NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 43

Hima Mal Renu හිම මල් රේණු – 43

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

රෝහලෙන් මා නිවසට කියා කොහේදෝ තැනකට මා කැඳවා ගෙන එනු ලැබිණි. දැන් මට තරමක සුවයක් දැණුනද හිසේ තුවාලය තවම සුව නැති බව පවසනු ලැබිණි. මා සිටින්නේ කොහිද කියා වෙනසක් හෝ මට නොදැණුනේ දෑස් නොපෙනෙන නිසාය.

“අනේ මගේ ලොකු බේබි…”

කිසිවෙකු කෑ ගසමින් මා අල්ලාගෙන හඬන විට මම බියෙන් තැති ගතිමි. ඒ නිවසේ සේවයට සිටින කාන්තාව බව නැන්දා මා හා කී පසුවයි එම තැති ගැන්ම පහව ගියේ.

“දැන් මගේ ලොකු බේබිට සනීපයි…මං මේ ටිකේම දෙයියෝ බුදුන්ට කිය කියා හිටියේ මගේ ලොකු බේබි…”

ඈ හඬමින් එසේ කීවාය.

“හරි…හරි චන්ද්‍රා…දැන් ලොකු බේබි ආවානේ…එයාට විවේකෙන් ඉන්න දෙන්න…”

ගැඹුරු හඬින් එසේ කියනු ඇසුණි. ඒ තාත්තා ය. හඬමින් සිටි අය ඉවත යනු මට දැනිණි. නැන්දාත් ශ්‍රීමාත් මා කැඳවාගෙන තරප්පු පෙළකින් උඩු මහලකට පිවිසුණෝය.

“මේ ඔයාගේ කාමරේ…උණු වතුරෙන් වොෂ් එකක් දාගත්තාම ඔයාට සනීපයක් දැනෙයි. ඔළුවේ තුවාල තාම මැහුම් කැපුවා විතරනේ. තව දවස් දෙක තුනකින් නාමු.”

නැන්දා එසේ යෝජනා කරන විට මම නිහඬව සිටියෙමි. මගේ කොණ්ඩය මුඩු කොට තිබූ අතර එහි දැන් කෙස් කොට යළි වැවෙමින් තිබිණි. ඒ නිසා මා හිසට දැනුනේ අපහසුතාවයකි.

“මගේ කොණ්ඩේ ගොඩාක් දිගට තිබුණද ශ්‍රීමා…?” හිස මෘදුව අතගාමින් මම ඇසීමි.

“ඔව්…ගොඩාක් දිගට තිබුණා…ඒක වැවෙයි…ඉක්මනටම…” ඈ මා සනසන්නටදෝ කීවාය.

“මේ කාමරේ කොයි වගේද…?” අතපත ගාමින් එහි ඇවිද යමින් මම ඇසීමි.

“කාමරේ තියෙන්නේ උඩ තට්ටුවේ…” නැන්දා කියන්නට වූවාය.

“පොඩි බැල්කනි එකක් තියනවා…ඔයා ගොඩාක් වෙලාවට පාඩම් කරන්නේ එතන පුටුවේ වාඩි වෙලා…එතන ඉඳන් බැලුවාම මිදුල පේනවා…තාප්පේ අයිනේ ඉන්දියන් විලෝ ගස් පේළියක් තියනවා…අපි දෙන්නා හුඟාක් වෙලාවට එතන තියන බංකුවේ ඉඳන් තේ බිබී ගොඩාක් දේවල් කතා කරනවා…”

“අපි දෙන්නා…?” මම පුදුමයෙන් ඇසීමි.

“ඔව්…දුව…ඔයායි මායි…” ඈ හෙළූ සුසුමක බර හඬ මා සවන් වැකිණි.

“අපි ඒ තරම් එකතුද…?” මම ඇසීමි.

“අනේ ඔව් ආරණ්‍යා … ඔයායි නැන්දයි හරියට යාළුවෝ වගේ…”

ශ්‍රීමාද එසේ කියනු මට ඇසිණි. මගේ අම්මා මිය ගියදා පටන් මා බලාගෙන තිබුණේ නැන්දා බව ශ්‍රීමා මා සමඟ කීවාය. ඇයත් අනතුරකින් මිය ගිය බවක් අසන්නට ලැබෙන විට ශෝකී හැඟීමක් මා සිතේ ඇති විය. ඇඟ පත සෝදා ගැනීමට මට සහාය වූයේ ශ්‍රීමාය.

“අද ඉඳන් මාත් ඔයාගේ කාමරේ දුව…” නැන්දා කියනු මට ඇසිණ.

“ඒ ඇයි…? මගේ ඇස් පේන්නේ නැති නිසාද…නැත්නම් මොකුත් මතක නැති නිසාද…?”

මම ඇසුවේ තරමක මවිතයෙනි.

“අනේ…ළමයෝ…ඔය දෙකෙන් එකක් හරි තිබුණා නම් කියලා මේ ටික දවසට මට සිය දහස් වාරයක් හිතිලා ඇති…අඩුම තරමේ ඔයාට මතකෙවත් තිබුණා නම්…මේ කාමරේ ඇතුළෙම මතකෙන් එහෙට මෙහෙට හරි යන්න තිබුණානේ…”

ඈ කීවේ ශෝකී හඬකිනි.

“මටත් ඒ ටිකම හිතුණා…අඩුම තරමේ පෙනීමවත් මට තිබුණා නම්…හිමින් හිමින් හැමදේම මතක් කර ගන්න තිබුණා…”

මමද කීවේ කණගාටුවෙනි.

“හරිම අවාසනාවන්ත දෙයක් වුණේ…”

“ඒත් කොහොමද මේ හැමදේම වුණේ…?”

“ඔයා වාහනේ අරන් යද්දී නේ…”

“ඉතින් කවුරුත් දන්නේ නැත්ද මම වාහනේ අරන් යනවා…?”

“එදා තාත්තා හිටියෙත් නැහැනේ…මාත් ආච්චි අම්මගේ කකුල ඇම්මැට්ටි වෙලා නිසා ගමේ ගිහින් හිටියේ…එතකොට තමා මෙහෙම දෙයක් වෙලා තිබ්බේ…”

“ඒ කියන්නේ මං හිතුවක්කාර ගමනක් ගිහින්ද…?”

“අනේ…අනේ ළමයෝ…ඔයා හිතුවක්කාර කෙනෙක් නෙවේ…දැන් ඕවා වැඩක් නැහැ…සිද්ධ වුණු දේවල් ආයේ හදන්න බැහැ…අපි සනීප වෙන්න බලමුකෝ…”

“අනේ ඔව් ආරණ්‍යා…මං අහගෙන ඩොක්ටත් කියනවා…ඔයාගේ ඔළුවට වැදුණු තද පහර නිසාලු මෙහෙම වුණේ…කියලා…හැබැයි ඒක තාවකාලික දෙයක් විතරලු…ටික කාලෙකින් ඒක යථා තත්වෙට පත්වෙයි කියලා…”

ශ්‍රීමාගේ හඬ ඇසුණේ මා පසෙකිනි.

“ඔව්…දුව…හැමදේම හොඳින් සිද්ධ වෙයි…අපි බලන් ඉමුකෝ…”

නැන්දාගේ හඬේ වූයේ බලාපොරොත්තු සහගත බවකි. ආච්චි අම්මාත් ශ්‍රීමාත් දින කීපයකට පසුව පිටව ගිය අතර මගේ තවත් මිතුරියක් යැයි කී අයෙකු මා බැලීමට පැමිණ ඇති බව නැන්දා පවසන විට මා සිතට සියුම් සතුටක් දැනිණී. මා නොදන්නා මට අමතක තවත් මිතුරියක්.! මම සිතුවේ එලෙසය.

“ඔයා ඒ ළමයගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහලා ඔළුව වෙහෙසන්න එපා…හොඳේ…”

නැන්දා මට ලෙංගතු තරවටුවක් කිරීමට අමතක නොකළාය.

“ආරාණ්‍යා…”

මෘදු හඬකින් මා අමතමින් කිසිවෙකු මගේ අත තරයේ අල්ලා ගන්නා විට මම ඒ හඬ ආ දෙසට හැරුණෙමි.

“ඔයා කවුද…?” මම ඇසීමී.

“අනේ…මම නදීරා…අයියෝ…ඔයාට කටහඬ ඇහෙද්දී වත් මාව අඳුන ගන්න බැරිද…?”

ඇගේ හඬේ වූයේ නෝක්කාඩුවක ස්වරූපයක් වුවද ඈ එසේ පවසන්නට ඇත්තේ විහිළුවට වන්නට ඇත.

“නදීරලා තමා පහුගිය ටිකේ ඔයා ළඟට වෙලා හිටියේ…” නැන්දා කීවාය.

“අනේ…ගොඩාක් ස්තූතියි…” කුමක කිව යුතුදැයි නොදැන මම කීවෙමි.

“විකාර…ඕක ස්තූති කරන්න ඕනද…පහු ගිය ටිකේ මට එන්න බැරි වුණා…නිදි වරලා නිසාද මන්දා උණ ගත්තා…සනීප වුණ ගමන් මේ ආවේ…?”

“අනේ පව්…” මට කියවිණි.

“හරි….හරි…දැන් ඕවා වැඩක් නැහැ…දැන් මම ආවනේ…මම දිගටම එනවා ඔයාව බලන්න…අම්මාත් එන්න හිටියේ…එයාත් හරියට ඔයාව මතක් කරනවා…”

එසේ කී ඈ සුසුමක් හෙළන හඬ මා සවන් වැකිණි.

“අපේ සර්ටිෆිකට් හම්බුණා…මං ඔයාගේ එක නැන්දාට දුන්නා…මතකද ඔයාට…අපි කතා වෙලා හිටියේ සර්ටිෆිකට් ගන්නදාට පාර්ටියක් දාමු කියලා…?”

ඈ එක දිගටමකියවගෙන යන්නට වූ අතර මම අසා සිටියෙමි. ඒ කිසිත් මට මතක නැති බවක් ඇයට අමතක වූ සෙයකි.

“අපි සේරම එකතු වෙලා ග්‍රෑන්ඩ් පාර්ටි එකක් දාන්න ලැහැස්ති වෙලා හිටියේ…ඔයා..මම..තේෂාන්…ටිරෝන්…භාෂිත… ශ්‍රීමා…මාධව…තෙෂාරා…අපි සේරම…”

එකවරම ඇගේ හඬ බිඳී ගිය බවක් මට දැනිණී. ඈ හඬනවාද කියා සැකයක් මා සිතේ ඇති වූයේ ඈ බර වූ නාසය පිස දමන හඬිනි. පසුව ඇති වූයේ සුළු නිහැඬියාවකි.

“ඒ කාලේ හරි ෂෝක් අනේ…” බිඳී ගිය හඬකින් ඈ කීවාය.

“ඔයා අඬනවද..? ඔයා මොනවා හරි හිතේ තියන් ඉන්නවා වගේ කියලා මට හිතෙන්නේ…මට ඔය මොකුත් මතක නැහැ…අඩුම තරමේ මේ ගෙදර අයවත් මට හරියට මොකුත් කියන්නේ නැහැ…මෙහේ ඉන්න අර පුංචි අම්මා කියන කෙනා…එයාගේ…කටහඬ ඇහෙද්දිත් මට හරි කේන්තියක් එනවා…එයා නපුරු කෙනෙක්ද…?”

එවිට මගේ අත ඇගේ අතින් තද ග්‍රහණයකට ලක් විය. ඈ හුස්ම හෙළන හඬ පවා මා සමීපයෙන්ම ඇසිණි.

“ආරාණ්‍යා…ඔයාට එයා ගැන කේන්තියක් එනවා කියන්නේ…ඔයාට ඉක්මනින් ඔයාගේ මතකය ලැබෙයි…”

ඇගේ හඬේ වූයේ දැඩි විශ්වාසයකි.

“ඒ ඇයි…?”

“මොකද ඔයා ඉස්සරත් එයාට කැමති නැහැ…ඔයාගේ මොළේ සෛළ තවම හොඳට වැඩ…හැමදේම හරියයි…”

මම සුසුමක් හෙළීමි.

“මගේ පෙනීමවත් තිබුණා නම්…?”

“හැමදේම අපිට ඕන විදියට වෙන්නේ නැහැ ආරාණ්‍යා…අපි බලන් ඉමු…”

“ඒත්…මෙහෙම ඉන්න එක වදයක්…මොකුත්ම මතක නැතුව…කිසි දෙයක් පේන්නේ නැතිව…අනික් අයට වදයක් වෙලා…ජීවත් වෙන එක මොන තරම් අමාරුද…?”

“මේ අහන්න ආරාණ්‍යා…ඔයාගේ පවුලේ අය ඔයාට හුඟාක් ආදරෙයි…පුංචි අම්මා වෙනස් වුණත්…වැඩට ඉන්න චන්ද්‍රම්මා පවා ඔයාට ආදරෙයි…කවුරු නැතත් ඔයාහේ නැන්දා ඔයා එක්ක ඉන්නවානේ…එයා හරිම හොඳ කෙනෙක්…”

නදීරා එක දිගට කියවගෙන ගියාය.

“ඒක නම් මටත් තේරුණා…”

නැන්දා අප අමතමින් යළි කාමරයට පිවිසියේ එවිටය.

“අනේ…මෙන්න ආරණ්‍යා නැන්දා ලයිම් ජුස් අරන් ඇවිත්…මතකද ඉස්සර අපි ජූස් බාර් ගියාම දෙන්නාම ඉල්ලන්නේ ලයිම් ජූස්…”

නදීරා මා අතින් අල්ලාගෙන සීතල වීදුරුවක් මා අත පත් කරන විට මම හිරිවැටී ගියෙමි.

“දෙන්නාම කිව්වේ…?”

කුහුල් සිතින් මම ඇසීමි. මෙතෙක් එක දිගට කියවමින් සිටි නදීරා මෙවර පිළිතුරක් දීමට පමා වූවාය.

“දෙන්නා කිව්වේ…මේ…මේ…අපි දෙන්නානේ අනේ…”

ඈ කීවේ තරමක ගොතයකින් මෙනි. මට ඒ පිළිබඳව දුර දිග සිතන්නට නොහැකිය. ඈ ඉන් අදහස් කරන්නට ඇත්තේ අපි දෙන්නාවමද…? ඈ බොහෝ දේවල් මා සමඟ කතා කළාය. මට ඒ සියල්ල සිහි නැත. මම ඔහේ අසා සිටියෙමි. පසුව ඈ පිටව ගියේ සැඳෑ වන බව පවසමිනි. මට ඒ පිළිබඳවද වැටහුමක් නැත. ඈ ගිය පසුව නම් මා සිතට දැනුණේ දැඩි පාළුවක් මෙන්ම තනි කමකි. නැන්දා මා කැඳවා ගෙන මිදුලට පැමිණියාය. නිරුවත් දෙපා මතින් තණ බිම මත ඇවිද යන විට දෙපයට දැනුණේ සනීපයකි. අපි නිහඬව බංකුව මත හිඳ සිටියෙමු. විවිධ ශබ්ද මට ඇසේ. ඒවා මොනවා දැයි මට කීවේ නැන්දාය. පාරේ යනෙන වාහන වල ශබ්ද, හමා ඇදෙන සුළඟේ හඬ…නැන්දා කී ලෙස විලෝ ගස් මත හිඳ ඇසෙන කුරුළු හඬ මා සවනට ගලා ආයේය. අන්ධ වූවෙකුගේ දෑස වන්නේ දෙසවන්ය. මා දෙසවනද දැන් දැන් එයට හුරු වෙමින් ඇත. මෝටර් රථයක් පැමිණි හඬත් සුළු මොහොතකින් ගේට්ටුව විවර කරන හඬත් පැමිණි රථය මිදුලට විත් නවතන හඬත් මා සවන් වැකිණි. පැමිණියේ තාත්තා බව නැන්දා කීවාය. රියේ දොර වැසෙන හඬ මෙන්ම බරට තබන සපත්තු අඬි හඬ ඇදී ආවේ අප දෙසටය.

“දුව…”

මා හිස මතට තබන ලද අතක බර පහස මෙන්ම මට තාත්තා ඇමතූ හඬද ඇසිණි.

“දැන් කොහොමද…තාම හෙඩෙක් එක තියනවද…?”

ඔහු අසන විට මම නැතැයි කීවෙමි.

“හ්ම්ම්…හොඳයි…ටික ටික හරි යයි…ආච්චි අම්මා කියනවා ටික දවසකට ඔයාව එහේ ගෙනත් ඇරලවන්න කියලා…ඔයා කැමතිද යන්න…? මේ සතියේ ඩොක්ටර් ළඟට ගිහින් ඇවිත් යමු…”

කුමක් කිව යුතුදැයි නොදැන මම සිටියේ නිහඬවය.

“ඔයාගේ යාළුවොත් ඉන්නවානේ දුව…ටික දවසක් ඉඳලා එමු…”

මගේ නිහඬ බව නිසාදෝ නැන්දා කීවාය.

“මම දන්නේ නැහැ…ඔයාලා කැමති දෙයක් කරන්න…ඇස් පේන්නේ නැති මට…දැන් කොහේ හිටියත් එකයි…”

මම කීවෙමි. සියල්ල සුළු මොහොතකට නිහඬ බවක ගිළී යන විට තාත්තා හෙළූ සුසුමක බර හඬ මට ඇසිණි. ඔහු ඉවත ඇවිද යනුත් මට ඇසිණි. මම කීවේ වැරදි දෙයක්ද…?

“තාත්තට දුක හිතිලා…” නැන්දා පහත් හඬින් කීවාය.

“දුක හිතන්න තරම් දෙයක් මං කිව්වද…?”

“ඔයා මෙහෙම ඉන්නවා දකින එක එයාට දරාගන්න බැරිව ඇති…”

“එහෙනම් මාව ගමේ එක්ක යන්න…එතකොට එයාට මාව පේන්නේ නැහැනේ…”

නැන්දා මා හිස පිරිමදින්නට වූයේ අනුකම්පාව මුසුව යැයි කියා මට සිතුණ මුත් ඉන් මා සිතේ අමුතු හැඟීමක් ඇති වූවා යැයි කියා මම නොසිතමි. සියල්ල මට නුහුරු නුපුරුදුය. සැවොම කෙතරම් ලෙංගතු වුවද මට දැනුණේම මහා ආගන්තුක හැඟීමක් මෙන්ම සිත පෙළූ මහා තනිකමක් පාළුවකි. මම කවුද කියා හෝ නොදන්නා මතකයත් ගිළිහී ගිය මා මේ නිවැසියන් කෙරෙහි කෙසේ නම් හැඟීමක් ඇති කරගන්නද……?

-හෙටත් මුණ ගැසෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you