Jayalal Rohana යනු ශ්‍රී ලාංකේය කළා කෙත සිය දැනුම් ප්‍රතිභාවෙන් අස්වද්දා,කලකට පෙර සිය දිවිසැරිය නිමාකළ ආදරණීය කලාකරුවෙකි. මේ ඔහු මිය යාමට ඉතා ආසන්න අවධියේ තුලන TV වෙත ලබා දුන් සම්මුඛ සාකච්ජාවක දෙවන අදියරයි.
අද වෙනකොට ඩිජිටල් සිනමාවක් ගැන කතාකරනව, ඒ කාලේ තිබ්බේ බයිස්කෝප්. මධ්‍යම රාත්‍රී දර්ශන පවා තිබ්බා. පුටුවල මකුණෝ කාගෙන,ගැලරියේ විසිල් ගහගෙන බලපු ඒ බයිස්කෝප් එකකින් දැනුනු ගතිය, ඒ හැඟීම ඩිජිටල් කියන සිනමාවෙන් දැනෙනවද? ඩිජිටල් කියලා සිනමාවක් තියනවද?
ඔබ ඔහොම කියනකොටම ඒකෙ තියනවා අටුවා ටීකාවක්. ටිකක් ඇදලා ගන්නවනම්. ඩිජිටල් කියන්නේ සිනමාවක් නෙවෙයි. මේ ඔක්කොම පොට වරද්දා ගත්තු උන් දාගත්තු වචන. ඩිජිටල් කියන්නේ සිනමාව සඳහා භාවිතා කරන තාක්ෂණික මාධ්‍යයක් පමණයි. අපි අද මේ වැඩසටහන කැමරා දෙකකින් රූපගත කරනවා. ඉස්සර මේක කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මිට අවුරු තිහකට විතර කලින් මේක කරානම්,අපිට ගේන්න වෙනවා ලොකු “ඇරිෆ්ලෙක්ස්’ කැමරා එකක්. අඩි සිය ගානක් දිග නෙගටිව් රෝලක්. ඒකෙ ඒ.සී ගාන. ඉස්සර තිබ්බේ “ඒ.ටි.එස්.සී “. ඒ වගේ දෙයක් මේ වගේ ලයිට් දෙක,තුනක් ගහලා පවතින ආලෝකයත් එක්ක කරන්න බැරිවෙනවා. ඇමරිකන් ස්ටෑන්ඩ් ඇසෝසියේටඩ් {ASA} එකේ තත්ව වලට අනුව ඒ.සී ගැන අසුවක් වෙනකොට, ඉටිපන්දම් අසුවක එලිය කියලනේ කියන්නේ. එහෙම වුණානම් මෙතෙන්ට ලොකු ලොරියකින් ලයිට් ගෙනත් ගහන්න වෙනවා. අද අපි ඒ අපහසුවෙන් නිදහස් වෙනවා ඩිජිටල් ක්‍රමවේදය ආපු නිසා. ඩිජිට් වලින් ගණන් කරලා තමා රුපය හැදෙන්නේ. ඒක මෙවලමක් මිසක්,ඩිජිටල් කියලා සිනමාවක් නෑ. අර පරණ සිනමාවම තමා එතනත් තියෙන්නේ. නමුත් රූප තත්වය,ශබ්ද තත්වය වගේ දේවල් ඉහලයි.
හයි ඩෙෆිනේෂන්{HD} වලින් එනවා. තව විවිධ මෝස්‌තර වලින් වර්ධනය වෙලා තියනවා. හැබැයි එහෙම තාක්ෂණය වර්ධනය වෙන්න,වෙන්න නිර්මාණශිලිත්වය මැකිලා යනවා. අර ඔබ කිව්වා රහ නැතුව යනවා. මං ඉස්සර නුගේගොඩ මෙට්රෝ එකෙන් 9.30 ට වනමෝහිනි බලලා රෑ 12 ට කෝට්ටේ ආනන්ද බාලිකා මාවතට පයින් එනවා කිසි බයක් නැතුව. අනික ඉස්සර අපි ෆිල්ම් බලන්න යන්නේ කොල්ලෝ විස්සක් විතර එකතුවෙලා. ඒ දවස්වල රෑට බස් එකකුත් තිබුනා කොළඹ වරායේ ඉඳලා පිටකෝට්ටේට. බස් නම්බර් එක 114,115. මේ බස් දෙක රෑ දොළහට වරායේ වැඩ කරන සේවකයෝ අරන් රෑ 12ට කොළඹ වරායෙන් පිටත් වෙනවා. තව එකක් තිබුනා කොටුවෙන් හොරණ දක්වා යන 120 බස් එක. ඒක ආපහු එන්නේ ප්පාන්දර තුනට හොරණින් කොටුවට එනවා. ඒකට මිනිස්සු කිව්වේ “තැඹිලි බස් එක” කියලා. මොකද හොරණ පැත්තේ හිටපු තැඹිලිකාරයෝ ඔක්කොම කොටුවට තැඹිලි පටවාගෙන එන්නේ ඔය බස් එකේ. මිනිස්සු බස් එකට නගින්නේ තැඹිලි උඩින් පැනගෙන, එන්නේ ඒවා උඩ ඉඳගෙන. ගමන හරි කටෝරයි තමා. හැබැයි හරි සුන්දරයි. ඩිජිටල් ක්‍රමය එන්න කලින් ක්‍රමවේදය ටිකක් අපහසුයි තමයි. හැබැයි ඒ වෙහෙස හරි සුන්දරයි වගේම,හැමදේකටම විශේෂ අවධානයක් ලැබුණා. මට මතකයි සුමිත්ත අමරසිංහ මහත්තයා හැමෝම ලඟට ඇවිත් “එක්ස්ෆෝෂන්” මීටරේ අල්ලලා බලනවා ලයිට් හරිද කියලා. අද මොකද වෙන්නේ “පොඩ්ඩක් අඳුරුයි ” වගේ කියලා හිතුණොත් “එක ටේබල් එකේදී හදාගමු” කියනවා. ටේබල් එකේදී හදන එකාට ඒක හදන්න අමතක වෙනවා. සිනමාව රහ වෙන්න ඕනේ. ඒක සිනමාව වෙන්න ඕනේ. නුතනයේ ඒක එහාට මෙහාට යනවා පේනවා. නමුත් රහට කරන පිරිසක් ඉන්නවා. ලලිත් රත්නායක,කුමාර තිරිමාඳුර,සරත් කොතලාවල වගේ. මං බැලුවා “විෂම භාග”,”නිව්ස් පේපර්” වගේ චිත්‍රපට ඉතාම හොඳ තත්වයේ තිබුනා. ඒ වගේම සුසිරන් ද සිල්වා කරා එකක් “මිස් ජෙනී” කියලා එකක්. ජයලත් මනෝරත්න රඟපාන. ඔහු අපට හිටිය ලෙජන්ට් කෙනෙක්. ඒ ඇරුනාම දැන් තියන බොහොමයක් ඒවා එතරම් සාර්ථක නෑ. සමහර ඒවා කරන්නෙම පිටරට තියන එක,එක සම්මාන උළෙලවල් ඉලක්ක කරගෙන. ඒවා හදලා තියෙන්නෙම අපි වගේ රටවල් මානසිකව අවුල් කරන්න. ඔය කවුරුත් ඔස්කාර් සම්මාන දිනුවේ නෑනේ. ඒවා ඒ රටවල් තියන් ඉන්නේ නිර්මාණකරුවන්ට. අර වාගේ පැති සම්මාන උළෙලවල් එල්ලලා තියෙන්නෙම NGO මතවාද සාක්ෂාත් කරන චිත්‍රපට වලට සම්මාන දෙන්නම තමා.
සම්මාන කීවාම මට මේකටම එකතු කරන්න ප්‍රශ්නයක් තියනවා. සමහරුන්ගේ මතයක් තියනවා සම්මාන ගත්තු චිත්‍රපට සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒවා හදන්නෙම සම්මාන ගන්නයි කියලා.
ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒක අනිත් රටවල් එක්ක සංසන්දනය කරන්න වෙනවා. ලංකාවේ සම්මාන ගත්තු චිත්‍රපටි තමා ඔය තේරෙන්නේ නෑ කියන්නේ. ඉරාන චිත්‍රපටි එහෙම අපිට හොඳට තේරෙනවනේ. ඔය මජිඩ් වගේ අධ්‍යක්ෂකවරු කරපු “කලර් ඔෆ් පැරඩයිස්” වගේ සම්මානනීය චිත්‍රපට අපිට හොඳට තේරෙනවනේ. අපේ අය කරන්නේ බටහිර සිතුම්,පැතුම් සංතර්පණය,අපිට පහර වදින විදිහේ ඒවා. ඕනෙනම් මට උදාහරණ වුනත් දෙන්න පුළුවන් හෙණ ගැහුවා වගේ. මට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි මේවා විවෘතව කතා කරන්න ඕනේ. ටයිටස් තොටවත්ත කියන්නේ අපිට හිටපු ශ්‍රේෂ්ට කලාකරුවෙක්. හොඳ සංස්කරණ ශිල්පියෙක්. ඒකෙ කිසිම විවාදයක් නැහැ. ඔහු කළා “හඳයා” කියලා චිත්‍රපටියක්. ඒකට සම්මාන එහෙමත් ලැබුණා.අපිත් ගිහින් බැලුවා. “ෂා.. මාරයි” කිව්වා. එච්චරයි. හැබැයි ඇතුලට බැහැලා බලන්න ඕනේ. ඔය සම්මාන ගත්තු සෑම චිත්‍රපටියක් ඇතුලෙම තියනවා තව චිත්‍රපටියක්. හඳයා චිත්‍රපටය අවසානයේ ඔප්පු කර නවා ශ්‍රී ලාංකීය ජාතිය තාම සිවිල් වෙලා නෑ. කියලා. අපි හරිම පාදඩ ජාතියක් කියලා. කුණුකානු වල බිලා දඟලන මිනිස්සු ටිකක්, ඉගෙනගන්නෙ නැති ළමයි ටිකක් හොඳ මිනිස්සු කරන්නේ සුද්දෙක්ගේ දුවක්. සුද්දා තාම එක. ඒක තමා හඳයා චිත්‍රපටිය ඇතුලේ තියන අනිත් චිත්‍රපටිය. මේ මෑතක ළමයි දාලා කරපු චිත්‍රපටි වුනත් එහෙමයි. හාමුදුරුවරු බල්ටි ගහනවා. උපාසකම්මලා අත්පුඩි ගහනවා. බටහිරින් බලාගෙන ඉන්නේ බුද්ධ ශාසනේට කොයි වේලාවේද ගහන්නේ කියලා. මේවා සෙල්ලං,බිස්නස්,කූට ව්‍යාපාර. මේ ගැන රැල්ලට හිතන්නේ නැතුව හොඳින් හිතන්න ඕනේ. විවේචනය කරන මඟ ඔස්සේ හිතන්නත් එපා. නිදහස් මනසින් හිතන්න. එතකොට ඇතුලේ තියන දේ අහුවෙනවා.
මිනිස්සු කවරෙට අහුවෙනවද? පිටතින් පේන දේ ඇතුලේ නැතත්,ඒ ආකර්ෂණය නිසා රැවටිලා තීරණ ගන්න නිසා සමහර කලා නිර්මාණ ජනප්‍රිය වෙනවද?
රැවටෙනවා. දැන් ඔය ගැණු කෙනෙක්ගේ අඩ නිරුවත් පිංතුරයක් කවරෙට දාලා බලන්න . පෝලිමේ යන්නේ බලන්න. අපේ පොඩි ගතියක් තියනවා. මෙහෙම ගමුකො. සිංහල දෙල් දැකල තියනවනේ. ඒවා පොඩියි. හැබැයි රට දෙල් ලොකුයි. කොහු අඹ පොඩියි. රට අඹ ලොකුයි. හැබැයි ප්‍රමාණයෙන් පොඩි වුනාට රසින් සහ ගුණාත්මක බවින් වැඩි සිංහල දෙල් සහ කොහු අඹ. ඒකයි අපි මේ යටිකුට්ටු හිතිවිලි වලින් ඈත් වෙලා ආකල්පමය වශයෙන් දියුණු වෙන්න ඕනේ කියන්නේ. හොඳ ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා දැක්කාම අහනවා කොහෙන්ද ගත්තේ කියලා. එතකොට කියනවා ප්‍රංශයෙන් කියල. “ඒක තමා මරු” කියලා කියනවා එතකොට. කොලර් එක උස්සලා බලපුවාම ගහලා තියනවා “මේඩ් ඉන් ශ්‍රී ලංකා” කියලා. ප්‍රංශයෙන් ගත්තට හදලා තියෙන්නෙ ලංකාවේ ඇඟලුම් කම්හලකින්. අපිට තියනවා මාරම පසුගාමී ආකල්පමය චින්තනයක්. ඕකම වුණානේ රේ විජේවර්ධනට. ලෝකෙටම අත් ට්‍රැක්ටරේ හඳුන්වලා දුන්නේ ඔහුනේ. ඒක ලංකාවේ ඉංජිනේරු සංස්ථාවට ගිහින් දුන්නම උන් ටික හිනාවුණාලු රෝද දෙකේ ට්‍රැක්ටර් කොහෙද තියෙන්නේ කියලා. පාලම් ඔයේ කොන්ක්‍රීට් සංස්කෘතිය හඳුන්වලා දුන්නු ආචාර්ය කුලසිංහට වුණෙත් ඒකමයි. ඒ දෙන්න ඉගෙනගත්තෙ එකටනෙ. ඉතින් විජේවර්ධන පවුලට සල්ලි නැතුව නෙවේනේ. එංගලන්තෙට ගිහින් ඉඩමක් අරන් ෆැක්ටරියක් දාලා ඇත ට්‍රැක්ටරේ නිෂ්පාදනය කරලා ලංකාවට එවනවා. ආන්න ලංකාවේ ඉංජිනේරුවෝ පටස් ගාලා ගන්නවා. අයි? එංගලන්තෙන් නේ එව්වේ. හැබැයි පේටන්ට් එක රේ විජේවර්ධනගේ. අදටත් කොහේ අත් ට්‍රැක්ටරේ ගැහුවත් පේටන්ට් එකට ගානක් එනවා රේ විජේවර්ධනගේ පවුලට. ඒක තව පරම්පරා හතක් ජීවත් වෙන්න ඇති එයාලට.
හැබැයි ලංකාව ඒ මනුස්සයව පිළිගත්තේ නෑ. ලංකාවේ ඉන්නවා ඒ වගේ කුට,මජර,ඉරිසියාකාර ගති තියන් උන් ටිකක්. උන් මහා බෞද්ධ කියාගෙන පිච්ච මල් පුජා එහෙම තියනවා. කෝච්චියේ සීට් එකක් අල්ලගන්න ගිහින් පිච්ච මල් වට්ටි බිම වැටෙනවා. අමු කුණුහරපෙන් බැනගන්නවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා. බීපු කිරි පැකට් එක ජනේලෙන් එලියට විසි කරනවා. අදත් වෙනවා. බලන්න පෝය දවසට ඔය අනුරාධපුර පැත්තෙ ගිහින් උපාසකම්මලගේ වැඩ. අපි ජිවත් වෙන්නේ එහෙම මිනිස්සු ටිකක් එක්ක. දැන් මේක බලලා කියන්න එපා. අන්න ජයලාල් රෝහණ උපාසකම්මලාට බනිනවා කියලා. බනිනවා නෙවේ මේ කියන්නේ ඇත්ත. මේ ගණේමුල්ල පැත්තේ සිද්ධවෙනවා හරි අපුරු වැඩක්. මේ අවට තියනවා හැඳි,ගෑරුප්පු වලින් කන හෝටල් ටිකක්. මල් වවලා,වෝකින් පාත් දාලා එහෙම. ඒවා හැදෙන එක හොඳයි,අපිටත් සතුටුයි. හැබැයි කැත වැඩේ තමා කාලා ඉතුරු වෙන ජරාව ටික පොහොර බෑග් වල දාලා ඩිමෝ බට්ටෙකුගේ පටවාගෙන ඇවිත් පාරවල් වල හලලා යන එක. නගර සභාවෙන් කුණු ගන්නවා. ඒකට දෙන්නේ නෑ. ගමේ මිනිස්සු බයට මොකුත් කියන්න යන්නේ නෑ. කිවොත් ගහනවා. දුර පලාත්වල කොල්ලෝ තමා ඕවයේ වැඩ කරන්නේ.
එත් උන්ට කරන්න වෙලා තියෙන්නේ මහා එකා කියන දේවල්. ඉතින් කොහොමද අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ.
මේ ටික කර,කර වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක්,ලෝකෙන්ම උතුම් ජාතියක්,සපුමල් කුමාරයෙක්,රාවණා කෙනෙක් ගැන කතාකරනවා. අපිට එහෙම මහා බලාපොරොත්තුවකට යන්න පුළුවන් වෙයිද..?
බෑ. අපිට ඕනේ සපුමල් කුමාරයෙක් නෙවෙයි, ලී ක්වාන් යු වගේ නායකයෙක්. හෙළුවෙන් තියලා පස්සට කසෙන් ගහන්න ඕනේ. තාමත් ටොපි කාලා කොලේ පාරේ දාලා යනවා. ලංකාවේ වාහන වල තියන සංයමය බලන්නකෝ.
වැරැද්ද කරපු එකාම බනිනවා. “ඔහොමද යකෝ වාහන එලවන්නේ” කියලා. එහෙම පිස්සු බල්ලෝ වගේ එලවන උන්ම වෙන රටකට ගියාම එලවන හැටි බලන්නකෝ. නියමෙට එලවාගෙන යනවා.හෝන් එකක්වත් ගහන්නේ නෑ. එහෙම ගැහුවොත් ඒ රටේ මිනිස්සු ඒක සලකන්නේ ලෙඩක් හැටියට. ඉඳලා,හිටලා හරි හෝන් එකක් ඇහුනොත් හොයලා බලන්න. එක්කෝ ඌ ලංකාවේ එකෙක් නැත්තන් ඉන්දියන් කාරයෙක්. ඉන්දියාව අපිට වඩා දාස් ගුණයක් හොඳයි දැන්. අපේ රටේ උන් හිතනවා තමන්ට කැමති ඕනෑම දෙයක් කරාම ඒක අනිත් උන් පිළිගන්න ඕනේ කියලා. එහෙම තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්න බෑ මහත්තයෝ. මේක දේශපාලනික වශයෙන් කුඩා බිම් කඩකට සීමා වුනු,පුරවැසියන් පිරිසක් හා බැඳුණු,ක්‍රමවේදයක් තියන රටක්. නිකං හිතන්න කඩවත ඉඳලා කොළඹට වාහනයක් එලවාගෙන යන මනුස්සයෙක්ගේ පීඩනය කොහොමද කියලා. හිත යටින් සහ කටින් වැඩිපුරම කුණුහරුප කියා,කියා යන්නේ ඒ මිනිස්සු.
ඒකයි අපිට ස්ට්‍රෙස්,ප්‍රෙෂර්,හාට් ඇටෑක් වැඩි. කරුණාකරලා දැන්වත් අපි වෙනස් වෙමු. රට වෙනස් වෙන්න නම් ඉස්සෙල්ලා ගෙදර වෙනස් වෙන්න ඕනේ. අනිත් කෙනා වෙනස් කරන්න කලින්, තමන්ගෙන් වෙනස පටන් ගන්න ඕනේ. එතකොටයි වෙනස ඇති වෙන්නේ.