Tharu Mal Viyan තරු මල් වියන්
තෙහෙට්ටුවට පත්ව සිටි අංජලී නින්දට වැටුණු පසු ගයානි පිටතට පැමිණියාය. ඒ වන විට තුෂර පිටත්ව ගොස් සිටි අතර රේණුකා ගයානිගෙන් කුමක් සිදුවූවාද කියා විමසුව මුත් ඇයද තවම කිසිත් දැන නොසිටි බව කීවාය.
“අනේ මන්දා ආන්ටි…වුණේ මොකක්ද කියලා දැන්ම එයාගෙන් අහන්නත් බැහැ…ඒක එයාම කියයි…”
සුසුමක් හෙළමින් ගයානි කීවද මෙයට මාලකගේ සම්බන්ධයක් ඇති බව නම් ඈ ඉඳුරාම දැන සිටියාය. රංගිකාද වෙනදාට වඩා අඩ පැයකට පමණ පෙර නවාතැනට පැමිණියේ අංජලී ගැන සොයා බලන්නටය. ඈ පමිණෙන විට නම් අංජලී සිටියේ නින්දෙන් අවදිව යහන මත හිඳගෙන බලාගත් බැල්මෙන් කල්පනා කරමිනි. රේණුකා සාදා දුන් කෝපි කෝප්පයත් රැගෙන ගයානි කාමරයට පැමිණියාය.
“ආහ්…මේක බොන්න…බීලා කියන්න මොකද වුණේ කියලා…මාලක ඒ පාර මොනවද කරලා තියෙන්නේ…?”
ගයානි ඇසුවේ කෝපයත් නොමනාපයත් මුසු හඬකිනි. ඇයව මැදි කරගත් ගයානිත් රංගිකාත් අංජලී කතා කරන තුරු බලා සිටියෝය. ඇගේ දෑස් යළිත් අලුත් වූ කඳුලින් බොඳ වන විට අංජලී වේගයෙන් ඇසිපිය සැළුවේ කඳුළු වළකා ගන්නටය.
“මං මහා අවාසනාවන්ත කෙල්ලෙක් ගයා…”
සුසුමක් හෙළමින් අංජලී හඬ අවදි කළාය.
“තාත්තා කවදාවත් අපි දෙන්නට ආදරේ වුණේ නැහැ…අම්මා ළඟින් ඉන්න ඕනම කාලේ අම්මාත් මාව දාලා ගියා…අම්මා වගේ මාව බලාගත්තු නැන්දටත් මං ද්‍රෝහී වුණා…මාලකට ආදරේ කරන්න අරන් මට මොනවද ලැබුණේ ගයා…?”
ඇයට යළිත් හැඬිණි. මිතුරියක් දෙදෙනාද ඇයට හඬන්නට ඉඩ හැර නිහඬව සිටියේ ඇගේ සිතේ වේදනාවවත් ඉන් සමනය වනු ඇතැයි සිතාය.
“අඬලා ප්‍රශ්න විසඳන්න බැහැනේ අංජු…අපි කතා කරලා විසඳුමක් හොයමු…මාලක අදත් ඔයා එක්ක සංඩු කළාද…?”
මෘදු හඬකින් රංගිකා ඇසුවාය.
“දැන් විසඳන්න දෙයක් නැහැ…මාලක මැරි කරන්නලු යන්නේ…”
දෙදෙනාම තිගැස්සී ගියේ එවිටය. එසේනම් කාරණය එයයි. ඈ උමතුවෙන් පාර දිගේ ඇවිද ගොස් තිබුණෙ මේ නිසාය. ගයානිගේ සිතේ ඇති වූයේ කෝපයකි.
“මාලක කාවද මැරි කරන්න යන්නේ…?”
“සංචලාව…”
අංජලී ඇගේ නමත් සඳහන් කළේ නොකැමැත්තෙනි.
“මාලක මැරි කරන්න යනවා නම් හොඳයි…සතුටු වෙන්න..අඬ අඬා පාර දිගේ දුවන්න තරම් දෙයක් නෙවේනේ…හොඳ වෙලාවට තුෂර දැක්කේ…වෙන එකෙක් වුණා නම් අද මෙයාට මොනවා වෙලා තියෙයිද දන්නැහැ…”
ගයානි සිතේ උපන් කෝපය එලෙස පිට කළාය. අංජලී අලුතින් වෙව්ළා ගියේ ඇගේ අවසන් වදන් වලිනි.
“ඒක නම් ඇත්ත…ඔයාට තිබුණේ ත්‍රීවීල් එකක නැඟලා ෆැක්ටරියට එන්න…දැන් ඉතින් වුණ දේ වුණා…ඕකට අර කිව්වත් වගේ අඬන්න නෙවේ සතුටු වෙන්න ඕන…තව දුර දිග නොයා මේවා කෙළවරක් වුණ එක හොඳයි…”
රංගිකාද ගයානිගේ කතාව අනුමත කරමින් කීවාය. අංජලීගේ දෑසින් යළිත් කඳුළු ගලා යන්නට වන විට ඈ වහ වහා ඒ පිස ගත්තාය. ගයානි අනුකම්පාවත් කෝපයත් මුසු වූ දෑසින් මිතුරිය දෙස බලා සිටියාය. කෝපය නම් මාලක කෙරෙහිය.
“මං මාලකට ආදරේ කරන්න ගත්තේ කැමැත්තෙන් නෙවේ ගයා…ඒත් එයා අහිමි වෙන්න යනවා කියලා දැනගත්තාම තමා මං එයාට මොන තරම් ආදරේද කියලා මට තේරුණේ…මට ගොඩාක් දුක මං ඔයාලගේ ගිම්හානි අක්කගේ කීමවත් නාහා…නැන්දලාටත් ද්‍රෝහී වෙලා එයාව විශ්වාස කරගෙන එයාට ආදරේ කරපු එක ගැනයි…අන්තිමේදි මං මෝඩයෙක් වුණා…”
“මෝඩ වුණේ ඔයා නෙවේ අංජු…මාලක…එයා සංචලාව මැරි කළාට සංචලා එක්ක එයාට ජීවත් වෙන්න බැහැ…ඒක එයාටම තේරෙයි…හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදා ගන්න…ඔයාගේ හිතේ වේදනාව අපිට නොතේරෙනවා නෙවේ…ඒත් සතුටු වෙන්න ඔයාට නැන්දාගෙයි මාමාගෙයි හිත රිද්දන්න දෙයක් නොවුණු එක ගැන…”
ගයානි පෙන්වා දුන්නේ මෙතෙක් ඇයට අමතකව ගිය කාරණයකි. අංජලී සුසුමක් හෙළමින් කොට්ටය මත හිස තබා ගත්‍තාය. ගයානිගෙන් දැන ගත් තොරතුරෙන් රේණුකා තුළ ඇති වූයේ අනුකම්පාවකි. බොරුවක් පවසන්නට ගයානිට සිත් නොවූයේ ඉන් අංජලී පිළිබඳව වැරදි වටහා ගැනීමක් ඇතිවනු ඇතැයි සිතාය.
“තුෂර පුතාට වුණු දේ…අනික මේ ළමයාට වුණේ…තමන්ගේ අයවත් විශ්වාස කරන්න බැරි කොට පිට මිනිස්සු කොහොම විශ්වාස කරන්නද දරුවෝ…”
රේණුකා කීවේ කෝපයෙනුත් කළකිරීමෙනුත් යුතුවය.
“මාලකට කතා කරලා මට බනින්නමයි හිතෙන්නේ…”
ගයානි රංගිකා සමඟ කීවේ කෝපයෙනි.
“එයා කළේ නම් හොඳ දෙයක් නෙවේ තමා…”
“ඕවා අනික් පැත්තට කැරකිලා එන්නේ නැතෑ…”
ගයානි මාලකට ඇමතුමක් ගෙන ඔහුට දොස් කීවේ සිතා මතාම කළ මේ දෙයට නම් කවදාවත් සමාවක් නොලැබෙන බවය.
“තමුන්ගේ වැඩක් බලා ගන්න…”
මාලක එසේ කියා දුරකථනය විසන්ධි කළද ගයානිගෙන් ඔහු ඇති තරමට දොස් අසාගෙන අවසන්ය. තුෂර පැමිණියේ රාත්‍රියේය. අංජලී කාමරයට වී සිටියා මිස ඔහුට මුහුණ දෙන්නට නොගියේ සිතේ බලවත් වූ ලැජ්ජාව නිසාය.
“අංජලීට දැනෙන වේදනාව ගැන මට හිතා ගන්න පුළුවන්…”
ගයානිගෙන් විස්තරය දැනගත් තුෂර කීවේ අනුකම්පා මුසු හැඟීමකිනි.
“ඕනම තුවාලයකට කාලය තරම් හොඳ ඔසුවක් නැහැ ළමයෝ…”
රේණුකා කීවාය.
ජනේලය අසල සිට ගෙන අංජලී පිටත බලා සිටියේ හිස් හැඟීමෙනි. වරින් වර ඇගේ මුවින් සුසුමක් ගිළිහී ගියේ ඈඳ නොදැනුවත්වය. මාලක කෙරෙහි කෝපයක් නොවුණත් සිතේ වූයේම බලවත් වූ කලකිරීමකි. තමාව රවටා ඇතැයි සිතන විට ඇයට ඈ කෙරෙහිම උපන්නේ කෝපයකි. පෙරදින වට වැස්සට සේපාලිකා ගසේ මල් සියල්ල හැළී ගොසිනි. ගහේ මල් පොහොට්ටුවක් වත් නොමැති තරම්ය. ඇගේ සිත අලුත් වූ දුකකින් පිරී ගියේ පාළුවට ගිය සේපාලිකා ගස නිසාද නොඑසේ නම් තම සිතත් එසේම සෝදා පාළුවට ගියාක් මෙන් දැනුණු නිසාද කියා ඇයට වැටහුමක් නොවීය. මල් ගසේ නම් මල් හැළී ගියද එය යළිත් මල් පූදිනු ඇත. එසේ වුවත් තම සිත යථා තත්වයට පත්වන්නට නම් තව බොහෝ කාලයක් ගතවනු ඇත. අලුතින් උපන් කඳුළක් කම්මුලක් තෙමා යනවිට ඈ වහා එය පිස දැමුවේ පසෙක සිටින ගයානිට නොපෙනෙන්නට වුවද මිතුරිය දෙසම බලා සිටි ගයානි එය දුටුවාය.
“ඔහොම හූල්ල හූල්ල අඬන්න එපා අනේ…ඔයා නිකන් වැළපෙන්නේ මුළු ලෝකෙම ඔයාට නැති වුණා වගේනේ…”
නොසතුටෙන් ගයානි කීවාය.
“අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ගයා…?”
“විකාර…මාලක ඔයාට කවදාවත් ආදරේ කළා කියලා ඔයා හිතනවද…?”
අංජලී අවිශ්වාසයෙන් මෙන් නිහඬව සිටියායා. ගයානි නැඟිට මිතුරිය අසලට පැමිණියාය.
“එයා කවදාවත් ඔයාට ආදරේ කළේ ඇහැ අංජලී…ටයිම් පාස් කරන්න විතරයි එයාට ඕන වුණේ…අනික එයා මුල ඉඳන්ම දැනන් හිටියේ මාමාලා කවදාවත් මේ දේට ඉඩ නොදෙනවා කියලා…තමුන් වෙනුවෙන් අඹ මල් රේණුවක තරම්වත් හැඟීමක් නොතිබුණු මිනිහෙක් වෙනුවෙන් කඳුළු බිඳුවක් වත් අපතේ අරින්න එපා අංජලී…ඔයා සතුටු වෙන්න මොන දෙයකින් හරි ඔය මිනිහාගෙන් ගැළවෙන්න ලැබුණු එක ගැන…ඔයාගේ ඉරණම මාලක නෙවේ…”
අංජලී දෑස් දල්වා ගයානි දෙස බැලුවාය.
“හැමදේම හොඳින් වෙයි…ඔයා හිනා වෙලා සතුටින් ඉන්න…”
“තව මොනවා හොඳ වෙන්නද ගයා…”
“ඔයා හිතන්නේම නෙගටිව් විදියට…මං නම් කැමතියි මාලක සංචලාව මැරි කරන එකට…”
අංජලී එවිට තිගැස්මෙන් බැලුවාය. ඈ එසේ කියන්නේ මන්ද…?
“ඇ…ඇයි…?”
“ඇයි කියන්නේ…හිතන්නකෝ…මාලක මාමලාට ඔයා ගැන කිව්වමයි කියමුකො…මාමලා කැමති වෙයි කියලා හිතනවද…එදාට ඔයාට නැති වෙන්නේ මාලක විතරක් නෙවේ අංජලී…ඔයාගේ නැන්දයි මාමයි දෙන්නවම…දැන් නැති වුණේ මාලක විතරයි…ඔයාට ඒ අය තවම ඉන්නවා…ඒ ගැන හිතලා සතුටු වෙන්න…”
ගයානි කියන දේ සත්‍යයක් වුවද මේ මොහොතේ ඇයට ඒ කිසිත් වටහාගන්නට තරම් මානසිකත්වයක් නොවීය. ආදරය අන්ධය. ඈ මාලකට ආදරය කළ බව වැටහෙන්නේ දැන්ය. සිතට මෙතරම් වේදනාවක් දැනෙන්නේ ඒ නිසාය.