Tharu Mal Viyan තරු මල් වියන්
තුෂර මඟ හැරීමට වුවමනා වුවද අංජලීට එවැන්නක් කිරීමටද ඉඩක් නොවූයේ ගයානිත් රංගිකාත් නිසාය. පෙරදින තුෂරත් ඇයත් අතර ඇති වූ කතා බහ මේ වන විටත් දෙදෙනම දැන සිටියෝය.
“ඔයා එයාට කැමති නැහැ කියලා තුෂරව මඟාරින එක හොඳ නැහැ…ඒකෙන් ඒ ළමයා තවත් අවුල් යයි…”
ගයානි කීවේ නොසතුටෙනි.
“ඔව් අංජු…ඒක ඇත්ත…අනික තුෂර හරිම හොඳ කෙනෙක්…මාලකට වඩා සිය දහස් ගුණයක් එයා හොඳයි…”
“ඒක ඇත්ත…තුෂර එක්ක බලනකොට මාලක කියන්නේ කවුද…යාළු වෙනවා නම් ඒ වගේ කොල්ලෙක් තමා හොයා ගන්න ඕන…”
“මම මාලකට ආදරේ කරනවා කියලා කිව්වේ නැහැනේ…”
අංජලී නොසතුටෙන් කීවාය.
“එහෙම නැත්නම් ඉතින් තුෂරට කැමති වෙන්න බැරි කමක් නැහැනේ…ඒ පවුලේ අයත් හොඳයිනේ…නැත්ද ගයා…?”
රංගිකා ඇසුවාය.
“පිහිය රත්තරන් කියලා ඇන ගන්න කියලද කියන්නේ…?”
අංජලී අසන විට දෙදෙනම මුහුණින් මුහුණ බලා ගත්තේ ඈ කෝප වූ බව දැනය.
“ඇන ගන්න ඕන නැහැ…ඇන ගත්තොත් තුවාල වෙනවනේ…”
ගයානි සිනහසෙමින් කීවේ මිතුරිය සන්සුන් කරන අදහසිනි. කෙසේ නමුත් තුෂර සමඟ කුළුපඟව කතා බහ කිරීමට මැළි කමක් ඇයට දැනෙන්නට විය. එය ඔහුටද වැටහුණා වන්නට ඇත.
“අංජලී…”
තුෂර විවේකයක් ලද සැණින් අංජලී අසළට අසුනක් ඇද හිඳ ගනිමින් ඈ ඇමතුවේ ඒ නිසාය. මිතුරියන් පිටතට ගොසිනි. තුෂර කුමක් හෝ පවසන්නට යන බවක් ඇයට වැටහිණි. ඈ ඔහු දෙස බැලුවේ කුහුළක් සිත තුළ නැඟෙන විටය. මිතුරු කම පරයා ආදරයක් පෙර දැරි කරගත් සිතින් තමාට ඔහු දෙස බලන්නට නොහැකි බව ඈ ඉඳුරාම දැන සිටියාය.
“ඇයි තුෂර…?”
“ඔයා මා එක්ක අමනාපෙන්ද ඉන්නේ…ඊයේ මම කියපු කතාව නිසා…?”
“නැහැ…ඇයි ඔයා එහෙම අහන්නේ…?”
“මට හිතුණා…ඒකයි…”
“ඒ ඔයාට පේන හැටි වෙන්නැති…”
මඳහසක් පාමින් ඈ කීවාය.
“පේන හැටි විතරක් නෙවේ…මට ඒක දැනුණා…වගේම මට එහෙම හිතෙනවා…”
“හිතන හැමදේම හරි නොවෙන්නත් පුළුවන් තුෂර…”
“ඔව්…වෙන්න පුළුවන්…ඒත් මගේ හිතට හරි නැහැ…ඔයා අවුලෙන් ඉන්නේ මං කියපු දේ නිසා කියලයි මට හිතෙන්නේ…”
“ඔයා කිව්වේ ඔයාට දැනෙන දේනේ තුෂර… ඒ ගැන මං අවුල් යන්නෙ ඇයි…අපි යාළුවෝනේ…”
සිනහවක් මුව මත තවරා ගනිමින් අංජලී කීවාය.
“ඒත්…මං ඔයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා…”
ඔහු නැඟිට ඉවතට ගියේ ඇගේ සිත අලුතින් කළඹවාලමිනි. පන්තිය නිමා වූ සැණින් තුෂර පිටව ගියේ කිසිවෙකුට නොදන්වාමය. ඔහු සිතා මතා මෙසේ මඟ හැර ගියේ තමා නිසා යැයි කියා අංජලීට නොසිතා බැරි විය.
“මේක ඔයාට තුෂර දෙන්න කිව්වා…”
හිමානි කුඩා තිළිණයක් ඈ අතට දෙමින් කීවාය.
“මොකක්ද…?”
ඈ ඇසුවේ මවිතයෙනි. දෙවුර සැලු හිමානිද සෙනුර සමඟ යන්නට ගියාය.
“තුෂර නොකියාම ගියා…”
ගයානි කීවේ සිත් තැවුළෙන් මෙනි. අංජලී තිළිණය අතටවත් නොගෙන මේසය මත එය හිමානි තැබූ තැනම තිබියදී එදෙස බලා සිටියේ හිස් හැඟීමකිනි. පමා වන බැවින් ගයා එය අතට ගෙන සිය බෑගයේ දමා ගෙන මිතුරියන් සමඟ නැවතුමට පැමිණියාය. ඈ එය යළි සිහි කළේ බස් රථයේ එන විටය.
“ආ…මේක ඇරලවත් බලන්න…”
ගයානි එය අංජලීට දිගු කරමින් කීවද ඈ නෙත් කොණින් හෝ එදෙස නොබැලුවාය.
“අපිවත් බලන්නම් එහෙනම්…”
ඈ දවටනය දිග හැර කුඩා විල්ලුද පෙට්ටිය විවර කළාය.
“වාව්…! අංජු…මේ…වයිට් ගෝල්ඩ් බ්‍රේස්ලට් එකක්…”
රංගිකා පහත් හඬින් කීවද අංජලී අසුන් ඇන්දට හිස බර කරගෙන දෙනෙත් පියාන සිටියා මිස කුහුළින්වත් එදෙස නොබැලුවාය. ගයානි සුසුමක් හෙළමින් එය අංජලීගේ බෑගයේ පොකට්ටුවට දැමුවාය.
මාලකගේ වදය නිසාම අංජලී ඔහුට කැමැත්ත දුන්නේ ඔහු කෙරෙහි ආදරයක් ඇති නිසා නොවේ. එක් පැත්තකින් තුෂර ඇය පිළිබඳව කැමැත්තකින් සිටින නිසා ඈ මාලකට සිය කැමැත්ත ප්‍රකාශ කළාද විය හැකිය. කෙසේ නමුත් එය ඈ කළ අනුවණ ක්‍රියාවක් විය. මෙය නැන්දා හෝ මාමා දැන ගත්දාට කුමක් වනු ඇතිද කියා ඈ සිය දහස් වාරයක් සිතුවාය. නමුත් දැන් පමා වූවා වැඩිය.
“අපි නම් කැමතිම නැහැ එයාට…ඉරේෂ් වගේම තමා මාලකත්…හරි ඊර්ෂ්‍යායි…”
ගයානි පළමු වරට සිය පෙම්වතාගේ වරදක් ඔවුන් හා පවසන විට අංජලීත් රංගිකාත් පුදුමයෙන් ගයානි දෙස බැලූහ. ඉරේෂ් යනු මාලකගේ හොඳ මිතුරාය. ගයානිත් ඉරේෂුත් පෙම්වතුන් වූයේ ඔවුන් උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේදී සිටමය.
“මොකක්…ඉරේෂ් එහෙමද…?”
“ඔව්…ඉතින්…වෙලාවකට ඕනවට වඩා වැඩියි සැකේ…”
ආරූඪ කර ගත් සිනහවක් පාමින් ගයානි කීවාය.
“ඒ අතින් බැලුවාම ආදිත්‍ය හොඳයිනේ… කවදාවත් සැක කරලා නැහැ…”
රංගිකා කීවාය.
“ආදි අයියාට තියෙන්නේ සුදු අයියාගේ ගති ගුණ…දෙන්නා එක වගේ…”
අංජලී මේනක සිහි කරමින් කීවාය. මේනකගේ මිතුරෙකු වූ ආදිත්‍ය හා රංගිකා හමු වූයේ අංජලීගේ දහ අට වන උපන්දිනය දා පැවති කුඩා සාදයේදීය. එදින ඇති කරගත් දැනහැඳුනුම්කම ප්‍රේම සබඳතාවයක් තරම් දුර ගියේ දෙපසම මව්පියන්ගේ කැමැත්තත් සමඟමය. ඉරේෂ් සහ ගයානිගේ සබඳතාවය නිවැසියන්ට රහසකි.
“අනේ මන්දා…වෙලාවකට බය හිතෙනවා…අයියා ඉරේෂ්ට කොහොමවත් කැමති වෙන එකක් නැහැ…අම්මායි අප්පච්චියි නම් මොනාහරි කරගන්න පුළුවන්…”
ගයානි කීවේ විදෙස්ගතව සිටින සිය සොහොයුරා සිහි කරමිනි.
“අයියාට දැන්ම කියලා තියන්න…”
රංගිකා කියන විට ගයානි බියපත් දෑසින් ඈ දෙස බැලුවාය.
“අපේ අයියාට…! ඔයාට පිස්සුද…? එයා කියලා තියෙන්නේ අෆෙයාර් එකක් තියනවා නම් කියන්න කියලා…මං කිව්වා එහෙම මොකුත් නැහැ කියලා…එයා ඉරේෂ්ට කොහොමවත් කැමති වෙන්නේ නැහැ…”
“ඉතින් ඇයි එහෙනම් ඔයා එයාට කැමති වුණේ…?”
රංගිකා වහා ඇසුවාය.
“එයා හොඳයි කියලනේ හිතුවේ…”
සුසුමක් හෙළමින් ගයානි කීවාය.
“අනේ මන්දා…ගයාගේ අයියාත් කොහොම හරි කැමති වෙයි කියලා හිතමු…ඒත් නැන්දායි මාමයි…”
“ඒක තමා අංජු අපි කීවේ…තාම පරක්කු වැඩි නැහැ…”
“මට තේරෙනවා ගයා…ඔයාලා ඔහොම කියන්නේ මගේ හොඳට කියලා…ඒත්…මං දැන් මාලකට ආදරේ කරන්න පටන් අරන්… ආයෙත් හැරෙන්න මට බැහැ…”
“මාලකත් ඒ වගේම නම් හොඳයි…ඒත් ඉතින්…”
ගයානි කීමට ගිය දේ නොකියා නිහඬ වුණාය.
“ඒක නෙවේ…අයියා කතා කරන හැම වෙලේම ඔය දෙන්නව අහනවා…”
අංජලී ඔහුව දැක තිබුණේ එක් වරක් පමණි. ඒ ඈ ගම්පහට පැමිණි මුල් කාලයේදීමය.
“අපිත් මතක් කළා කියන්න…”
රංගිකා කීවාය.
තුෂර පන්තියට නොඑන්නේ තමා නිසා යැයි අංජලීගේ සිතේ ඇති වූයේ වරදකාරී හැඟීමකි. ඔහු නොපැමිණි තෙවන දිනය මේය. හිමානි සහ සෙනුරද දෙදිනකට පසුව පැමිණියේද එදාමය.
“ඇයි හිමානි තුෂර ක්ලාස් එන්නේ නැත්තේ…එක්සෑම් එකත් ළඟයිනේ…”
ඈ හිමානිගෙන් ඇසුවේ ඒ නිසාය.
“එයා ආයේ ක්ලාස් එන එකක් නැහැ… එක්සෑම් එක නම් කරගනියි…”
ඈ කියන විට ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණින් මුහුණ බලා ගත්තේ මවිතයෙනි.
“ඒ ඇයි…?”
“තුෂරගේ තාත්තා අසනීප වුණා…හයි ප්‍රෙෂර්…දැන් තුෂර දිගටම ෆැක්ට්‍රි වලට යයි…මං හිතන විදියට…අංකල්ට බෙඩ් රෙස්ට් කරන්න කියලා ඩොක්ටර් කිව්වා…”
“අපි දන්නෙවත් නැහැනේ…”
ගයානි කීවේ පසුතැවීමකින් මෙනි.
“ආහ්…ඒ ගැන ඒ තරම් හිතන්න ඕන නැහැ…”
සෙනුර වහා කීවේය.
“අපිත් තුෂර එක්ක ජොයින් වෙනවා එක්සෑම් එකෙන් පස්සේ…”
හිමානි ඒ කීවේ අලුත් පුවතකි.
“අනේ….හොඳයිනේ….තුෂරටත් ඒක ලොකු සපෝර්ට් එකක්නේ…”
රංගිකාද ඒ ගැන සතුටු දෙමින් කීවාය.
“අපි ආයේ මුණ ගැහෙයිද දන්නැහැ…නේද…?”
අංජලී කීවේ ශෝකයෙන් මෙනි.
“මොකෝ නැතුව…මේක පුංචි රටක්නේ…නැත්ද ගයා…”
ඈ සිනහසෙමින් අංජලීගේ සුරතින් අල්ලා ගෙන කීවාය.
“තුෂර මා එක්ක අමනාපයක් නැහැ නේද…?”
“පිස්සුද අංජලී…එයා මොකටද ඔයා එක්ක අමනාප වෙන්නේ…අඩුම තරමේ එයා එයාව රවට්ටලා දාලා ගිය හංසිනී එක්කවත් අමනාප නැහැ…”
ලෙංගතු හැඟීමකින් අංජලීගේ සුරත තද කරමින් හිමානි කීවාය. ඇගේ සිතට දැනුණේ සියුම් සහනයකි.
ඈ තුෂරට ඇමතුමක් ගෙන පියාගේ අසනීපය පිළිබඳව විමසා සිය කණගාටුව ප්‍රකාශ කළාය. ඔහු ඉතා සුහදව කතා බහ කිරීම ගැන ඈ සිතේ ඇති වූයේ සහනශීලී හැඟීමකි. ඉකුත් සතියේ පාඨමාලාව අවසන් වූ අතර සහතික ප්‍රධානය තිබුණේ ඉන් ඉක්බිතිවය. තුෂරද එදින පැමිණ සිටි අතර ඔහුට අංජලීත් මිතුරියනුත් සමඟ වැදගත් යමක් පැවසීමට වුවමනා බව කීවේය. ඔහු ඔවුන් කැඳවාගෙන ආවේ කුඩා අවන්හලකටය. තිදෙනා තුළම වූයේ කුතුහළාත්මක හැඟීම් සමුදායකි. ඔහුට ඉතා පෞද්ගලිකව ඔවුන් සමඟ කිරීමට ඇති කතා බහ කුමක්ද…?
“මේක ඔය තුන්දෙනාටම කරන ප්‍රොපෝසල් එකක් විතරයි…ඩිසයිඩ් කරන්න ඕන ඔයාලා…”
“මොකක්ද තුෂර…?”
ගයානි ඇසුවේ මැඩගත් කුහුළිනි.
“මෙහෙමයි…”
ඔහු කතා කරන තුරු ඔවුන් බලා සිටියේ තුෂර වෙතම දැල් වුණු දෑසිනි.