More
    NovelsRath Dothaluරත් දෝතළු - 19

    රත් දෝතළු – 19

    -

    spot_img

    රත් දෝතළු – 19

    රැකියාවක් පිළිබඳව ඉඟියක් පවා නොමැතිව සතියකට වඩා කාලයක් ඉක්ම ගියේය. නිර්මාණි අයදුම්පත්‍රයක් සැකසුවේ සංජයගේ උපදෙස් පරිදිය. ඔහු එය කිහිප දෙනෙකුටම යවා තිබූ බව ඈ මා සමඟ කීවාය.

    “මොනවා හරි තිබුණොත් කියන්නම් කීවලු…”

    ඔහු ඇයට පවසා තිබිණි. බලාසිටීම තරම් එපා කරවූ දෙයක් තවත් නොමැත. තවත් දින කිහිපයක් මෙලෙස ගෙවී ගියේය. නිර්මාණි වේලාසන සේවය නිමවී පැමිණිදාට අපි ගාලුමුවදොර පිටියේ ඇවිදින්නට ගියෙමු. එය ඒකාකාරීව ගෙවීයන ජීවිතයට යම් තරමක වෙනසක් එක් කළේය. ඈ නිවසේ නොසිටි බොහෝ වේලාවට මා කළේ සඳළුතලයට වී නිමක් නොපෙනෙන මහ සයුර දෙස බලා කල්පනා කිරීමය. එදින නිර්මාණිගේ නිවාඩු දිනයයි. නිවසට වුවමනා දෑ ගෙන ඒමට සුපිරි වෙළඳ සැලකට ඈ මා කැඳවාගෙන පැමිණියාය.

    “තනියම පුරුදු වෙන්න ඕන නිසයි අද එක්ක ආවෙ…”

    ඈ කීවේ සිනහවක් පාමිනි.

    “ආහ්… මෙයා හදන්නේ මාව කඩේ අරින්නද…?”

    සිනහවක් පාමින් මම ඇසීමි.

    “නරක් වෙලා තියෙයි මට කඩේ ගියොත්…”

    “ආහ්… හිතේ ඇති… බලන් ඉන්නවකෝ…”

    මමද කීවෙමි.

    මෙවන් සුපිරි වෙළඳ සංකීර්ණයකට මා ආ පළමුවතාවය. මා කෙදිනකවත් නොදුටු දෑ එහි විය. අවශ්‍ය දේ තෝරාගෙන අපි ඉක්මනින්ම පිටතට පැමිණියෙමු.

    “පාරවල් මතකද දැන්…?”

    බසයක් එනතුරු නැවතුමේ සිටින විට ඈ මා විමසුවාය.

    “පිස්සුද අනේ… මාව නිකන් කරකවලා අතෑරියා වගේ…”

    “දැන් ඉතින් හුරුවෙන්න වෙයි…”

    ඈ කීවේ විහිළුවට නොවන බව මට වැටහිණි. මා මුවින් සුසුමක් ගිළිහී ගියේ හදිසියේ අහේතුකව නිවැසියන් සිහි වීමෙනි.

    “ඒ පාර මොකද…?”

    නිර්මාණි වහා මා විමසුවාය.

    “ගෙදර මතක් වුණා…”

    නිදහස් අතින් ඈ මගේ අතින් අල්ලාගත්තාය.

    “කොළඹට ආව මුල් දවස්වල මාත් එහෙම තමා… ගෙදර මතක් වෙලා ඇඬුවා… හැබැයි එදා මාව සනසන්න කවුරුවත් මං ළඟ හිටියේ නැහැ… ඒත් අරවින්දි… ඔයාට එහෙම නෙවේ… ඔයාට මං ඉන්නවා…”

    ඇගේ කතාවෙන් මා සිත වඩාත් සංවේදී විය. ඈ කෙරෙහි ආදරයකින් මසිත පිරී ගිය අතර දෑසට කඳුළු එක් රොක් වන්නට එතරම් වෙලාවක් ගත නොවුණද මම ඇසිපිය සළමින් ඒවා වළකාගත්තේ බසයක් විත් නැවතුමේ නවතන විටය. නිර්මාණි පසුපස මමද වහා එයට ගොඩ වූයෙමි. එහි මගීන් නොවුණ තරම්ය. පසුපස අසුනේ හිඳ සිටි තරුණයා නැඟී සිටින විට මම වහා ගොස් ඔහු හිඳ සිටි තැනම හිඳ ගත්තේ ජනේලය අසළ අසුන මා කවදත් ප්‍රිය කරන නිසාය. නිර්මාණි ඉදිරිපෙළ අසුනක හිඳ ගැනීමට ගොස් යළි මා අසලට පැමිණියේ දොර අසල සිටගෙන සිටි තරුණයා දෙස දෑස් විදහා බලමිනි. ඇගේ දෑස් පිටතට පනිනු ඇතැයි කියා බියෙන් මම ඇයට වැළමිටෙන් ඇන්නෙමි.

    “මොකද මේ… ඇස් දෙක ලොකු කරන්…?”

    පහත් හඬින් මම ඇසුවේ පෙර කී තරුණයා නිකමට හැරී බැලුවා නම් කුමක් සිතනු ඇතිද කියා දෙගිඩියාවෙනි. වාසනාවකට ඔහු ඊළඟ නැවතුමේ බසය නැවතීමට පෙර ඉන් බැසගෙන ගිය අතර නිර්මාණි ගෙළ හරවා වහා ඔහු ගිය දෙස පිටුපස වීදුරුවෙන්ද එබී බැලුවාය.

    “කවුද අනේ…?”

    මම විමසුවද ඈ එකවරම පිළිතුරක් නොදුන්නේ ටිකට් පත් කැඩීමට කොන්දොස්තර පැමිණි නිසාය.

    “ඒ විහඟ…”

    ඈ පසුව කීවේ රහසින් මෙනි.

    “කවුද… විහඟ…?”

    “අර බස් එකෙන් බැහැලා ගියේ මෝඩයෝ…”

    “එයා දිහාද බෙල්ල උළුක් කරන් බැලුවේ…?”

    මා දන්නා විහඟයෙකු නැති නිසා මම ඇසුවේ උපහාසයෙනි.

    “නැතුව… අම්මෝ… පට්ට ගති නේද… ලස්සන…”

    මා මුවට සිනහා නැගුණේ ඈ ඔහුගේ රුව ගුණ වනන්නට වූ බැවිනි.

    “ඔයාගේ සංජුට වඩා ලස්සනද…?”

    මම ඇසුවේ ඈ අවුස්සන්නට සිතාය.

    “අනේ… මේ… සංජු ලස්සනයි ඊට වඩා…”

    මුව ඇදකරගනිමින් ඈ කියන විට මම තරමක් හඬින් සිනහසුණෙමි.

    “මොකෝ හිනාවෙන්නේ… මම ඇත්ත කිව්වේ… මීට් වුණාම බලනවකෝ…”

    ” නිකන් නිකන්… කවුද දැන් ඔය විහඟ කියන්නේ…?”

    මම යළිත් පෙර කතාවම ඇදගතිමි.

    “අපෝ… මොනාද හලෝ… විහඟව දන්නැහැ… ඒ අලුත් ඇක්ටර් කෙනෙක්… ඔයා ටී වි බලන්නේ නැත්ද…?”

    “අපේ ගෙදර ටී වී තිබුණැයි මෝඩියේ…”

    මුව ඇදකරමින් මම කීවෙමි.

    “හරි… හරි… සමාවෙන්න… අමතක වුණා… එයා කලින් මොඩ්ලර් කෙනෙක්… දැන් රඟපානවා… මේ දවස් වල අලුත් මුවී එකක් රිලීස් වෙලා තියෙන්නේ… මං හිතන්නේ පොර මේ කිට්ටුව ඉන්නවා ඇත්තේ… ඒත් මං දැක්කේ අදමයි…”

    “එයා ඇවිත් නැත්ද ඔයාලගේ එකට…?”

    මම අසුවේ සැබෑවටමය.

    “නැහැ… මං කවදාවත් දැකලා නැහැ…”

    නිර්මාණි එක දිගට තව මොනවා හෝ කියවන් ගියද මම තැකීමක් නොකළෙමි. මම ඔහුගේ මුහුණ වුවද හරි හැටි නොදුටුවෙමි. ඈ කියන කිසිත් මා සවන් පත් නොවැකිණි. නොඑසේ නම් මම සවන් නොදුන්නෙමි. අපේ නැවතුම ළංවන විට නිර්මාණි මට පෙර නැඟිට සිටියාය. මමද නැඟී සිටින විට මා පයේ ගැටුණු යමක් නිසා මම බිමට දෑස් යොමුවෙමි. ඒ කුමක්ද කියා දැක මසිත බියෙන් සළිත විණි. එය මුදල් පසුම්බියක් වූ අතර කුමක් කළ යුතුද කියා සිත සිතා ඉන්නට කාලයක් නොවූයෙන් මම එය අසුළාගෙන මා අතේ වූ බෑගයට දමාගෙන නිර්මාණි සමඟ ඉක්මනින් බසයෙන් බැසගතිමි. මම එය එලෙසම දමා ආවා නම් එය වෙනත් කිසිවෙකු හෝ අසුළා ගනු ඇත. නමුත් සොරකමක් කළාක් මෙන් මා සිටියේ බියෙනි.

    “මොකෝ මේ මහ දවලේ හොල්මනක් දැක්කා වගේ බය වෙලා…?”

    නිර්මාණි මදෙස බලා ඇසුවේ මවිතයෙනි.

    “මොකුත් නැහැ… යමුකෝ…”

    මම පය ඉක්මන් කළෙමි. විදුලි සෝපානයේ නැඟී අපි ඉහළට පිවිසෙන විට නිර්මාණිගේ ජංගම දුරකථනය හැඬවිණි. ඈ එයට අමතමින්ම විත් දොර හැරගෙන කාමරයට ගියාය. ඈ යළි බොහෝ වේලාවක් වන තුරු නොපැමිණෙන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි. ඇමතුම සංජයගෙන් බව මට වැටහිණි. ගෙනා බඩු මළු කීපය මේසය මත තබා ඒ බෑගයක දමා ගත් මුදල් පසුම්බිය ගෙන සැටියේ හිඳ ගතිමි. මෙහි අයිතිකරු අර නිර්මාණි කී විහඟදෝ කියා සැකයක් මා සිතේ වූ අතර මම එය විවර කරමින් බැලුවේ එහි අයිතිකරු පිළිබඳව හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණිනි. දුටු දෙයින් මා සිතේ ඇති වූයේ භීතියකි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 44

    රත් දෝතළු - 44 මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත්...

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා - Ahmadinejad ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page