Hima Mal Renu හිම මල් රේණු
මිතුරන් දියේ බැස ගෙන විනෝද වන සැටි ගල් තළාව මත හිඳගෙන මාත් නදීරාත් ශ්‍රීමා සහ තිසාරා සමඟ සිඟිතිද බලා සිටියේ සතුටිනි. අවීශ්ලා භාෂිතලා සමඟ ඉතා ඉක්මනින් මිතුරු වී සිටියෝය.
“අනේ…අපිත් කොල්ලෝ වුණා නම්…හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට…”
නදීරා කීවේ ශෝකී හඬකිනි. ඔවුන් සමඟ දියේ බැසගෙන විනෝද වන්නට නොහැකි වීම ගැන ඈ සිටියේ ශෝකයෙන් මෙනි.
“ඕකට කොල්ලෙක් වෙන්න ඕනද…අනේ…? එන්න යන්න…අපිත් බහිමු වතුරට…”
ශ්‍රීමා නදීරාත් කැඳවාගෙන දියට බසින විට සිතාරාද ඔවුන් හා එකතු වූවාය. මාත් සිඟිත් එහි හිඳ බලා සිටියෙමු. ඔවුන් බොහෝ වේලාවක් දියේ සෙල්ලම් කරමින් සිටි අතර පසුව නදීරා ගොඩට පැමිණියේ සීතල යැයි පවසමිනි. මිතුරන්ගෙන් වෙන් වූ ප්‍රසාද් අප අතරට පැමිණියේ සීතලයෙන් වෙවුලමිනි.
“අනේ….ඔයාව වෙවුලනවනේ ප්‍රසාද් අයියා…” මම කෑ ගැසීමි.
“ගොඩාක් වෙලා…වතුරේ…හිටියනේ….මිස්..”
“අනේ…ඉක්මනට ඔළුව පිහිද ගන්න ප්‍රසාද් අයියා…අරගොල්ලන්ටත් දැන් කතා කරන්න…අන්තිමට ලෙඩ වුණොත්…”
කළබලයෙන් මම කීවෙමි.
“අපේ අයට නම් පුරුදුයි නේ…අවීශ්ලා තමා…” සිතාරා කීවාය.
“ඒකනේ ඉතින් මේ බය වෙලා ඉන්නේ…”
නදීරා විහිළු කරන විට මම ඇයට රවමින් නිහඬ වූයෙමි.
ප්‍රසාද් ඔවුනට අඬ ගැසුවේ සැඳෑ වන බව පවසමිනි. අහසද අඳුරු ස්වභාවයක් ගත්තේ පෙර දින මෙන්ම වැස්සක පෙර නිමිති කියා පාමිනි. අවීශ් පළමුව ගොඩට එන විට අනෙක් අයද ඔහු අනුගමනය කරමින් දියෙන් ගොඩට පැමිණියෝය. ඇඳුම් මාරු කරගත් අවීශ් වෙවුලමින් අප වෙත එන විට ඔහුගේ දෑස් රතු වී ඇති සැටි මම දුටිමි.
“පුළුවන් දෙයක් එපැයි කරන්න… එක්කෙනෙක් බය වෙලා හොඳටම…මෙයා ලෙඩ වෙයි කියලා…”
නදීරා අවීශ්ට නෝක්කාඩු කීවේ මට ඇනුම්පද එල්ල කරමිනි.
“වැඩේමයි…”
ඔහු මදෙස බලන විට මම කීවේ ඉවත බලා ගනිමිනි. සිඟිතිට මගේ උකුළ මතම නින්ද ගොස් තිබිණ.
“පව්…කෙල්ලට නින්ද ගිහින්…”
අනුකම්පා මුසුව මෙන් අවීශ් පැවසුවේය. මම ඇගේ හිස මෘදුව පිරිමැදීමි. සෙස්සෝ පිටව යාමට සූදානමින් අප වෙත පැමිණෙන විට මම සිඟිති ඔසවා ගැනීමට සූදානම් වූයෙමි. අවීශ් වහා මවෙත නැඹුරුව ඇයව ඔසවා ගැනීමට සූදානම් වන මොහොතේ ඔහුගේ සීතල කම්මුලක් මගේ මුහුණේ ස්පර්ශ වන විට මම හිරි වැටී ගියේ හුදෙක් ඒ ඔහු දිය නා සීතලයෙන් සිටි නිසා නම් නොවේ. කිසිවෙකු එය නොදැකීම වාසනාවකි.
“අනේ…එයාව ඇහැරවන්න අවීශ්…පයින් එයි…”
ශ්‍රීමා කී කතාව ඔහු ගණනකට හෝ නොගත්තේය. අනෙක් අය අපට පෙරමුණ ගන්නා විට මමත් අවීශුත් එක්ව පා තැබීමු.
“ෂා…! හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ…”
ආපසු හැරී බැලූ ටිරෝන් කෑ ගසන විට මම වටපිට බැලුවේ කිසිවෙකු අහළ පහළ සිටීදෝ සැකයෙනි.
“නයිස් ෆැමිලි…”
තේෂාන්ද ටිරෝන්ට දෙවෙනි නැත. නදීරා අප දෙදෙනාගේ ජායාරූප ගත් බවක් මම දුටුවේ නැත.
“දුප්…පයින් දෙන්නේ…”
අවීශ් කෑ ගැසීය. ඒ හඬ නිසාදෝ සිඟිති නින්දෙන් අවදිව වටපිට බලමින් තමා සිටින්නේ අවීශ්ගේ දෑතේ බව දැක ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූයේ බිමට බසින්නටය. අවීශ් ඇයව බිම තබන විට මම ඇගේ එක් අතකින් අල්ලා ගතිමි. ඔහු අනෙක් අතින් අල්ලා ගෙන මදෙස බලන විට මමද ඔහු දෙස බැලීමි. අපි දෙදෙන තත්පර කීපයක් එකිනෙකා දෙස බලා හිඳින්නට ඇත. මම සෙමෙන් ඔහු කෙරෙන් දෑස් මුදවා ගන්නා විට නදීරා අපේ ජායාරූප ගොන්නක් හසු කර ගෙන සිටියාය.
“හරිම ලස්සනයි…පුංචි පවුල රත්තරන්ලු… ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..”
“බලන්න ඒ ආදරේ…”
ටිරෝනුත් තේෂානුත් අපට වද කරන්නට වන විට අවීශ් තේෂාන් පසු පස ලුහුබැන්දේ ඔහුට පහර දෙන්නටය. සිඟිති අත් පුඩි ගසමින් අවීශ්ට ජය පතමින් කෑ ගැසුවාය.
“අඩෝ..එපා..අවීශයා…නාලා..ආවේ…ආයි නාන්…න….බැ…”
තේෂාන් දුවමින් කෑ ගසන විට ටිරෝන් දිව ගොස් අවීශ්ගේ බෙල්ලේ එල්ලුණේ ඔහු තේෂාන් අල්ලා ගන්නට ඔන්න මෙන්න තිබියදීය.
“අනේ…භාෂිත…ටිරෝන්ව ඇදලා ගන්න…”
මම කෑ ගැසුවේ අවීශ් ඔහුව බිම පෙරළා දමාවි යැයි බියෙනි. ප්‍රසාදුත්, භාෂිතත් ටිරෝන් ඇද නොගන්නට අවීශ් නිසැකවම ඔහුව බිම දමන්නට ඉඩ තිබිණ.
“බැරි දේවල් නොකර ඉන්න ඕන ටිරෝන්…” නදීරා ඔහුට විහිළු කළාය.
“අම්මෝ…ඔව්..තව පොඩ්ඩෙන් මගේ කොන්ද ලෙෆ්ට්…” ටිරෝන් කීවේ අප සිනහා නංවමිනි.
“අපේ අවීශ් අයියා තමා දිනුම්…!
සිඟිති කෑගැසුවේ අත්පුඩි ගසමිනි. අවීශ් නැවතී ඇයව ඔසවා ගන්නා විට ඈ මෙවර නම් ලැජ්ජා බවක් ඇඟවූයේ නැත.
****** ****** ***** ****** ****** ***** ************ ****** ***** *********
වැස්සක් ඇද වැටේවි යැයි සිතුවද අඳුරු වළා අහස මතින් ඉවතට පාව යමින් තිබිණී. පන්සල් යමු යයි යෝජනා කළේ සිතාරාය. අනෙක් අයද එයට එක පසින්ම එකඟ වන විට මම බැලුවේ අවීශ් දෙසය. ඔහුගේද ඊට අකමැත්තක් පෙනෙන්නට නොවීය. දහම් පාසල් ගෙන යෑමට ගත් මල් වට්ටිය සෝදා ගෙන මම මිදුලට බැස්සේ සේපාලිකා මල් කීපයක් නෙළා ගැනීමටය. කිසිවෙකු මා පසුපස පැමිණෙන බව මට දැනිණි. මම ආපසු හැරී බැලීමි. ඒ අවීශ් බව දැක අලුත් වූ ගැස්මකින් මා හද ගැහිණි. මේ තරම් සිත උමතු මන්ද..? දැන්, දැන් එය උමතුවෙන් මෙන් ගැහෙන්නේය. මෙසේ ගොස් මා සිත නම් ඉක්මනින්ම ලෙඩ වනු ඇතැයි කියා මට සිතිණ.
“මම ආසම මලක්…හරි සුවඳයි නේද…?”
මට නෙළන්නට නොහැකි තරම් උසින් වූ අතු මත පිපුණු මල් නෙළා ඔහු පිළිවෙළකට මල් වට්ටියේ අතුරමින් විමසුවේය.
“මාත් ආසයි…සේපාලිකා මල් සුවඳට…” මමද කීවෙමි.
“සුවඳටද ආස…මලට නෙවේද…?” ඔහු මා විමසුවේ මවිතයෙන් මෙනි.
“සුවඳ එන්නේ මලින්නේ…මලටත් ආසයි..මල් සුවඳටත් ආසයි…සමහර මල් තියනවා සුවඳයි…ලස්සන නැහැ…සමහර මල් ලස්සනයි…සුවඳ නැහැ…තව සමහර මල්…”
“ලස්සනයි වගේම සුවඳයි…” මට බාධා කරමින් ඔහු කීය.
“ඔව්…”
මමද සිනහාසෙමින් එකඟ වූයෙමි. ඔහු මා දෙස බලා සිටියි. මමද දෑස් දල්වා ඒ දෑස් දෙසම බලා සිටියෙමි. සිත පුරා ඉහිරී ගිය අමුතු හැඟුම මට වචන වලට ගළපා ගන්නට නොහැකිය. ඒ දෑස් ළඟ මා දෑස් නවතින බව මට දැනී බොහෝ කලකි. අපි එකිනෙකා ප්‍රිය කරමින් සිටියෙමු. පුංචි එදිරිවාදී කමක්ද අකමැත්තක් සහ අප්‍රසාදයක්ද එකිනෙකා නුරුස්සන මෙන්ම නොමනාපයක්ද අපි දෙදෙනාට දෙදෙනා ගැනම තිබූ බව සහතික මුත්, මම එම හැඟුම් ගොන්නට ප්‍රිය කළෙමි. ඔහුද එසේම වන්නට ඇති බව මට සහතිකය.
“ආහ්..! දෙන්නා මල් කඩනවා වගේ…?”
නදීරාගේ හඬ ඇසී මම තිගැස්සුණෙමි. අවීශ් ඉහළ අත්තක් පාත් කරමින් තවත් මල් කීපයක් නෙළුවේ නදීරා දෙසට බැල්මක් හෙළමිනි.
“මල් කඩනවා නෙවේ…මල් නෙළනවා…”
ඔහු ඇනුම්පදයක් එල්ල කළේය.
“ඔව්…ඔව්…පේනවා…නේ ශ්‍රීමා…?”
නදීරා කියන විට මම ඇයට මුව ඇද කළෙමි.
“මුළු ගහම ඉවර කරන්න ඕන නැහැ…ඔය මැදෑ…”
ශ්‍රීමාද නදීරාට දෙවෙනි නැත. සිඟිති දිව විත් අවීශ්ගේ අතේ එල්ලුණාය.
“හරි වැඩේ දැන්…අවීශ් අයියා ගියාම…” ශ්‍රීමා කීවාය.
“සිඟිති එනවද මා එක්ක යන්න…?”
ඈ එවිට ඉක්මන් බැල්මක් මවෙත හෙළුවාය.
“ආරණ්‍යාක්කාත් ඉන්නේ එහේද…?”
සිඟිති එසේ අසන විට මා සිතේ සියුම් දුකක් ඇති විය.
“අනේ…නැහැ…පැටියෝ…ආරාණ්‍යාක්කා ඉන්නේ වෙන දිහාකනේ…”
මම කීවේ හිස්ව තිබූ අතින් ඇගේ හිස පිරිමදිමිනි.
“ආරණ්‍යාක්කා ඉන්නවා නම් විතරද සිඟිති එන්නේ…?”
අවීශ් අසන විට ඈ හිස සැළුවාය.
“ආරණ්‍යාක්කා ඉන්නවා නම් මං එනවා… නැත්නම් බැහැ…”
“ආරණ්‍යාක්කාව එහේ නවත්තගන්නලු ඉන්නේ…”
නදීරා එසේ කියා උස් හඬින් සිනහසෙන විට මම ඇයට පහරක් ගැසීමි.
“සිඟිති කොළඹ ගිහින් නැහැනේ…මෙදා පාර යමු…”
අවීශ් එසේ යෝජනා කරන විට ඈ දිදුළන දෑසින් මදෙස බැලුවාය.
“ඇත්තටමද ආරාණ්‍යාක්කේ…?”
බලාපොරොත්තු දහසක් ඒ හඬේ විණැයි කියා මට සිතිණ. ඇගේ සිත දැන් පාරනු නොහැකිය.
“ඔව්…ලොකු මැඩම්වත් එක්කන් යමු…අවීශ් අයියා…ගෙනත් ඇරළනවද අහන්න…?”
ඈ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දෙස බැලුවාය.
“ඔව්…මං එක්ක එන්නම්…ඔයාව කොළඹ හැම තැනම එක්ක යනවා…”
“ඇත්තටම…?”.
“ඔව්…ප්‍රොමිස්…”
ඈ සතුටට පත්ව සිටියාය. ශ්‍රීමා ඇයව නිවසට කැඳවා ගෙන ගියේ පන්සල් යැමට සූදානම්ව ඒමටය.
“පොරොන්දු වුණා වගේ නෙවේ…දැන් ඒ ළමයාව ඇත්තටම එක්ක යන්න වෙයි…”
නදීරා අවීශ්ට අවධාරණය කළාය.
“ඉෂ්ඨ කරන්න බැරි පොරොන්දු දීලත් නැහැ..කරන්න බැරි ඒවා කියලාත් පුරුද්දක් මට නැහැ…”
ඒ මොහොතේ අවීශ්ගේ හඬට සුපුරුදු උඩඟු බවත් නොරුස්සුමත් ආරූඪ වී තිබිණ.
“ඉතින් කොහොමද යන්නේ…වාහනේ ඉඩ තියනවද…”
නදීරා හරස් ප්‍රශ්නයක් නැඟුවාය.
“ඊසි…ඔයාලාව බස් එකේ යවලා…අර ගොල්ලෝ වාහනේ එක්ක යනවා…”
අවීශ් සැහැල්ලුවෙන් කීවේ නදීරා අවුස්සන්නටය.
“ආහ්…එහෙමද…? ආස ඇති..බලන් ඉන්නවාකෝ…ඕන නම් දෙන්නා එක්ක බස් එකේ එන එකයි…මං යන්නේ නැහැ බස් වල…”
නදීරා හිස ගස්සමින් ඉවත යන විට අවීශ් උස් හඬින් සිනහාසුණේය.
****** ***** ****** ****** ****** ******* ********** ***** ****** *********
පංසල් යන විටත් ආපසු එන විටත් සිඟිති සිටියේ අවීශ්ගේ දෑතේම එල්ලී ගෙනය. ඈ අවීශ්ට බොහෝ බැඳී ගිය බවක් පෙනිණ.
“හරි වැඩේනේ…මෙච්චර කල් මෙයා භාෂිතලා එක්කවත් මෙච්චර එකතු වෙලා හිටියේ නැහැ…බලන්නකෝ…අවිශ්ගේ අතේම එල්ලිලා යන ලස්සන…”
ශ්‍රීමා පුදුමයෙන් කීවාය.
“ඒකනේ වැඩේ කියන්නේ…”
මාධවද එය අනුමත කරමින් කීවේය. අපි එනතුරු ජයවතී නැන්දා පෙරමඟ බලා සිටියේ මාධව සමඟ නිවසට යෑමටය. නමුත් අවීශ් ගෙන් එයට ඉඩක් නොවීය.
“ගෙදර ඉතින් හැමදාම ඉන්නවානේ…අද මෙහේ අපි එක්ක රෑට ඉමු මාධව…ආච්ච් අම්මා…නැන්දට නිදාගන්න දෙන්න පුළුවන් නේ…භාෂියයි, මාධවටයි අපි එක්ක නිදා ගන්න පුළුවන්…”
අවීශ් ආච්චි අම්මාටද අණ කරන සෙයකි. නදීරා මට වැළමිටෙන් අනින විට මම සිනහාව තද කරන් සිටියෙමි.
“අනේ …පුතේ…ඔය ඕන තරම් මෙහෙ ඉඩ තියෙන්නේ…ඕක මොකද්ද…?”
“එහෙනම් වැඩේ හරිනේ…රෑට සිංදුවක් කියලා ආතල් එකක් ගමු…”
ටිරෝන් කීය. අවීශ් සිඟිතිව ළඟ තබාගෙන ඇයට කෑම කවන විට තේෂාන් ඔහුට විහිළු කළේය.
“දැන් ඉඳන්ම පුරුදු වෙන එක හොඳයි බං…”
“කන එක හොඳට හුරුයි…”
ඔහු කී දේ නොවැටහුණාක් මෙන් අවීශ් කීය.
“කන එක නෙවේ බොල..කවන එක…”
“ඇයි..ඒ මොකද…?”
“බැන්ද දවසට උඹටම උයලා කවන්න වෙයිද දන්නැහැ…”
“උයන එක නම් ගේමක්ම නැහැ…”
“උඹ ඉතින් කුකානේ…”
කතා බහ මෙලෙස ඇදී ගියේ වරෙක අප සියලු දෙනාම සිනහ නංවමිනි. අවීශ් දොඩමළු අයෙකු බව මා දැන සිටියේම නැත.
“මේ ළමයි ගියාම පාළුවට තියෙයි…” ආච්චි අම්මා කීවාය.
“අපි ආයේම එනවානේ…නැද්ද මචං…?” ටිරෝන් වහා කීවේය
රාත්‍රී ආහාරගෙන අවීශ් ගීත ගයන්නට වන විට අපි පුදුමයෙන් රස වින්දෙමු. ඔහුට වූයේ ගැඹුරු හඬකි.
“මාරයිනේ…”
ශ්‍රීමා අගය කරමින් කියන විට එම ආඩම්බර මුසු හැඟීම දැනුණේ මා සිතටය. ප්‍රසාද්ද එවන්ම හැකියාවක් තිබූ ගායකයෙකි. රාත්‍රී නින්දට යැමට පෙර මම ආච්චි අම්මා සොයා ඇගේ කාමරයට පැමිණියෙමි. සිඟිතිට නින්ද ගොසිනි. සිඟිති කොළඹ කැඳවා ගෙන යෑමට වුවමනා යැයි අවීශ් කළ යෝජනාව මම ආච්චි අම්මා හා කියන විට ඈ ඊට එකඟතාවය පළ කළේ අප සමඟ යෑමට පැමිණෙන බව කියමිනි.
“ඒ ළමයා නම් දැරණියගලගේ පුතෙක් කියල කියන්නවත් බැහැ…” ඈ එසේ කියන විට මම තිගැස්සී ගියෙමි.
“අවීශ් තාත්තා වගේ නෙවේ ආච්චි අම්මා…”
“කොහොම වුණත් ඔය ආශ්‍රය අතේ දුරින් තියා ගන්න එක හොඳයි…තාත්තට එහෙම දැන ගන්න තියන්න එපා…” ඈ අවවාදාත්මක හඬින් කීවාය.
“ඇයි ආච්චි අම්මා එහෙම කියන්නේ…?”
“දැරණියගල කියන්නේ දිය රෙද්දෙනුත් බෙල්ල කපපු මිනිහෙක්…”
“අවීශ් මගේ පන්තියේ ආච්චි අම්මා…අතේ දුරින් තියා ගන්න බැරි තරම් දැන් අපි එකතුයි…”
“අනේමන්දා දුව…මට හරි බයයි…තාත්තා මේවා දැන ගත්තොත් ප්‍රශ්න ඇති වෙයි… ඒකයි මං කිව්වේ අතේ දුරින් තියා ගන්න කියලා…”
“අතේ දුරින් යාළුකම් තියා ගන්න පුළුවන්ද ආච්චි අම්මා…?”
මට එසේ ඇසීමට වුවමනා වුවද මට ඇයත් සමඟ එකටෙක කියාගෙන යන පුරුද්දක් නොවූ නිසා නිහඬව සිටියෙමි. මීට පෙර ඈ මට කිසිම දෙයකට තහංචි දමා නැත.
“දැරණියගල මේ තරම් දෙයක් කරනකල් තාත්තා මොනවද ආච්චි අම්ම කළේ…ඇයි එයා මොකුත් ඇක්ෂන් එකක් නොගත්තේ…?”
“ඒකනේ මං ඔයාට මුළිනුත් කිව්වේ…එයා මහා කපටි මිනිහෙක් කියලා… ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ…ඉතින් කොහොමද ඇක්ෂන් එකක් ගන්නේ…එයා යටින් ගේම ගැහුවා…අන්තිමේදී කාගේ දේවල්ද නැති වුණේ…ඔයාගේ අම්මා ගේ දේපළ…”
“ඒ හැමදේම නැති වෙලා හරි අම්මා හිටියා නම්…” සුසුමක් හෙළමින් මම සිතුවෙමි.