Tharu Mal Viyan තරු මල් වියන්
මාලකගේ විවාහ උත්සවයට අංජලී සහභාගී වූයේ නොකමැත්තෙනි. ඇයට දුකක් හෝ සතුටක් නොදැනිණි. ඔහු සමඟ සබඳකමක් ඇති වූයේ ඔහුගේ බල කිරීම නිසාමය. ඇගේ සිත තවමත් පසුතැවුණේ මාමාටත් නැන්දාටත් ද්‍රෝහී කමක් කළා යැයි කියන හැඟීම නිසාය. ඈ දින තුනකට පමණ පෙර නිවසට පැමිණියේ නැන්දා මඟින් මඟට කළ ඉල්ලීම නිසාය. කාමරය ඉතා පිළිවෙළකට තිබුණද අල්මාරිය විවර කරන විට නම් ඇයට සිතුණේ කිසිවෙකු එය හැරදමා ඇද තිබූ බවකි. ඈ කුහුල් සිතින් ලාච්චුව විවර කළේ එහි තිබූ දෑත් අවුස්සා තිබේ දැයි සැක හැර දැන ගන්නටය. ඈ සිතුවා නිවැරදිය. ඈ ලාච්චුව ගෙන යහන මත හිඳ ගත්තාය. නැන්දා නම් කෙදිනකවත් මෙවැන්නක් නොකරන බව ඇයට සහතිකය. ඇගේ සිතේ සැකය එල්ල වූයේ මාලක් වෙතමය. තුෂර තිළිණ කළ අත් දම්වැල එහි ඇසුරුමෙන් පිටතට ගෙන තිබූ අතර එය ලාච්චුවේ දමා තිබුණේ ඇසුරුමෙන් පිටතය. අංජලී එය පළමු වරට දුටුවේත් මෙවිටය. ගයානි සහ රංගිකා එවූ සුබ පැතුම් පත් පවා එහෙ මෙහෙ විසුරුවා තිබෙනු දැකීමෙන් ඇගේ සිතේ ඇති වූයේ බලවත් වූ කෝපයකි.
“මොනවා හොයන්නද දන්නැහැ මගේ අල්මාරිය ඇරියේ…”
ඈ සිතුවේ කෝපයෙනි. මාලක අවසර නොගෙනම කාමරයට පැමිණියේ ඈ අල්මාරිය නැවත අස්පස් කරමින් සිටින විටය.
“කාමරේට එන්න කළින් කතා කරන්න දන්නේ නැත්ද…?”
තිගැස්මට පත් ඈ ඇසුවේ කෝපයෙනි.
“සොරි මැඩම්…බරටම වැඩ කියලා දන්නේ නැහැනේ…මං ඇතුළට එන්නද…?”
“ඇතුළට ඇවිල්ලානේ ඒකත් අහන්නේ…වැඩකට නැති මිනිස්සු අනික් අයගේත් වැඩ අවුල් කරනකොට බරටම වැඩ කරන්න වෙනවනේ…”
ඔහුට රවමින් ඈ කියන විට මාලක තිගැස්සී ගිය බව ඈ දුටුවාය.
“කාටද ඒ හින්ට් පාස් කරන්නේ…?”
“හින්ට් ගහන්න මෙතන දහයක් නැහැනේ…සපත්තුව හරි නම් දාගන්න…මගේ අල්මාරිය ඇදලා මොනවද හම්බුණේ…?”
ඈ එක එල්ලේ ඔහු දෙස බලාන ඇසුවාය.
“හහ්…හොයා ගන්න ඕන ඒවා මං හොයා ගත්තා…ඔය තියෙන්නේ ඇස්පනා පිටම…”
යහන මත වූ අල්මාරියේ ලාච්චුව දෑසින් පෙන්වමින් මාලක කීවේ උපහාසයෙනි.
“තමන්ගේ වැරදි වහගන්න හදන උන් අනුන්ගේ නැති වැරදිත් හොයනවා…ඊට පස්සේ තමුන් සුද්ධවන්තයි වගේ තමා අනික් මිනිස්සුන්ට චෝදනා කරන්නේ…”
“චෝදනා කරන්නේ නිකන් නෙවේනේ…ඕවා ඉබේ පහළ වෙච්ච ඒවා නෙවේනේ…”
“හැමදේම ඉබේ පහළ වෙනවා නම් ඉතින් මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්න තිබුණානේ…මේක මට තුෂර දුන්නේ…”
ඈ පැවසුවේ උපහාසය මුසු වූ හඬකිනි.
“හුඟාක් වටිනවා ඇති…?”
“ආහ්…මුදලේ වටිනාකම නම් මං දන්නේ නැහැ…හැබැයි මට වටිනවා…ඒකනේ අල්මාරියේ දාලා පරිස්සම් කළේ මෙච්චරකල්…”
ඇගේ සැහැල්ලු කතා විලාසය නිසා ඔහු සිතේ ඇති වූයේ කෝපයකි.
“ගාර්මන්ට් කාරයෙක්නේ…සල්ලි ඇති…රට වටේ බංගලායි පාට පාට වාහනයි…”
ඔහුගේ හඬේ පවා වූයේ ඊර්ෂ්‍යාවයි.
“අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා නොකර තමුන්ගේ පාඩුවේ වැඩක් බලන් දැන් මෙතනින් යනවද…ඉස්සාගේ ඔළුවේ කුණු තියන් අනුන්ගේ කුණු හොයනවා… හොයන්න ආව වැරදි අල්ලා ගන්න බැරි වුණාම කරන්නේ චෝදනා කරන එක…”
අංජලී කෑ ගැසුවේ කෝපයෙනි. මාලක ඇයට රවමින් පිටව ගියේ ඇගේ හඬ පිටතට ඇසෙනු ඇතැයි බියෙනි. ඈ දොර වසා දමා ඊට පිටදී සිට ගත්තාය. දෑසට කඳුළු නැගෙනු වෙනුවට මේ මොහොතේ මුවට නැගුණේ සිනහවකි. මාලක පරාද වී හමාරය. ඔහුගේ සිත රිදී ඇත. ඊර්ෂ්‍යා මුසු හඬින් කියවෙන්නේ එයයි. ඈ සිතේ ඇති වූයේ සතුටකි. දැන් දැන් නම් ඔහු කෙරෙහි කිසිදු හැඟීමක් නැත. ඇත්තේ කෝපයක් පමණි.
—————————————————————————————————–
“නංගිගේ යාළුවෝ කවුරුවත් එන්නේ නැත්ද වෙඩින් එකට…අපේ එකට නම් ආවනේ…?”
ගිම්හානි ඇසුවේ අංජලී සමඟ කතා බහ කරමින් සිටින විටය. මුළුතැන්ගෙයි සාදන විවිධ කෑම වර්ග වල සුවඳින් මුළු නිවසම පිරී ගොසිනි.
“අනේ…නැහැ අක්කේ…මාලක එක්ක ගයා තරහයි…මේ ප්‍රශ්නෙදි ගයා කතා කරලා මාලකට බැනලා තිබුණා…රංගිත් එන්නේ නැහැ…ඒ නිසා…”
“කමක් නැහැ…මොනවා කරන්නද…අම්මා ඇහුවේ නැත්ද යාළුවෝ එන්නේ නැත්ද කියලා…?”
“ඇහුවා…මං කිව්වා තුන්දෙනාටම නිවාඩු ගන්න බැහැ කියලා එකපාර…නැන්දා මොකුත් කිව්වේ නැහැ…”
“ඔයා තාම දුකෙන්ද ඉන්නේ…?”
ගිම්හානි යළිත් අසන විට අංජලී ඈ දෙස බලා පෑවේ සුන්දර සිනහවකි.
“පොඩ්ඩක්වත් නැහැ අක්කේ…මං සතුටු වෙනවා මේ දේවල් මෙහෙම වුණ එක ගැන…එහෙම නොවුණා නම් මට නැන්දටයි මාමටයි මුහුණ දෙන්නත් බැරි වෙනවා…අනික මාලක කියන්නේ මගේ හිතේ ඇදුණු කෙනා නෙවේ…එයා අමුතුයි…පහුවෙලා හරි මට ඒක තේරුණු එක හොඳයි…ඇරත් ඉතින් එතන ආදරයක් තිබුණා කියන්නත් බැහැ…නිකන් ටයිම් පාස් කළා වගේ…අනික එයා හැමදාම මා එක්ක සංඬු කරපු එකමනේ කළේ…”
ගිම්හානි අංජලීගේ අතක් දැඩිව අල්ලා ගත්තාය.
“දැන් හිතේ ඇඳුණු රූපේ මුණ ගැහිලද තියෙන්නෙ…?”
ගිම්හානි යළිත් ඇසුවේ මඳහසක් මුව මත තවරාගෙනය. අංජලී ලැජ්ජා මුසු සිනහවක් පෑවා මිස කිසිත් නොකීවාය. මුවින් නොකී දහසකුත් දේ ඒ සිනහව තුළ සැඟවී ඇතැයි කියා ගිම්හානි සිතුවාය.
“කිසි දේකට හදිසි වෙන්න එපා…හැමදේම වෙලාවට වෙයි…”
ගිම්හානි කියන විට අංජලී හිස සෙළවූයේ එය පිළිගනිමිනි.
අංජලී සිටියේ ඉතා සතුටිනි. දන්නා කියන සැමදෙනෙක් සමඟම ඈ ඉතා සුහදව කතා බස් කළාය, සිනහසුණාය. සංචලා ඈ දකින මොහොතක් මොහොතක් පාසාම ඊර්ෂ්‍යාවෙන් දැවුණාය. තමාගේම මංගල දිනයේ ඈ සිටියේ සතුටකටත් වඩා සිත තුළ දැවෙන කෝප ගින්නකින් යුතුවය.
“මනමාලිගේ මූණේ තියන නපුරු පාට…”
කිසිවෙකු කියනු ඇසුණේ දීපිකාගේ සවනතටය.
“මේකප් එකෙන්වත් වැහිලා නැහැනේ…”
“ඕවා ඉතින් මේකප් වලින් වහන්න පුළුවන් ඒවා නෙවේ…”
අනෙක් තැනැත්තියද කීවේ සිනහවක් පාමිනි. දීපිකා වහා බැලුවේ සංචලා දෙසය. ඇයද ඒ බව දැක තිබූ මුත් කිසිත් කීමට නොසිතුවාය. මෑ නම් මේ පවුලට ගැළපෙන අයෙකු නොවන බව වැටහුණේ ඈ දුටු මොහොතේමය. ඈ වඩා බිය වූයේ සිය දියණිය කෙරෙහිය. ඉක්මනින් ඔවුන් වෙනත් නිවසක පදිංචියට යැවිය යුතුය. එසේ නොවුණොත් ප්‍රශ්න රැසක් පැන නඟිනු ඇත. චූටි පුතාගේ කරේ එල්ලුණේ කටු අත්තකි. ඈ මේනක ගැන සිතා සතුටු වූවාය. ඔහු තම මාපියන්ට වගේම සෙනෙහසක් ඔවුනටද පායි. එය ව්‍යාජ වූවක් නොවේ. ඈ අංජලී ගැනද සිතුවේ එසේමය.
“අනේ මන්දා…!”
දීපිකා සුසුමක් හෙළමින් තමාටම මුමුණා ගත්තාය. කෙසේ නමුත් විවාහ කටයුතු නම් ඉතා හොඳින් සිදු විණි. හේෂාන් සහ ඉන්ද්‍රාණි පැමිණි අයට පෙනෙන්නට සතුටු මුහුණු පෙන්නාගෙන සිටියද සිත් තුළින් පසු වූයේ ශෝකී හැඟීම් වලිනි.
“ඔයා හරි සතුටකින් වගේ නේද ඉන්නේ…?”
අංජලී සමඟ තනිවම කතා බහකට මොහොතක් ලැබුණු මොහොතේ සංචලා ඇසුවේ නොසතුටු මුහුණක් මවා ගනිමිනි. අංජලී ඈ දෙස බැලුවේ මවිතයෙනි.
“ඔව්…මං නම් ඉන්නේ සතුටින්…ඇයි… ඔයාට සතුටු නැත්ද…? අද ඔයාගේ වෙඩින් එකනේ…ඔයා එපැයි සතුටින් ඉන්න…”
අංජලී කීවේ උපහාසය මුසුවය. සංචලා දවා හළු කරන බැල්මක් ඈ වෙත හෙළුවද අංජලී එය තැකීමකුදු නොකර සිනහවක් පාමින් ඈ අසළින් මෑත් වූවාය.
පුංචි අම්මා තනිව සිටිනු දැක අංජලී ගොස් ඈ සමඟ කතා බහ කරන්නට වූවාය.
—————————————————————————————————–
මංගල උත්සවයෙන් පසුව අංජලී තෙහෙට්ටුව නොබලාම පසු දිනම නවාතැනට පැමිණියේ දෙවෙන ගමනේ උත්සවයට සහභාගී නොවීමට සිතාගෙනමය. ඈ ඒ බවක් නැන්දාට හෝ මාමාට නොකීවාය. එසේ පැවසුවා නම් ඔවුන් ඇයට ඒමට ඉඩ නොදෙන බව ඈ ඉඳුරාම දැන සිටියාය. ඈ ගිම්හානිට පමණක් ඒ බව කීවේ ඈ පැමිණි දා සවස ඇමතුමක් ගෙනය.
“කොහොමද වෙඩින් එක…?”
මිතුරියන් ඇසුවේ සවස නවාතැනට පැමිණි පසුය. තුෂර එදින රාත්‍රී කෑමට නිවසට පැමිණෙන නිසා රේණුකා සමඟ එකතුව අංජලී රාත්‍රී ආහාර සූදානම් කර ගයාටත් රංගිකාටත් තේ සාදා දුන්නාය.
“වෙඩින් එක හොඳට තිබුණා…කපල් එක නොහිටියා නම් තවත් හොඳ වෙන්න තිබුණා…”
ඈ කළ විහිළුවට ඔවුන් සියළු දෙනා අතර් පැතිර ගියේ උස් සිනා හඬකි.
“මෙයා නම් ඉඳලා ඉඳලා මරු කතා කියන්නේ…සංචලා කතා කළාද…?”
සංචලා එල්ල කළ ඇනුම්දය ගැන ඈ මෙවිට ඔවුන් හා කීවාය.
“හොඳ වැඩේ…අපරාදේ…අපිටත් යන්න තිබුණේ…එහෙනම් ඉතින් වෙඩින් නෙවේ… සංචලාගේ ෆියුනරල් තමා…”
ගයානි කියන විට යළිත් පැතිර ගියේ සිනහවකි. තුෂර පැමිණියේ රාත්‍රී අටට පමණය. ඔහුට පෙර ඔහු ගල්වන ලද විළවුන් සුවඳ පෙර ගමන් ගත්තේය. දෑස් වසාගෙන වුවද ඒ තුෂර යැයි කියන්නට හැකි තරමටම එම සුවඳ දැන් ඔවුනට හුරු පුරුදුය. සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටි ඔහු කෙරෙන් දිස් වූයේ කෙළිලොල් බවකි.
“මෙයාගේ ලස්සන…”
ගයානි කීවේ ඔහුගේ හිසේ සිට පාදාන්තය තෙක් බැල්මක් හෙළමිනි.
“ලස්සන කෙසේ වෙතත් ළමයෝ සෙන්ට් වලින්ද නෑවේ…?”
රේණුකා එසේ ඇසුවේ ඔහු අවුස්සන්නටය.
“පුංචිත් ඉඳලා ඉඳලා කිණ්ඩිය දානවා නේද…?”
ඔහු අසන විට අනෙක් අය උස් හඬින් සිනහසුණෝය. කොයි යම් මොහොතක හෝ තුෂර තමාට කළ යෝජනාව ගැන යළිත් අසනු ඇති බව අංජලී දැන සිටියාය. එවිට දෙන පිළිතුර කුමක්ද…? ඔහු සිත රිදවා රැකියාවත් හැර දමා යන්නට නම් ඈ සතුටු නොවූවාය. දැන් ඉතින් යන්නට කියාද තමාට ඇති තැනක් නැත. සංචලා සිටින නිසා මාමාගේ නිවසට නම් යන්නට නොහැකිය. ඈ සිතාගෙනම පැමිණියේ යළිත් එහි නොයමියි කියාය.