Pini Muthu Palasa පිනි මුතු පලස
නිවස තුළ වූයේ පාළුවකි. එය රජිව් නිවසේ නැති නිසා දැනෙන්නට වූ පාළුවක් මිස වෙනකක් නොවේ. එකම නිවසක සිටියද පෙරදිනක අප පෙම්වතුන් වුවද රජිව් මා ඉදිරියේ හැසිරුණේ මනා සංයමයකිනි. ඔහුට වුවමනා මා ආරක්ෂා කිරීමට බව මම ඉඳුරාම දැන සිටියෙමි. මේ නිසාම මා සිතේ ඔහු කෙරෙහි වූ ගෞරවය වැඩි විණි. වැරදීමකින් හෝ ඔහු මා සිරුරේ ගැටුණු අවස්ථාවක වුවද ඔහු සමාව අයැද පසෙකට වූ අවස්ථා බොහෝ විය. රජිව් දින කීපයකට පාසල් මිතුරන් සමඟ විනෝද චාරිකාවකට ගොස් තිබූ නිසාවෙන් නිවස වෙනදා මෙන් පිරුණු බවක් නැත. ඔහු පිටව ගොස් දින තුනකි. චිත්‍රා මිස්ද දිනෙන් දින සුවය ලබමින් සිටි නිසා ඔහු මේ ගමනට සහභාගී වූයේ මගේ බල කිරීමටය.
“යාළුවෝ එක්ක ගිහින් එන්න…ඒක ඔයාගේ හිතටත් හොඳයි නේ…”
කමල් පැමිණ මේ බව දන්වා ගිය පසු මම කීවේ රජිව් දෙගිඩියාවෙන් පසුවනු දැකය. චිත්‍රා මිස්ද ගොත ගසමින් කීවේ ඔහුට යන්නට කියාය. ඇගේ වචන තේරුම් ගැනීමට අපහසු වුවද ඈ මෙසේ හෝ කතා කිරීම අපේ සතුටට හේතු වූ කාරණයක් විය. දැන් දැන් ඈ සිය අත පය හොඳින් හසුරුවයි. වෛද්‍යවරුන් පවසා තිබූ ලෙස මම ඇයව දිනපතාම ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත කරවූයෙමි. එසේම ඇය වෙනුවෙන්ම කැප වී සිටියෙමි. නිතර නිතර ඇයට ඇසෙන්නට පොත් පත් කියවූයෙමි. සමහරවිටක ඈ ගොත ගසමින් මට ස්තූති කළාය. නැතිනම් මගේ දෑතින් අල්ලාගෙන හැඬුවාය. මම ඇයව සැනසුවෙමි. ඈ පෙරට වඩා හොඳින් ආහාර පාන ගත් නිසා පෙර සිටියාට වඩා ඈ දැන් පිරිපුන්ව දිස් වූවාය. ඈ දිනෙන් දින සුවය ලබනු දැක අපි සතුටු වුණෙමු.
“මංදාකිණි…නෝනා ආවාට පස්සේ තමා ලොකු නෝනා මෙහෙම හරි සනීප වුණේ…”
ප්‍රේමා නැන්දා කීවේ චිත්‍රා මිස්ට සූපයක් සූදානම් කරන අතරය.
“මං විතරක්යැ…නැන්දත් මහන්සි වුණානේ…”
“හ්ම්ම්…පුංචි මහත්තයා නැතුව පාළුයි…නැත්ද…?”
මම කිසිත් නොකීවෙමි. රජිව් අද හෝ හෙට පැමිණිය යුතුය. මේ දින කීපයේම ඔහු වරින් වර නිවසට ඇමතුම් දෙමින් චිත්‍රා මිස් පිළිබඳව විස්තර විමසුවේය.
“ඔය කතා කරන්නේ ලොකු නෝනා ගැන දැනගන්න විතරක්ම නෙවේ ඉතින්…නෝනා ගැනත් අහන්න එක්ක තමා…”
ඔහුගේ ඇමතුමක් පැමිණි විටක ප්‍රේමා නැන්දා මටද අඬගසන්නේ එසේ කියමිනි. ලැජ්ජා මුසු හැඟීමෙන් මම නිහඬව සිටිමි. එදින රාත්‍රියේ රජිව් නිවසට පැමිණියේය. ඔහු දැකුමෙන් මා සිතට දැනුණේ අසීමිත සැනසුමකි.
“නොකියාම ඇවිත්…”
මම කියන විට ඔහු දඟකාර සේ සිනාසුණේය.
“පුදුම කරවන්න ආවේ…නොකියාම…”
මාත් ප්‍රේමා නැන්දාත් එකතුව යළිත් රාත්‍රී ආහාර සැකසුවේ ඔහු පැමිණෙන බව අපි නොදැන සිටි නිසාවෙනි. ඒ වන විටත් අපි රාත්‍රී ආහාර ගෙන අවසන් කොට තිබුණෙමු. ප්‍රේමා නැන්දා නින්දට ගියේ දවස පුරාම මහන්සි වී වැඩ පළ කර තෙහෙට්ටු නිසාය. මම ඔහු ආහාර ගන්නා තුරුම මේසයට වාඩි වී ඔහු අසල රැඳුණේ ඔහුට අඩු පාඩු ලබා දෙන්නටය. ඔහු මා සමඟ ආගිය තොරතුරු කතා බස් කරමින් බොහෝ කාලයක් ගෙන ආහාර වේල රස වින්දේය.
“මංදාකිණිත් නිදා ගන්න…ඕවා පස්සේ අස්කරගන්න බැරියැ…දැන් දොලහටත් ළඟයි…මටත් හරි මහන්සියි…”
ඔහු එසේ කියා කාමරයට වැදෙන විට මමද කාමරයට පැමිණියෙමි.
පසු දින දවසම ප්‍රේමා නැන්දා සිටියේ කොන්ද අමාරුව කියා යහනේම වැතිර ගෙනය. මම වේදනා නාශක ආලේපනයක් කොන්දේ තවරා සෙමෙන් පිරි මැදීමි.
“අනේ පින් සිද්ධ වෙනවා නෝනේ…”
ඈ කීවාය. ඇයට නිදාගන්නට කියා මම පිටතට පැමිණ ඈ පෙඟෙන්නට දමා තිබූ රජිව්ගේ කිළිටි රෙදි සෝදා රෙදි වැලේ වනමින් සිටින අතර රජිව් මා සොයා පැමිණියේය.
“මංදාකිණි…”
ඔහුගේ හඬින් මම ආපසු හැරී බැලීමි. ඔහු මා දෙසත් රෙදි වැල මත වූ ඔහුගේ ඇඳුම් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ මවිතයෙන් මෙනි.
“ඔයාද මගෙ රෙදි හේදුවේ…?”
විමතියට පත් හඬකින් ඔහු ඇසීය.
“ඔව්…ඇයි…?”
“පිස්සුනේ…ඇයි ප්‍රේමා නැන්දනේ වෙනදට හෝදන්නේ…”
“ප්‍රේමා නැන්දාගේ කොන්ද කැක්කුම…මං බාම් එකක් ගෑවා…දැන් නම් නිදි…මං හේදුවොත් රෙදි හේදෙන්නෙ නැත්ද…?”
මවා ගත් නොමනාපයක් පළ කරමින් මම ඇසීමි.
“හේදෙනවා…හේදෙනවා…පණ්ඩිත ආච්චි…එතන මගේ අන්ඩර් වෙයාරුත් තිබ්බා….”
අපහසුතාවයට පත් හඬකින් ඔහු කියන විට මසිතෙහිද ඉහිර ගියේ ලැජ්ජා මුසු හැඟීමකි. යට ඇඳුම් කීපය තවම බේසමේය.
“ඒවත් සේදුවා…”
එය ගණනකට ගත් බවක් නොපෙන්වා මම කියන විට ඔහුද හිස කසන්නට වූයේ ලැජ්ජා මුසු හැඟීමකින් බව මට වැටහිණි.
“දැන් ඉතින් මොනවා කරන්නද…? කමක් නැහැ…මං ආවේ අන්න දේවින්ද සර් ඇවිත් ඉන්නවා…ගිහින් කතා කරන්න…”
මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි. මීට පෙරද කීප වතාවක්ම දේවින්ද සර් මෙහි පැමිණියද මම ඔහුට මුහුණ නොදී සැඟවී සිටියෙමි.
“අනේ…ඔයා කිව්වද සර්ට මං මෙහෙ ඉන්නේ කියලා…?”
තැති ගත් හඬකින් මම ඇසීමි.
“මට අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ…අම්මා ඔක්කෝම කියලා සර් එක්ක…අන්න ගුණ වර්ණනාව දේවින්ද සර් එක්ක…සර් ට්‍රාන්සර් යනවලු…අම්මාට කතා කරලා යන්න ඇවිත්…”
“අනේ…සර්…මොනවා හරි හිතයිද…?”
අදි මදි කරමින් මම ඇසීමි.
“සර් මොකුත් හිතන්නේ මොකද…?”
“සර් දන්නවා…”
කීමට ගිය දේ නොකියා මම නිහඬ වීමි.
“මොනවද සර් දන්නේ…අපි දෙන්නා යාළුවෙලා හිටියා කියලද…? අපි දැනුත් යාළුයි තමා…එන්න එන්න…”
මට කිසිත් කීමට ඉඩ නොතබාම ඔහු පෙරමුණ ගන්නා විට මමද ඔහු පසුපස පැමිණියෙමි.
“මංදාකිණි…”
මම දේවින්ද සර් ඉදිරියට යන විට ඔහු මා ඇමතුවේ පෙරදා මෙන්ම ලෙංගතු හඬිනි. මම දණ නමා සර්ට වැන්දෙමි.
“මම අදනේ විස්තරේ දන්නේ…මීට කලින් යන එනකොට කොහෙද හැංඟිලා හිටියේ…?”
සර්ගේ හඬේ වූයේ සරදම් සහගත බවක්ද කියාත් මට නොසිතුණා නොවේ. නමුත් ඔහු සිටියේ සිනා පිරි වතිනි.
“මිස් අද මට සේරම විස්තර කිව්වා…මේ පිනම ඇති දරුවෝ ඔයාට…තමන්ගෙම මිනිස්සුවත් නොකරන දෙයක් ඔයා කළේ… බෙහෙත් හේත් වලිනුත් ගුණයක් ලැබෙන්න ඇති…නමුත් ඉතින් ඔයා හොඳට මිස්ව බලා ගත්තා…එහෙම නේද පුතේ….?”
දේවින්ද සර් රජිව්ගෙන් විමසන විට ඔහුද මදෙස බලා ආඩම්බර මුසු සිනහවක් පෑවේය.
“ඒක ඇත්ත සර්…මංදාකිණි අම්මා වෙනුවෙන් හුඟාක් මහන්සි වුණා…මටයි ප්‍රේමා නැන්දාටයි කරන්න බැරි වුණ දේ…මංදාකිණි කළා…”
බිමට යොමා ගත් හිසින් මම නිහඬව සිටියෙමි. එවන් වර්ණනා මට වුවමනා නැත. මම මේ සියල්ල ඉටු කළේ කිසිත් බලාපොරොත්තුවෙන් නොවේ. සද්භාවයෙනි. චිත්‍රා මිස් සිනහමුවෙන් සිටිනු දැක මසිතෙහි ඇති වූයේ වචනයෙන් කිව නොහැකි ප්‍රීතිමත් හැඟීමකි. එයම මා සිතට සැනසුමක් නොවේද..?
——————————————————————————————————
අඹ සෙවන යට සිසිලසය. චිත්‍රා මිස් නහවා හිස පීරා ඇගේ දිගු වරළසේ තෙත බේරෙන තුරු මාත් රජිව් අයියාත් තිදෙනම එකතුව කතා බහක නිරතව සිටියෙමු. පරිසරය පුරා තුනී වැහි අඳුරක්ද පැතිර තිබුණද වැස්සක් නම් ඇද වැටෙනු ඇතැයි කියා මම නොසිතුවේ පෙර දිනත් අහස මෙසේම වූ නිසාය.
“වැස්සා නම් හොඳයි…”
චිත්‍රා මිස්ද අහස දෙස බලා කීවාය.
“වහින එකක් නැහැ…ඊයෙත් මෙහෙම තමා…”
රජිව්ද පිළිතුරු ලෙස කීවේය.
“පුංචි මහත්තයා…”
ප්‍රේමා නැන්දා දිව ආවේ කලබලයෙන් මෙනි.
“ඇයි ප්‍රේමා…?”
චිත්‍රා මිස් වහා ඇසුවාය.
“න්…නැහැ…ලොකු නෝනා…මේ…”
ඈ එක්වරම නොකියා ගොත ගසන විට බියක් මා සිතේද ඇති විය.දෙවියනේ…! මා සොයාගෙන පූජිතවත් පැමිණ ඇතිවාවත්ද. මා සිත ගැහෙන්නට විය.
“මොකද ප්‍රේමා නැන්දේ…?”
රජිව්ද ඇසුවේ කළබලයෙන් මෙනි. ඔහු තුළද මා සිතේ වූ සැකයම ඇති වූවාවත්ද…?
“පුංචි මහත්තයා…මේ ලොකු නෝනලාගේ ගෙදර අය ඇවිත්…”
සැනසුමක් මා සිතට දැනුණේ එවිටය.
“අර මොකටද ප්‍රේමා…?”
“ලොකු නෝනාගෙ ලෙඩ බලන්න වෙන්නැති…”
“ලෙඩ නෙවේ…මං මැරිලද බලන්න වෙන්නැති එන්න ඇත්තේ…”
චිත්‍රා මිස් පැවසුවේ කෝපයට පත්වය. ඇයට කෝප ගැනීම සුදුසු නැත.
“අම්මා කේන්ති නොගෙන ඉන්නකෝ…අම්මට කතා කරන්න පුළුවන් කියලා එයාලට පෙන්නන්න එපා…අපි යමුකෝ බලන්න…”
රජිව් රෝද පුටුව තල්ලු කරගෙන පිටුපස දොරින්ම ගෙතුළට යන විට මම හුන් තැනම සිටියේ පැමිණි අයගේ දෑසට හසු වීමට අකමැත්තෙනි.
“ඔය ආවේ ලොකු නෝනාගේ අක්කා…මහ කුඩු කේඩු ගෑනියෙක්…මෙහෙ ආවාම ඉරට්ටේ ඉඳන් සූරන් යන්නේ…”
ප්‍රේමා නැන්දාද කීවේ පෙරදිනක රජිව් මා හා පැවසූ දෙයමය. මම නිහඬව සිටියේ ඒ පිළිබඳව කතා කිරීමට මට අයිතියක් හෝ යුතුකමක් නොවූ බැවිනි.
“තේ ටිකක් වත් හදන්න වෙයිද නැන්දේ…?”
සුළු මොහොතකට පසු මම ඇසුවේ දෙගිඩියාවෙනි.
“තේ…? තේ නෙවේ….මුන්ට වතුර පොදක් දෙන්න වටින්නේ නැහැ…ලොකු නෝනා ලෙඩ වුණු වෙලේ අහක බලපු උන්…”
ප්‍රේමා නැන්දා කතා කළේම කෝපයෙනි. එය සාධාරණය. කියන්නාක් මෙන් මේ හදිසියේ ඔවුන් මෙහි කුමට පැමිණියාද කියා මටද සිතිණි. රජිව්ගේ නෑයින් පිළිබඳව මට වඩා දන්නේ බොහෝ කලක් මෙහි සිටි ප්‍රේමා නැන්දාය. මම සූදානම් වූයේ ගෙතුළට යෑමටය. කිසිවෙකුට නොපෙනී කාමරයට වී සිටීම වඩා හොඳ යැයි කියා මම සිතුවද මම ප්‍රමාද වී සිටියෙමි. පිටුපස දොර අසල හදිසියේම පෙනී සිටි රුව දැකීමෙන් මම තිගැස්සී ගියෙමි. රජිව්ගේ රුවට සමාන රුවකින් යුතු ඔහුද මා දුටුමතින් විමතියට පත්වූවාක් මෙන් මුවින් එක්වරම සිවුරුහන් නදක් පිට කළේ මවිතය හැඟවීමට මෙනි.
“කවුද ප්‍රේමා මේ…?”
ඔහු අසන විට මට ඉබේම බැලුණේ ප්‍රේමා නැන්දා දෙසය.
“ආහ්…මේ අපේ පුංචි මහත්තයා බඳින්න ඉන්න නෝනනේ දිමුතු මහත්තයා…”
ප්‍රේමා නැන්දා උජාරුවෙන් මෙන් කියන විට මගේ ඉහ මොළ පවා රත්ව යනු මට දැනිණි. ඈ මේ කුමක් කියනවාද..? පුදුමය රැඳි දෑසින් මම ඈ දෙස බලා සිටියෙමි.
“ඕ…හෝ…ඒකත් එහෙමද…හේ…මම දිමුතු…රජිව්ගේ ලොකු අම්මාගේ පුතා…ඔයා තමයි එහෙනම් මගේ වෙන්න ඉන්න නෑනා…”
ඔහු තමාවම හඳුන්වා දෙමින් දිගු කළ දෑත මම අල්ලා සෙළවූයේ ඒ මොහොතේ වෙන කළ හැකි යමක් නොවූ නිසාය. ඔහු මොහොතක් මා සුරත තදින් අල්ලාගෙන සිටියේ මා අපහසුතාවයට පත් කරමිනි. මම සෙමෙන් මගේ අත මුදා ගතිමි. ප්‍රේමා නැන්දා කෙරෙහිද මට පළමු වරට නොමනාපයක් ඇති වූයේ ඈ මා දිමුතු නැමැත්තාට හඳුන්වා දුන් ආකාරය ගැනය. මට වුවමනා වූයේ මෙතනින් පැන ගොස් සැඟවෙන්නටය. නමුත් දිමුතු දොරකඩ සිට ගෙන සිටියේ දොර හරස් කරගෙනය. ඔහුට මා සිත ඉව වැටුණු නිසා දෝ වහා හුන් තැනින් මෑත් වූයේ මට ඇතුළට ඒමට ඉඩ හරිමින් වුවද රජිව් ප්‍රේමා නැන්දා අමතමින් පැමිණි නිසා මම එළෙසම සිටියෙමි.
“ආහ්…උඹ මෙතනද…?”
රජිව් එසේ ඇසුවේ මා දෙසත් දිමුතු දෙසත් මාරුවෙන් මාරුවට බැල්මක් හෙළමිනි.
“ම්ම්…මං වතුර ටිකක් බොන්න හිතන් ආවේ…ඒක නෙවේ…උඹ නොකියාම මැරි කරන්න යනවා කියන්නේ මේ ප්‍රේමා…”
මා ගත සීතල වී ගිය අතර රජිව් ඉක්මන් බැල්මක් මවෙත හෙළීය.
“දැන්ම මැරි කරන්න බැහැනේ…අම්මාත් තාම අසනීපෙන්නේ ඉන්නේ…අනික මට තව කල් තියනවානේ…ඊට කලින් දිමුතු මැරි කරන්න එපැයි…”
“ඒකනේ මාත් මේ බැලුවේ…ප්‍රේමා කියපු විදියට මං හිතුවේ උඹ අද හෙටම මැරි කරයි කියලා…”
දිමුතු යළිත් මා දෙසට බැල්මක් හෙළමින් කීවේය. ඒ දෑස් තුළ වූයේ සරාගී බැල්මකැයි කියා මට නොසිතා බැරි විය.
“දැන්ම මැරි කරන්න මට හදිසියක් නැහැ…”
රජිව්ගේ හඬේ වූයේ උපහාසය මුසු බවකි. ප්‍රේමා නැන්දාට තේ සාදන්නට කියා රජිව් දිමුතු සමඟ ගෙතුළට පියවර තැබුවේය.
-31 වන සඳුදා නැවත හමුවෙමු-