රත් දෝතළු – 45
රාත්‍රියේ සුව නින්දක් නොලැබුවද පසුදින සුපුරුදු වෙලාවටම මට ඇහැරිණි. තේ සාදාගෙන බෝතලයට දමා මම එයත් රැගෙන පිටත ගේට්ටුවෙන් ආරක්ෂක කුටිය දෙසට පැමිණ එය සේවක තැනට දී නැවත දී නැවත එතනින්ම පැමිණෙන විට විහඟද අවදිව සඳළුතලයට වී ශාරීරික ව්‍යායාමවල නිරතව සිටිනු දුටුවද ඔහු නොදුටුවා සේ පියමැන්නෙමි.
“හේ…හේ… කැලෑ මල… ගුඩ් මොර්නින්…”
ඔහු දැන් මට නමක්ද පට බැඳ ඇත. මුවට සිනහවක් නැඟුණද එය සඟවාගෙන මම ඔහුට පෙරළා සුබ පැතීමි.
“කෝ මට තේ…?”
“පහළට එන්න තේ බොන්න…”
මම කීවෙමි.
“අපිට ඉතින් තේ හදලා ළඟට ගෙනත් දෙන්න කවුරුත් නැහැනේ…”
අත් වැටට බරදී ඔහු කීවේ මවාගත් දුක්මුසු හඬකිනි. ඔහුට රඟපෑම නම් හොඳටම පිහිටා ඇතැයි කියා ඒ මොහොතේත් මට සිතිණි.
“ඉතින් සර් හොයාගන්නකෝ… ඔය ලිස්ට් එකෙත් නැතෑ තේ හදන්න දන්න අය ඕන තරම්… කිව්වොත් පෝළිමට තේ හදන් එන්නත් බැරි නැහැ…”
“එච්චර දුර යන්න ඕන නැහැ… ඔයාට ගෙනත් දුන්නොත් නරක් වෙලා තියෙයි…”
“පහළට ඇවිත් බිව්වත් නරකක් වෙන්නේ නම් නැහැ… ළඟට තේ ගෙනත් දෙන්න මේක හොටෙල් එකක් නෙවේනේ…”
මම එසේ කියා තවත් එහි නොරැඳී ගෙතුළට ආවෙමි. විහඟ කුමක් හෝ පැවසුවද මට එය නෑසිණි. මා මුළුතැන්ගෙයට එන විට විනීෆ්‍රීඩා මහත්මියද එහි සිටියාය.
“මැඩම් ඇහැරියද… මං සමන් අයියලාට තේ දෙන්න ගියා…”
මම ඇයටද තේ දමා පිළිගන්වන විටම විහඟද එහි කඩා වැදී අසුනක් ඇද හිඳගත්තේ හඬ නංවමිනි.
“මොකද චූටි පුතා…?”
විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ මවිතයෙනි. ඔහුගේ මුහුණ ඇද වී තිබුණේ කරත්තයට අසු වූ කජු ගෙඩියක් මෙනි. ඒ නොමනාපයට හේතුව මා බවට සැක නැත.
“කැලෑ මලට අපිට තමා තේ ගෙනත් දෙන්න බැරි…”
“ආහ්… ඒකද මේ මූණ බෙරි කරන් ඉන්නේ උදේ පාන්දර…”
විනීෆ්‍රීඩා මහත්මිය ඇසුවාය. විහඟගේ තේ කෝප්පය මම ඔහු ඉදිරියෙන් තැබුවෙමි.
“අර සික්කට තියන සැළකීමවත් මට නැහැ…”
ඔහු නෝක්කාඩු කියන්නට විය.
“ඔයා පිට මනුස්සයෙක් නෙවේනේ… අනික ඔයා දන්නවානේ එයාලා හදිසි වුවමනාවකට ඇරෙන්න මේ පැත්තට එන්නේ නැහැ කියලා… අරවින්දි ඉන්නේ කාටවත් තේ අදින්න නෙවේ… ශීලා නැති නිසයි එයා තේ අරන් ගියේ… මං සමන්ට කියන්නම් තේ අරන් යන්න එන්න කියලා…”
විනිෆ්‍රීඩා මහත්මිය ඒ කීවේ නම් කෝපයෙන් මෙනි.
“අයියා හිටියා නම් අරවින්දි තේක අරන් යන්නේ නැත්ද…?”
“චූටි පුතා…”
විහඟ මෙන්ම මමද එයට තිගැස්සී ගියෙමි.
“අරවින්දි ඒ පැත්තට යන්නේ නැහැ… අහස් තේ ඕන නම් එයා මෙහෙට එනවා… එයා තේ ළඟට ගෙන්න ගන්නෙ නැහැ… ශීලා ආවාම එයාට කියලා තේ හදවගෙන ළඟට නෙවේ… පොවා ගත්තත් මට කමක් නැහැ…”
“ශීලාගේ තේ මට ඕන නැහැ… එයා හදන තේ…”
“එහෙනම් ඉතින් කට වහන් ඉන්න එකයි…”
“සුදු මම්මාත් මට වඩා ආදරේ අයියටනේ…”
එවර ඔහුගේ නෝක්කාඩුව හැඟීම්බර බවකට හැරී තිබිණි. ඒ මොහොතේ නම් මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි.
“අනේ…අනේ… චූටි පුතා… මොනවද මේ කියවන්නේ… මං ඔය දෙන්නට වෙනස්කමක් කරලා නැහැ… ඔයාලා දෙන්නම මගේ දරුවෝ…”
“නැත්තේ මොකෝ… ඒකනේ මට මෙහෙම සළකන්නේ…”
දෙදෙනාගේ කතා බහ දිගටම ඇදී යන බවක් පෙනෙන්නට තිබිණි. මම තේ කෝප්පය හිස් කර උදෑසන ආහාර සැකසීමට සූදානම් වූයෙමි.
“ඔයා ඔය දේවල් හිතින් මවාගෙන… ඔයාගේ අම්මට වඩා මායි ඔය දෙන්නව බැලුවේ… අයියා මලෝ කියලා මම වෙනසක් කරලා නැහැ… ඔයා අයියා ගැන ඊර්ෂ්‍යාවෙන් හිතුවට ඒ ළමයා නම් එහෙම නැහැ… අම්මට වඩා ආදරේ කළේ මම… ඔය දෙන්නටම නම් දැම්මෙත් මම… අහස්ට අවුරුදු දෙකයි ඔයා ඉපදෙනකොට… එයාගේ නමට ගැළපෙන්න තමා ඔයාට නම දැම්මේ… කුරුල්ලෙක්ට ඉඟිලෙන්න අහසක් ඕන… අහසක් නැතුව එයා කොහෙද ඉඟිලෙන්නේ… ඒ වගේමයි… කුරුල්ලෝ ඉගිළෙන අහස ලස්සනයි… නැත්නම් ඒ අහස පාළුයි… ඒ වගේමයි ඔය දෙන්නත්… දෙන්නට දෙන්නා නැත්නම් ලස්සනකුත් නැහැ… සම්පූර්ණත් නැහැ… ඒ නිසා ඔය විකාර ඔළුවෙන් අයින් කරගන්න…”
ඈ එය එසේ පවසන විටයි මටත් එය වැටහී ගියේ. ඈ එසේ නම් විහඟට නම දමා තිබෙන්නේ අහස්ටද ගැළපෙන ලෙසිනි. එය පුදුමාකාරය.
“ඕ..කේ… ඕ…කේ සුදු මම්මා…”
විහඟ ඈ වෙත ළංව ඇයව සිපගනිමින් කීවේය.
“අපි හවස බීච් යමු… කාලෙකින් ගියේ නැහැ…”
“ඔයා වැඩිය කපටි නැහැ…”
විනීෆ්‍රීඩා මහත්මියගේ හඬේ වූයේ සඟවාගත් සෙනෙහසකි.
————————————————————————————————————————————
මාත් විනීෆ්‍රීඩා මහත්මියත් වෙරළ දිගේ සෙමෙන් සෙමෙන් ඇවිද එන අතරේ විහඟ කෙටි දුර ධාවනය කරමින් ව්‍යායාමයක යෙදුණේය. අපි පෙර දා මෙන් වෙරළේ දඟ කරන්නට නොසිතුවේ විහඟ සිටි නිසාය.
“මෙයාගේ කෑම කාලා දවසට දෙකට මහත් වෙලාද මන්දා…”
විහඟ අප අසළට දිව එමින් කීවේය.
“ආහ්… මහ ගොඩ දවසක් කෑවා වගේනේ… ඇවිල්ලත් දවස් දෙකයි… මං බලෙන් කැව්වැයි…”
“ඒවගේ රසට ඉව්වාම නොකා පුළුවනෑ…”
“ශීලා ආවාම ඔයා ශීලට කියවලා උයව ගන්නකෝ චූටි පුතා…”
විනීෆ්‍රීඩා මහත්මිය කීවේ උපහාසයෙනි.
“සුදු මම්මාත් එයාටම හරි යනවා… මේ එනවද මා එක්ක දුවන්න…?”
ඔහු ඇසුවේ මගෙනි.
“අනේ… මට බැහැ…”
මම වහා කීවෙමි.
“ටිකක් දුවමු… ඇඟට හොඳයි… නැත්නම් ඔයත් තව ටික දවසකින් පිටි මුට්ටේ වගේ මහත් වෙයි…”
ඔහු එසේ කියා මහ හඬින් සිනහසෙන විට මම ඔහුට රැව්වෙමි.
“මේ ළමයත් වෙලාවකට පොඩි එකෙක් වගේ…”
අප කෙරෙන් ඉවත දිව යන විහඟ දෙස බලා විනිෆ්‍රීඩා මහත්මිය කීවාය.
“දරුවෝ ලොකු වෙනකල් කියලා අපි බලන් ඉන්නවා… ඒත් ලොකු වෙනකොට ඊට වඩා බයයි… පොඩි කාලෙට වඩා එයාලව පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ ලොකු වුණාම… විහඟ ගැන මං බයේ ඉන්නේ ඒකයි… කොයි වෙලේ හරි මේ කොල්ලා කෙල්ලෙක් එක්කක් එනවා ෂුවර්… ආයේ දෙකක් නැහැ…”
මා තිගැස්මට පත්කරමින් ඈ කීවේ ශෝකය මුසු හඬකිනි.
“අම්මා එක්ක තරහ වෙලා… එයා ප්ලැට් එකක නතර වෙලා හිටියා මාස ගානක්… මං කියලා කියලා මෙහෙට ගෙන්න ගත්තේ… මෙයාව ඒ තරමට මට විශ්වාසයි…”
ඇගේ හඬේ වූයේ උපහාසයකි.
“මේවා අහලා ඔයාට පුදුම ඇති…”
ඈ විමසුවද කුමක් කිවයුතුදැයි නොදැන මා සිටියේ නිහඬවය. මඳහසක් නංවා ගැනීමට සිතුවද එය ඵල රහිත විය. මා සිටියේ බියෙන් යැයි කීවොත් නිවැරදිය.
“අනේ මන්දා මැඩම්… පුදුමෙකට වඩා මට නම් තියෙන්නේ බයක්…”
ඈ මගේ අතක් දැඩිව අල්ලා ගත්තාය.
“ඔයා බය වෙන්න ඕන නැහැ… විහඟගෙන් ඔයාට කරදරයක් වෙන්නේ නැහැ… ඒත්…”
ඈ එසේ කියා නිහඬ වූයේ මා සිතේ කුහුළක් ඇතිකරමිනි.
“ඒත්… කිව්වේ මැඩම්…?”
“ඔයා එයාගේ චාටු කතා වලට නම් අහුවෙන්න එපා… විහඟ කවදාවත් කෙනෙක්ව බලෙන් ළඟට ගන්න කෙනෙක් නෙවේ…”
මා ගත හිරිවැටී ගියේය. එය ඔහුගේම පමණක් වරදක් වන්නේ නැත. ඔහු සමඟ යහන් ගතවීමට කැමත්තෙන්ම ඔහු ඇසුර ප්‍රිය කරන අය සිටිනවා විය හැක. කෙසේ වුවත් මා සිතේ නම් ඇති වූයේ පිළිකුළකි.
-මාර්තු 9 වන සඳුදා නැවත හමුවෙමු-