More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 24

    Hima Mal Renu හිම මල් රේණු – 24

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    අපි යළිත් කොළඹ පැමිණෙන විට අවීශ් පොරොන්දු වූ සේම සිඟිතිද කැඳවා ගෙන පැමිණියාය. ඔවුන් දින කීපයක් අප සමඟ නැවතී සිටියෝය. පුංචි අම්මා අපට මුහුණ දී කතා නොකළ අතර මම එය තැකීමක් හෝ නොකළෙමි. අවීශ් අපව බොහෝ තැන්වල කැඳවා ගෙන ගියේය. සිඟිති නම් සැබෑවටම සිටියේ සතුටිනි. නැන්දා සහ ආච්චි අම්මා නොවන්නට අපට අවීශ් සමඟ තනිව යෑමට අවස්ථාවක් උදා නොවන්නට ඉඩ තිබිණ. තාත්තා ප්‍රශ්න නොකළේ ඔවුන් නිසාය.

    “නංගී ආවොත් ඉවරයි…”

    නදීරා පළමු දිනම අනතුරු අඟවමින් කීවද, නංගී අප සමඟ එකතු නොවූවාය. ඇයට ගැළපෙන මිතුරියන් නොවීම වාසනාවකි. කාලය ගෙවී ගියේ පියාපත් ලද සෙයිනි.ඔවුන් නිවසින් ගිය පසු නිවස යළි සුපුරුදු නිහැඩියාවෙන් පිරී තිබිණ.

    “හරි පාළුයි ආරණ්‍යා…කට්ටිය එක්ක ඉඳලා ඉඳලා ඇවිත් ගෙදර ඉන්න පිස්සු වගේ…”

    නදීරා ඇමතුමක් දෙමින් කීවාය.මටද එය එසේමය.

    “මටත් ඒ වගේ අනේ…දවසක් දෙකක් යද්දී හරි යයි…”

    මගේ සිත සනසා ගන්නට මෙන් මම කීවෙමි.

    “අනේ මංදා…හිතට හරි පාළුයි වගේ අනේ…”

    ඇගේ හඬේ පවා ශෝකයක් විණැයි කියා මට සිතිණි.

    “භාෂිතට කෝල් එකක් දෙන්න…හරි යයි…”

    සිනහසෙමින් මම කීවේ නදීරාගේ මුව රතු වන සැටි සිතින් මවා ගනිමිනි.

    “අනේ…යනවා මෝඩී.යන්න…ඒක නෙවේ…හෙට ක්ලාස් එනවද…?”

    “නැතුව…ඇයි…කට් කරන්නද හදන්නේ…?”

    “පිස්සුද අනේ…ගෙදර ඉන්නෙත් අමාරුවෙන් …මං එනවා….” මම හූ මිටි තැබුවේ අලස ලෙසිනි.

    පසු දින අමතර පන්තියට සියළු දෙනම පැමිණ සිටියද තෙෂාරා පැමිණ නොසිටියාය. ඇයට තවමත් පෙර සිදුවීම අමතක කරන්නට නොහැකි නිසා නොපැමිණියාද කියා මම සිතුවෙමි. ඇගේ මිතුරිය දෙදෙන පැමිණ සිටිනු මම දුටිමි. ඔවුන් පෙර මෙන් නොව දැන් අප දකින විට මුහුණු බිමට නැඹුරු කොට ගෙන යන්නේ ලැජ්ජාව නිසාය.

    “එළ ට්‍රිප් එක…ආයේ යමු හොඳේ…”

    ටිරෝන් එකම දේ නැවත නැවත කියන විට අපට එය කන්දොස්කිරියාවක් විය.

    “අනේ මන්දා බං…මුගේ අඳෝනාව අහලා එපා වෙලා…මූව එහේ දාලා එන්න තිබුණේ…”

    තේෂාන් දෝතින් හිස බදාගෙන කෑ ගැසුවේය.

    “ඉතින්…දාලා එන්නනේ තිබුණේ…මං ඉන්නවානේ එහෙට වෙලා…”

    “ඉතින් යමංකෝ බං අපට වද නොදී…”

    “මෙයා මේ එච්චර යන්න දඟලන්නේ හිත එහෙ තියලා ආවද දන්නැහැ…නේ ආරාණ්‍යා…?”

    තේෂාන් කියූ දෙයට නදීරා ටිරෝන්ට ඇනුම්පද එල්ල කළාය. අවීශ් සිටියේ සුපුරුදු නිහඬ බවිනි.

    “හරි…හරි…කාර්ඩ් නොගහ ඉඳින්…ඕකනේ බැරි…” ටිරෝන්ගේ කට වැසුණේ ඉන්පසුවය.

    “දැන් ඒ කියන්නේ උඹ ශ්‍රීමාට ලව්ද…?”

    තේෂාන් අසන විට අවීශ් වහා හිස හරවා ටිරෝන් දෙස බැලුවේය. ඔහු හිස කසන්නට වූයේ ලැජ්ජාවෙන් මෙනි.

    “අඩේ ඉතින්…ඔව්…”

    ටිරෝන් පිළිතුරු දුන්නේ අපහාසුවෙන් මෙනි.

    “මචං මේ…දැන්ම උඹට කියන්නේ…එහෙම දෙයක් තියනවා නම්…ආතල් එකට නෙවේ…සිරා වෙන්න ඕන…උඹ දැක්කානේ….ඒ කෙල්ලගේ පවුලේ තත්වේ…”

    අවීශ් එසේ පැවසීම ගැන මම සතුටු විමි. ඔහු මා දෙස බැලුවේ මා කුමක් කියාවිදැයි දැන ගන්නට මෙනි.

    “ශ්‍රීමාට පාඩුවේ එක්සෑම් කරගන්න දෙන්න ටිරෝන්…ඊට පස්සේ ඕන දෙයක්…” මමද අවවාදයක් ලෙස කීවෙමි.

    “එතකොට පමා වැඩි වෙයිද…”

    ඔහු ඇසුවේ ඇයව අහිමි වේයැයි යන බියකින් මෙනි.

    “එහෙම වෙන්නේ.නැහැ…අනික ආච්චි අම්මා දැන්ම එයාට එහෙම දේකට ඉඩ දෙන එකක් නැහැ…”

    “අඩුම තරමේ ඉඟියක් වත්…?”

    “ඇයි දාපු ඉඟි මදිද…අපි දැක්කානේ…නේ… ආරණ්‍යා…?” නදීරා විමසන විට මමද හිස සැළීමි.

    “වෙලාව එනකල් ඉඳින්…” අවීශ් කියන විට ටිරෝන් නිහඬ විය.

    ******** ******* ******* ******* ****** ************** ******* *******
    පාසල ඇරුඹුණ දිනද තෙෂාරා පාසැල් නොආවාය. ඈ යළිත් පාසැල් නොඑනු ඇතැයි කියා බියක් මා සිතේ විය.

    “තෙෂාරා අදත් නැහැ…එයා ආයේ ස්කූල් එන්නේ නැති වෙයිද…?” මම නදීරාගෙන් ඇසීමි.

    “එයි නේද…එයා එහෙම පරාජය භාර ගන්න කෙනෙක් නෙවේනේ…”

    නදීරා කියන විට මමද එය අනුමත කළෙමි. අවීශ් සුපුරුදු ලෙසම හැසිරුණේ මා නාඳුනන ලෙසකිනි. මම ඒ පිළිබඳව තැකිමක් නොකළෙමි. ඔහු කුමන දෙයක් පැවසුවද ඒ නදීරා හෝ තේෂාන් හරහාය.

    “අම්මා සනීපෙන් ඉන්නවාලුද නදීරා…?”

    අවීශ් සිය අසුනේ හිඳගෙන කුමක් හෝ කුරුටු ගාමින් සිටිනු දැක මම නදීරා විමසුවේ ඔහුට ඇසෙන්නටය. ඒ මොහොතේ පන්ති කාමරයේ සිටියේ අපි තිදෙන පමණි.

    “ඔන්න ආයේ පටන් ගත්තා…අනේ මන්දා උඹලා දෙන්නා…” නදීරා මැසිවිළි නැගුවාය.

    “සනීපෙන් ඉන්නවා නදිරා…”

    “අපි යමුද දවසක බලන්න නදීරා…?”

    ඔහු කෙරෙන් දෑස් ඉවතට නොගෙනම මම කීවෙමි.

    “යමු …යමු…අවසර ගන්නකෝ…”

    “අවසර ගන්න දෙයක් නැහැ…ඕන වෙලාවක එන්න පුළුවන්…”

    එවර ඔහු කුරුටු ගෑම නවතා අප වෙත සෘජු බැල්මක් හෙළමින් කීවේය.

    “එහෙනම් නදීරා මේ සතියේ යමු…” මම නදීරා වෙත හැරී කීවෙමි.

    “ආවට කමක් නැහැ නදීරා…පත්තරේ ළිපට දැම්මා වගේ දුවන්න බැහැ…හරිද…?”

    ඔහු කීවේ මදෙසම දල්වා ගත් දෑසිනි. දෙතොල් පට තද කරගත් මම බිමට හිස නැඹුරු කොට ගත්තේ සිනහව සඟවාගෙනය. එය මා ඔහුට පෙර දවසක කී කතාවමය. ඔහු යළිත් එයින් මටම දමා ගැසීය.

    “උදේටත් කාලා…දවල්ටත් කාලා…හවස තේත් බීලා එන්න බලන් යමු…” මම ඇනුම්පදයක් ලෙස කීවෙමි.

    “ඒකට කමක් නැහැ නදීරා…”

    “නරකද බත් ටිකක් උයන්ම ගියොත්…”

    නදීරාද කල් යල් බලා ඇනුම්පදයක් එල්ල කරන විට මම කිසිත් නොකියා නිහඬ වූයෙමි.

    “ඒකත් නරක නැහැ නදීරා…ආච්චි අම්මාගේ කෑම මතක් වෙනවා…”

    ඔහු කියන විට මා සිතේ ඉහිරී ගියේ ශෝකී හැඟීමකි.

    ****** ****** ******* ****** ******** ************* ****** ******* ******
    නිවසේ අත් උදව්වට කියා මෙහෙකාරියක් සොයා දී තිබුණේ තාත්තාගේ මිතුරෙකුගේ මාර්ගයෙනි. මම ඒ ගැන සතුටු වූයේ නැන්දාට ඉන් තරමක් දුරට හෝ සහයක් ලැබෙන නිසාත් ඇගේ වැඩ කටයුතු වලින් තරමක් දුරට හෝ ඇයට නිදහසක් ලැබෙන නිසාත්ය. පුංචි අම්මා සිටියාට ඈ නිවසේ වැඩ කටයුතු වලට සහයක් දැක්වූයේ තාත්තා නිවසේ සිටින විට පමණි. චන්ද්‍රලතා වයස අවුරුදු හතළිස් පහක පමණ මැදිවියේ අයෙකි. ඇගේ සැමියා මියගොස් සිටි අතර ඈ එක් දරු මවකි. ඇගේ පුතු පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරන බව මා ඈ සමඟ කළ කතා බහෙන් මට දැන ගන්නය ලැබිණ.

    “ස(ර්)වන්ට්ව ස(ර්)වන්ට් විදියට තියා ගන්න ළමයෝ…ඕනවට වඩා කරට ගන්න හදන්න එපා…එහෙම වුණාම තමා ඔළුවට අත හෝදන්න එන්නේ…”

    මා චන්ද්‍රලතාගේ තොරතුරු විමසුවා යැයි කියා පුංචි අම්මා මට දොස් පැවරුවේ නැන්දාත්, තාත්තාත් සිටින තැනමය. කෝපයක් නැතිනම් නොපහන් හැඟීමක් මා සිත පුරා ඔඩු දුවන්නට විය.

    “මං ඒ මනුස්සයා එක්ක කතා කළා විතරනේ…කරට ගත්තේ නැහැනේ…හැබැයි ඔයා කියන කතාවත් ඇත්ත තමා…පේනවානේ දැන් වෙලා තියන දේ… සෙක්‍රට්‍රිව සෙක්‍රට්‍රි විදියට තියාගෙන ඉන්නැතුව කසාඳ බැඳගෙන…දැන් එයා මේ ගෙදර අයිතිකාරි වගේ මට අණ දෙන්න එනවා…ඔළුවට අත හෝදලා නැවතුණා නම් මදෑ…”

    සියල්ල මොහොතක නිහැඬියාවක ගිළී ගිය අතර පුංචි අම්මාගේ මුහුණ කළු වී විරූපී ස්වභාවයක් ගෙන තිබිණි. මම නැඟිට පිටතට පැමිණියේ මුළු සිරුරම කෝප ගින්නෙන් දැවෙන විටය. සිසිල් සුළඟක් මා ගත සිප හමා ගියේය. මම බංකුව මතට විත් හිඳ ගත්තේ දිගු හුස්මක් ඇද සිත සනසා ගන්නට අසීරු උත්සාහයක යෙදෙමිනි. නංගී මා අසළට පැමිණියේ මම යාන්තම් දුරට සන්සුන් වී සිටි මොහොතේය.

    “තාමත් තරහින්ද ඉන්නේ ලොකූ…?”

    ඈ මා ළඟින් හිඳ ගන්නා විට මම ඉවත බලා ගත් නිසාදෝ ඈ විමසුවේ සැකමුසු හඬකිනි. මට ඇයට පිළිතුරක් දීමට වුවමනා නොවිණ.

    “අම්මා එක්ක ඇයි අනේ හැම වෙලේම රණ්ඩු වෙන්නේ…?”

    යාන්තමට සන්සුන් වීගෙන ආ මසිත යළිත් වරක් නොසන්සුන් කරමින් නංගී අසන විට මම ඈ දෙස බැලුවේ නොපහන් දෑසිනි.

    “රණ්ඩු වෙන්නේ මමද…?”

    “පව්…අනේ…එයා මොනවා වුණත් අම්මනේ…”

    “පව්…? පව් එයා විතරද…මං පව් නැද්ද…අනික මතක තියාගන්න…ඒ ඔයාගේ අම්මා වුණාට මගේ අම්මා නෙවේ…මගේ අම්මා හිටියනම් එයා අද මෙතන නැහැ… තේරුණාද…?”

    “අනේ…ලොකූ…” ඈ මගේ අත තරයේ මිරිකමින් කීවාය.

    “වෙලාවකට මටත් එයාව වදයක් නම් තමා…”

    සුසුමක් හෙළමින් කී ඈ නිහඬ වූවාය. පරිසරයේද වුයේ යම් තරමක නිහැඬියාවකි. නංගීගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන හඬින් ඇගේ අවධානය වහා එයට යොමු විය. මට බැලුණේ ඇගේ මුහුණ දෙසය. එහි ඉහිරී ගිය අමුතු සිනහව මා සිත් නොගත්තද ඔප වැටුණු මුහුණින් බංකුව මතින් නැඟී සිටි ඈ නැඟිට ගෙතුළට දිව ගියාය. ඈ ප්‍රේම සබඳකමක් වත් ඇති කරගෙනදැයි සැකයක් මා සිතේ ඇති වුවද, මට ඒ ඔස්සේ වැඩිදුර සිතීමට වුවමනා නොවිණි. මා එලෙසම හිඳ සිටියේ අලුතින් ඇති වූ නොසන්සුන් හැඟීමෙනි.

    ****** ****** ******* ****** ******* *************** ****** ******* ******
    රාත්‍රී සඳ එළිය ජනේල් වීදුරු අතරින් යාන්තමට කාමරයට ගළා ආවේය. හැර දමා තිබූ දොරින් හැමුවේ සිසිල් සුළඟකි. තාත්තා මා අමතමින් කාමරයට එන විට මම පුදුම වූයේ නිතර එසේ කරන පුරුද්දක් ඔහුට නොවූ නිසාය. ඔහු පැමිණ තිබුණේ පුංචි අම්මා සමඟ ආරවුල් ඇති කර නොගන්නා ලෙස මට අවවාද දීමටය.
    සියල්ලන්ටම වුවමනා වී ඇත්තේ මගේ කට වසන්නටය. හරි වැරැද්ද තෝරා බේරා ගන්නට බැරි තරමට තාත්තා අත දරුවෙක්දැයි කියා මා සිතේ ඇති වූයේ නොමනාපයකි. ඔහුට පුංචි අම්මාට අවවාද කරන්නට නොහැකි මන්ද?

    “තාත්තත් එන්නේ මටම අවවාද දෙන්නනේ…ඇයි ඔය ටික අරයට කියන්න බැරි…? මං එයා එක්ක කතාවට යන්නේ නැහැ කියලා තාත්තා දන්නවානේ… ආරවුල් ඇති කරන්නේ එයා තමා…ඔය අවවාද ගිහින් එයාට දෙන්න…”

    නොමනාපය මුසුව මම කියන විට තාත්තා බලා සිටියේ බිත්තිය මත එල්ලා තිබූ අවීශ් ඇඳි සිතුවම දෙසය. ඔහු අවීශ්ගේ නම දුටුවාදැයි සැකයක් මා සිතේ ඇති වුවද, මවෙත හැරුණු තාත්තා කාමරයෙන් පිටව ගියේ සුසුමක් මුදා හැර මගේ හිසත් මෘදු ලෙස පිරිමදිමිනි. මා සිතේ සියුම් අනුකම්පාවක් ඇති වූයේ එවිටය. දියණියත් දෙවෙනි බිරිඳත් ඉදිරියේ ඔහු අසරණව ඇති සෙයකි. එසේ මුත් ඔහු ඇයත් සමඟ අම්මා ජීවතුන් අතර සිටියදීම සබඳකමක් ඇති කරගෙන තිබූ බව නම් මට අමතක කරන්නට නොහැකිය. අම්මාගේ මරණය සැබෑවටම රිය අනතුරක්ද..? නැතිනම් එය සැළසුම් සහගතව කළ ක්‍රියාවක්ද..? මම යළි යළිත් සිතුවෙමි.

    ******** ****** ****** ******* ****** *************** ****** ****** *******
    ගුණතුංග මාමා ගමේ ගියේ ඔහුගේ අම්මා අසනීප බවට ලැබුණු පණිවිඩයක් නිසාය. ඔහු දින කීපයක්ම නැවතී සිටිවී යැයි තාත්තා කීවේය. මේ දින කීපයේ අපව පාසලට හැරළුවේ තාත්තාය. යළි පැමිණෙන විට අපි පැමිණියේ කුළී රථයකිනි. අවීශ් අපව නිවසට හැරළවීමට සූදානම් වුවද, මම එය ප්‍රතික්ෂේප කළේ නංගීවත් කැඳවාගෙන ඒමට සිදුව තිබූ නිසාවෙනි. තෙෂාරා පාසලට පැමිණ තිබුණේ දින ගණනකට පසුවය. ඒද අප ඇමතුම් කීපයක්ම දී කරන ලද බල කිරීම නිසාය. ඈ ‍රොසෙටා හෝ ශලනි සමඟ අසුන් නොගත් අතර අප පේළියේ මිනුලි සමඟ අසුන මාරු කරගත්තාය. රොසෙටා සහ ශලිනි කළ දේ ගැන මේ වන විටත් මුළු පන්තියම දැන ගෙන සිටි නිසා කිසිවෙකු ඔවුන් සමඟ කතා බහ නොකළෝය. තෙෂාරාට අකමැත්තෙන් සිටි අය පවා මේ වන විටත් ඇයට අනුකම්පා කරන්නට පටන් ගෙන තිබිණ.

    “එයත් පාඩමක් ඉගෙන ගත්ත එක ලොකු දෙයක්…” ටිරෝන් මා සමඟ කීවේය.

    “අන්තිමේදි ඔයාවම ඕන වුණා…”

    තේෂාන් එසේ කියන විට මම එය සිනහවකින් මඟ හැරියෙමි.

    එදින තාත්තා මා කැඳවාගෙන යෑමට පැමිණෙන බව කීවේ නදීරාත් අසනීපයෙන් පාසල් නොපැමිණි නිසාත්, නංගීටත් සවස අමතර පන්තියක් තිබූ දිනයක් නිසාත් ය. නදීරා බැලීමට යෑමට මට වුවමනා වුවද, මම ඒ අදහස පසුවට කල් දැම්මේ තාත්තා සමඟ එහි ගියා නම් ඉක්මනින් ආපසු ඒමට සිදුවන බව සිහි වීමෙනි.

    “තාත්තේ…අපි මොනවා හරි බීලා යමුද…?”

    මඳ දුරක් පැමිණි පසු මම ඇසුවේ පිපාසය නිසාම නොව තාත්තා හා මඳකට නිදහසේ කතා බහ කිරීමේ වුවමනාව නිසාය. නිවසේදී වුවද මට ඔහු හා කතා බහ කිරීමට ලැබෙන ඉඩ කඩ ඉතා සීමිතය. පුංචි අම්මා හෝ නංගී සැමවිටම අපගේ කතා බහට බාධා කරන්නට බලා සිටියාය. මෙය වරෙක මට මහත් හිසරදයක් විය.

    “තිබහද…” රිය පදවමින්ම තාත්තා මවෙත හැරී විමසුවේය.

    “තිබහමත් නෙවේ…ගොඩ කාලෙකින් අපි එළියට ගියෙත් නැහැනේ…අනික ගෙදර ඉද්දී මට තාත්තා එක්ක නිදහසේ කතා කරන්නත් නැහැනෙ…”

    නොමනාපයත් නොසතුටත් මුසුව මම කීවේද ඇනුම්පදයක් ලෙසිනි. තාත්තා නිහඬවම රිය අතුරු පාරකට හරවා බීම හලක් ඉදිරියේ නවතන විට මා සිතට දැනුණේ සියුම් සතුටකි. දහවල කෑම පැයත් අවසන් වූ බැවින්දෝ, එහි එතරම් සෙනඟක් නොසිටියේය. ඇතුළට පිවිසි අපි එහි කෙළවර මේසයක හිඳ ගත් පසු තාත්තා දෙහි යුෂ බීම ඇනවුම් කළේ මගේ කැමැත්ත නිසාය. අපි එය රැගෙන එන තුරු මඳක් කතා බහ කළෙමු. නිවසට යෑමට තරම් හදිසියක් අපට නොතිබිණි.

    “මං තාත්තාගෙන් දෙයක් අහන්න හිටියේ…”

    ඔහු එවිට මදෙස බැලුවේ කුතුහළාත්මක දෑසිනි. වේටර්වරයා බීම රැගෙන ආ නිසා මම නිහඬ වූයෙමි.

    “මොකක්ද ලොකු දුව…? තාත්තා යළිත් මා විමසුවේ බීම උගුරක රස බලමිනි.

    “අම්මා ඇක්සිඩන්ට් වුණේ කොහොමද තාත්තේ…?”

    තාත්තා එවන් පැනයක් බලාපොරොත්තුව නොසොටි නිසාදෝ පළමුව තිගැස්මෙන් මදෙස බලා සිටි අතර පසුව සුසුමක් මුදා හැරියේ අඳුරුව ගිය මුහුණින් යුතුවය.

    “ඔයා එකපාරටම මෙහෙම දේවල් මගෙන් අහන්නේ ඇයි…?” සුළු නිහැඬියාවකට පසු ඔහු ඇසීය.

    “එක පාර නෙවේනේ තාත්තේ…මට ඒක කොහොමත් දැන ගන්න වුවමනාව තිබුණා…මං ඒ ගැන අහපු එක වැරදිද…?”

    “නැහැ…කොහෙත්ම වැරදි නැහැ…ඔයා මේවා දැන ගන්න එපැයි…ඒක ඇත්තටම ඇක්සිඩන්ට් එකක්…එයා ෆාස්ට් ඩ්‍රයිව් කරලා ඒක වුණේ…එච්චරයි…”

    දුක්බර මඳහසකින්ද යුතුව තාත්තා එසේ කීවේ “මේ කතාව දැන් ඇති” යි කියන්නාක් මෙන් වුවද ඒ පිළිතුරෙන් මට සෑහීමකට පත්විය නොහැකිය.

    “මං ඒ ගැන මතක් කරලා තාත්තගේ හිත රිද්දුවා නම් අයෑම් සොරි තාත්තා…” පසුතැවිළි හඬකින් මම කීවෙමි.

    “අමුතුවෙන් ඒ දේවල් මතක් කරන්න දෙයක් නැහැ දුව…මට අම්මාව නිතරම මතක් වෙනවා…අනූ නැති අඩුව මකන්න මට බැහැ තමා…ඒත්…මං හදන්නේ ඔයාට පුළුවන් තරම් හොඳ තාත්තා කෙනෙක් වෙන්න…”

    දෑත් නිකට මතට බර කරගෙන තාත්තා කීවේ දිගු හුස්මක් ඇද දෑස් පියාගනිමිනි. ඔහු මේ මොහොතේ අම්මාගේ රුව සිතේ ඇඳගන්නට උත්සාහ කළා වන්නට ඇත. මා මුවින්ද සිහින් සුසුමක් පිට විය. හදිසියේ මා නෙතු රැඳුණේ පිවිසුම් දොරටුවෙන් ඇතුළට ආ රුව වෙතය. දෙවියනේ…!

    -හෙටත් හමුවෙමු-

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page