More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 15

    Hima Mal Renu හිම මල් රේණු – 15

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    ගුණතුංග මාමා පැමිණෙනවා යැයි කීවේ පෙරදින වුවද ඔහු තවම පැමිණ සිටියේ නැත. මෙදින ඔහු පැමිණෙන බව නැන්දා කී නිසා මම කීවේ මා කැඳවා ගෙන යෑමට නොඑන ලෙස ඔහුට දන්වන ලෙසිනි. එවිට තාත්තාද මා අසළය.

    “ඒ මොකෝ?…” ඔහු විමසුවේය.

    “අද හවස ස්කූල්…ක්ලාස් තාත්තා…”

    “එතකොට එන්නේ…?” තාත්තා විමසුවේය.

    “එයා අදවත් එනවද මාවන්…?”

    පුංචි අම්මා මැද්දට පනිමින් ඇසුවේ මා පිළිතුරක් දීමට පෙරය. මේ මොහොතේ ඈ කළ බාධාව කෙරෙහි නම් මා සිතේ අහිතක් හට නොගත්තේ මිතුරෙකු සමඟ පැමිණෙන බව කීවා නම් තාත්තාගේ දහසකුත් ප්‍රශ්න වලට උත්තර බැඳීමට සිදුවන නිසාය.

    “අද එයි…”

    තාත්තා කීවේ නොසැළකිලිමත් ලෙසිනි. පුංචි අම්මාගේ ප්‍රශ්න ඇසිල්ලෙන් ඔහුද පීඩා විඳින සැටියකි.

    “හදිසියට හරි…කොහෙ හරි යන්න වුණොත් කවුරුත් නැහැ…”

    ඈ මැසිවිලි නඟන්නට වූවාය.

    “පාරට බැස්සාම ඕන තරම් ට්‍රයිෂෝ තියෙන්නේ…නැත්නම් බස් එකේ යනවානේ…”

    නැන්දා කියන විට ඇගේ මුව ඉබේම වැසී ගියේය. මම ගොස් රථයට නැඟුණේ මේ කතා නිසා නොසතුටු සිතිනි.

    “දැන් කොහොමද හවස එන්නේ…?”

    අපි නදීරාවත් කැඳවාගෙන එන අතරේ තාත්තා යළිත් මා විමසුවේ පුංචි අම්මා නිසා පිළිතුරක් දැන ගැනීමට නොහැකි වූ පැනයමයි.

    “අපේ පන්තියේ ළමයෙක් මේ ළඟ ඉන්නවා… එයාව එක්ක යන්න එද්දී අපිවත් ගෙනත් ඇරළවන්නම් කිව්වා…”

    තාත්තා ඉන්පසු කිසිත් විමසුවේ නැත. ඒ කවුද කියා විමසුවා නම් මට දීමට පිළිතුරක්ද නොවීය.

    අවීශ් පෙර දින නිවසට පැමිණි බව මම නදීරා හා පැවසුවේ පාසලට පැමිණි සැටියේමය.

    “මොනවා!…ඇත්තටම…? මට ඊයේ ඔය මොකුත් කිව්වේ නැහැනේ…”

    මා සිතූ ලෙසම පුදුමයට පත් වූ ඈ පසුව නොසතුටෙන් එසේ නෝක්කාඩු කියන්නට වූවාය.

    “එතකොට අගයක් නැහැනේ…එයාලා දවල් කෑමත් කාලා ගියේ…”

    ඇගේ දෑස් විසල් වනු දැක මගේ සිතේ සතුට වැඩි විය.

    “හ්හ්..! ඔයා ඔය බොරු නේද කියන්නේ..?”

    ඈ හූල්ලමින් ඇසුවේ අදහාගන්නට නොහැකි වූවාක් මෙනි.

    “අනේ…බොරු කියලා මොනවා ගන්නද…?”

    ඈ මා කී දේ නොපිළිගන්නා බවක් පෙනෙන්නට වූ නිසා මම මවාගත් නොමනාපයක් පළ කරමින් කීවෙමි.

    “හරි…හරි…ෂුවර් නැති නිසා නෙවේ…මම ඒක අහලා ෂොක් වුණා…”

    “ෂොක් නොවුණොත්නේ පුදුම…”

    නදීරාට මුල සිට අගටම සියල්ල දැන ගැනීමට වුවමනා වී තිබිණ. මම ඇයට ඈ නිවසට හැරළූ තැන පටන් සියල්ල පවසන විට ඈ අසා සිටියේ මුව හයාගෙනය.

    “පුංචි මොකුත් කිව්වෙ නැද්ද…?”

    “එයාලා ඊයේ ගෙදර හිටියේ නැහැනේ…”

    “හොඳ වෙලාවට…ඒක නෙවේ අනේ…එයා කොහොමද ඔයාලගේ ගෙවල් දන්නේ…?”

    මටත් තිබූ පැනයම එයයි.

    “ඔයා නිකන් අහලා බලන්න…” මම කීවෙමි.

    “අනේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවත් දෙයි…මෙයාගෙන් වචනයක් ගන්න එකනේ අමාරු…කියයි මේන් කියලා…”

    ඈ කියන්නේද සත්‍යයකි. අවීශ් පැමිණෙනු දැක අපි නිහඬ වෙමින් ඔහුට සුබ පැතුවේ එකවරමය. ඔහුද පහත් හඬකින් එයට ප්‍රතිචාර දැක්වීය.

    “මම මේ ආරාණ්‍යාගෙන් අහ අහා හිටියේ පරිස්සමෙන් ගෙදරට ඇරළුවාද කියලා…”

    ඈ ඔහුට ඇසෙන සේ කියන විට ඔහු ඉක්මන් බැල්මක් අප දෙදෙනා වෙතම හෙළුවේය.

    “පරක්කු වැඩි නැද්ද ඒක අහන්න…මරු යාළුවා…”

    ඔහු උපහාසයට කියන විට මා මුවින් සිනහාව පිට පැන්නේය.

    “හරි ඉතින්…එක්ක ගිය කෙනා ෂුවර් නිසා බය වෙන්න ඕන නැහැනේ…”

    නොමනාපය මුසු හඬකින් නදීරා කීවේ මටද රවමිනි. ටිරෝන් සහ තේෂාන් පන්තියෙන් පිටත හිඳ අවීශ් ට ඇමතූ බැවින්, ඔහු පිටතට යන විට අපි දෙදෙනද පිටතට පැමිණියෙමු.

    “හරි ලොකුකම නේ…?”

    නදීරා මට කීවේ නොමනාපය මුසුවය.

    “ඇයි…ඔයා අදද ඒක දන්නේ…?”

    ආපනශාලාව දෙසට ඇවිද එමින් අපි දෙදෙනම නිහඬවම නැවතුණේ විද්‍යාගාරය අසළය. කුඩා ළමුන් එහේ මෙහේ දුවමින් සෙල්ලම් කරති.

    “දැනගෙන නම් ගොඩක් කල්…මෙයා ගෙදර ඇවිල්ලත් බුම්මට්ටා වගේද හිටියේ…?”

    නදීරා නුදුරින් සිටින අවීශ් ලා දෙස බලා ඇසුවාය.

    “අපෝ නැහැ…නැන්දා එක්ක හොඳට කතා කළේ…”

    අප දෙදෙනා කතා කරන අතරේ අනෙක් පන්තියේ කලා විෂය හදාරණ සිසුන් දෙදෙනෙකු අප අතරට පැමිණියේ අපේ කතා බහට බාධා කරමිනි. අප ඔවුන් නිතර දැක තිබූ මුත් කතා බහක් නම් සිදුව නොතිබිණ.

    “ආරණ්‍යා…”

    ඉන් එක් අයෙක් මා නමින්ම අමතන විට අපි දෙදෙන මුහුණින් මුහුණ බලා ගතිමු. තලෙළු, සිහින් සිරුරක් සහිත ඔහුගේ මුව මත වූයේ පියකරු සිනහවකි. අනෙක් අයද පැහැපත් සමක් සහිත උස මහත අයෙකු විය.

    “ආහ්…! ඔයා මගේ නමත් දන්නවනේ…”

    මම පුදුමයෙන් කීවෙමි. ඔහු එවිට අවිහිංසක සිනහාවක් පෑවේය.

    “ඔව්…ඔව්…දන්නවා…ඔයා ගැන ගොඩාක් අය කතා වුණානේ…”

    නදීරාත් මමත් යළි වරක් මුහුණින් මුහුණ බලා ගතිමු.

    “ඒ කවුද….ඒ….? අපි දන්නේ නැහැනේ…”

    නදීරා වහා විමසුවේ මා අසන්නට යන විටමය.

    “ඉස්කෝලේ අය තමා…” ඔහු කීවේය

    “ඉතින්…?”

    මා අසන විටම ටිරෝන් සහ තේෂානුත් අප අතරට පැමිණි අතර තේෂාන් මා සමඟ කතා බහ කරමින් සිටි තරුණයාගේ කර වටා අතක් යවා අපි දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.

    “උඹ මොනාද මෙතන කරන්නේ මචං…?” තේෂාන් ඇසීය.

    “ආරාණ්‍යා එක්ක ටිකක් කතා කරන්න ආවා…”

    ඔහු පැකිළෙමින් පිළිතුරු දුන්නේය.

    “ආරණ්‍යා මෙයාව දන්නවද…?”

    “දැකලා තිබුණට කතා කරලා නැහැ තේෂාන්…”

    “උඹේ නම මොකක්ද…?”

    “අනුරුද්ධ…”

    “ඇත්ත කියපන් අනුරුද්ධ…උඹ ඇයි ආවේ…ආරාණ්‍යා ටෝක් කරන්න නේ…?”

    මම තේෂාන් දෙස පුදුමයෙන් බැලීමි.

    “ඒ…එහෙම දෙයක් නෙවේ….”

    ඔහු පැවසුවේ නොසන්සුන්ව මෙනි.

    “මේ…අපි බලන් හිටියේ…උඹ ආවේ ඒකට තමා…නැතුව බිත්තර දාන්න නෙවේනේ…මීට පස්සේ අපේ පන්තියේ කෙල්ලෝ ටෝක් කරන්න ආවොත් අඬු කඩලා යවන්නේ… පලයන් මෙතනින්…”

    ටිරෝන් මැද්දට පනිමින් කෑ ගසන විට ඔවුන් දෙදෙන පිටව ගියේ ලැජ්ජාවෙන් මෙනි.

    “මොකක්ද තේෂාන් ඒ කරපු වැඩේ…? පව් අනේ….ඒ ළමයි බය වුණා…” මම කීවෙමි.

    “බය කරන්න තමා අපි ආවේ…යමු පන්තියට…”

    එවිටම අවීශ්ද අප අතරට පැමිණියේය.

    “මොනාද උන් දෙන්නා කිව්වේ නදීරා….?”

    ඔහුගේ හඬේ වූයේ කෝපයක් මෙනි.

    “මොකුත් නැහැ…නිකන් කතා කරන්න හැදුවා විතරයි…ඔයාලා මාර සේනාව වගේ කඩා පාත් වුණානේ…”

    නදීරා කීවාය. තේෂාන් ලා එවන්නට ඇත්තේ අවීශ් බව මට වැටහිණි. ඔහු සිටියේ කෝපයෙන් මෙනි. ඔහුට කෝප වීමට තරම් දෙයක් නැත. මම ඒ පිළිබඳව පසුව තේෂාන්ගෙන් විමසුවේ අවිශ්ට කේන්ති යෑමට තරම් එම සිදුවීමේ වූ විශේෂත්වය කුමක්ද කියාය. තේෂාන් එවිට දුන් පිළිතුරෙන් මා සිතේ ඇති වූයේ තිගැස්මකි.

    “ඌ ටෙලාන්ලගේ දුර නෑයෙක් ලු…අවීශ් කොහොමත් ටෙලාන් එක්ක තරහයි නේ…ඒ නිසා ආයේ කතාවට යන්න එපා…”

    “අපි කතාවට ගියේ නැහැ….එයාලමයි ආවේ තේෂාන්…” මම කීවෙමි.

    “ඔව්, ඔව්….අපිත් දැක්කා….ඔයා ඒ ගැන හිතන්න ඕන නැහැ….ඒක ඒ තරම් දෙයක් නෙවේනේ…අනික ආයේ ඌ කතාවට එන්නේ නැහැ…”

    තේෂාන් මා සිත සැනසීමට මෙන් කීවේය.

    පාසැල නිම වූ සැණින් තෙෂාරා අමතර පන්තියටත් නොරැඳී පිටව යාම පිළිබඳව මා සිතේ කණගාටුවක් ඇති වුවද, ඈ එළෙස යෑමත් එක් අතකින් හොඳ
    යැයි කියාත් සිතුණේ සවස අවීශ් අපව කැඳවා ගෙන යනු දුටුවා නම් එය තවත් මත ගැටුමක ඇරඹුමක් වනු ඇතැයි සිතුණු නිසාය. මා ගෙනා බත් මුල් දෙකම අවීශ්ට දෙන ලෙස කියා මම නදීරාට දුනිමි. ඔහු එය අතට ගත්තේ මා දෙස බලා වුවද මම එය නොදුටුවා සේ සිටියෙමි.

    “අම්මටසිරි යකෝ…දැන් නදීරා උඹට බතුත් අරන් එනවද…?” ටිරෝන් කෑගැසිවේය.

    “ඇයි උඹට ජෙලද…? වරෙන් කමු… බඩගිනියි…”

    අවීශ් ටිරෝන් සහ තේෂාන් එක් බත් මුලක් ගෙන අනික නීරෝධලාට දුන්නේය. නදීරා ගෙනවිත් තිබූ බත් මුල අපි දෙදෙනාට සෑහිණ.

    “ෂා..! බත් එක නම් පට්ට රසයි නදීරා…සුපිරි…”

    අවීශ් කීවේ එය රැඟෙන ආවේ මා බව දැන බව නම් නොරහසකි.

    “ඊයේ කාපු කෑම වගේ නම් රස නැතිව ඇති අවීශ්…”

    නදීරා මට ඉඟි මරමින් ඇනුම්පදයක් ලෙස කීවාය.

    “පුදුමේ කියන්නේ දෙකම එක වගේ රසයි…”

    “උඹට ඊයෙත්…බත් එකක් හම්බුණාද බං…?” ටිරෝන් ඒ අස්සේ ඇසීය.

    “ඔව්…ඔව්…උඹ ඕක හිර කර නොගෙන කාලා හිටපන්…” අවීශ් කෑගැසුවේය.

    “ඊයේ බත් සීන් එක මොකක්ද නදීරා…?”

    තේෂාන්ටද එය දැන ගැනීමට වුවමනා වී තිබිණ.

    “පේන්නැද්ද තේෂාන්…? සමහරු අපිට පේන්න…නයි, මුගටි වගේ රඟපෑවට එළියට බැස්සාම කිරියි, පැණියි වගේ…”

    නදීරා එසේ කියන විට මම ඇයට රැව්වෙමි.

    “පේනවනේ…? අපිට තමා රැවිළි..එරවිළි…”

    “ඕහ්!…ඒකත් එහෙමද…?”

    තේෂාන් එය වැටහුණාක් මෙන් කීවේය.

    “කෑම එක රසයි නදීරා…අම්මද ඉව්වේ…?”

    නදීරා මා දෙස බලා සිනහසුණේ ටිරෝන් යළිත් එසේ කියන විටය.

    “මොකද බං අද මේ නදීරා ඇඹරෙන්නේ…පහන් තිරේ වගේ…මට ඇල්ලුවේ නැහැ…අම්මාද ඉව්වේ ඇහුවාමත් ඇඹරෙනවා..මේකට ඉනාවක් එහෙම දාලා නැහැනේ…” ටිරෝන් කෑගැසුවේය.

    “මේ…ටිරෝන්…ඕක පාඩුවේ කනවද…? ජාතකේ හොයන්නැතුව..ඉනා දීලා අල්ලගන්නම කෙනා…අනික ඕක ගෙනාවේ අවීශ්ටනේ…ඔයා බය වෙන්නේ මොකද…?” නදීරා ඔහුට කෑගැසුවාය.

    “අනේද කියන්නේ…හැමදාම මෙහෙම කෑම එකක් ලැබෙනවා නම් කවුරු ඉව්වාම මොකද..?”

    තේෂාන් ද නදීරා ගේ පස ගෙන කතා කළේය.

    “අනේ ඔව් නදීරා…” අවීශ්ද එයට එකඟව කීවේය.

    “අරන් එන්න නම් බැරියැ…හැබැයි ඉතින් ගානක් ගෙවන්න වෙයි…”

    “ඊට වඩා ලේසියි නදීරා…කුක්ව ගෙදර ගෙනියනවා…”

    අවීශ් කී කතාවට මා මුවට සිනහා නැඟිණ.

    “ඒක නම් කරන්න බැරි වෙයි අවීශ්…”

    “ඇයි බැරි…?”

    “කෝකියාව විතරක් අරන් යන්න බැහැ…කෝකියාගේ අයිතිකාරයාවත් එක්ක යන්න වෙයි…”

    “අවුළක් නැහැ…අපේ ගෙදර ඉඩ තියනවා…”

    “ඒ වුණාට…මුල් අයිතිකාරයෝ අකමැති වුණොත්…?”

    “හරි…හරි අකමැති වුණොත් මොනවා කරන්නද එහෙනම්….ඔන්න ඔහේ බත් පාර්සලයක් අරන් එනවා…අයිතිකාරයට අවුලකුත් නැහැනේ එතකොට..නීලාන්ටි ගේ දියාරු හොදි කාලාම එපා වෙලා…”

    අවීශ් එසේ කියන විට මා සිතේ අලුත් වූ අනුකම්පාවක් ඇති විය. ඔහු මෙතරම් හෝ කතා බහ කරනු මා ඇසුවේ අදය. අවීශ් ගේ අම්මාත් තාත්තාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටින නිසා නිවසේ උයන පිහින කටයුතු කරන්නේ මෙහෙකාරිය වන්නට ඇතැයි කියා මම අනුමාන කළෙමි. තේෂාන්ගෙන් ඒ ගැන විමසිය යුතුය. මාත් නදීරාත් පිටතට ගොස් දෑත් සෝදමින් සිටින විට තේෂාන්ද පැමිණියේය.

    “අවීශ්ගෙ අම්මා ගෙදර ඉන්නවද තේෂාන්…?”

    ඔහු එවිට මදෙස බැලුවේ මවිතයෙන් මෙනි.

    “නිරාංගාන්ටි ගෙදර තමා ඉන්නේ…ඇයි ආරණ්‍යා…?”

    “ආහ්…නැහැ…මං හිතුවේ එයාත් බිස්නස් වලට ජොයින් වෙලා ඉන්නවා ඇති කියලා…ගෙදර වැඩට ඉන්න කෙනා උයන කෑම කන්න බැහැ කියලා ප්‍රසාද් අයියත් කිව්වා…”

    තේෂාන් එවිට සුසුමක් හෙළුවේය. මම කුතුහළයෙන් යුතුව ඔහු දෙස බලා සිටියේ එයට හේතුව දැන ගනු පිණිසය.

    “ඇයි තේෂාන්…?”

    “නිරාංගාන්ටි ඉන්නේ…අසනීපෙන්… අසනීපෙන් කිව්වට ඉතින්…එයාට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා තියනවා…වම් අත ඔපරේට් කරලා තියෙන්නේ…ඒකේ ස්නායු වැඩ කරනේ නැහැ…අත එල්ලන් ඉන්නේ…තනි අතින් වැඩ කරන්නේ…උයන්න පිහන්න අමාරු ඒ නිසයි…”

    ඒ ඇසූ මා සිතේ ඇති වූයේ කම්පනයකි.

    “අනේ..! ඉතින් සනීප කරගන්න බැරිලුද..?”

    “ඒක වෙලා දැන් ගොඩක් කල්ලුනේ…ඒ කාලේ පිටරටත් අරන් ගිහින් තියනවා…ඒත් ඉතින් වැළමිට හරියෙන් අත වෙන්වෙලා…මට හිතෙන්නේ ඒක ලොකු ඇක්සිඩන්ට් එකක්…අතේ…කැපිලා වෙන් වෙච්ච තැන පාරවල් තාම තියනවා…අපි එහෙ ගියත් ඒ ගැන එයාගෙන් අහලා නැහැ…ඒක වෙද්දී අවීශ්ට අවුරුදු හතරක්ලු…”

    “මොනවා..!?”

    මම පුදුමයෙන් ඇසීමි. අම්මා මිය යන විට මමද එම වයසේම බව නැන්දා පවසා තිබුණාය. මේ අනතුරු දෙක අතරේ යම් සම්බන්ධයක් තිබිය හැකිද.?
    මම එය දැන ගන්නේ කෙසේද..? මා අවීශ්ගේ නිවසට යා යුතුය.

    -හෙටත් පුරුදු සෙනෙහසින්-

    Latest news

    Shooting in Hikkaduwa – හික්කඩුවේ වෙඩි තැබීමක්

    Shooting in Hikkaduwa හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්...

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...
    - Advertisement -spot_img

    Batman සදහටම සමුගනී

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල්...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>