ්වාස කළා නෙවේ…අපි කාගෙන්ද මේ ගැන අහන්නේ…?”

    “කාගෙන් අහන්නද අයියේ…? ඒ වාහන දෙක දැක්කාම මේ ළමයා මෙහෙම ජීවතුන් අතර ඉන්න එක ලොකු දෙයක් කියලා හිතෙනවා…”

    මා ගත සීතලව යනු මට දැනිණි. එසේ නම් එය දරුණු අනතුරකි.

    “මට මේ හැමදේම පැටලිච්ච නූල් බෝලයක් වගේ…”

    දෙදෙනාගේ කතා බහ ඉබේම නැවතී ගියේ කතා කරගත්තාක් මෙනි. මට මෙන්ම මෙය ඔවුනටද අභිරහසකි. මා සිතා සිටියේ ඔවුන් දැන දැනම මෙය මගෙන් සඟවනවා ඇතැයි කියාය. නැන්දා සාදා දුන් සීතල බීම වීදුරුව පානය කරමින් මම සිතමින් සිටියේ තාත්තාත් නැන්දාත් කළ කතා බහ ගැනය. ඒ පිළිබඳව සිතන්න සිතන්න සිත පැටළුණු නූල් බෝලයක් මෙන් අවුලෙන් අවුලට පත් වෙයි. මා දින ගණනක් එක දිගටම දුටු රිය අනතුර පිළිබඳ සිහිනය සැබෑවටම මා මුහුණ දුන් රිය අනතුර විය හැකිද…? මා නිතර දුටුවේ කළු පැහැති දියරයක් මත වැතිර ඇති සිරුරකි. ඒ මා විය හැකිද…? කිසිවක් පැවසීමට මා මුව විවර කළද ඒ හැම වරම මා බියෙන් තැති ගැන්වී අවදි වෙමි. මෙය මා සිතට මහත් පීඩාවකි. හිස් කළ බීම වීදුරුව මම අත පත ගාමින් ස්ටූලය මත තබන්නට යන විට එය මා අතින් ගිළිහී බිම වැටී බිඳී ගියේ මහත් හඬක් නංවමිනි. තිගැස්මෙනුත් බියෙනුත් මම හුන් තැනම හිඳ සිටියේ නිසොල්මන්වය.

    “මොකක්ද ඒ බිඳුණේ…හානේ…ග්ලාස් එක නේද…? හරි ෂෝක්…මෙහෙම ගිහින් මෙයා තව මොනවා කඩලා බිඳලා දායිද දන්නැහැ…චන්ද්‍රා…චන්ද්‍රා…”

    ඒ අර පුංචි අම්මා කියූ අයගේ හඬය. දෙවියනේ…! මා මහා වරදක් කළාක් මෙන් ඈ මෙලෙස කෑ ගසන්නේ මන්ද…? ශෝකයක් මෙන්ම අසරණ හැඟීමක්ද මා සිතට දැනෙන විට මා දෑසට කඳුළු පිරිණි.

    “මොකද මේ කෑ ගහන්නේ…වීදුරුව බිඳුණටද..? ඕක බිඳුණා කියලා මහා ලොකු පාඩුවක්ද වුණේ…? චන්ද්‍රා ඕක අතුගාලා දායි…දුව කකුල් බිම තියන්න එපා…ඔහොමම ඉන්න…කටු ඇති…”

    නැන්දා ගේ හඬේ වූයේ නොරිස්සුම් සහගත බවකි.

    “අද වීදුරුව…හෙට මොකක් කඩලා දායිද දන්නැහැ…” පුංචි අම්මා යළි කෑ ගැසුවාය.

    “කැඩුණේ බිඳුණේ ඔයා දෑවැද්දට ගෙනාපු ඒවා නෙවේනේ…තමුන් මේ වහල යටට ආවේ ඊට වඩා දෙයක් කඩලා බිඳලා දාලා කියලා අමතක වෙන්න තරම් මැරිලා ඉපදුණා නෙවේනේ…නේද…?”

    නැන්දාගේ උස් හඬින් මම තව තවත් බිය වූයෙමි. මේ කතා මට නුහුරුය. මම පසුතැවිල්ලෙන් එහිම හිඳ සිටියේ මේ සියල්ල මගේ වරද නිසා සිදු වූවා කියා ඇති වූ වරදකාරී හැඟීමෙනි.

    “ඔව්….මම නම් මැරිලා ඉපදුණේ නැහැ තමා…සේරම එනවා මට පුප්පන්න…මං සද්ද නැතුව ඉන්න නිසානේ මේ සේරම…මාවන් ආවාම මං බලා ගන්නම්කෝ…”

    “ඔව්..ඔව්…කියාලා බලාගන්න හැටි බලමුකෝ…මාත් තාම පුප්පන්න ගත්තේ නැහැ…තමුන් ඉන්නෙ කාගේ වහල යටද කියලා මං අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ…”

    නැන්දාද මෙය නවත්වන පාටක් පෙනෙන්නට නැත.

    “අනේ නැන්දා…දැන් ඕක නවත්තන්න…වීදුරුව බිඳුණට ඕක ඔය තරම් දුර ගෙනියන්න ඕන නැහැනේ…”

    “ඔයාට මතක තිබුණා නම් දුව ඔයා ඔහොම නෙවේ මෙයාට කියන්නේ…”

    නැන්දා මා කැඳවාගෙන උඩු මහලට පැමිණියේ චන්ද්‍රම්මා වීදුරු කටු ටික අතුගා දමන්නට පැමිණි පසුවය.

    “අනේ…මට මේ හැමදේම එපා වෙලා…ඇස් දෙක හරි පෙනුණා නම් මෙහෙම වෙන්නේ නැහැනේ…මට මේ හැමදේම හරි අමුතුයි…”

    “හැමදේම හොඳින් වෙයි දුව…ඔයා කළකිරෙන්නේ නැතුව ඉන්නකෝ…”

    මා සිත සනසවන්නට උත්සාහ දරමින් නැන්දා කීවාය. චන්ද්‍රම්මා අප වෙත පැමිණියේ නැන්දා අමතමිනි.

    “ඇයි චන්ද්‍රා…වීදුරු කටු ටික අතු ගාලා දැම්මද…?”

    “ඔව් නෝනා…අර රෝවන් මහත්තයා ඇවිත්…”

    “එයා මොකටද මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ…?”

    නැන්දාගේ හඬේ වූ නොසතුට මට වහා වැටහිණි.

    “කවුද නැන්දා ඒ…?”

    “ඒ තාත්තාගේ යාළුවෙක්ගේ පුතෙක්…මං බලලා එන්නම්…”

    නැන්දා යන්නට ගියේ චන්ද්‍රාම්මා මා තනියට තබාය.

    “චන්ද්‍රම්මා ඔය රෝවන් කොහොම කෙනෙක්ද…?”

    “ඒ කිව්වේ ලොකු බේබි…?”

    “එයාගේ හැඩරුව එහෙම…?”

    “ආහ්…ටිකක් උස මහත කෙනෙක් ලොකු බේබි…”

    “ගොඩාක් උසයිද…?”

    “අපෝ නැහැ…අපේ අවීශ් මහත්තයා තරම් උස නැහැ…ඒ වගේ ලස්සනත් නැහැ…”

    “අ…වී…ශ් කිව්වේ චන්ද්‍රම්මා…?”

    හිස පුරා සියුම් හිරි වැටීමක් ඇදී යන බවක් මට දැනෙන විට මම හිස අතගාමින් ඇසුවෙමි. හිස රිදුම් දෙන්නට වූයේ හිටි අඩියේමය.

    “ඒ අපේ නෝනාගේ යාළු මහත්තයෙක්නේ ලොකු බේබි…”

    “අවීශ්…” මම ඒ නම මිමිණුවේ එහි යම් හුරු පුරුදු බවක් දැනුණ නිසාය.

    “කාගේ යාළු මහත්තයෙක්ද චන්ද්‍රම්මා…?”

    “අපේ රේඛා නෝනගේ ලොකු මැණිකේ…”

    “හ්ම්ම්…මං දන්නවා චන්ද්‍රම්මා මට කියන්නේ බොරු කියලා…කමක් නැහැ… ඒත් මට මේක කියන්න චන්ද්‍රම්මා…මං ඔයාගෙන් ගේට් එකේ යතුර ඉල්ලන් කොහේ යනවා කියලාද ගියේ කියලා…?”

    “අනේ..ලොකු බේබි මම දන්නේ නැහැ…මාවත් මහ රෑ ජාමේ ඇහැරවලා ලොකු බේබි ගේට්ටුව අරින්න කිව්වා…මං බැහැම කිව්වට ඇහුවේ නැහැ…කොහේද යන්නේ ඇහුවාට මට කිව්වෙ නැහැ…මං ලොකු බේබී ඉක්මනින් එයි කියලා දොරකඩ ඉඳන් මඟ බලන් උන්නේ…”

    මම ඉන්පසු කිසිත් නෑසුවේ ඈ හඬන්නට වූ නිසාය. චන්ද්‍රාම්මා පිටව ගියේ නැන්දා ආ නිසාය.

    “එයා ඇවිත් තියෙන්නේ ඔයාව බලන්න…” නැන්දා කියන විට මම පුදුම වූයෙමි.

    “මාව බලන්න…ඒ ඇයි…?”

    “එයා ඔයා ගැන හිතාගෙන ඉන්නවා වගේ…” ඒ ඇසූ මම තිගැස්සී ගියෙමි.

    “හරි හරි…බය වෙන්න එපා…එයා කැමති වුණාට ඔයා කැමති නැහැනේ…මං එයාව පිටත් කරලා යැව්වා…ඔයාට හිසරදේ නිසා නිදි කියලා…”

    මා සිතට සහනයක් එක් කරමින් නැන්දා කීවාය. සැබෑවටම මා හිස දැන් වඩාත් රිදුම් දෙමින් තිබුණේ චන්ද්‍රාම්මා විසින් “අවීශ්” යන නම් සිහි කළ මොහොතේ පටන්මය. ඔහු කවුද කියා මම සිතන්නට වූයෙමි. කිසිවෙකු මීට පෙර ඒ නම සඳහන් කළ බවක්ද මට මතකයේ නැත.

    **** ***** **** **** **** **** **** ***** ******** ***** **** **** **** ******
    ඊළඟ සතියේ මා නැවත වරක් වෛද්‍යවරයා වෙත කැඳවා ගෙන යන ලදී. සිතූ තරම් ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව තාත්තා සිටියේ නොසතුටෙනි.

    “අපිට ඕන වෙලාවට හැමදේම සිද්ධ වෙන්නෙ නැහැනේ අයියේ…”

    නැන්දා කීවේ තාත්තා අස්වසන්නට විය හැකිය.

    “මගේ හිතේ වේදනාව දන්නේ මං විතරයි…”

    තාත්තාගේ හඬේ වූයේ බොහෝ හැඟීම්බර බවකි.

    “අපිට නොතේරෙනවා නෙවේ අයියේ…”

    “එදා ඒ ආරංචිය ඇහෙද්දී මට මොනවද වුණේ කියලා දන්නවද…? අනූ නැති වුණා වගේ මට මගේ දරුවත් නැති වෙයි කියලා මං බය වුණා…”

    තාත්තා හඬනවා ඇතැයි කියා මට සිතිණි. මෙතෙක් දිනක් මට ඔහුව දැනුණේ ආගන්තුකයෙකු මිස මගේ තාත්තා යන හැඟීම නොවේ. නමුත් මේ මොහොතේ නම් ඔහු පිළිබඳව යම් කිසි අනුකම්පා මුසු වූ හැඟීමක් මා සිතේ ඇති විය. ඔහු මට කෙතරම් ආදරයක් දක්වනවා ඇත්ද කියා මට සිතුණේ මේ මොහොතේදීය.

    “එයා අඬනවද…?” මම නැන්දාගෙන් ඇසුවෙ රහසිනි.

    “හ්ම්ම්…”

    මා සිතට දුකක් දැනිණි. කුමක් කිවයුතුදැයි නොදැන මම නිහඬව සිටියෙමි. අප නිවසට පැමිණෙන විට නදීරා සහ තෙෂාරා පැමිණ ඇති බව නැන්දා කීවාය. මට රථයෙන් බැසීමට උදව් වූයේ ඔවුන්ය. අපි මිදුලේ බංකුව මත හිඳ ගෙන කතා බස් කළෙමු.

    “මට පහුගිය ටිකේ එන්න බැරි වුණා ආරණ්‍යා…අම්මාට අසනීප වෙලා හිටියා…” එසේ කීවේ තෙෂාරාය.

    “අනේ…ඒකට කමක් නැහැ…ඔයාලා ආව එක මොන තරම් දෙයක්ද…”

    මම කීවෙමි. කිසිවෙකු මගේ හිස පිරිමදිනු මට දැනිණි.

    “දැන් කොණ්ඩේ වැවිලා…” ඒ නදීරා බව මම දැන ගතිමි.

    “ඔව්…”

    මම කෙටියෙන් කීවෙමි. නදීරා හෝ තෙෂාරා හෙළූ සුසුමක බර හඬ මා සවන් වැකිණි.

    “ඔයාට පාළුයි නේද…?” ඒ ඇසුවේ නදීරාය.

    “ඔව්…පාළුයි නම් තමා…ඒත් ඊටත් වඩා මට බයක් දැනෙනවා…”

    “බයක්…?” ඒ දෙදෙනම ඇසුවේ එක්විටමය.

    “ඔව්…”

    “ඒ ඇයි…?”

    “මට බය හිතෙන හීන පේනව…සමහරවිට එකම හීනේ…මහා කළු පාට වතුර වළක් වගේ…තැනක කවුද වැටිලා ඉන්නවා…ඒත් ඒ කවුද කියලා පේන්නෙ නැහැ…මං මොනවද කියන්න හදනවා…ඒත් මට කතා කරගන්න බැහැ…ඒ වෙලාවටම මට ඇහැරෙනවා…මං ඇක්සිඩන්ට් වුණ වෙලේ තව කවුරු හරි මා ළඟ හිටියාද…එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි…?”

    යළි නිහඬ බවක්. මා නොසන්සුන් කරන්නේ මේ නිහඬ බවය.

    “අපි දන්නේත් නැහැ වුණේ මොකක්ද කියලා ආරණ්‍යා…අපිට ආරංචි වුණේ පහුවදා උදේ…එතකොටත් ඔයා හිටියේ අයි. සී. යූ එකේ…පස්සේ තමා අංකල් ඔයාව බලෙන්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකක ඇඩ්මිට් කෙරෙව්වේ…ඒ වෙද්දිත් ඔයාට සිහිය එනවා..යනවා…”

    සුසුමක් හෙළමින් නදීරා කියන විට මා ගත හී ගඬු නැංවිණි.

    “ඉතින් මං විතරද ඉඳලා තියෙන්නේ…? ඒත් ඒක වෙන්න බැහැ…මට කාවද අර හීනෙන් පේන්නේ…?”

    මම එයට විරුද්ධ වෙමින් කීවෙමි.

    “අනේ මන්දා ආරණ්‍යා…අපිත් විස්තර දන්නේ පස්සෙනේ…පත්තරේ නම් ෆොටෝ දාලා තිබුණා…සෝෂල් මීඩියා වලත් ඒ දවස් වල ඒ ගැන ගොඩාක් පෝස්ට් එහෙම ෂෙයාර් වුණා…ඒකෙන් තමා අපිත් ඒ ගැන හරියටම දන්නේ…වාහන දෙක නම් ගන්න දෙයක් නැහැ…”

    නදීරා නිහඬ වූ අතර මා සිතේ සැකය තවම සන්සිඳුණේ නැත.

    “ඔයාලාත් මගෙන් මොනවා හරි හංගනවා වගේ…”

    කළකිරීම් මුසු හඬකින් මම කීවෙමි.

    “අපි ඔයාගේ යාළුවෝ ආරාණ්‍යා…අපි මොකටද ඔයාගෙන් මොකුත් හංගන්නෙ…?”

    තෙෂාරා මගේ අත තදින් අල්ලා ගනිමින් කීවාය.

    “අපිටත් ඕන මේකේ සුළ මුළ හොයා ගන්න තමා…ඒකට උත්තරේ දන්නේ ඔයා…ඉක්මනට සනීප වෙන්න බලන්නකෝ…ඔයා පිටින් ආරාණ්‍යා වුණාට ඇතුළාන්තයෙන් ඉන්නේ ඔයා නෙවේ වගේ…අපි ගැනත් සැකෙන් ඉන්නවා වගේ කියලා හිතෙනවා…”

    නදීරා කීවේ ශෝකී හඬකිනි.

    “ඔයාලට විතරක් නෙවේ….මටත් මං ගැන දැනෙන්නේ මහා අමුතු විදියට…”

    සුසුමක් හෙළමින් මම කීවෙමි. අපි අතර සුළු මොහොතකට නිහැඬියාවක් පැතිර ගියේය.

    “ඒක නෙවේ…කවුද අවීශ් කියන්නේ…?”

    හදිසියේ මට සිහි වූ නිසා මම ඇසීමි. පිළිතුරක් ලැබෙන්නට ගත වූයේ තත්පර කීපයක් වුවද මට එය බොහෝ කාලයක් ගත වූවාක් මෙන් දැනිණි.

    “එයා අපේ යාළුවෙක්…” ඒ හඬ නදීරාගේය.

    “අපේ කිව්වේ…?” මම පෙරළා ඇසීමි.

    “අපේ කිව්වේ…අපේ…ඔයාගේ මගේ අපි හැමෝගෙම…”

    නදීරා ගේ හඬ වෙනස් වී ඇති බව මට වහා වැටහිණි. ඈ එසේ වෙනස් වූයේ මන්ද…? චන්ද්‍රම්මා පවසා තිබුණේ බොරුවක්ද….? නමුත් ඈ එසේ කීවේ ඇයි…?

    “එයා මගෙත් යාළුවෙක් නම් ඇයි එයා මාව බලන්න ආවේ නැත්තේ…?”

    “ආහ්…ඒකද…? එයා මේ දවස් වල ලංකාවේ නැහැ…ඕස්ට්‍රේලියා ඉන්නේ…එයා හිටියානම් නෑවිත් ඉන්නේ නැහැ…ඇයි ටිරෝන්…එයා ආවේත් නැහැනේ…එයත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ…”

    “ආහ්…එහෙමද…?”

    මා සිතට සහනයක් දැනුණේ මන්ද කියා මම නොදනිමි.

    “මේ…ඒක නෙවේ…ඔයාට කොහොමද අවීශ්ගේ නම විතරක් මතක තිබුණේ…? අපිවත් මතක තියෙන්න එපැයි…”

    එවර නදීරාගේ හඬට නෝක්කාඩුවක් එක්ව තිබිණි.

    “ඒකනේ අනේ…” තෙෂාරාද එයටම එකතු කළාය.

    “මට මතක තිබුණ එකක් නැහැ…චන්ද්‍රම්මා ඔය නම කිව්ව නිසා මං ඇහුවේ…හැබැයි චන්ද්‍රම්මා කිව්වෙ බොරු…එයා අපේ නැන්දගේ යාළුවෙක් කිව්වා…”

    නොමනාපයෙන් මම කීවෙමි.

    “ඒක බොරුවක් නෙවේනෙ…ඇත්ත…එයා නැන්දගේත් හොඳ යාළුවෙක් තමා…නැන්දා කිව්වාට..එයා වයස නැහැනේ ඉතින්…”

    නදීරාත් තෙෂාරාත් එක්ව උස් හඬින් සිනහසෙන විට මා මුවටද සිනහාවක් නැඟෙන්නට ඇත. එවිටම පිටත වාහනයක් නවතන හඬත් ගේට්ටුව විවර කරන හඬත් මා සවන් වැකිණි.

    “දෙවියනේ…ඔයා ආවද…?” නදීරාගේ පුදුමය රැඳි හඬ මා සවන් වැකිණි.

    “කවුද නදීරා…?” කුහුළින් මම ඇසීමි.

    “ආරණ්‍යා…”

    ගැඹුරු හඬින් කිසිවෙකු මා අමතනු ඇසෙන විට මම තිගැස්මෙන් හුන් තැනින් නැඟී සිටියෙමි.

    -26 වෙනි සඳුදා නැවත මුණ ගැසෙමු-

    Latest news

    Government policy statement වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකය අපිට දීලා නෑ

    Government policy statement -10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (නොවැ: 21) ආරම්භ වූ අතර අනතුරුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

    Defeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

    Defeated ministers - පසුගියදා (නොවැම්බර් 16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා...

    Supreme Court order ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    Supreme Court order - 5 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා මේ වනවිට දෙමසක් ඉක්ම ගොස් තිබුණද, මේ වනතෙක් එම විභාගයේ...

    Public Transportation අද සහ හෙට විශේෂ දුම්රිය සේවාවක්

    Public Transportation - මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්තය අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක්...
    - Advertisement -spot_img

    SL vs NZ 2nd ODI 2024 කුසල්ගේ කුසලතාවය සහ එක්දින තරගාවලියේ ජය

    SL vs NZ 2nd ODI 2024 - ඊයේ (නොවැ: 17 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව සහ...

    SL vs NZ 2nd ODI 2024 ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි එක්දින තරගය

    SL vs NZ 2nd ODI 2024 - සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page