More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - ...

    Hima Mal Renu හිම මල් රේණු – 39

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    ශෝකය නිසා කෑ ගසා හඬන්නට තරම් සිතක් පහළ වූ මුත් මම දරා සිටියෙමි. මා හඬන්නේ කුමකටද.? තාත්තා ගේ සැළසුම දැන් මට හෙළී වී අවසානය. ඔහුට වුවමනා දේ කිරීමට මගෙන් නම් ඉඩක් ලැබෙන්නේ නැත. මම අවීශ්ට ඇමතුමක් ගතිමි. සියල්ල මම ඔහු සමඟ පැවසූ පසුව මා සිතට දැනුණේ යම් සහනයකි.

    “කළබල නොවී ඉන්නකෝ…කොහොමත් ඔය දේවල් අද හෙට වෙන ඒවා නෙවේනේ…මොකුත් නොදන්න ගානට වෙනදා වගේම ඉන්න…”

    ඔහු දුන් උපදෙස නම් එයයි. මමද එසේ සිටින්නට සිත හදා ගතිමි. අරගල කරන්නට යෑමෙන් සිදුවන්නේ තාත්තා මට වුවමනාවට වඩා නීති දැමීමය. නැන්දා කාමරයට පැමිණියේ මම මෙලෙස යහන මත හිඳ ගෙන කල්පනා කරමින් සිටින විටය.

    “දෙයියනේ…! ලොකු දුව…ඔයා මාව බය කළා…කොයි වෙලේද අනේ ආවේ…?”

    නැන්දා සැබෑවටම බියට පත්ව සිටි අතර ඈ අත රැඳි රෙදි තොගයද බිම ඇතෑරී ගියේ තිගැස්ම නිසාය. වෙන මොහොතක නම් මම එයට මහ හඬින් සිනහාසීමට ඉඩ තිබිණි. මම උදාසීන බැල්මක් ඈ වෙත හෙළන විට ඈ බිම වැටුණු රෙදි කීපය අහුළා යහන මතින් දමමින් මදෙස බැලුවේ වඩාත් වුවමනාවෙනි.

    “මම ආවේ දැන් නැන්දේ…හැබැයි නියම වෙලාවට…”

    “ඇයි මොකක්ද ඒ කතාව…?” ඈ යහන මත හිඳ ගනිමින් විමසුවාය.

    “තාත්තා හදන්නේ අර රෝවනයට මාව බන්දලා දෙන්න නේද…?”

    දෑස් විසල් කරගෙන නැන්දා මා දෙස බලා සිටියාය.

    “අයියා එහෙම කිව්වද ඔයාට…?”

    “එයා කිව්වේ නැහැ…එයා ඒක තමා මේ වටෙන් කැරැකි කැරකි නහය අල්ලන්න දඟලන්නේ…එයාට ලොකු එයාගෙ බිස්නස්…රෝවන්ට මාව බන්දලා දුන්නොත් ඒක එයාටත් වාසියක්…හැබැයි එයා හිතාගෙන ඉන්න දේවල් නම් කවදාවත් සිද්ද වෙන්නේ නැහැ…”

    මා සවන් වැකුණු සියල්ල මම නැන්දා හා පවසන විට ඈ අසා සිටියේ පුදුමයට පත්වය.

    “එයාට එහෙම ඔයා ගැන තනි තීරණයක් ගන්න බැහැ…අනූ අක්කා නැති වුණ දවසේ ඉඳන් ඔයාව බලා ගත්තේ මම…මටත් ඔයා ගැන අයිතියක් තියනවා…මායි ආච්චි අම්මායි ඔයා එක්ක ඉන්නවානේ…කළබල නොවී ඉන්න…”

    මා සිතට තවත් සහනයක් එක් කරමින් නැන්දා කියන විට මම ඇයව වැළඳ ගත්තේ අපිරිමිත සෙනෙහසකිනි. මාත් නැන්දාත් සුපුරුදු පරිදි මිදුලේ බංකුව මත හිඳගෙන කතා බස් කරමින් සිටින විට තාත්තා පිටතට ගොස් හිඳ නිවසට පැමිණ අප දෙසට පැමිණියේ මට දෝෂාරෝපණයක් එල්ල කරගෙනමය.

    “මොකක්ද අර රෝවන් ඉස්සරහා හැසිරුණ විදිය…ඒ ළමයා මොනවා හිතන්න ඇත්ද…ඒ විදියට මූණට දමලා ගහන්න වගේ කතා කරත්දී…?”

    සිත යළිත් වතාවක් නොසන්සුන් වන්නට වුවද මම ආයසයෙන් එය මැඩ ගත්තේ අවීශ් පැවසූ දේ සිහි කරගනිමිනි.

    “මම වැරැද්දක් කිව්වේ නැහැනේ තාත්තේ… අනික කියන දේ මූණටම කියන එක හොඳයි නේ…එයාත් දැන ගන්න එපැයි එක පාරම තැනකට එනකොට එහෙම නෑවිත් ඉන්න…ඒවා නොදන්නවා වුණාට ඇඟ පුරාම බිස්නස්…”

    “ඒ ළමයා මට කියලා ආවේ…”

    තාත්තා ඒ කීවේ සත්‍යයක් ද නැතිනම් රොවන් බේරා ගැනීමට එසේ කීවාද…?

    “තාත්තද ගෙන්නුවේ එතකොට…?” නොමනාපයෙන් මම ඇසීමි.

    “ගෑණු ළමයි දෙන්නෙක් ඉන්න තැනකට එහෙම යන එන එක හොඳ නැහැනේ අයියේ…අනික මේ ළමයා තවම ඉගෙන ගන්න වයසේ…මොකටද මේ කොල්ලො ජෝඩු කරන්න හදන්නෙ…?”

    “ජෝඩු කරන්න නෙවේනේ..දැන අඳුන ගන්න…”

    “අඳුනගෙන ජෝඩු වෙන්නද…?” නැන්දා එකටෙක විමසුවේ නොමනාපයෙනි.

    “ඒ ළමයා හොඳ ළමයෙක්…”

    “කාලෙකට කළින් අයියට ඔයිට වඩා හොඳ වෙච්ච අයත් හිටියානේ…අන්තිමේදි මොකද වුණේ…? යන එන මනුත් නැති වුණානේ…නේද…?”

    “මිනිස්සු හැමෝම එක වගේ නැහැ…ඒ ළමයා උනන්දුවෙන් වැඩ කරන කෙනෙක්…මම කැමතියි ඒ ළමයට…”

    “ඒ ළමයා උනන්දුවෙන් වැඩ කරනවා නම්…මේ ළමයට උනන්දුවෙන් වැඩ කරගන්නත් ඉඩ දීලා පාඩුවෙ ඉන්න…ඔයා ඒ ළමයාට කැමති වෙන්න යටි අරමුණක් තියෙන්න එපැයි..නේද…?”

    “යටි අරමුණක්…?”

    “නැතුව…ඔයා මෙච්චර මේ දඟළන්නේ ලොකු දුවට ඒ කොල්ලාව බන්දන්න හිතාගෙනනෙ…නේද…?”

    “ඒකෙ වැරැද්දක් නැහැනේ…”

    “එහෙම නම් කතාව ඒකයි…එයා මේ අයිතිවාසිකම් කියාගෙන මෙහෙ එන්නේ ඒ නිසායි…මේ ළමයා ඉගෙන ගෙන ඉවරත් නැතුව මඟුල් තුලා…”

    “අද කතා කරලා හෙට බඳින්නේ නැහැනේ…”

    “තාත්තාත් දැන් සල්ලි පස්සෙ දුවන්න පටන් අරන්…සතුට සැනසීම බැඳීම් කියන දේවල් සල්ලි වලට ගන්න බැහැ…තාත්තා ආත්මාර්ථකාමී වෙලා…මං රෝවන්ට කැමති නැහැ…මගේ ජීවිතේ මට අරමුණක් තියනවා..මට ඒක ඉටු කරගන්න ඕන…”

    “ඔයාගේ අරමුණ මොකක්ද කියලා මං දන්නවා…ඔයාට අවීශ් කියන එකාව නම් මං මැරි කරන්න ඉඩ දෙයි කියලා හිතන්න එපා…”

    “තාත්තා ඒ බයටද මේ රෝවන්ව එක්ක ආවේ…? නිකන් හිතළු මවන් මට බලපෑම් කරන්න එන්න එපා…රෝවන්ව ගෙන්නලා මට කතා කරන්න කියන්න එන්නත් එපා…”

    “ඒ ළමයා එක්ක යාළු කමක් ඇති වුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ….”

    “යාළුකම් බලෙන් ඇති කරවන්න බැහැ…”

    දැඩි හඬින් මමද කීවෙමි. තාත්තා සමඟ කතා කර පළක් නැත. ඔහු තම ස්ථාවරය වෙනස් කිරිමට සූදානම් නැත. මමද එසේමය. මම නැඟිට ගෙතුළට ආවේ මේ කතා බහෙන් හෙම්බත්ව සිටි නිසාය.

    ******* ***** ****** ***** ******** ************ ***** ****** ***** *********
    කෙසේ වුවද රෝවන්ගේ යෑම්, ඒම් නම් අඩුවක් වූයේ නැත. සමහර සති අන්ත වල මෙන්ම සති මැදද ඔහු පැමිණියේ හදිසියේමය. තාත්තා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර මා සිතේ ඇති වූයේ නොසතුටක් මෙන්ම කළකිරීමකි. මම හැකි තාක් ඔහු මඟහැර සිටීමටම වග බලා ගත්තද, සමහර විටෙක එසේ කළ නොහැකි විය. වාසනාවකට මෙන් ඒ හැම වරම නැන්දා මා සමීපයේ හිඳ පළිහක් වී මා ආරාක්ෂා කළාය.

    “ඔයා නිතර නිතර මෙහෙ යද්දී, එද්දී ඔයාහේ ස්ටඩී වලට ඩිස්ටර්බ් වෙන්නේ නැද්ද ළමයෝ…?”

    දිනක් නැන්දා ඇසුවේ ඇනුම්පදයක් ලෙසය. ඇගේ එම පල නොකියා පළා බෙදිල්ල රෝවන්ට නොවැටහුණාද නැතිනම් නොවැටහුණා සේ සිටියාද කියා මම නොදනිමි.

    “ආහ්…ඒවා බැලන්ස් කරන් යනවා…”

    ඔහු නොසැළකිලිමත් ලෙස දුන්නේ එවන් පිළිතුරකි.

    “ලැජ්ජාව කියනා නාමයක් වත් නැති කෙනෙක්…” නදීරා හා මේ දේ පවසන විට ඈ කීවේ කෝපයෙනි.

    මේ අතර තුර අපේ පාඨමාලාව අවසන් වූ නිසා මම සිටියේ තරමක් විවේකීවය. දිනක් රෝවන් පැමිණෙන විට මම සිටියේ ආලින්දයේය. මෙදින මට ඔහු මඟහැර යෑමට අවස්ථාවක්ද නොවීය.

    “අද නම් ඔයා එක්ක නිදහසේ කතා කරන්න පුළුවන්…”

    ඔහු අනාරාධනයෙන්ම මා ඉදිරියේ අසුන් ගනිමින් කීවේය.

    “නිදහසේ කතා කරන්න තරම් දෙයක් මට නම් නැහැ…” මම එක එල්ලේම මූණටම පැවසීමි.

    “ඇයි ආරාණ්‍යා එහෙම කියන්නේ…? කොච්චර දේවල් තියනවද…අපි දෙන්නම ඉන්නේ එකම ෆීල්ඩ් එකකනේ…බිස්…”

    ඔහු යළිත් කීමට සූදානම් වූයේ එකම දෙයයි.

    “මේ…රෝවන්…කරුණාකරලා නවත්ත ගන්නවද….මට ඔය බිස්නස් ගැන තියා වෙන දෙයක් ගැනවත් ඔයා එක්ක කතා කරන්න ඕන නැහැ…ඔයා කැමති දෙයක් තාත්තා එක්ක කතා කරගන්න..”

    මම එසේ කියා නැඟිට පැමිණියේ ඔහු ආලින්දයේ තනිකර දමාය. ඊටත් සුළු මොහොතකට පසු ඔහු පිටව ගිය බව මා හා කීවේ නැන්දාය. සහනයක් කෙසේ වෙතත් මා සිතට දැනුණේ නම් කළකිරීමකි. මේ සියල්ල මෙසේ සිදුවන අතර නංගීගේ විදෙස් ගමනට සියල්ල සූදානම් වී තිබිණි. ඈ සිටියේ හැඬූ කඳුළිනි.

    “මට යන්න බැහැ…මම යන්නේ නැහැ…”

    වරෙක ඈ කෑ ගසමින් හඬන විට මා සිතේ ඇති වූයේ බලවත් අනුකම්පාවකි.

    “බැහැ…නෙවේ…ඔයා යන්නම ඕන…ඔයාව මෙහෙ තියන් අපිට රිස්ක් එකක් ගන්න බැහැ…මේ හැමදේම කරන්නේ ඔයාගේ හොඳට ළමයෝ…අපිට ඔයාව වටිනවා…ඔයා හරියට හිටියා නම් අපිට මෙහෙම කරන්න ඕන වෙන්නෙ නැහැනේ…”

    පුංචි අම්මා වරෙක එසේ කියනු මා සවන් වැකිණි. නංගී මා සමඟද සිටියේ නොමනාපයෙනි.

    “දැන් ඔයාට සතුටින් හිටියෑකි නේ…මං ගියාම…”

    ඈ මවෙත ඇනුම්පදයක් එල්ල කරන විට මා මුවට නැඟුණේ සිනහාවකි.

    “ඔයා හිටියත් නැතත්… මං සතුටින් ඉන්නවා…”

    ඈ කී දේ පිළිබඳව කිසිදු තැකීමක් නොකර මම දුන්නේ සැහැල්ලු පිළිතුරකි. ඈ මට රවමින් ඉවත යන්නට ගියාය.

    චන්ද්‍රම්මා ගේ පුතාට අවීශ් රැකියාවක් සොයා දීමට කටයුතු කර තිබූ අතර ඒ නිසා ඇය සිටියේ සතුටිනි. ඔහු ආසාවෙන් රැකියාව කරගෙන යන බව ඈ මා සමඟ පැවසුවාය.

    “අවීශ් මහත්තායාට නම් පින්…මේ කරපු උපකාරෙට…ලොකු බේබි කියන්න ඕන මං කිව්වා කියලා…”

    ඈ අවීශ් සිහි කරමින් කතා කළේ සතුටිනි.

    “මං කියන්නම්කෝ චන්ද්‍රම්මා…” මම ඒ මොහොතේ කීවෙමි.

    මේ අතර ආච්චි අම්මා කකුළ උළුක් කරගෙන සිටි බව ශ්‍රීමා පැවසුවෙන් මාත් නැන්දාත් ඈ බලන්නට ගමේ ගියෙමු. ඇයට එතරම් අමාරුවක් නොවූ අතර දින දෙකක් මම නැවතී හිඳ යළි කොළඹට පැමිණියේ අපේ උසස් පෙළ ප්‍රතිඵල එම සතියේ නිකුත් වන බව දැන ගත් නිසාය. නැන්දා තව ටික දිනකින් පැමිණෙන බව කීවේ ආච්චි අම්මා වෙද මහතා වෙත කැඳවා ගෙන යෑමට වුවමනා බව කියමිනි. ඒ දින කීපයේ මාත් ඇයත් සමඟ නැවතී සිටියා නම් මේ කිසිත් මෙලෙස සිදු නොවන්නට ඉඩ තිබිණ. අපේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත්ව තිබූ අතර අපි සැවොම සමත් වී තිබූ ප්‍රිතිය සැමරීමට අවීශ් සාදයක් සූදානම් කොට තිබුණේය. එදින සැඳෑවේ අපි සියලු දෙනම කුඩා අවන්හලක එකතු වී එය සැමරුවෙමු. අවීශ් ඉතා විශිෂ්ඨ සාමාර්ථ සහිතව සමත් වී සිටියේය. ඒ පිළිබඳ බෙහෙවින් සතුටු වූයේ මාය.

    “මේ…ඔයාගේ ප්‍රථිඵල…”

    නදී‍රා එසේ කියන විට මා සිතට සියුම් ආඩම්බරයක් දැනුණ බව මම නිහතමානීව පිළිගනිමි. ටිරෝන් ගේ තාත්තා ඔහුව මාස කීපයකට ඕස්ට්‍රේලියාවට කැඳවා ගන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා ටික දිනකට ඔහු පිටත්ව යන බව අප හා කිවේ මෙදිනය. තෙෂාරාගේ අදහස වී තිබුණේ රැකියාවක් කරන්නටය. නදීරාත් එසේමය. මම තවමත් කිසිත් සිතා නොතිබුණෙමි.

    “භාෂිතලාත් ඉන්න තිබ්බේ…එයාලාටත් ෆුල් හැපි ඇති…මට නම් සතුටුයි ආරාණ්‍යා එයාලා හැමෝමත් හොඳට පාස් වුණාට…” නදීරා කීවාය.

    “මටත්…”

    මමද ඈ හා එකඟව කීවෙමි. නමුත් අප සතුට ඉක්මනින් අහිමිව යනු ඇතැයි කියා අපි කිසිවෙකු කිසි විටෙක සිතන්නට නැතිව ඇත. සාදය නිම වී පිටතට එන විට අප ඉදිරියට පැමිණෙමින් සිටි රුව දැක මා සිතේ තිගැස්මක් බඳු හැඟීමක් ඇති විය. මාත් අවීශුත් සිටියේ එකටම වාගේය. නදීරා අපට පෙර තේෂාන් සමඟ කතා බහ කරමින් රථය දෙසට ඇවිද යමින් සිටියාය. රෝවන් අප ඉදිරියේ සිට ගත්තේ සාවඥ සිනහාවක් මුව මත නංවාගෙනය.

    “එහෙනම් මේකයි නේ සෙල්ලම…ගෙදරට එකයි…පිටට එකයි…”

    ඔහු ඒ කී කතාවේ තේරුම මට වටහා ගන්නට නොහැකි වූ අතර මට අවීශ් දෙස බැලුණේ ඉබේමය.

    “කවුද ආරාණ්‍යා…මේ…?”

    ටිරෝන් එසේ ඇසුවේ ඒ කතාව සවන් වැකී වන්නට ඇත.

    “මේ…අර මං කියලා තිබුණේ… ගෙදර එනවා කියල..”

    නොසතුටක් මෙන්ම කෝපයක්ද මා සිතේ ඉපිද තිබිණ. මම කීවේ නොරිස්සුම් මුසු හඬිනි.

    “ආහ්…එහෙනම් ඒ ගැනත් කිව්වාද…?” ඔහු ඇසුවේ අභියෝගයට මෙනි.

    “ඔව්…කිව්වා…ඇයි අහන්නේ…?”

    “අංකල් මට කියලා තියෙන්නේ ඔයා ගැන බලන්න…”

    “මේ…රෝවන්…මට පුළුවන් මං ගැන බලා ගන්න…ඔයා වද වෙන්න ඕන නැහැ…”

    මම අවීශ් අතින් අල්ලා ගත්තේ ඔහු රෝවන්ගේ කතා විලාසයෙන් කෝප ගනු ඇතැයි සිතමිනි. එවිට ඔහු යළිත් වරක් අප මඟ අවුරා සිට ගන්නා විට අමිහිරි වාතාවරණයක් මෙහි පැන නඟිනු ඇතැයි කියා මට බිය සිතිණි.

    “ඇයි යන්නේ…බයේද…?” රෝවන් අසන විට මම ඔහු දෙස බැලුවේ නොපහන් දෑසිනි.

    “මේ රෝවන්…පාඩුවේ වැඩක් බලන් යනවද…ඔයා එක්ක මෙතන කාලේ නාස්ති කරන්න වෙලාවක් නැහැ…”

    මම පහත් වුවත් දැඩි හඬකින් කීවෙමි.

    “ඔව්…ඔයාට මෙයාලා එක්ක නාස්ති කරන්න නම් ඕන තරම් කාලේ තියනව නේද…මේ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ලද…?”

    ඔහු ටිරෝන් දෙසත් අවිශ් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් අසන විට මා සිතේ කෝපය ඔඩු දුවන්නට විය. ඔහු මොන තරම් පහත් අයෙකකුද කියා වටහා ගන්නට එම වචන කීපය සෑහිණි.

    “ඔව්…බෝයි ෆ්‍රෙන්ඩ්ලා තමා…ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ…?”

    “හා..හා….හොඳයි…හොඳයි…අපි එහෙනම් පස්සෙ බලා ගමුකෝ…”

    එවර අවීශ් ඔහුගේ කමිස කොලරයෙන් ඇද අල්ලා ගත්තේ කෝපයෙනි.

    “පස්සෙ බලන්න දෙයක් නැහැ…බලා ගන්න දෙයක් දැන් බලා ගන්නව…”

    “හාහ්…අත ගන්නවා ඕයී…මං කවුද කියල තමුසෙ දන්නවද…”

    “තමුන් මොකා වුණාම මට මොකද… හොම්බ තලා ගන්නැතුව පාඩුවේ යනවා…”

    අවීශ් එසේ පවසා රෝවන්ව තල්ලු කළ වේගයට ඔහු බිම ඇද වැටිණි. මම අවීශ් වත් ඇදගෙන පැමිණියේ මෙය තව තවත් දුර දිග ගොස් රණ්ඩුවකින් කෙළවර වනු ඇතැයි බියෙනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page