Nalin Jayawardana වෘත්තියෙන් මහා පරිමාණ [High Rise] ගොඩනැගිලි කර්මාන්තය හා සම්බන්ධ නඩත්තු සේවා කලමණාකරුවෙකු සහ ඉංජිනේරුවරයෙකි. මඩකලපුව ප්‍රදේශයේ උපත ලද ඔහු, ලේක්හවුස් ආයතනයේ ඉංජිනේරු අංශයේ රැකියාව කරමින් සිටියදී 88 -89 තරුණ සන්නද්ධ අරගලය හේතුවෙන් 1991 වසරේදී ස්වාධින සංක්‍රමණිකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි තිබේ. සිය වෘත්තීය ජිවිතයට පරිබාහිරව ආත්ම තෘප්තිය උදෙසා ගීත ගායනය සහ සංගීත විෂය හා බැඳුණු විවිධ පර්යේෂණ හා ව්‍යාපෘති සිදුකරන කරන නලින් ජයවර්ධන, සංගීත පසුබිමක් සහිත පවුල් පරිසරයකින් පැවත එන්නෙකි. මේ,වසර 30 කට අධික කාලයක් සිය පවුලේ සාමාජිකයින් සමඟ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජිවත් වන ඔහු තුලන Mag හා කළ කතාබහකි.
- ඔස්ට්‍රේලියාවට ආවේ ඇයි කියන තැනින්ම අපි කතාව පටන් ගමු.
මම මෙහෙම කතාව පටන් ගන්නම්. මම ඉපදිලා තියෙන්නේ මඩකලපුවේ. මගේ තාත්තා වැඩකරේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ. මම ඒ කාලේ වැඩකරේ ලේක්හවුස් එකේ ඉංජිනියරින් ඩිපාට්මන්ට් එකේ. ඒ කාලේ කිව්වේ 88-89 කළබල කාලේ. ඒ කලබල නිසා අපේ ඩිපාට්මන්ට් එක තමා දෙපැත්තෙන්ම තැලුනේ. වැඩට නොගියොත් ආණ්ඩුවෙන් ප්‍රශ්න. ගියොත් අර ගොල්ලන්ගෙන් ප්‍රශ්න. කිහිප වතාවක්ම ජිවිතේ බේරගත්තෙ ලේක්හවුස් එකේ අයිඩෙන්ටි කාඩ් එකට පිංසිද්ධ වෙන්න. ඉතින් මේ තත්වයත් එක්ක මට රස්සාව විතරක් නෙමෙයි ලංකාවත් එපාවුණා. ඊට පස්සේ නිදහස්
සංක්‍රමණිකයෙක් විදිහට පවුලේ අයත් එක්ක 1991 දී ඔස්ට්‍රේලියාවට ආවා. මං මෙහෙ එද්දී මගේ ලොකු දුවට වයස අවුරුදු හතරයි.
- ලේක්හවුස් එකේ කර,කර හිටපු රස්සාවටමද ඕස්ට්‍රේලියාවෙ ආවෙත්..?
ඔව්. මම ඇප්ලයි කරේ මගේ සුදුසුකම් වලට හරියන රස්සාවකට තමා. මගේ යාළුවෙක්ගෙ අක්කා කෙනෙක් හිටියා නවසිලන්තේ. එයාගේ වුවමනාවකට ඔස්ට්‍රේලියානූ එම්බසියට ගිය මගේ සමකාලින පාසල් මිතූරෙක් වුණු සරත් විජේසිංහ තමා කිව්වේ මගේ විෂයට අදාළ රස්සාවක් තියනවා ඇප්ලයි කරන්න කියලා. මගේ සුදුසුකම් තිබුණේ එයාර්කන්ඩිෂන් පැත්තට. අද වගේ නෙවේ සුදුසුකම් තියනවනම් ඉස්සර මේ වගේ රටකට එන්න එච්චර අමාරු වුණේ නෑ. අනික යාලුවෙක් වුණත් හංගන්නේ නැතුව උදව් කරා. අපි රස්සාවට ඉල්ලුම් කරද්දී ඇප්ලිකේෂන් එකේ වෙනම කොටසක්
තිබුණා අපිට මොනාහරි ප්‍රශ්න තියනවනම් ලියන්න. මම ඒ කොටසේ ලංකාවේ ඒ කාලේ තිබුණු ප්‍රශ්නෙ ලිව්වා. ඒකත් මට උදව්වක් වෙන්න ඇති මෙහෙ එන්න. ඒ කොහොම වුණත් මෙහෙ ආව ගමන් මට ඉල්ලුම් කරපු සුදුසුකම් තිබුන ක්ෂේත්‍රයේ රස්සාව ලැබුණේ නෑ. බිල්ඩින් හදපුවා බාරදෙනකොට ඒවා ක්ලීන් කරලා බාරදෙන ක්ලීනර් කෙනෙක් විදිහට තමා මුලින්ම වැඩ කරන්න වුණේ. ඒ රස්සාවට කීවේ “ඉන්ඩස්ටියල් ක්ලීනර්” කියල. ඒකට ගත්තෙත් පුහුණුවක් දීලා,විභාගෙකුත් තියලා.[සිනා]
- ඇයි ඉල්ලුම් කරලා ආපු රස්සාව නොලැබුණේ..?
එක හේතුවක් තමා ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ තිබුණු පසුගාමී ආර්ථික තත්වය. අනිත් එක ඒ අය අපේ සුදුසුකම් තහවුරු කරගන්න කාලයක් ගන්න එක. මේ හේතු දෙක නිසා මට පවුලත් එක්ක ජීවත්වෙන්න රස්සාවක් විදිහට මොනාහරි කරන්න සිද්ධ වුණා. මං ඒ රස්සාව අවුරුද්දක් කරා. ඊට අමතරව රෑට වැඩිදුර අධ්‍යපන කටයුතුත් කරන්න වුණා. පස්සේ ඕස්ට්‍රේලියාවේ තත්වය සාමාන්‍ය අතට හැරුණා. එහෙම පටන් ගත්තු මම අවසානෙට පැන්ෂන් යද්දී තට්ටු පනහේ,හැටේ බිල්ඩින් දහයක් විතර බලාගන්න නඩත්තු සේවා කළමණාකාරවරයෙක් විදිහටයි පැන්ෂන් ගත්තේ. තැනකට එන්න ඉවසන්න ඕනේ. ඒ වගේම දුෂ්කර කාලවලට මුණ දෙන්න ඕනේ. එහෙම නැතුව සාර්ථක වෙන කෙටි ක්‍රම නෑ. අද හුඟක් අයට ඕනේ වේගෙන් දියුණු වෙන්න.
- කැමතිනම් පවුලේ විස්තර ටිකකුත් කියමු.
පවුලේ ඉන්නේ මමයි, බිරිඳයි[රේණුකා], දුවලා දෙන්නයි [ඔෂානි,නිෂානී].බිරිඳ විශ්ව විද්‍යාල දෙකක,උපාධි දෙකක් තියන මෙඩිකල් සයන්ස්ටිස්ට් කෙනෙක්. ලොකු දුව සුද්දන්ගෙ ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා. [සිනාසෙමින්] ඉංග්‍රීසි ගුරුවරියක්. පොඩි දුව ඩොක්ටර් කෙනෙක්. මගේ දරුවෝ දෙන්නටම ඩබල් ඩිග්රීස් තියනවා. මං විශ්වාස කරන දෙයක් තමයි ගෑණු ළමයින්ට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව තමයි එයාලගේ අධ්‍යාපනය. මගේ ආයෝජන සහ බැංකු ගිණුම් දෙක තමා මගේ කෙල්ලො දෙන්නා. දියණියන් වෙනුවෙන් වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කරලා තියෙන්නෙ මං. මගේ ගීත එකතුවේ ගීත 10 කටත් වැඩි ප්‍රමාණයක් තියනවා දුවලා ගැන කියන. මම හිතන්නේ නෑ ඊට වැඩි සංඛ්‍යාවක් ගායනා කරපු ශිල්පියෙක් හෝ ශිල්පිණියක් සිංහල සංගීත ක්ෂේත්‍රයේ ඇති කියලා.
- අපිට නිතර පේනවා ඔබ ගීත ගායනය පැත්තෙන් ලොකු වැඩ කොටසක් කරමින් යනවා. කොහොමද මේ හැකියාව හා උනන්දුව ඇතිවුණේ..?
හුඟක් අය නොදන්නවා වුණාට අපේ පවුල සංගීතයට නෑකම් කියන පවුලක්. මගේ මල්ලි රොහාන් ජයවධන. කේමදාස මාස්ටර්ගේ ගෝලයෙක්. ඉස්සර ගම්පහ තිබුණු සංගීත කණ්ඩායම වුණු “සිබ්‍රාස්” එකේ ගිටාර් ගැහුවේ මගේ මාමලා. එතකොට සුපර් ස්ටාර් බෑන්ඩ් එකේ හිටපු මොරිස් ද සිල්වයි, ජෝජ් ද සිල්වයි මගේ කසින්ස්ලා. ආනන්ද සමරකෝන් මහත්මයත් අපිට දුරින් නෑදෑයෙක් වෙනවලු. අලුත් පරම්පරාවේ දරු,මුණුබුරන් පවා ඉන්නවා මේ කාලේ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය අය. ලංකාවේ වගේම පිටරටත්.
- මෙතරම් කලාවට නෑදෑකම් තිබිලත් දෙයක් කරන්න මෙච්චර කාලයක් ගත්තේ ඇයි..?
පළවෙනිම කාරණේ තමා කලාව කරලා ජිවත් වෙන්න බැරි බව දැනගෙන හිටපු එක. ආර්ථිකව ශක්තිමත් වෙලා මිස මේකට අත ගහන්න හොඳ නෑ කියලා මං විශ්වාස කරා. ඉස්කෝලේ යන කාලේ මං ඉතාමත් ආදරය කරපු පුවත්පත් කලාවේදියෙක් හිටියා දයා ආනන්ද රණසිංහ කියලා. එතුමා ගීත රචකයෙක් වගේම සම්මානනීය ලේඛකයෙක්. ඔහු එච්.ආර් ජෝතිපාලට ලියනවා සිංදුවක් “මන්මත් කරවන වීණා රාවේ..කුසගිනි ඇතිවුන් එය ඇසුවාදෝ..” කියලා. මගේ හිතට මේ සිංදුව මාර විදිහට වදිනවා. ඒ වගේම ඒ අදහස මං ජිවිතේ තේමාව කරගන්නවා. විණා වයන්න ඉස්සෙල්ලා බඩගින්න නිවාගෙන ඉන්න ඕනේ කියලා මාත් තීරණය කරා. ඒ වගේම මගේ මල්ලි,මේ කලාව ඇතුලේ ඉතාම නරක විදිහට ක්ෂේත්‍රයේ පිළිගත්තු කලාකරුවෝ කියන අයට පාවිච්චි වෙන හැටි මං දැක්කා. මේ දේවල් එක්ක මං තීරණයකට ආවා සල්ලි එක්ක මටම කියලා ලිබරල් වෙන්න පුළුවන් වෙලාවක තමයි මං මේ කලාවට අත ගහන්නේ කියලා. ඉතිං ඒ කාලේ ආවේ අවුරුදු හතළිහකට පස්සේ. ඔය දයා රණසිංහ මහත්මයා පස්සෙ කාලෙක එංගලන්තයට ගිහින් “ලංකා විත්ති” කියලා පත්තරයක් පටන් ගන්නවා. ඒක තමා එංගලන්තේ කරපු පළවෙනි සිංහල පත්තරේ. මට එතුමා මුණගැහෙන්න අවස්ථාවක් ලැබෙනවා වගේම ගීතයකුත් ලියාගන්න වාසනාව ලැබුණා. මට ඔහුගේ ගී පදවල කවර් නිෂ්පාදනය කරගන්න කියලා ආශිර්වාදත් කරා.
- ඔබේ කලාව සිංදු කියන එකද..?
සිංදු කියන එකම විතරක් නෙවෙයි. පොදුවේ ගත්තාම මගේ වැඩි කැමැත්ත තියෙන්නේ මියුසික් කියන විෂයට. ඒකට මුලික අඩිතාලම විදිහට 2000 අවුරුද්දේ විතර මම එකතුවුණා ඇමරිකාවේ හිටපු ආචාර්ය විකුම්ප්‍රිය පෙරේරා මහත්තයා එක්ක. එයයි,එයාගේ යාළුවෙකුයි එකතුවෙලා පටන් ගත්තා Sinhala Juke Box කියලා සයිට් එකක්. ඒ දවස්වල ලංකාවේ ඉන්ටර්නෙට් එක එච්චර ජනප්‍රිය නෑ. ඒ සයිට් එක කරේ ගුවන් විදුලි චැනල් එකක් වාගේ නෙවී, තමන් කැමති සිංදුව තමන්ටම හොයාගෙන අහන්න පුළුවන් විදිහට. ඒ කාලේ ලංකාවෙන් පිට,වෙන රටවල පදිංචි සිංහල අය අතර මේ සයිට් එක ඉතාම ජනප්‍රිය වෙලා තිබුණා. මගේ ළඟ තිබ්බා සිංහල සිංදු 30,000ක් විතර මං ඒවත් දැම්මා සයිට් එකට. ඒ කාලේ මිලියන් ගණන් ඇහුවා ඒ සයිට් එක. ඒ අතරේ අපේ මල්ලිත් ඔස්ට්‍රේලියාවට ආව නිසා අපි ගෙදර පොඩි ස්ටුඩියෝ එකක් හැදුවා. ඒ කාලේ මේ Sinhala Juke Box එකේ වැඩවලට ඇවිත් මට මුණ ගැහෙනවා අපේ නිමල් මෙන්ඩිස් මහත්තයා. එයා තමා මට කිව්වේ “ස්ටුඩියෝ එකකුත් තියන එකේ දැන් මියුසික් පැත්තෙන් මොනාහරි කරන්නකෝ” කියලා. ඉතින් ඒ ඉල්ලීමත් හේතුවක් වුණා, මගේ ගී නිර්මාණවල ආරම්භයට.
- ඉතිං මොකක්ද පටන් ගත්තු මියුසික් වැඩේ..?
මුලින්ම මං කරේ ජෝතිගේ “මගේ ජිවිතේ වන් පොඩි දු කුමාරි මගේ” කියන සිංදුව කවර් එකක් විදිහට. මගේ පොඩි දුව ඉපදුණු අලුත තමා ඒක රෙකෝඩ් කරේ. ඊට පස්සේ 2004 දී විතර විකුම්ප්‍රිය මහත්මයා ඇතුළු කීප දෙනෙක් එක්ක එකතු වෙලා අපි පටන් ගත්තා “netcdlakderana.com” කියලා අන්තර්ජාලයෙන් ගීත අහන්න,බාගත කරගන්න පුළුවන් ඇල්බම් තියන සයිට් එකක්. ඒකේ මම තමා ලංකාවේ පළවෙනි ඩිජිටල් ඇල්බම් එක දම්මේ. දැනට මගේම ස්වතන්ත්‍ර ගීත 500 කට ආසන්න ප්‍රමාණයක් තියනවා. ඇල්බම් 26ක් කරලා තියනවා. අනිත් අයගේ ඒවත් එක්ක ඒ සයිට් එකේ තියනවා ඔක්කොම ඇල්බම් 50ක් විතර.
- මං අහලා තියනවා සමහරු ඔබව හඳුන්වනවා “අන්තර්ජාලයේ ගායකයා” කියලා.
ඔව්. මාව මුලින්ම ඔය විදිහට හඳුන්වා දුන්නේ ලංකාවේ ප්‍රවීන ගී පද රචකයෙක් සහ මාධ්‍යවේදියෙක් වන ආනන්ද පද්මසිරි මහත්මයා. මාව අන්තර්ජාලයෙන් මිනිස්සු අතර කතාබහට ලක්වුණේ සුනාමි වලට කරපු සිංදුවකින්. ඒක ඉංග්‍රීසියෙන් ලිව්වේ එංගලන්තේ ඉන්න නිමල් මෙන්ඩිස් මහත්මයා. “Sea speaks to you.” කියලා. නිමල් මෙන්ඩිස් ඒක එංගලන්ත වර්ෂන් එකක් කරා. මගේ මල්ලි මෙහේ ඉංග්‍රීසි වර්ෂන් එක කරා. මම සිංහල වර්ෂන් එක කරා. මේ ගීතය ගැන එංගලන්තයේ පාර්ලිමේන්තුව කතා කරපුවා හැන්සාඩ් ගත වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ මිඩියා මායි ,මගේ මල්ලියි ගැන කතා කෙරුවා “Singing brothers.” කියලා. මම රැකියාව කල ආයතනය මේ ගීතයට අනුග්‍රහය දක්වලා වී.සි.ඩී එකක් කරලා, ඒක මෙහෙ විකුණලා හම්බවුණු මුදල් අපි සුනාමි වලින් අවතැන් වුණු අයට ආධාර විදිහට ලංකාවට යැව්වා. ඒ විතරක් නෙවෙයි,ලංකාවේ ඉස්කෝල ළමයින්ට කම්පියුටර් බෙදාදෙන වැඩසටහනක් කරා “School help to School” කියන ඔස්ට්‍රේලියානු රජයේ සංකල්පය එක්ක එකතුවෙලා.
- ඔබ ගැයූ ගිතවල වැඩි ඉඩකඩක් දීලා තියෙන්නේ නවක ගී පද රචකයින්ට.
ඔව්. මම 95% ක්ම අවස්ථාව දුන්නේ,ගොඩක් දුරට මට ලියන්න කලින් තමන්ගේ එකම ගීතයක්වත් කවුරුත් ගායනා නොකරපු අයගේ පද රචනා වලට. ඒ අදහස මට ආවේ ඒ දවස්වල Sinhala Juke Box එකට එවන කවි කියෙව්වට පස්සේ. ලංකාවේ සමහර ගීත රචකයෝ කියාගන්න අයගේ අහලකින්වත් තියන්න බැරි තරම් හොඳ ගීත රචනා තිබ්බා ඒ එවපු කවි අතර. විශේෂයෙන්ම මට ඕන වුණා ගී පද රචිකාවියන්ට වැඩි ඉඩකඩක් දෙන්න. මොකද ලංකාවේ ගැහැණු අය සින්දු ලියනවා අඩු නිසා. මගේ ගීත 500 න් නම දන්න ගී පද රචකයෝ ඕනෙනම් ඇති තුන්දෙනෙක්. අනිත් බොහොමයක් මට ලියනකොට,ඊට කලින් සිංදු ලියපු නැති අය. ඊට පස්සේ ඒ ලියපු අයට සම්මාන එහෙම හම්බවෙලා ලංකාවේ ජනප්‍රිය ගී පද රචකයෝ,රචිකාවෝ වුණා. මගේ නමවත් කියන්න අමතක වෙන,ලැජ්ජා වෙන අයත් ඉන්නවා ඉතින් ඒ අතර [සිනා]. ඒකට කමක් නෑ. මං එහෙම දේවල් ලංකාවේ කෙනෙක්ගෙන් බලාපොරොන්තු වෙන්නෙත් නෑ. අපි කොහොමත් ගුණමකු ජාතියක්නෙ නේද [සිනා]
- තව විශේෂත්වයක් තමයි මේ ගීත සියල්ලම වගේ නිම වෙන්නේ ඔබේ අතින්, කිසිම නිෂ්පාදකයෙක් නෑ.
සංගීතවේදියෝ, ගායකයෝ, පද රචකයෝ නවක නිර්මාණකරුවන්ව සුරා කන හැටි මං දැක්කේ මගේ මල්ලි මියුසික් කරන කාලේ. මම ඒ ක්ෂේත්‍රයට එන්න මෙච්චර පරක්කු වුණෙත් ඒ කලකිරීම නිසා. මං මගේම කියලා ස්ටුඩියෝ එකක් දාගත්තා. රෙකෝඩින් පැත්ත ගැන තරමක හැදෑරිමකුත් කළ නිසා කාර්මික දැනුමක් තියනවා. සිංදුවක් ලියාගන්න,රසවිඳින්න ප්‍රමාණවත් සාහිත්‍ය දැනුමක් තියනවා. වාද්‍ය භාණ්ඩ හසුරුවන්න මල්ලි ඉන්නවා. ඉතින් දෙයියනේ කියලා කාගෙවත් ඉත්තෙක් නොවී, නිදහසේ මට දැනෙන හැටියට යමක් කරගන්න පහසුකම් ටික මං හදාගත්තා. අනිත් එක මේ කිසිදෙයක් මං කරන්නේ සල්ලි හම්බ කරන්න නෙවේනේ. මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඒ තෘප්තියම තියන තව කෙනෙක්ට උදව් කරන්නත් මං දෙපාරක් හිතන්නෙ නෑ. මං කී දෙනෙක් මේ රටට ගෙන්වලා තියනවද රස්සා දීලා. ලංකාවේ පවා රස්සා අරන් දීලා තියනවා. දැන් මේක කියවලා රස්සා ඉල්ලන්න පටන් ගනීද දන්නෙ නෑ මගෙන්. මං මේ කියන්නෙ අවුරුදු ගානකට කලින් හොඳේ. දැන් මං අහිංසක පැන්ෂන්කාරයෙක්.[සිනා]
- මෑතක ඔබට සම්මානයක් ලැබිලා තිබුණා ඒ ගැනත් පොඩ්ඩක් කතාකරමු.
මට ඕස්ට්‍රේලියාවේ – මෙල්බන් වල තියන සෙරන්ඩිබ් නිව්ස් කියන සංසදය විසින් වාර්ෂිකව පිරිනමන සෙරන්ඩිබ් සම්මානය ලැබුණා. ඒක කමිටුවක් මඟින් රහසිගතව කරන සොයා බැලීමකින් පස්සේ,සමාජයට යම් සේවාවක් කරපු පුද්ගලයෙක් වෙනුවෙන් පිරිනමන සම්මානයක්. ලංකාවේ මගේ රසිකයෙක් වන ශ්‍රීනාත් ප්‍රනාන්දු කියන මල්ලි තමා මාව නිර්දේශ කරලා තිබුණේ ඒ සඳහා සුදුසුයි කියලා. ඒ වගේම මට ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වලින් විශේෂ ඇගයීම් ලැබුණා ආදිවාසින් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කිරීම වෙනුවෙන්. මෙහෙ සුද්දන්ගේ ඉතිහාසය අවුරුදු 200ක්. ආදිවාසීන්ගේ ඉතිහාසය අවුරුදු 40,000 ඉඳලා 60,000 දක්වා දිග එකක්. ඉතින් ඒ අය රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී තමන්ගේ අදහස් වලටත් ඉඩ දෙන්න කියලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව ඉස්සරහ “ටෙන්ට් එම්බසි” එකක් ගහගෙන හිටියා අවරුදු පනහක්. මං ඒ අයට ගෞරවයක් විදිහට සින්දුවක් හදලා විඩියෝ එකක් කරා. ඒ සින්දුව ලියලා දුන්නේ ලක්ෂ්මන් කොඩිතුවක්කු කියන මහත්මයා.
- අවසාන වශයෙන් කියන්නකො,කොහොමද ඔබේ විශ්‍රාම ජීවිතය ගෙවෙන්නෙ..?
ඉතාම සුවදායක විදිහට ගෙවෙනවා. මං රටවල් 25ක විතර ඇවිදලා තියනවා, ඉදිරියටත් තව රටවල ඇවිදින්න හිතාගෙන ඉන්නවා. දරු මුනුපුරන්ගේ ණය තියෙනවා තව ගෙවන්න,ඒවා ගෙවනවා. මගේ ගීත ලෝකයේ ප්‍රධාන පෙලේ සංගීත වෙබ් අඩවිවල තියනවා. I Tune, Amazon එකේ මගේ ගීත ඇල්බම් විකුණන්න තියනවා. ඒ වගේම net CD සයිට් එකේ තියෙනවා නොමිළේ අහන්න. මගේම කියලා සින්දු 500කට ආසන්න ප්‍රමාණයක් තියන,ගීත ඇල්බම් 26ක් කරපු, පුළුවන් විදිහට අනිත් අයටත් උදව් කරපු කෙනෙක් විදිහට,ඉපදුණු රටට වගේම,ජීවත්වෙන රටටත් ණය නැති ආඩම්බරයෙන් පොඩි අඩියක් එහෙම ගහලා විනෝදෙන් ඉන්නවා.[හඬ නඟා සිනාසෙයි] අවසාන වශයෙන් මට මේ ටිකත් කියන්න ඕනේ.මට අතහිත දුන්නු ගොඩක් අය ඉන්නවා. ගී පදමාලා දුන්නු,ගී තනු,සංයුක්ත තැටි හදලා දුන්නු,ඔබ වාගේ මාධ්‍යවලින් අවස්ථාවක් දුන්නු,වැරදි අඩුපාඩු පෙන්වලා දුන්නු ඒ හැමෝටම මං මගේ ස්තූතිය පුද කරන්න කැමතියි.