NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 18

Hima Mal Renu හිම මල් රේණු – 18

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

තෙෂාරා අප පසු කර යමින් සිටි අතර ඈ හැඳ සිටි ඇඟටම ඇළුණු ජීන්ස් කලිසමටත් රෝස පැහැති කෙටි ටී ෂ(ර්)ටයටත් ඇගේ සිරුරේ හැඩය කැපී පෙනිණි.

“ඩිකිය හොඳයි…”

ටිරෝන් කියන විට මාත් නදීරාත් මුහුණින් මුහුණ බලා ගතිමු. අපි දෙදෙන ළඟ සිටින බව ඔහුට අමතක වූ සෙයකි.

“තුනී ලෑලි සංස්ථාවෙන්…කියලා නම් කියන්න බැහැ…” ඒ නිරෝධය.

“මොන තුනීද බං…? හොඳට පදම් කරලා…”

තේෂාන් කියන විට මම ඔහුට පහරක් ගැසීමි.

“ඕක පැළුණොත්…වසලා හමාරයි…” ටිරෝන් යළිත් කීවේය.

“බ්ලේඩ් එකක් තිබ්බා නම් වන් ෂොට්… පැළෙනවා ෂුව(ර්)…”

නීරෝධද එයට පොහොර දැමීය.

“මේ නවත්තගන්නවද…? හොඳට පුරුදු ඇති බ්ලේඩ් තියලා…” මම කෑගැසීමි.

“ඕකේ…ඕකේ.නැවැත්තුවා…”

ටිරෝන් මුව වසා ගත්තේ අභිනයෙන් සීල් තබා ගත් බවක් පෙන්වමිනි.

“අර වක්කරසට්ටම වගේද මෙයා….නේ බං අවීශ්…?”

ටිරෝන් අවීශ් වද කතාවට ඈඳා ගන්නට මෙන් කීවේ ෂානු ගැනය.

“එයා නම් සක්කරවට්ටමක් නෙවේ…ඒ ළමයා හොඳ ළමයෙක්…අනෙක් අය වගේ නෙවේ…”

අවීශ් ඒ පහර ගැසුවේ මා කී දෙයක් අල්ලාගෙනය. මම මුව වසාගෙන නිහඬව සිටියෙමි.

“ඔව්…ඔව්…අපිත් දැක්කා පෙරපු පෙරිල්ල..ඔය කට පිහද ගනින්…තාම පෙරෙනවා…”

තේෂාන් කී දෙයට මම මුව පුරා සිනහාසුණෙමි.

“කන පිරෙන්න ඇහුණේ එච්චරයි තේෂාන්…ගෙදරටත් කෝල් කරලා…මමීගෙනුත් අවසර අරන් ඇවිත් තියෙන්නේ…”

නදීරාත් අවීශ්ට ඇනුම්පදයක් එල්ල කළාය.

“කොහොල්ලෑ ගුළියක් අළුණා වගේ…උඹලා ඕන මඟුලක් කියාගනිල්ලා…මට පාන්ද…?”

අවීශ් එසේ කියා ආපසු හැරෙන විට නදීරා වහා මදෙස බැලුවේ මාද එයම කියා තිබූ නිසා වන්නට ඇත. පන්තිය ආරම්භ වන විට අපි සියළු දෙනම නිහඬ වීමු.

ඉන්පසු විවේක කාලය එළඹෙන තුරුම අපට කතා කිරීමට ඉඩක් නොලැබිණ. පිරිමි ළමුන් පිටතට යන විට මාත් නදීරාත් විවේක ශාලාව දෙසට පැමිණියෙමු. තෙෂාරලාද එතන සිටි බව අපි දුටුවද නොදුටුවා සේ සිටියෙමු.

“පව් වැඩේ නේ…රොසෙටා…? එක්කෙනෙක්ට සොරි ඩොට් කොම්…”

ඒ හඬ ශලිනිගේ වූ අතර ඇයත් රොසෙටාත් එකතුව සිනහසුණේ අප දෙස බලානය. ඒ ඇනුම්පදය මා ඉලක්ක කරගත්තක් වූවාට සැක නැති මුත් එය නෑසුණා සේ මුහුණ සෝදාගෙන අපි යළි ශාලාව දෙසට පැමිණියෙමු. වැඩි වේලාවක් යාමට මත්තෙන් තෙෂාරාද අප දෙදෙනා සිටි තැනට පැමිණි අතර ඇගේ මිතුරියන් ඈ පසුපස ඇදී ආහ.

“අවීශ් ඔයාට කැමතියි කියලාද හිතන් ඉන්නේ…?”

තෙෂාරා මගෙන් ඇසුවේ මා දෙස එක එල්ලේ බලාගෙනය. මම නදීරා දෙසට බැල්මක් හෙළුවේ මේ හදිසියේ ඇයට කුමක් සිදු වූවාද කියා සිතා ගන්නට නොහැකිවය.

“මම නම් දන්නේ නැහැ තෙෂාරා…එයා ඔයාට එහෙම දෙයක් කිව්වද…?”

මවිතය පළ කරමින් මම ඇසුවේ දෙවුර සළමිනි.

“එයා කොහොමත් ඔයාට කැමති නැහැ…අපි දැක්කානේ එයා උදේ වෙන ග(ර්)ල් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා…නැද්ද ශලිනි…?” ඒ රොසෙටාය.

“එයා කා එක්ක කතා කළත් අපිට මොකද…?මෙයාලටනේ අමාරුව…බලන්නකෝ ආරණ්‍යා…ඔයාලත් අවීශ්ට ට්‍රයිද…?”

නදීරාගේ හඬේ වූයේ උපහාසය වැටහී පිට වන්නට ගිය සිනහාව මම ආයාසයෙන් මැඩ ගතිමි.

“අපෝ…වැඩේමයි…වෙන නැතුවට…නැද්ද රොසෙටා…?” දෙවුර ගැස්සූ ශලිනි කීවාය.

“ඔය කොල්ලෝ පස්සෙ නොයා…නරකද තෙෂාරා එක්සෑම් එක ගැන හිතුවොත්…? යාළුවෝ දෙන්නා නම් හොඳට ස්ටඩී කරනවා…නේද…?”

මම රොසෙටාත් ශලිනිත් දෙසට හැරී අසන විට ඒ මුහුණු අඳුරුව ගියේ බලා සිටියදීමය. ඒ සමඟම අප අසළින් ගිය පිරිමි ළමුන් කිහිප දෙනෙකු තෙෂාරා දෙස බලා ෂූ හඬකුත් විසිල් හඬකුත් නඟන විට ශලිනිත් රොසෙටාත් උස් හඬින් සිනාසෙන්නට වූහ.

“මචං..සෝස පාට…”

එකෙකු කෑ ගැසූ අතර සෙස්සෝ උස් හඬින් උරුහම් බෑහ.

තෙෂාරා ඔවුන් වෙත හැරුණේ ඒ මන්ද කියා පුදුමයෙන් වන්නට ඇත. එවිට මාත් නදීරාත් එය දුටිමු. තෙෂාරාගේ ජීන්සය පිටු පසින් පැලී ඇත. කිසිවෙකු එය සිතා මතා කළ දෙයක්ද..නැත්නම් එය ඉබේම වූවක්ද..? ටිරෝන් ලා පැවසූ දේවල්ද මා මනසේ හොල්මං කරන්නට විය. මම වහා නැඟිට තෙෂාරා වෙත ළංව සිදුව ඇති දෙය රහසින් ඇයට පවසන විටත් ශලිනි ලා සිටියේ තවමත් සිනහාසෙමිනි. තෙෂාරා හැරී බලා ලැජ්ජාවෙන් රතුව වහා විවේකාගාරය දෙසට දිව යන දිට මමත් ඈ පසුපස දිව ආවෙමි. බිත්තියට පිට දී සිටගෙන ඈ මහා හඬින් හඬන්නට වන විට එහි සිටි ළමුන් ඈ දෙස පුදුමයෙන් බලන්නට වූහ.

“තෙෂාරා…අඬන්න එපා ළමයෝ…මොනවා කරන්නද…?”

තෙෂාරාගේ අතින් අල්ලාගත් මම ඈ සනසන්නට උත්සාහ කරමින් කියන විට නදීරා ද මා පසෙකය. මා සිතුවේ තෙෂාරා මා අත ගසා දමාවි කියා හෝ මට බැන වැදී මා පළවා හරිණු ඇතැයි කියා මුත් මා පුදුමයට පත් කරමින් ඈ මා වැළඳගෙන ඉකිබින්දාය.

“අඬන්න එපා ළමයෝ…අපි බලමු මොනවා හරි කරන්න…”

ඇයව සනසන්නට උත්සාහ දරමින් මම කීවෙමි.

“අනේ…ඔව් තෙෂාරා අඬන්නැතුව ඉන්නකෝ…” නදීරාද කීවාය.

“මං කොහොමද ආයේ ක්ලාස් එකට යන්නේ…? සේරම දකින්න ඇති…අරුන් දෙන්නත් දැකලා මට නිකමටවත් කිව්වේ නැහැ…උන් දෙන්නත් මට හිනා වුණා…”

ඒ දෙදෙන එය මුල පටන් දැන සිටින්නට ඇතිවාට සැක නැතැයි මටද සිතුණු මුත් මම කිසිත් නොකීවෙමි.

“දැන් ඒකෙන් වැඩක් නැහැනේ තෙෂාරා…”

“මට ගෙදර යන්න ඕන…මට මේක ඇඳන් මෙතන්ට වෙලා ඉන්න බැහැ…හැමෝම ඒක දැක්කා…”

“ඔයාට මෙතනට වෙලා ඉන්න බැහැ තමා…ඒත් ගෙදර යන්නත් බැහැනේ මෙහෙම…අපි මෙහෙම කරමු…”

මම යෝජනා කරන විට ඈ හැඬුම නවතා ගෙන මා දෙස බැලුවාය. ඇගේ මුහුණ රතු වී තිබිණ.

“මොකක්ද කරන්න යන්නේ ආරණ්‍යා…?” නදිරාද කුහුළින් මා විමසුවාය.

මා හැඳ සිටි බ්ලවුසය දිගුය. එය තෙෂාරාට දී ඇගේ කෙටි ටී ෂ(ර්)ටය මම හැඳ ගන්නම් යයි මා කළ යෝජනාව ඇසූ තෙෂාරා මා දෙස බලා සිටියේ දෑස් නළල මත රන්දාගෙනය.

“අනේ…ඒත්…ඔයාට මේක ඇඳන් ඉන්න පුළුවන්ද…? මේක කොටයි නේ…”

ඇය අදි මදි කරමින් කියන්නට වූවාය.

“ඒකට කමක් නැහැ…මගෙ ස්කිනි එක තියනවානේ. ක්ලාස් පටන් ගන්න කළින් එන්න…”

මම ඇගේ අතින් අදිමින් කීවේ ඈ දෙගිඩියාවෙන් බලා සිටින විටය.

“යමු තෙෂාරා…වෙන කරන්න දෙයක් නැහැ…”

නදීරාද පවසන විට ඈ අප සමඟ පැමිණියේ වෙනත් විකල්පයක් නැති තැනය. අපි දෙදෙන ඇඳුම් හුවමාරු කරගෙන හැඳ ගතිමු. මගේ දිගු බ්ලවුසය නිසා ඇගේ කලිසමේ පැල්ම වැසී තිබිණ. මම තෙෂාරාගේ කෙටි ටී ෂ(ර්)ටය හැඳ සිටියේ අපහසුවෙන් බව සැබෑ මුත්, මම ඒ පිළිබඳව වැඩිදුර නොසිතුවෙමි. එය තව ටික වේලාවකට පමණි. ඉන්පසු අපි නිවෙස් වලට යන්නෙමු.

“මම මෙහෙමම ගෙදර යන්නම්…මට ක්ලාස් එකට ඉන්න බැහැ…”

“එපා…” මම වහා කීවෙමි.

“ඔයා ඉන්නම ඕන තෙෂාරා….ලැජ්ජ වෙන්න තරම් දෙයක් නෙවේනේ මේක… අනික මම දන්න තෙෂාරා මෙහෙම බයේ පැනලා දුවන්නේ නැහැනේ…”

“මීට කළින් මට මෙහෙම වෙලා නැහැ…මට ලැජ්ජයි…අරුන් දෙන්නම මට හිනා වුණා…”

“ඒ දෙන්නාගේ හැටි දැන් ඔයා දන්නවනේ… ඒ නිසා ඔයා ඉන්නම ඕන…”

“මට දැන් උන් දෙන්නව පේන්න බැහැ…”

“හරි…ඔයා අපි ළඟට එන්නකෝ…එතන ඉඩ තියනවා …”

ඈ අපි දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවේ විදහා ගත් දෑසිනි. රොසෙටාත් ශලිනිත් තරමක පැකිළීමකින් එහි පැමිණියේ එවිටය.

“අනේ…සොරි තෙෂා…”

රොසෙටාට වෙනත් යමක් කීමට ඉඩක් නොවිණ.අප දුටුවේ තෙෂාරාගේ දකුණත දෙදෙනාගේම කම්මුල් හරහා වේගයෙන් පතිත වන බව පමණි.

“උඹලා දෙන්නාගේ මූණුවත් මට ආයේ බලන්න ඕන නැහැ…”

ඒ ලද පහරවල් දැක නම් මා සිත තුළ ඇති වූයේ කුරිරු සතුටකි. එය මීට පෙර ඔවුන් දෙදෙනාට ලැබිය යුතුව තිබූ දෙයකි. තෙෂාරා ද කැඳවාගෙන අපි ශාලාවට එන විට ශලිනි සහ රොසෙටා ලැජ්ජාවෙන් රතුව එහිම නැවතී සිටියෝය. පොත් ටික පමණක් එකතු කරගන්නට පමා වූ තෙෂාරා අප සමඟ අප සිටි තැනට පැමිණියේ බිමට යොමා ගත් හිසිනි. ටිරෝන් ඇතුළු සියළු දෙන බලා සිටියේ අමුතු දෙයක් නෙත ගැටුණාක් බඳුව බව මම දුටිමි. කිසිවෙකු කිසිත් නෑසුවේය. පන්තිය අවසන්වී සියළුම ළමුන් පිටව යන තුරු අපි එහි පමා වූයෙමු. ශලිනිත් රොසෙටාත් බිමට යොමා ගත් හිසින් ළමුන් සමඟ මුසුව පිටව ගියෝය. අවසන තෙෂාරාද පිටව යන්නට සූදානම් වන විට මම ඇයව නවතා ගතිමි.

“අපි එක්ක යමු…මම ඔයාව ඩ්‍රොප් කරන්නම්…”

ඈ දෑස් විසල් කොට ගෙන මදෙස බැලුවාය.

“ඒත්…”

“ඒත්…මේත් නැහැ…අද ඉඳන් සති දෙකක් නිවාඩුනේ…අපි අයිස් ක්‍රීම් කාලා යමු…”

මම කියන විට ඈ යටි තොළ සපාගෙන බිමට හිස නැඹුරු කොට ගත්තාය. පිටතට පැමිණි අපි වීදිය දිගේ ඇවිද විත් අසළ වූ බීම හලකින් මිලදී ගත් අයිස් ක්‍රීම් රස බැලීමු. තෙෂාරා ගේ පෑරුණු සිත මේ වන විට යථා තත්වයට පත්ව ඇතැයි කියා මම සිතුවෙමි. ටිරෝන් ලා කරන විහිළු වලට ඇයත් සිනහාසුණාය. අවීශ් ඇයව මඳකුදු තැකීමක් කළා යැයි කියා මම නොසිතමි. නමුත් ඈ ඒ පිළිබඳව සිතන්නට නැතිවා වන්නට පුළුවන. අපි කිසිවෙකු සිදුවූ දේ ගැන වචනයක් හෝ කතා නොකළෙමු. ටිරෝන් නම් දැඩි කුහුළින් සිටි බව මම පැහැදිළිවම දුටිමි. අවීශ් අප සියලු දෙනම නිවෙස් වෙත හැරලවන්නට සූදානම් වන බව දැන ගත් තෙෂාරා බියෙන් මා දෙස බැලුවාය.

“අනේ…මට බැහැ…මං ඌබර් එකක් දා ගන්නම්…”

ඈ පැකිළෙමින් කීවේ මට පමණක් ඇසෙන සේ රහසිනි.

“ඕන නැහැ අනේ…අපිත් එනවා ඔයාව ඩ්‍රොප් කරන්න…”

ඈ යම්තාක් දුරට හෝ සහනයට පත් වූයේ ඉන්පසුවය. පළමුව අපි තෙෂාරා හැරලීමට ඇගේ නිවසට ගියෙමු.

“තෑන්ක් යූ ආරණ්‍යා…අයෑම් රියලී සොරි…”

ඈ පළමුව අප තිදෙනාටම ස්තූති කරමින් පසුව මගේ අතක් දැඩිව අල්ලාගෙන පැවසුවාය.

“ඉට්ස් ඕකේ තෙෂාරා..ජස්ට් ෆොගෙටබවුට් ඉට්…”

ඈ යළිත් වරක් ස්තූති කර රථයෙන් බැස ගත්තාය. ඈ තුළ සැබෑවටම පසු තැවීමක් ඇතැයි කියා මට සිතිණ. අලුත් වූ අනුකම්පාවකින් මා සිත බර විය.

“ඔන්න ප්‍රසාද් අයියා…අපි නිවාඩුවට ආරණ්‍යාලාගේ ගමේ යනවා….ඔයාත් එන්න…ඔයාගේ “චූටි මහත්තයා “එක්ක…”

රථය හරවා ගත් ඇසිල්ලේ නදීරා ප්‍රසාද් හා කීවේ “චූටි මහත්තයා ” යයි බර කරමිනි. එහි තරමක උපහාසයක් විණැයි කියා මට සිතිණ.

“ඇත්තද ආරාණ්‍යා මිස්…අපේ සර් එනවා කිව්වද…?”

ප්‍රසාද් පසුපස බලන කන්නාඩියෙන් බලමින් ඇසුවේය.

“තාම නම් මොකුත් කිව්වේ නැහැ ප්‍රසාද් අයියා…ඉබ්බගෙන් පිහාටුවක් ගන්න එකත් ලේසි වෙයි…ඔය කටින් වචනයක් ගන්නවාට වඩා…”

මම ඇනුම්පදයක් එල්ල කරන විට අවීශ් රවනු මා දුටුවේද කන්ණාඩියෙනි. නැගෙන්නට ගිය සිනහව මම නවතා ගත්තේ අයාසයෙනි.

“චූටි මහත්තයා එනවා….ඔයාත් එන්න ප්‍රසාද් අයියේ…” නදීරා යළිත් කීවාය.

“සර් යනවා නම් ඉතින්…මං අපායට හරි යන්න එපැයි මිස්…මොකද ඉතින්…මං ඩ්‍රයිව(ර්)නේ…”

අප අතර සිනහාවක් නංවමින් ප්‍රසාද් කීවේය.

“දැන් ප්‍රසා නිවාඩුවට ගමේ යන්න ඕන කිව්වා නේද…?” අවීශ් ඇසීය.

“මං ගිහින් දවසින් දෙකෙන් එන්නම්…ආරණ්‍යා මිස්ලා ගෙදර යනවා නම්…”

“එහෙම ඕන නැහැ…උඹ ගෙදර ගිහින් සතියක් විතර ඉඳලා වරෙන්කෝ…මං අම්මා එක්ක ගමේ යන්නම්…වාහනේ උඹ අරන් යමන්…අපි කාර් එකේ යන්නම්…”

අවීශ් එසේ කියනු ඇසී මා සිතේ ඔහු කෙරෙහි ඇති වූයේ ගෞරවය මුසු හැඟීමකි.

“එහෙනම් එහෙම කරන්නම්…”

ප්‍රසාද්ද එයට එකඟව හිස සැළුවේය.

“හරි…එහෙනම්…දැන් නදීරලා යන්නේ කවද්ද…?”

අවිශ් අසන විට නදීරා මදෙස බැලුවාය.

“අනිද්දා උදේම යනවා ප්‍රසාද් අයියා… ඔයාලා දවස් දෙක තුනක් ඉන්න බලන් එන්න හොඳේ…පත්තරේ ලිපට දාලා වගේ දුවන්න නැතුව…ඇවිඳින්න යන්න ගොඩාක් තැන් තියනවා…”

“ෂා…! මරුනේ මිස්…අපි ඉක්මනටම යමු සර් එහෙනම්…”

“මූට එහෙ යන්න තියන තදියම ගෙදර යන්නවත් නැහැනේ…”

අවීශ් නැවත කියනු ඇසී අපි දෙදෙන සිනහසුණෙමු.

“වයිෆ් තරහා වෙයිද දන්නැහැ…ප්‍රසාද් අයියා ගෙදර නෑවිත්…අපේ දිහා එද්දී…”

“කාගෙ වයිෆ්ද ආරණ්‍යා මිස්…?”

“ඔයාගේ තමා…”

බලාපොරොත්තු නොවූ ලෙස අවීශ් ගේ මුවෙන් පිට පැන්න උස් සිනා හඬ නිසා මා සිතේ ඇති වූයේ නොරුස්සුමකි.

“මං තාම මැරි කරලා නැහැ මිස්…”

එසේ නම් ඔහු සිනහාසුණේ ඒ නිසයි.

“මං දන්නේ නැති නිසා ඇහුවේ ප්‍රසාද් අයියේ…ඕකට ඉතින් වාහනේ දෙක වෙන්න හිනා වෙන්න ඕනද…?

මම නොරිස්සුම් මුසුව කියන විට අවීශ් සිනහව සඟවා ගත්තේය. ප්‍රසාද්ද ඉක්මන් බැල්මක් ඔහු වෙත හෙළීය.

“අපේ සර්…මෙහෙම හරි හිනා වෙලා ඉන්නේ…මිස්ලා නිසා…ගෙදර ගියාම ඉතින් මෙහෙම නැහැනේ…”

ප්‍රසාද් ගේ හඬේ වූයේ දුක් මුසු බවකි. ඔහු ඒ පැවසූ ස්වරය නිසා මා සිතේ අලුත් දුකක් ඇති විය.

“අනික ඉතින් ගෙදරදී කොච්චරවත් කියවන්නේ…”

ඔහුගේ කතාවට බාධා කරමින් අවීශ්ගේ මුවින් පිට වූයේ ගෙරවිල්ලකි.

“කට වහන් ඩ්‍රයිව් කරපන්…”

ප්‍රසාද් නිහඬ වුවද ඔහු කීමට ගිය දේ මම අනුමාන කළෙමි. එය නදීරාටද වැටහෙන්නට ඇතැයි මා සිතුවේ ඇගේ මුවින් පිට වූ උස් සිනා හඬ නිසාය.

“ඔයා බය වෙන්න එපා ප්‍රසාද් අයියේ… කියන්න ගිය දේ කියන්නකෝ…අපි නම් දැනටම ඒක දන්නවා…බොරුවට අපිට ආඩම්බර පෙන්නනවා…ඕක ඇහුවේ නැත්නම් අද එක්කෙනෙක්ට නින්ද යන එකකුත් නැහැ…”

මම නදීරාගේ බාහුවක් කෙනිත්තුවෙමි. ඈ කෑ ගැසුවේ රිදුමට වඩා විනෝදයටය.

“ඒකනේ මිස්…අපේ අවීශ් සර් වචන දහයක් කතා කළොත් දහයම ආරණ්‍යා මිස් ගැන තමා…”

මා බලාපොරොත්තුවෙන් සිටියේ එය ඇසීමටද…? සිත පිනුම් ගසන විට සියුම් ලැජ්ජා මුසු හැඟීමක් මා සිතට දැනිණ. මම වහා හිස බිමට නැඹුරු කොට ගත්තේ මුහුණ රත්ව යන බව දැනුණ නිසාවෙනි.

“උඹව මං ගෙදර ගිහින් අල්ලා ගන්නම්…”

අවීශ් තර්ජනය කරන විට නදීරා තවත් හඬින් සිනහාසුණාය. නදීරා හැරලවා ඔවුන් මාවද නිවස අසළටම ගෙනවිත් හැරලන විට මම රථයෙන් බැස ගත්තේ දෙදෙනාටම ස්තූති කරමින්, මගේ දුරකථන අංකය ලියූ කොල කැබැල්ල අවීශ් දෙසට විසි කරමිනි. රථයෙන් බැස මම දොර වසා දමන අතරේ අවීශ් එය අසුලා ගෙන බලන්නට ඇත. අඳුරු කවුළුව පහත හෙළා ඔහු මදෙස බලා සිනහාසුණේ පළමු වතාවටය. එය ඉතා සොඳුරු සිනහවක් විය.

“තෑන්ක්ස්…”

පහත් හඬින් ඔහු කීවේය. මම ඔහුට අත වනමින් ගේට්ටුව හැරගෙන ඇතුළට පැමිණත් ඔහුට අත වැනුවෙමි. එය වසා දැමූ පසුවයි මට රථය පිට වන හඬ ඇසුණේ. මා සිත පුරා සතුටක් ඉහිර තිබුණේ කුමන හැඟීමක් නිසාද කියා මට තෝරා බේරා ගැනීමට අපහාසු විය. ප්‍රසාද් කියූ දේවල් මා සවන් පුරා නින්නාද දෙන සෙයකි. ඔහු එසේ නම් මා ගැන පවසන්නේය.

“නපුරා…” මම මටම කියා ගතිමි.

-හමුවෙමු හෙටත්-

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you