Hima Mal Renu හිම මල් රේණු
නංගී ගේ විලාපය නිසා මා සිතේ ඇති වූයේ බියමුසු තැතිගැන්මකි.
“නංගී…මොකද…මේ…ඔයා කොහේද ඉන්නේ…ඔයා ගියානේ…?”
“අනේ…නැහැ…ලොකූ…මම ගියේ නැහැ…අනේ…මං ඒ හැමදේම කියන්නම්…මාව බේර ගන්න ලොකූ…මං ටෙලාන් මීට් වෙන්න ආවා ලොකූ…එයා මාව රූම් එකට දාලා ලොක් කළා…”
මා දකින්නේ සිහිනයක්ද කියා මට නොසිතුණා නොවේ.නමුත් මේ නම් සත්‍යයයකි. ඈ කුමක් හෝ දෙයකට අර අදින බවක් මට දැනී නොතිබුණේද.? ඈ කෙරෙහි බියක් මෙන්ම කෝපයක්ද මා සිතේ ඇති විය.
“දෙවියනේ…! ඔයා කොහෙද දැන් ඉන්නේ…?”
“දැරණියගල හොටෙල් එකේ…අනේ ලොකූ මට බයයි…ටෙලාන් මට ආදරේ කළේ නැහැ ලොකූ…එයා මාව මරනවා කිව්වා…දැන් එයා එළියට ගියා කාවද ඩ්‍රොප් කරන්න…අනේ…එයා එන්න කළින් මාව මෙතනින් එළියට ගන්න ලොකූ…ඔයාගේ අවීශ්ට කියලා මාව බේරගන්න ලොකූ…”
ඈ කෑගසන්නට වූවේ වඩා බියට පත්වය.
“මං දැන්ම එනවා…ඔයා ඇතුළෙන් දොර ලොක් කරගන්න…බය වෙන්න එපා…”
“අනේ…ලොකූ..ඔයා එනවා නේද…? මට බයයි ලොකූ…අම්මාට නම් කියන්න එපා…මාව කොහොම හරි එයාර් පෝර්ට් එකට දාන්න…මං යනවා ලොකූ…මං ආයේ එන්නේම නැහැ…”
නංගී සැබෑවටම බියට පත්ව සිටි අතර ඇයටත් වඩා මා සිටියේ බියෙනි.
“දොර ලොක් කරගන්න…අපි එනවා…”
මම එසේ කීවේ මට මේ මොහොතේ අවීශ් හැර වෙන අයෙකු සිහි නොවූ නිසාය. සිත සිතා සිටීමට කාලයක් නැත. නංගී මේ කුමක් කළාද…? මා සිත තෝන්තු වූ අතර ගත වෙවුලන්නට විය. වේලාව එක පසු වී ඇත. මා එතරම් වේලාවක් නිදා හිඳ නැත. මම අවීශ්ගේ අංකය ඇමතුවේ වෙවුලන දෑතිනි. ඔහු වහා එයට අමතන විට මා සිතට දැනුණ සැනසුම නම් වචන වලින් පැවසිය නොහැකිය.
“අනේ…අවීශ්…හදිසියක් අපේ ගේ ළඟට දැන්ම එන්නකෝ…”
“හරි…මං එනවා…”
ඔහු ප්‍රශ්න නාසාම දුන්නේ ඉක්මන් පිළිතුරකි. මගේ හඬේ වූ කළබලකාරී නොසන්සුන් ගතිය ඔහුට දැනෙන්නට ඇත. ප්‍රශ්න අසමින් කල් මැරීමට නොසිතුවේ ඒ නිසා වන්නට ඇත. ඔහු වැනි විශ්වාසවන්තයෙකු මේ මොහොතේ සිටීම කෙතරම් ශක්තියක්ද. මම වහා වහා සූදානම් වූයෙමි. අනියත බියකින් මා හද ගැහෙයි. අපි යන විට ප්‍රමාද වී තෙබෙනු ඇත්ද.? නංගීට කරදරයක් සිදු වේවිද.? නැත. එසේ නොවේවායි මම දෙවියන් යැද්දෙමි. සිතුවිලි ඉබාගාතේ දිව යන විට මම ඉක්මනින්ම හැඳගෙන පහළට පැමිණියේ කිසිදු හඬක් නොනඟාය. මුළු නිවසම නිහැඬියාවක ගිලී ගොසිනි. දොර හැර ගෙන මම පිටතට පැමිණියද ගේට්ටුව ඉබි යතුරුලා ඇති බව සිහි වූයේ පසුවය. යතුර ඇත්තේ චන්ද්‍රම්මා ළඟය. දැන් ඉතින් ඇයවත් අවදි කිරීමට සිදුවේ. එයත් හරි. මේ මොහොතේ ඈ දහසකුත් එකක් ප්‍රශ්න අසනු ඇත. ඇගේ කාමරයට දිව ආ මම ඇයව අවදි කරන විට ඈ බියෙනුත් තිගැස්මෙනුත් අවදි වූවාය.
“ආහ්…ලොකු…මැණිකේ…මේ…රෑ..මොකෝ හදිසියක්ද…?”
ඈ යහන මත හිඳ ගනිමින් ඇසුවේ පහව නොගිය තිගැස්මෙනි.
“චන්ද්‍රම්මා ගේට් එකේ යතුර දෙන්න…ලොකු හදිසියක්…”
“අනේ…මයේ මැණිකේ…මේ රෑ ජාමේ… මොන හදිසියක්ද…? මොකටද යතුර ඉල්ලන්නේ…?”
“චන්ද්‍රම්මා දෙන්නකෝ…ප්‍රශ්න අහන්නැතුව…”
“අනේ…මගේ ලොකු බේබි…මහත්‍තයා දැන ගත්තොත් මං ඉඳලා ඉවරයි…ඔය හදිසි වැඩේ උදේට කරගන්න ලොකු බේබි..මේ රෑ ජාමේ කොහෙ යන්නද…?”
“තාත්තා දැනගන්නේ නැහැ…මං ඉක්මනට එනවා…උදේට යනකල් හිටියොත්…?” මම වහා නිහඬ වීමි.
“මං වැරදි ගමනක් යනවා නෙවේ…කෝ ඉක්මන් කරන්නකෝ…”
“මං දන්නවා ලොකු බේබි එහෙම නොකරන බව…ඒත් මේ වෙලාවේ…?”
“චන්ද්‍රම්මා……යතුර දෙන්නකෝ…දැන් නම් මට කේන්ති යනවා…”
ඈ කොට්ටය යට සඟවා ගෙන සිටි යතුර මා වෙත දිගු කළේ අදි මදි කරමිනි. මම එයත් රැඟෙන දිව එන විට ඇයත් මා පසුපස පැමිණෙනු මට දැනිණි.
“අනේ…ලොකු බේබි මාත් එන්නද යන්න…?”
මම ගේට්ටුව ඇරගන්නා අතරේ ඈ ප්‍රශ්න කළාය.
“එපා…චන්ද්‍රම්මා ගේට්ටුව වහගන්න…මං ඉක්මනට එනවා…කාටවත් කියන්න එපා…”
ඈ මගෙන් නොයෙක් ප්‍රශ්න ඇසුවද මට ඒ කිසිත් ඇසුණේ නැත. අවීශ්ගේ රථය එනතුරු බොහෝ වේලා බලා ඉන්නට සිදු නොවීය. එය නිවස ඉදිරිපිටම නවතන විට චන්ද්‍රම්මා කෑ ගැසුවාය.
“අනේ…මේ අවීශ් මහත්තයා නේද…? යන දිහාක ගිහින් ඉක්මණින් එන්න මයේ මැණිකේ…මහත්තයා ආයේ අවීශ් මහත්තයා එක්ක ගණු දෙනු එපා කියලා තියෙද්දිනේ මේ…”
ඇයට පිළිතුරක් දීමට හෝ පමා නොවූ මම රථයට නැඟුණෙමි.
“ආරාණ්‍යා මොකක්ද වුණේ…?” අවීශ් ඇසුවේ කළබලයෙනි.
“යන ගමන් කියන්නම්…අපි යමුකෝ…” මම නොසන්සුන්ව කීවෙමි.
“මිස්…අපි දැන් කොහාටද යන්නේ…?” ප්‍රසාද් අසන තුරු මට එය සිහි නොවීය.
“දැරණියගල හොටෙල් එකට…” දෙදෙනම මා දෙස බැලුවේ මවිතයෙනි.
“කොයි එකටද…?”
දෙදෙනාම ඇසුවේ එකවරමය. දෙවියනේ…! මම එය නොදනිමි. මම වහා සිදුව ඇති දේ ඔවුන් හා පැවසීමි.
“ග්‍රෑන්ඩ් එකට…ප්‍රසා ගනින් වාහනේ…ටෙලාන්ගේ රූම් එක තියෙන්නේ ඒකේ…ෂුවර් එකටම නංගී ඉන්නේ ඒකේ… ඌ කෙල්ලෝ එක්ක එන්නේ ඒකටනේ…”
මා ගත සීතල කරමින් අවීශ් කියන විටත් ප්‍රසාද වාහනය විදුලි වේගයෙන් පදවමින් සිටියේය.
“මිස් බය වෙන්න එපා…අපි නංගිව එළියට ගමු…”
ඒ අතරේ ප්‍රසාද් කීවේ හුදෙක් මා සිත සනසන අදහසින්ම පමණක් නොවන බව මම දැන සිටියෙමි. මම ඒ අතරේ නංගීට ඇමතුමක් ගතිමි.
“අනේ ලොකූ…ඔයාලා කොහෙද…අවීශ් අයියා ආවද…?” ඈ කළබලයෙන් ඇසුවාය.
“අපි එන ගමන්…” මම වහා කීවෙමි.
ගෙවෙන්නට ඇත්තේ විනාඩි කීපයකි. අපි සිටියේ හෝටල් අංගනයේය. රථයෙන් බැස ගෙන මම අවීශ් සහ ප්‍රසාද් සමඟ හෝටලය තුළට දිව ගියෙමු. ඔහු පිළිගැනීමේ නිලධාරියා සමඟ කතා කර ඉල්ලා ගත් යතුරත් සමඟ අපි උඩු මහළට පැමිණියේ විදුලි සෝපානයේය. මේ අතර මා සිටියේ බිය නිසා ගැහෙන සිතින් මෙන්ම වෙව්ලන ගතිනි. සුළු මොහොතකට පසු අප සිටියේ එම කාමරය ඉදිරිපිටය. අවීශ් යතුර දමා දොර විවර කළද එය ඇතුළතින් අගුළු දමා තිබිණි. මම නංගී අමතන විට ඈ වහා දොර විවර කළ අතර කාමරයට කඩා වැදුණු අවීශ් අත දිග හැර නංගීට ගැසූ කම්මුල් පහරින් ඈ සුළු මොහොතක් බියටත් තැතිගැන්මටත් පත්ව පසුව මවෙත දිව විත් මා වැළඳ ගත්තේ හඬා වැටෙමිනි. මීට පැය කීපයකට පෙර ඈ මා වැළඳ ගැනීමත් ප්‍රතික්ෂේප කර තිබූ බව මට හදිසියේ සිහි විය. අවීශ් දුන් පහර ගැන මම සතුටු වූයෙමි. එය ලැබෙන්නට තිබුණේ මීට බොහෝ කලකට පෙරය.
“තමුන් මොනවද මේ කරන වැඩ…ඇඬිල්ල නවත්තලා කියනවා…තමුන් තනියමද මෙහේට ආවේ…නැත්නම් ටෙලාන් එක්ක ආවද…?”
අවීශ් ගිගිරුවේය. නංගී බියට පත්ව වෙවුලන්නට වූ බව මට දැනිණි. ඔහු මෙතරම් කෝපව ඇති දිනක් මම කවරදාවත් දැක තිබුණේ නැත.
“ත…ත…නියම…”
“අපි යමු…දැන් ටෙලානයා ආයෙම එන්න පුළුවන්…”
අපි පමා වූයේ නංගීගේ බෑගයත් අතන මෙතන දමා තිබූ ඇගේ අනිකුත් බඩු ටිකත් එකතු කරගන්නට පමණය. අපි ඉක්මනින්ම පහළට පැමිණියෙමු.
“මට මෙහෙන් යන්න ඕන ලොකූ…මට ලැජ්ජයි…මට ඌව අප්ප්රියයි…ඌ මහා ජරා විදියට අර කෙල්ලෝ දෙන්නා එක්කම හැසිරුණේ ලොකූ…”
නංගී එන අතර තුර කීවේ මගේ දෑතේ එල්ලීගෙනමය. මම කිසිත් නොකීවෙමි. ඇයටම මේ සියල්ල අවබෝධවීම හොඳය. අපි රථ ගාලට පැමිණෙන විටම ටෙලාන්ද එහි පැමිණි අතර ඔහු අවීශ්ට සැර පරුෂ ලෙස බැන වැදුණේ මා සිතේ ටෙලාන් කෙරෙහි පිළිකුළක් ඇති කරමිනි. ඔහු බීමත්ව හෝ මත්ද්‍රව්‍යයක් නිසා මත් වී ඇති බව නම් මට පැහැදිලිවම පෙනිණි. නංගී මා පසෙක සැඟවී සිටියේ බියපත් විලසිනි. අවීශ් ඔහුට දුන් මුශ්ටි පහරින් ටෙලාන් පසුපසට විසී වී ගොස් ඇද වැටුණේය. මා බිය වූයේ ඔහුට එම පහරින් බරපතළ හානියක් වූවා නම් ඉන් අවීශ්ට සිදුවන අකරතැම්බය ගැන සිතාය. ප්‍රසාද් අවීශ්ව නංවාගෙන අපවත් කැඳවා ගෙන එන අතරේ නංගී හඬන්නට වූවාය.
“අනේ ලොකූ…මං මහ මෝඩයි…මං මොකට ආවද…?” ඈ හඬමින් එසේ කීවාය.
“දැන් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ… ඔයා කොහොමද මෙහෙම දෙයක් කළේ…?”
“අනේ….ලොකූ…මං ප්ලයිට් එක කැන්සල් කර ගත්ත ගිය සතියේ…මට ඕන වුණේ යන්න කළින් එක පාරක් හරි ටෙලාන් මීට් වෙන්න…”
දැන් එතකොට ආයේ කීයටද ප්ලයිට් එක…?”
ඈ මෙවන් දෙයක් කර ඇති බව හෝ නොදැන මම ඇසුවේ මවිතයෙනි.
“හතරයි ගානකට…අනේ ලොකූ මට සමාවෙන්න…අම්මලාට මේ ගැන දැනගන්න තියන්න එපා…මං ජානක අංකල්ට කිව්වා ප්ලයිට් එක ඩිලේ වෙලා කියලා…”
ඈ මේ සියල්ල සැළසුම් කොට ඇත. ඇයට මෙවන් දෙයක් කිරීමට තරම් දැනුමක් තිබුණාද කියා මම පුදුම වූයෙමි.
“ප්‍රසා…මේ අහපන්…” හදිසියේ අවීශ් කීවේය.
“උඹ ආරාණ්‍යාලා එක්ක එයාර්පෝර්ට් යමන්…මට ෂුවර්…ටෙලානයා දැන් අපිව ෆලෝ කරනවා ඇති…”
ඒ පිළිබඳව සැකයක් මා සිතේද විය.
“මං වෙහිකල් එක අරන් ඌව මඟාරින්නම්…ඔහොම නවත්තපන්…මං ඌබර් එකක් දැම්මා…උඹ ගිහින් මෙයාව ප්ලයිට් එකට දාපන්…ඔන්න දැන් වෙහිකල් එක එනවා…”
“එතකොට සර්…?” ප්‍රසාද් පැනයක් නැඟීය.
“මං.ටෙලාන් මඟෑරලා එයාර්පෝර්ට් එන්නම්…”
අවීශ් කීවේ අප තිදෙනාටම ගුවන් තොටුපොට යන ලෙස මුත් මට එයට එකඟ වීමට සිත් නොවීය. මම එයට විරුද්ධ වීමි. ප්‍රසාද් රථය නවතන විටම කැබ් රථයක්ද එහි ළඟා විය.
“මේ අහන්න ආරාණ්‍යා…දැන් අපිට නංගිව ඉක්මනින් යවන්නයි ඕන…ටෙලාන් දැන් වෙඩි කාපු ඌරා වගේ කුලප්පු වෙලා ඉන්නේ…මොනව කරයිද දන්නේ නැහැ…ඒ නිසා නංගී එක්ක යන්න…මං පස්සෙන් එනවා…”
මා මෙන්ම ප්‍රසාද්ද මෙයට එකඟ නොවීය.
“ප්‍රසාද් අයියා නංගී එක්ක යන්න…මම එනව ඔයා එක්ක…”
මම දැඩි හඬින් කීවේ අවීශ් ගේ අතින් අල්ලාගෙනමය.මේ අප දෙදෙනාගේ ඉරණම් ගමන බව මම දැන සිටියා නම් ඒ මොහොතේ මම අවීශ් ව ප්‍රසාද් සමඟ නිවසට යවා නංගී සමඟ තනිව ගුවන් තොටුපලට යන්නෙමි. අවීශ් මා කී දේට එකඟ නොවුවද අවසන මගේ තිරණය වෙනස් නොකරන නිසා වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසා එකඟ වන විට ප්‍රසාද් නංගීද සමඟ කැබ් රථයට නැඟී පිටත්වී මොහොතකට පසු අපද ගමන් ගතිමු. ඒ මොහොතේ අහස ගුගුරමින් තිබූ අතර මහා වැස්සක් ඇද හැළෙනු ඇතැයි කියා මට සිතිණි. මා තවමත් සිටියේ නොසන්සුන්වය. අවීශ්ට මා නිසා ප්‍රශ්නයක් ඇති වේයැයි කියා මා සිතේ වූයේ බියකි.
“ඔයාට ප්‍රශ්නයක් ඇති වෙයිද අවීශ්…?” අපි එන අතර තුර මම ඇසීමි.
“මට මොන ප්‍රශ්නයක් ඇති වෙන්නද…?”
ඔහු පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. එම සැහැල්ලු බව මා සිතේත් තිබුණා නම්…? මම දිගු සුසුමක් හෙළීමි.
“ටෙලාන්ට මොකුත් වෙලා නැතුව ඇති නේද අවිශ්…?”
“ඌට මොකුත් නැහැ…”
ඔහු ඒ ගැන තැකීමකුද නොමැතිවාක් මෙන් කීවේය. සිහින් පොද වැස්සක් ඇද වැටෙන්නට වූ අතර එය මහා වර්ෂාවක් බවට පත් වීමට එතරම් වෙලාවක් ගත නොවීය.
“මට බයයි අවීශ්…” ඔහු ඉක්මන් බැල්මක් මවෙත හෙළීය.
“බය වෙන්න එපා…ඌ කොහොමත් දැන් පොඩ්ඩක් මල පැනලා ඇති…ෂුවර් එකටම අපිව ෆලෝ කරයි…මං ඒකමයි නංගීව යැව්වේ…”
“නංගී කරන දේවල් නිසා ඔයාට කරදර වෙන්න වුණානේ අවීශ්…?”
“කරදරේ සොඳුරු විදියට විඳිමු…”
ඔහු සොඳුරු සිනහවක් මවෙත පාමින් කිවේය.
“ඔයාත් නොහිටියා නම් අවීශ්…මං දැන්නේ නැහැ…මොනවා කරන්නද කියලා…”
“මං ඉන්නවනේ…දැන් ඒ ගැන හිතන්න ඕන නැහැ…”
“අනේ අවීශ්…ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නෙ නැහැ…”
“ස්තුති කරන්නම ඕනද…?”
ඔහු මඳහසක් පාමින් අසන විට මමද එයට සිනහවක් පෑවෙමි.
“නංගී මෙහෙම කරයි කියලා මං නම් හිතුවේම නැහැ අවීශ්…බලන්නකෝ එයා කළින්ම සේරම ප්ලෑන් කරලානේ…ජානක අංකල්ලාටත් කතා කරලා කියලා…ප්ලයිට් ටයිම් එකත් වෙනස් කරන්…මට නම් ඔහොම හිතන්නවත් බැරි වෙයි…”
ඔහු ගේ මුවේ ඇඳී ගියේ සාවඥ සිනහවකි.
“අපි හිතන්නෙවත් නැති විදියට සමහර අය ආදරේ වෙනුවෙන් මාර කැප කිරීම් කරනවා ආරාණ්‍යා…නංගී මේ දේ නොකළා නම් එයා ටෙලාන්ට තවමත් පණ ඇරන්…දැන් එයාම ඒක අවබෝධ කරගත්තනේ…”
අවීශ් එසේ කියමින් පසුපස බලන කන්නාඩියෙන් පසු පස බලමින් සුක්කානමට පහරක් ගසන විට මටද පිටුපස බැලිණි.
“ටෙලානයා…”
මාවතේ වෙනත් වාහන නොමැත. වැස්ස කපාගෙන වේගයෙන් එන රථයක් මා දෑසට හසු විය.
“අපි දැන් මොකද කරන්නේ අවීශ්…?”
“බලමුකෝ…”
ඒ මොහොතේ අපි සිටියේ දඬුගම ආසන්නයේය. අවීශ් රථයේ වේගය වැඩි කළ අතර මම යළිත් වරක් පසු පස හැරී බැලීමි. අප පසුපසින්ම වේගයෙන් පැමිණි ටෙලාන්ගේ රථය, අප රථයේ ගැටී එය ඉදිරියට විසීවී වේගයෙන් යමක හැපුණු අතර මගේ හිස කුමක හෝ තදින් වැදී සියල්ල අඳුරක ගිළී යන විට මා මුවින් අවීශ් කියා හඬක් නැඟුණු බව මට මතකය.