Hima Mal Renu හිම මල් රේණු
එළැඹි ඉරු දින මාත් නදීරාත් අවීශ්ගේ නිවසට යාමට කතා කරගෙන සිටියේ දින කීපයකට උඩදීය. අවීශ් අප කැඳවා ගෙන යෑමට පැමිණෙන බව දන්වා තිබූ නිසා මම ඉක්මනින් සූදානම් වූයෙමි. නැන්දා කළබලයෙන් කාමරයට කඩා වැදුණේ මා පිටතට යාමට සූදානම් වන විටය.
“ඇයි නැන්දා මේ කළඹලෙන් වගේ…සුනාමියක්වත් එනවලුද…?” සිනහාසෙමින් මම ඇසුවෙමි.
“එනවා නෙවේ…ඇවිත්…”
“මොකක්…ඒ කොහොමද …කොහාටද…?”
“කොහොමද කොහාටද නෙවේ…මෙහේට…අන්න ඇවිත් ඉන්නවා සාලේ…”
අවීශ්වත් පැමිණියාද කියා මට සිතුණ මුත් ඔහු පැමිණියා නම් නැන්දා එතරම් කළබල වන්නේ නැත.
“කවුද අනේ ආවේ…?”
“වෙන කවුද…ඔයාගේ මනමාලයා…”
“මගේ මනමාලයා…ඒ කවුද…?”
“ඔව්…ඔව්…ඔයාගේ නැතුව මගෙද…? මෙච්චර ඉක්මනට අමතක වෙන්න බැහැනේ…අරා රාවණ්ගේ මල්ලී රෝවන්ද කවුද…?”
“මොනවා නැන්දා…එයා කොහොමද අනේ මගේ මනමාලයා වෙන්නේ…? අනික මෙච්චර උදෙන් එයා මොකටද අපේ ගෙදර ආවේ…?”
දහසකුත් සිතුවිළි මා සිත තුළ පෙරළි කරන්නට විය.
“ඔයාව මුණ ගැහෙන්නනේ…”
“අනේ…ඒ මොකටද…? මං මේ නදීරලා ගෙදර යන්න කියලා ලෑස්ති වුණේ…”
“තාත්තා එපා කියයිද දන්නැහැ…”
“අර මොකටද අප්පා…එයා එපා කියන්නේ…මං තාත්තාට ඊයෙත් කිව්වනේ…”
“තාත්තා එන්න කියලා ආවද දන්නැහැ…”
“කවුරු එන්න කියලා ආවත් මට කමක් නැහැ නැන්දා…කෝ තාත්තා දැන්…සාලෙද…?”
මම නැන්දා සමඟ ආලින්දයට පැමිණියේ අලුතින් නොසන්සුන් වූ සිතිනි. රෝවන් කෙරෙහි මා සිතේ ඇති වූයේ කෝපයකි. නදීරා එක දිගට ඇමතුම් ගත්තද මට එය ඇමතීමට හෝ අවකාෂයක් නොවීය. තාත්තා සමඟ ආලින්දයේ සුවපහසුව හිඳගෙන කතා බහ කරමුන් සිටි රෝවන් දැක මා සිතේ කෝපය වැඩි විය.
“ආහ්…මේ ආවේ…දුව ඔයා මේ කොහේ හරි යන්නද…?”
තාත්තා මා දැක අසන විට මා සිතේ ඇති වූයේ මහා වූ කළකිරීමකි. ඔහු මෙවන් රඟපෑමක් මා සමඟ කරන්නේ මන්ද…? මේ සැබෑවටම මගේම තාත්තා ද කියා සැකයක් දැන් දැන් මා සිතේ ඇති වෙමින් තිබුණේ, අම්මා කෙරෙහි ඇති කරගත් අවිශ්වාසයකින් නම් නොව තාත්තා මේ කරන දේවල් නිසාය.
“මං තාත්තාට ඊයේ කිව්වේ…නදීරා එක්ක එයාගේ වැඩ වගේකට යනවා කියලා…”
තාත්තා හිස ඉහළ පහළ වැනුවේ එය අමතක වූ බවක් පෙන්වමිනි.
“මේ…රෝවන් ඇවිත් ඉන්නේ ඔයාව මුණ ගැහෙන්න…”
එවිට මම එක එල්ලේම රෝවන් දෙස බැලුවේ නොමනාපයත් නොසතුටත් කැටි වූ බැල්මක් එකට මුසු කරමිනි.
“මාව මුණ ගැහෙන්නේ මොකටද තාත්තා…?”
සිතේ වූ අප්‍රසාදය මම එළිපිටම ඇද දැමුවේ ඔහු යළිත් වතාවක් මෙලෙස පැමිණෙනු දකින්නට ඇති අකමැත්ත පෙන්වීමටත් සමඟය.
“අද නිවාඩු දවසේ ඔයා ගෙදර ඇති කියලා හිතලා ආවේ…එදත් එද්දී ඔයා හිටියේ නැහැනේ…”
තාත්තා වෙනුවට පිළිතුරු දුන්නේ රෝවන්ය.
“මාව මුණ ගැහිලා මොනවා කතා කරන්නද…? මට ඔයා එක්ක කතා කරන්න කිසි දෙයක් නැහැ…අනික නිවාඩු දවසේ මම ගෙදර ඉන්නවා කියන්නේ මම රෙස්ට් එකේ ඉන්නවා කියන එක නෙවේ…අපිටත් කරගන්න වැඩ තියනවා…ඔයාට අද වැඩ නැති දවසක් වගේ….?”
නොමනාපය කෝපය නොසතුට මම වචන වලට පෙරළන විට තාත්තා ගේ මෙන්ම රෝවන්ගේත් මුහුණ අඳුරුව යන සැටි මගේ දෑසට හසු විය.
“අද ඉතින් මාත් ෆ්‍රී වගේ තමා…” මෝඩ සිනහාවක් පාමින් රෝවන් කීවේය.
“ඒක හොඳයි…ඉඳලා හිටලා හරි ෆ්‍රී වෙන එක…නැත්නම් ඔයාට බිස්නස් ගැන විතරමනේ ඔළුවේ තියෙන්නේ…ඒ දවසට පොඩ්ඩක් ගෙදර ඉඳන් රෙස්ට් කරන්න…”
මම එසේ කියා පිටව ඒමට සූදානම් වන විට තාත්තා යළිත් මා ඇමතුවෙන් මම නොරිස්සුම් මුසුව ආපසු හැරුණෙමි.
“දුව ඔයාට අද ටිකක් පරක්කු වෙලා යන්න බැරිද…? මේ රෝවන් ආව එකේ…”
මා සිතේ යළිත් වරක් කෝපය ඔඩු දුවන්නට විය.
“ගමනක් යන්න එළියට බහින්න යද්දී ඔහොම බාධා කරන්න එපා අයියේ…ඒ ළමයාට කරගන්න වැඩක්වත් රිලැක්ස් එකේ කරගෙන්න ඉඩ දෙන්නකෝ…”
නැන්දා මැදිහත්ව කියන විට තාත්තා ඈ දෙආ බැලුවේ නෙරවා ගත් දෑසිනි.
“මේ ළමයා ආව එකේ…”
“තාත්තා දැන් මට කියන්නේ නොයා ඉන්න කියලාද…? හරි…මම ගෙදර ඉන්නම්…හැබැයි මම ඔය ළමයි බලා ගන්න ආයා කෙනෙක් නම් නෙවේ…නදීරා මං එනකල් බලන් ඉන්නවා…නිවාඩු දවසේ අපිට කරගන්න වැඩ තියනවා…ඔෆිස් වලට ඔඩිට් වලින් කඩාගෙන පනිනවා වගේ මෙහෙම ගෙවල් වලට එන සිරිතක් නැහැනේ…බිස්නස් මයින්ඩ් විතරක් ඔළුවේ තිබුණාට මදි…සිරිත් විරිතුත් දැන ගෙන ඉන්න එපැයි…නේද තාත්තේ…?”
උපහාසය මුසුව මම කීවෙමි. තාත්තා අපහාසුතාවයට පත් වූවාක් මෙන් රෝවන් දෙස බලන විට නැන්දා කීවේ මා තවත් පමා නොකර පිටත් කරන ලෙසය.
“ඔයා යන්න ආරාණ්‍යා…ඒකට කමක් නැහැ…මං ඕන නම් ඔයාව ඩ්‍රොප් කරන්නම්…” රෝවන් කීවේය.
“එපා…තෑන්ක්ස් මං ඌබර් එකක් දැම්මා… දැන් මඟ…”
එසේ පවසා මම පිටතට දිව ආවේ යළිත් වරක් දුරකථනය හැඬ වෙන හඬටය. ඇමතුම නදීරාගෙනි. ඔවුන් මා කැඳවාගෙන යෑමට පැමිණ සිටියෙන් මම දිව ගොස් රථයට නැඟුණෙමි.
“සොරි අනේ පරක්කු වුණාට…”
“මෙයා නම් මලාට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ…”
නදීරා මවෙත දෝෂාරෝපණයක් එල්ල කළාය.
“සොරි අනේ…”
“සොරි තමා…මොකද මේ උදේ පාන්දර මූණ ඇද වෙලා…කොහේද වද්ද ගත්තේ…?”
නදීරා ඇසුවේ අවීශ් රියදුරු අසුනේ සිටින්නේ මන්දැයි මම සිතමින් සිටින විටය.
“අද ප්‍රාසාද් අයියා නැතිලු…ඩ්‍රයිවර් මහත්තයා පිටිපස්ස බලන්න ඕන නැහැ…ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරන්න…කතාව ඇහුණාම මදෑ…”
ඈ මා සිත හැඳින ගත්තාක් මෙන් කීවේ අවීශ්ටද ඇනුම්පදයක් එල්ල කරමිනි.
“දැන් කියනවා මොකෝ වුණේ…?”
“අද අර මරාලේ පාත් වුණානේ උදේ පාන්දර…”
“මනමාලයාද…?”
“ඔව්…ඔව්…තාත්තා කියනවා ඒ “ළමයා” ආවේ මාව බලන්නලු. මං කිව්වා ළමයි බලන්න මං ආයා කෙනෙක් නෙවේ කියලා…මූණ දෙක වුණා…”
මම එසේ කියන විට අවීශ් උස් හඬින් සිනහාසුණේය.
“අනේ…අනේ ඩ්‍රයිවර් මහත්තයා… පරිස්සමෙන්…අපි තාම සිංගල්..ඉතින් කියන්න…ඊට පස්සේ…?”
“තාත්තා හැදුවේ අදත් මාව තියා ගන්න…”
“ඔන්න පුතේ…හැමදාම ඔය කට්ටි පැනිලි නම් බැරි වෙයි…කවදා හරි කොටු වෙන එක ෂුවර්…”
නදීරා විහිළුවට වුවද කළේ අනතුරු ඇඟවීමකි.
“මං දන්නවා…මට තේරෙන්නෙ නැහැ… තාත්තා මොනවා කරන්න යනවද කියලා…”
“එන පොට නම් හොඳ නැහැ ආරාණ්‍යා… මට කියන්න තියෙන්නේ එච්චරයි…අංකල් හදන්නේ ඔය “ළමයාව” ඔයාගේ ඔඩොක්කුවට ඇදලා දාන්න…එයා බයේ ඇත්තේ…ඒකයි…”
“පව්…ඒ “ළමයා.”මං නැනී වෙයි කියලා හිතන් ඇති…”
“කොල්ලා සල්ලිකාරයෙක්ද…?”
“අනේ මන්දා…මහ මෝඩයෙක්…”
“පොඩ්ඩක් හොයලා බලනවා මැට්ටෝ…ඔය “ළමයා ” කැරකෙන්නේ නිකම් නම් නෙවේ…තාත්තගේ දේපළ වලට ඇහැ ගහගෙන කියලයි මට නම් හිතෙන්නේ…”
නදීරා එසේ පවසන තුරු මම ඒ ගැන සිතා නොතිබුණෙමි. එය එසේ වුවත් ඒය මාගේ වරදක් නොව තාත්තාගේ වරදය. නිරංගා ඇන්ටි අප පිළිගත්තේ සුපුරුදු ලෙංගතු හැඟීමෙනි.
“මං බැලුවා මොකෝ පරක්කු කියලා…”
ඈ දකුණතින් මගේ අත අල්ලා ගනිමින් කීවාය. මා අද මෙහි පැමිණියේ විශේෂ කාරණාවක් නිසාය. අපි එකතුව සුළු මොහොතක් ආගිය තොරතුරු කතා බස් කළෙමු. නදීරා අවීශ්වත් කැඳවාගෙන පිටතට ගියේ මට නිරංගා ඇන්ටි සමඟ කතා බහට ඉඩ සළසමිනි.
“මං අද ආවේ ආන්ටි එක්ක වැදගත් දෙයක් කතා කරන්න ආන්ටි…”
“මං දන්නවා දුව මගෙන් අහන්න හදන්නේ මොකක්ද කියලා…ඒත්…මේ ඒකට සුදුසු වෙලාව නෙවේ…මං ඔයාට ඒ දේවල් කියන්නම් පස්සෙ දවසක…”
ඈ එසේ කියා නිහඬ වූවාය.
“අම්මාගේ මරණේ පිටිපස්සේ ලොකු අභිරහසක් තියනවා කියලා මට හිතෙනවා ආන්ටි…”
“ඉතින් ඔයා තාත්තා එක්ක මේ ගැන කතා කළේ නැද්ද…?”
“එයා කෙළින් මොකුත් කියන්නේ නැහැ…වටින් ගොඩින් හොයා ගත්ත දේවල් එක්ක මං මේ සේරම ගළප ගන්න බැරිව ඉන්නේ…”
“හැමදේකටම වෙලාවක් එනවා…එතකල් ඉන්න…”
මට වෙන කළ හැකි දෙයක් නොමැත. මම නිහඬව සිටියේ තව දුරටත් මේ මාතෘකාව ඔස්සේ කතා බහ කර ඵලක් නොවන බව දැනය. අපි සිව් දෙන කතා බහ කරමින් සිටින විට ෂානුද එහි පැමිණියාය. ඈ මා දැක පුදුමයටත් සතුටටත් පත් වූ බව මුහුණින් පෙනිණ.
“ඔයා මෙහෙ ඇති කියලා මම නිකමටවත් ගෙස් කළේ නැහැ…”
ඈ මගේ අතකින් අල්ලා ගනිමින් කීවාය.
“ආන්ටිව බලලා යන්න ආවා ෂානු…” මම කීවෙමි.
“ආන්ටිවද…අවීශ්වද…?”
ඈ මාත් නිරංගා ඇන්ටි දෙසත් මාරුවෙන් මාරුවට බලමින් අසන විට මා සිතේ ලැජ්ජා මුසු හැඟීමක් විසිර ගියේය.
“අවීශ්ව නම් නිතරම මුණ ගැහෙනවානේ..අද ආවේ ආන්ටි බලන්න…”
“මං විහිළුවට කිව්වේ…ඔයාලා ඉතින් හොඳ යාළුවෝනේ දැන්…”
ෂානු එසේ කියන විට මම අවීශ් දෙස බැලීමි. ඔහුද මා දෙසම බලා හිඳියි.
“ඔව්…ෂානු අපි හොඳ යාළුවෝ…”
ඔහුගේ මුවේ සිනහවක් විකසිත වන සැටි මම දුටිමි.
මම නිවසට පැමිණියේ බලාපොරොත්තු සුන්වූ සිතිනි. නිරංගා ඇන්ටි නොකියා කියූ දේවල් පිළිබඳව මට යළි යළිත් සිතන්නට වුවමනා විය. අම්මාගේ මරණය හා සම්බන්ධ කිසියම් හෝ දෙයක් හෝ ඈ දැන සිටින බව මට සහතිකවම පැවසිය හැක. මෙයට තාත්තාගේ සම්බන්ධයක් ඇතිද…? එම සිතුවිල්ල පවා මා බිය ගැන්වූ අතර එසේ නොවේවායි කියා මම සිත යටින් පැතුවෙමි. තාත්තා නිවසේ සිටින බවක් පෙනෙන්නට නැත. ඔහු රෝවන් සමඟ පිටතට ගියා වන්නට ඇත. මම ආලින්දය හරහා පුංචි අම්මාගේ කාමරය පසු කරමින් සිටින විට ඇගේ කෝපයට පත් හඬ මා සවන් වැකිණි.
“අදත් මගේ ෆෝන් එක ගත්ත නේ…මං වොෂ් රූම් යනකල් ඉඳලා…උඹව හදන්න බැහැ…” ඈ බැන වදින්නේ නංගීටය.
“මගේ ෆෝන් එකේ සල්ලී ඉවර වෙලා…ඒකයි…”
“මේ සෙල්ලම තාම කරගෙන යනවා නේද…? තාත්තා දන්නවා නම් හම ගහයි…මං හිතන් හිටියේ මේවා ඉවරයි කියලානේ…”
“ඉවර වෙන්නේ කොහොමද…අනික මොකටද ඉවර කරන්නේ…? ඔයාලගේ නීති සේරම මට විතරයි…ලොකූ එයාට වුවමනා සේරම කරගන්නවා…තාත්තා ඒවා හොයන්නේ නැහැ…”
“ඒවා තාත්තා බලා ගනියි…ඔයාට අරයාගේ මෙයාගේ ඒවා ඕන නැහැනේ…තමුන්ට ගැළපෙන දෙයක් කර ගත්තනම් ප්‍රශ්නයක් නැහැනේ…”
“මොකක්ද දැන් එයාගේ වරද…?”
“අහන ලස්සන…වරද…වැරදි එකක් දෙකක්ද…ඇත්තටම මොකක්ද ළමයෝ මේ තමුන්ට වෙලා තියෙන්නේ…? නයිට් ක්ලබ් ගානෙයි..අතන මෙතන කෙල්ලෝ එක්ක නටන එකෙක්ගේ වරද මොකක්ද අහනවා…කුඩු කාරයෙක්ට වහ වැටෙන්න තරම් තමුන්ගේ මොළේ වැඩිලා නැද්ද…?”
“අනේ අම්මේ…මේ…ඔයාලගේ කාලේ වගේ නෙවේ මේ…ඔයාලා ඒ කාලේ එන්ජෝයි කළේ නැත්ද…,මොකක්ද ඒකේ ඇති වැරැද්ද…? අපි හරියට ගෙයි ගෙම්බෝ වගේනේ…මොකක්ද මේ ලයිෆ් එක…කිසි ෆන් එකක් නැහැනේ…”
“පෙනේද මෙයාගේ කට…මට තමුන්ට මේවා තේරුම් කරන්න බැහැ…තාත්තා ආවදෙන්කෝ…මං ෆන් පෙන්නන්නම්…”
“තාත්තාත් සේරම මට තමා…අරයා හොඳ ෆ්‍රීඩම් එකේ ඉන්නවා…දැන් එයා කොහෙද ගියේ කියලා හොයලා බැලුවද…?”
“හොයලා බලන්න දෙයක් නැහැ…එයා දන්නවා තමුන් කරන්නේ මොනවද කියලා…එයා ඔයා වගේ මෝඩ නැහැ…මොනදේ කළත් එයා කල්පනාවෙන් කරගන්නවා…එයා ස්ටඩී වුණත් හොඳට කර ගත්තනේ…මේකි ගෙටම වෙලා හිමිජ්ජී වගේ ඉඳන් පේනවානේ කරගෙන තියන හරිය…ෆ්‍ර්‍රිඩම් එකක් නැහැලු…”
“ඉතින් ඇත්තනේ මම කිව්වේ…ලොකූ එයාට ඕන ඕන තැන්වල යනවා…මම ගේ ඇතුළේ…එයාට මොන තරම් නිදහසක්ද..?”
“ඒකට ඇරියස් එකටද මේ කුඩ්ඩෙක් හොය ගත්තේ…? එයාට වුණත් ඔය නිදහස තව ටික දවසයි…හෙට අනිද්දා මැරි කරන්න ඉන්න එකේ ඔන්න ඔහේ නිදහසේ හිටපු දෙන්…”
එය සවන් වැකී මම තිගැස්සී ගියෙමි.
“මැරි කරන්න…ඒ කාවද…?”
“අර රෝවන්…එයාලා අපේ ඉස්සර ඉඳන් හොඳ යාළුවෝ…ඒ ළමයා කැමතියි…ඒකනේ මේ යන්නෙ එන්නෙ…”
මා සිතේ කෝපයක් ඉපදිණි. තාත්තාට මගෙන් නොවිමසා එවන් තීරණයක් ගත නොහැකිය.
“මැරි කරන්න ලොකූ තාම හිතලවත් නැතුව ඇති…අනික ඒ මැන්ටලේ ලොකූට මැච් වෙන්නෙ නැහැ…මොනවා වුණත් ලොකූ පව්…”
නංගී එවර මා වෙනුවෙන් කතා කරන්නට වන විට මම පුදුම වූයෙමි.
“ආහ්…ඒ පාර සත්ව කරුණාව පහළ වෙලාද…? මෙච්චර වෙලා විරුද්ධව කතා කරලා දැන් පව්ලු…රෝවන්ගේ ෆැමිලි එක හොඳ ෆැමිලි එකක්…දැක්කනේ එදා ආව වෙලේ…හොඳ සල්ලි කාරයෝ…”
“අම්මලාට ඉතින් සල්ලිමනෙ…ඒ කොල්ලාගේ ඔළුවෙම බිස්නස් විතරයි…ලොකූට බැහැ ඒ වගේ කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න…එදා ආව වෙලේ ඉඳන්ම කතා කළේ බිස්නස් ගැන…කෑම කෑවෙත් බිස්නස් ගැන කියව කියවා…රෑට හීනෙනුත් කියවනවා ඇති…එයත් මේ ලොකූට කැමති වෙලා…මෙහෙ යන්නේ එන්නේ ලොකූට ආදරේට නෙවේ…තාත්තාගේ බිස්නස් වලට ඇහැ ගහන්…මෝඩ තාත්තා…පව් ලොකූ…එයාට එච්චර ආදරේ කරන ලොකු දුවව එයා බිස්නස් ඩීල් එකක් කරන්…තාත්තටත් ඕන ඒ මිනිස්සුන්ගෙ සල්ලී…”
නංගීගේ කතාව මා සිතට වැදුණු බලවත් පහරක් විය. ඉන් මා සිත සී සී කඩව බිඳී විසිර ගියේ තාත්තා කෙරෙහි මෙතෙක් වූ ආදරයත් සුනු විසුණු කර දමමිනි. දැන් මට ඔහුගේ යටි අරමුණ ඔප්පු වී හමාරය. මා සිත වඩාත් රිදුණේ නංගී කී කතාවටය.
“එයාට එච්චර ආදරේ කරන ලොකු දුවව එයා බිස්නස් ඩීල් එකක් කරන්…”
එය මා සවන් පුරා රැව් දෙන්නාක් මෙනි. මම කාමරයට පැමිණියේ තෝන්තු වූ සිතිනි. යහන මත හිඳගෙන මම අවීශ් ඇඳි සිතුවම දෙස බලා සිටියේ හිස් දෑසිනි. මා සිත වසාගෙන මහා වූ දුකක් වේදනාවක් ඔඩු දුවන්නට විය. තාත්තා මා සිතා සිටි පුද්ගලයා නොවේ. ඔහුට මා කෙරෙහි ඇති සෙනෙහසක් නැත. එම සිතුවිල්ල පවා මා සිත වඩ වඩාත් රිදවූවේය.