Tharu Mal Viyan තරු මල් වියන්
තමා අතින් සිතාමතාම අංජලීට සිදු වූයේ වරදක් බව මාලක හොඳාකාරවමදැන සිටියේය. එසේ වුවත් ඔහුට ඇගෙන් සමාව අයැද සිටීමට නම් කෙසේ වත් වුවමනා නොවීය. සංචලා සමඟ මේ සියල්ල පැවසීමට ඔහුට වුවමනා වූයේ අන් කිසිත් නිසා නොව විවාහයෙන් පසුව සංචලා මේ සියල්ල දැන ගත්තා නම් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇතැයි සිතාය.
“අංජලී කොහොමත් එන එකක් නැහැනේ…එයා මට කැමති නැහැ කියලා මං දන්නවා…”
සංචලා කීවාය.
“එයා ඇයි ඔයාට අකමැති වෙන්නේ…? එහෙම එකක් නැහැ…එයා අවුලෙන් ඉන්නේ මා එක්ක…”
මාලක වහා කීය.
“ඇයි ඒ ඔයා එක්ක අවුළ් යන්නේ…?”
මාලක එක්වරම එයට පිළිතුරක් නොදුන්නේය.
“ඔයා මට නොකියන මොනවා හරි තියනවා වගේ…?”
සංචලා ඇසුවේ උපහාසය මුසු හඬකිනි.
“එහෙම නැහැ…”
“නැත්තේ නැහැ…මොකක් හරි අෆෙයාර් එකක් වත් තිබ්බද…?”
“පිස්සු…ඒකට අෆෙයාර් එකක් කියන්න බැහැ…මගේ වදේට තමා අංජලී මට හා කීවේ…”
සංචලා එය අසා සිටියේ සිත යටින් පුපුරු ගසන කෝපයකින් වුවද ඒ බවක් මාලකට හඟවන්නට නොගියාය. සිත තුළ ඊර්ෂ්‍යාව මෙන්ම ද්වේෂයත් කැකෑරෙන විටත් ඈ මාලක කියූ සියල්ල නිහඬව අසා සිටියාය. මාලක සිතුවේ ඈ ඒ කිසිත් තැකීමක් නොකරන නිසා මෙසේ නිහඬද සිටින බවක් වුවද ගිනි කන්දක් වුව පිපිරෙන්නට පෙර මොන තරම් සන්සුන්ද නිහඬද කියා ඔහුට සිහි නොවීය. ගැහැණුන්ගේ සිත් සැමවිටම ඊර්ෂ්‍යා සහගත බව ඔහුට නොවැටහිණි. ඇගේ මුවේ සිනහව ඔහු වටහා ගත්තේ වැරදියටය.
දින ගත වූයේ කුරුළු වෙසිනි. යළි නිවසට පැමිණි විගස අංජලී පසු දිනම සූදානම්ව හෝමාගමට පැමිණියේ මාමාගේ නිවසේ සිටීමට අකමැත්තෙනි. මාලකට මුහුණ දීමට ඇයට වුවමනා නොවීය. ඔහු දැකුමත් දැන් ඇයට අප්‍රසන්නය. රේණුකා පුදුම වූයේ අංජලී තනිවම පැමිණි නිසාය.
“ඔයා අද එනවා කිව්වට මං ඒත් පුදුම වුණා…තව දවසක්ම තියනවානේ ආයේ වැඩට යන්න…”
“මං ආවා ආන්ටි…වැඩ ටිකකුත් තියනවා කරගන්න…”
ඈ එසේ කීවේ සත්‍ය පවසනු නොහැකි නිසාය. රේණුකා වැඩි යමක් නොවිමසුවාය.
“ඔයා හරි ආව එක හොඳයි දුවේ…මාත් පාළුවෙන් හිටියේ…පුතාත් මේ ටිකේ නැහැනේ…”
තුෂර විදෙස්ගත වූයේ රාජකාරිමය කටයුතු කීපයකටය. ඔහු තව දින හතරකින් පැමිණීමට නියමිතය.
“එහෙනම් මං ආව එක හොඳයි…”
අංජලිද මඳහසක් පාමින් කීවාය.
“ඔයා වොෂ් එකක් දාගන්නකෝ…මං තේ ටිකක් හදන්නම්…”
රේණුකා ගෙතුළට ගියේ එසේ කියමිනි. අංජලී කාමරයට වැදී නැවත පිටුපසට පැමිණියේ ගත දොවාගෙන සැහැල්ලු ගවුමක් හැඳගෙනය.
“සුරම්‍යාත් ගෙදර ගියානේ…මාත් මේ ටිකේ තනියම…”
අංජලී රේණුකා සමඟ කතා බහට වැටී සිටි මොහොතේ ඈ කීවාය.
“අයියෝ…ඇන්ටිට එපා වෙන්න ඇතිනේ…?”
අනුකම්පා මුසු හඬකින් අංජලී කීවාය.
“පාළුයි තමා ඉතින් කවුරුත් නැතුව…ඒත් ඉතින් මොනවා කරන්නද ළමයෝ…අපි තනිකමටත් හුරු වෙන්න එපැයි…”
ඒ කතාව නම් සත්‍යයකැයි කියා අංජලීද සිතුවාය. වටකරගෙන දහසක් අය සිටියද සියල්ල තාවකාලිකය. සැමදාම හැමෝටම ළඟින් සිටිය නොහැකිය. රේණුකා විවාහ වුවද දැන් වැන්දඹුවකි. ඈ දැන් තනිකමට හුරු වූ ගැහැණියකි. කෙදිනක හෝ තමාගේ ඉරණම කෙලෙස විසඳෙනු ඇතිද කියා සිතන විටත් ඇගේ සිතේ ඇති වූයේ සියුම් බිය මුසු හැඟීමකි.
—————————————————————————————————–
තුෂර යළිත් දිවයිනට පැමිණියේ අවුරුදු නිවාඩුවෙන් දින දෙක තුනක් ගෙවී ගිය පසුවය. ඔහු යළි පැමිණි විගසම අංජලී හා කතා බහ කළ යුතුම යැයි සැළසුම් සාදා ගෙන සිටියේය. මාලකගේ විරහවෙන් පසුව ඇයට දැන් නම් සිත සාදාගන්නට කාලය බොහෝ ඇති බවක් ඔහු සිතුවේය. රංගිකා කාර්යාලයේ නොවූ මොහොතක් බලා ඔහු අංජලී වටා කීප වරක්ම කැරකුණේය. යළි අසුන මත හිඳගෙන එහෙ මෙහෙ හරි බැරි ගැසී හිඳ ගෙන ඈ දෙස බැලුවද අංජලී සිටියේ බිමට යොමා ගත් හිසින් කාර්යයක නිරතවය. ඔහු යළිත් වරක් නැඟිට කබඩය අරිමින් වසමින් කාලය නාස්ති කරන්නට වූයේ ඈ සමඟ කතා බහ කරන්නට වුවමනා දෑ එහි තිබෙන්නාක් මෙන් සිතාය.
“තුෂර මොනවද හොයන්නේ…ෆයිල් එකක්ද…?”
බොහෝ වේලාවකට පසුව හිස එස් වූ අංජලී ඇසුවාය.
“න්…නැ…හැ…මොකුත් නැහැ…අංජලී…”
ඔහු එසේ පවසන විට අංජලී යළි කරමින් සිටි කාර්යයටම අවධානය යොමු කළාය. ඉන් සුළු මොහොතකට පසුව ඔහු අසුනක් ඇද ගෙන ඈ ඉදිරියේ හිඳ ගන්නා විට ඈ හිස ඔසවා බැලුවාය. කර පටිය බුරුල් කරමින් තුෂර ඈ සමඟ කතා බහට මුල පුරන්නට සැරසුණේය.
“අංජලී…”
ඔහු ඈ අමතන විට ඈ සිතේ ඇති වූයේ සියුම් තිගැස්මකි. ඔහු මේ සැරසෙන්නේ නම් කුමක් හෝ දෙයක් කියන්නට බව ඇයට සහජ ඉවෙන් වැටහී තිබිණි.
ඈ අත රැඳි පෑනත් පසෙක තබමින් ඔහු දෙස දෙනෙත් දල්වා බලා සිටියේ කැළඹුණු හදිනි. ඇගේ සිතට දැනුණේ ආගන්තුක හැඟීමකි. ඈ දෑස් බිමට යොමා ගත්තේ තුෂර තුළින් ඇයට ශාමින්දව පෙනුණු නිසාය. ඒ බැල්මෙහි කිසිදු රාගී හෝ කෑදර බැල්මක් නම් නොවූ බව ඈ හොඳින්ම දැන සිටියාය. ඔහු ඉතා හොඳ තරුණයෙක් මුත් මේ මොහොතේ සිත සැළී ගියේ සියුම් තිගැස්මකිනි.
“අංජලී…මං තාමත් ඔයා ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ…මං දන්නවා ඔයා තාමත් හිත හදන් නැතුව ඇති…ඒත් මේ ගැන කල්පනා කරලා බලලා මට උත්තරයක් දෙනවද…?”
මෘදු වූත් දයාබර වූත් හඬකින් ඔහු ඇසීය. ඔහුගේ බලාපොරොත්තු දැල්වුණු දෑස් දෙස බලන විට ඈ සිතේ ඇති වූයේ අනුකම්පා මුසු වූ හැඟීමකි. ඔහු කෙරෙහි මුල පටන් සිතේ ඇතිව තිබුණේ හුදෙක් අනුකම්පාවක් පමණි. ආදරයට එහි ඉඩක් නැත. ඔහුගේ ජංගම දුරකථනය හඬ තළන්නට වූ නිසා ඔහු නැඟී සිටියේ එයට අමතමිනි. පසුව ඔහු කාර්යාලයෙන් පිට වූයේ ඔහු යළි එන විට සවස් වන බැවින් යතුර ඇයට රැගෙන යන ලෙස පවසමිනි. තුෂර පිටව ගිය පසුව අංජලී කළේ කරමින් සිටි කාර්යය එලෙසම පසෙක දමා හිස මේසය මත ඔබා ගැනීමය. දොර හැරගෙන රංගිකා ඇතුළට එන විටත් ඈ සිටියේ එම ඉරියව්වෙන්මය.
“අංජලී ඇයි මේ…?”
ඈ අසලට ආ රංගිකා ඇසවේ මවිතයෙනි. සුළු මොහොතකට පෙර ඈ පිටතට යන විට ඈ හොඳින් සිටියාය. අංජලී හිස ඔසවා මඳහසක් පෑවාය.
“මොකද අනේ…මං බැලුවා එකපාර මොකද වුණේ කියලා…”
රංගිකා වටෙන් විත් සිය අසුනේ හිඳ ගනිමින් කීවාය.
“නිකන් ඔළුව තියා ගත්තා…”
අංජලී කිසිදු වෙනසක් නොපෙන්වා කීවේ යළිත් කරමින් සිටි කාර්යය අරඹමිනි.
“මේ අහන්නකෝ…”
සුළු මොහොතකට පසුව ඈ යළිත් කියන විට රංගිකා හැරී මිතුරිය දෙස බැලුවාය. ඈ කුමක් හෝ යමක් කීමට සැරසෙන සෙයකි. අංජලී තුෂර කළ යෝජනාව පිළිබඳව ඈ හා පවසන විට රංගිකා නිහඬව අසා සිටියාය. ඔහු තවමත් ඈ පිළිබඳව සිතකින් පසුවනවා යැයි කියා රංගිකා වුවද නොසිතුවාය. ශාමින්දද ඈ පිළිබඳව සිතන බව නොරහසකි. සමහර විට ඔහුද යෝජනාවක් කළා නම් අංජලී මේ වන විටත් ඔහුට කැමැත්ත දෙන්නට ඉඩ තිබිණි. මාලක නිසා සිතින් වේදනා නොවින්දා නම්. කෙසේ නමුත් දැන් උද්ගතව ඇත්තේ තවත් ප්‍රශ්නයකි. ඈ කුමන පියවරක් ගනු ඇතිද…? ඇගේ සිතේ තුෂර පිළිබඳව නම් හැඟීමක් නැති බව ඔවුන් දැන් සිටියෝය.
“දැන් ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ…?”
අවසන රංගිකා ඇසුවාය.
“මොකුත් නැහැ…”
“එතකොට…?”
“තව ටික කාලයක් මට මෙතන වැඩ කරන්න ඕන…තුෂරට මං වරදක් කියන්නේ කොහොමද…එයා කිව්වේ එයාගේ හිතේ තියන දේනේ…”
“ඔව්…ඔව්…ඒක ඇත්ත…වැඩිය ඒ ගැන හිතන්න එපා…ආදරේ බලෙන් ගන්න බැහැනේ…”
“හ්ම්ම්…”
“අපි බලමු මොකද වෙන්නේ කියලා…”
අංජලී සැහැල්ලු සිනහවක් පෑවාය.
මාලකගේ විවාහයට දින කීපයකට පෙර පැමිණෙන ලෙස නැන්දා දැන්වූයේ මීටත් සතියකට පමණ පෙර මුත් අංජලී තවමත් සිටියේ අදිමදි කරමිනි. ගයානි සමඟ ගොස් ඈ සාරියක් මිලදී ගත්තේ ඇගේ වුවමනාවටත් වඩා ගයානිගේ වුවමනාවටය.
“ඔයා නොයා ඉන්න එපා…අනිවා යන්න…ගිහින් හොඳට හිනා වෙලා සතුටින් ඉන්න මාලකට පේන්නත් එක්ක…”
ගයානි කීවාය.
“අනිවා…මං සතුටින් තමා ඉන්නේ…මං මොකටද දුක් වෙන්නේ…? හැබැයි ඉතින් එයාට නම් ඇඬෙයි…”
එසේ කී ඈ තරමක් උස් හඬින් සිනහ සුණාය.
“දැන් මොනවද ඔය හිතන්නේ…? නිවාඩුත් ඉල්ල ගත්ත එකේ හෙට උදේම යන්න…”
අංජලී ඇඳුම් බෑගය සූදානම් කරගන්නට සූදානම් වීත් යහන මත හිඳගෙන කල්පනා කරමින් සිටිනු දැක රංගිකා කීවාය.
“ගෙදර ගියොත් අඹු නසී…මඟ හිටියොත් තෝ නසී වගේ දෙයක් මට වෙලා තියෙන්නේ…”
“මඟ ඉන්න එපා…ඔයා ගෙදර යන්න…නසින එකෙක් නසින්නේ නැතෑ…”
ගයානි කී කතාවට රංගිකාත් අංජලීත් උස් හඬින් සිනහ සුණෝය.
“ඇයි දැන් නසින්නේ…?”
යළිත් ඇසුවේ රංගිකාය.
“ගෙදර යන එක නෙවේ අවුල…මාලක ගෙදර ඉන්න එකයි…”
“එයා හිටපු දෙන්..ඔයා යන්න…ඒක මාලකගේ ගෙදර නෙවේනේ…එයා මැරි කරලා ආව දවසක නම් ඔයා එහෙ යන්න එපා…නේද ගයා…?”
රංගිකා කියන විට ගයානිද එයට හිස සැළුවාය.
“හැමදාම පැනලා දුවන්න බැහැ…එන දේකට මූණ දෙන්න හුරු වෙන්න එපැයි…”
රංගිකා කියන විට අංජලීද හිස සළමින් එය පිළිගත්තාය.