Dragon – පුතෙක්, ශිෂ්‍යයෙක්, පෙම්වතෙක්, යහළුවෙක්,සේවකයෙක් යනාදී ලෙසින් පිරිමියෙක්ට තමන්ගෙ පවුල ඇතුලෙ, සමාජය තුළ සිදුකළ යුතු වගකීම් යුතුකම් රාශියක් තිබෙනව. මේ වගකීම් යුතුකම් නිසියාකාරව ඉටු කළොත් පමණයි ඔබේ සමීපතමයන්ට සහ සමාජයට ඔබ ගුණගරුක, සාර්ථක අයෙක් වෙන්නෙ. පුංචි කාලෙ ඉඳලම අන් අය ඔබගෙන් විවිධාකාර “චරිත” බලාපොරොත්තු වෙනව.



අසීරු කාලයකට පස්සෙ ඩ්‍රැගන් තීරණය කළා ආයෙමත් නැගී සිටින්න. කීර්තිගෙ සැමියාට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න. හොඳින් බැරිනම් නරකින් හෝ රැකියාවක් ලබා ගන්න වැඩ කෙරුව ඔහුගෙ රැකියා සිහිනය හිතුවටත් වඩා හොඳින් සහ ඉක්මනින් සැබෑ වුණා. තමන්ගෙ අම්මව තාත්තව අළුත් නිවසක පදිංචියට රැගෙන යන්න. අළුත් වාහනයක් ගන්න වගේ ඕනෑම කොල්ලෙක්ට තියෙන හීන අළුත් රැකියාවත් එක්ක ඔහු හරි ඉක්මන්ට සැබෑ කරගත්තා. මුදල් එක්ක ඔහුගෙ ජීවිතේ බොහෝ වෙනස්කම් සිද්ධවෙනව. මුදලට බොහෝ දේ සිදුකළ හැකි නිසාවෙන්.
ඉගෙනීම, රැකියාව මත තරාතිරම, සමාජයේ පිළිගැනීම, ප්‍රේමය, අනාගතය මේ හැම දෙයක්ම තීරණය වෙන පසුබිමක ඩ්‍රැගන් වගේ සාමාන්‍ය කොල්ලෙක්ට සිද්ධ වෙනව හොඳින් හෝ නරකින් හරි ඒ හීනවලට ළඟාවෙන්න. තමන් ගාව තියෙන යහපත් දේවල් අමතක කරලා දාලා හරි ඒ තැනට ළඟා වෙන්න බහුතරයක් දෙනාට සිදුවීම පුදුමයක් නොවෙන තරමට සාමාන්‍යයි. බොහෝ දෙනා හෘදය සාක්ෂිය අමතක කරලා ජීවත්වුනත් ඩ්‍රැගන් වගේ සමහර කොල්ලන්ට තමන්ගෙ වැරදිවලින් මිදිලා අවංකව වැඩ කරන්න අතපසු වුණ දේවල්, වැරදීම් ආයෙමත් හදාගන්න හිතෙනව. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නෙ සිද්ධ වුණ දේවල් එක්කම ඉදිරියට යන එක වුනත් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් අහිමිවීම් පවා නොතකා වැරදි හදාගෙන අවංකව ජීවත්වෙන්න කල්පනා කරනවා. අපි අතරෙ ඉන්න හැබෑම වීරවරු වෙන්නෙ එවැන්නන්.
