More
    NovelsRath Dothaluරත් දෝතළු - 24

    රත් දෝතළු – 24

    -

    spot_img

    රත් දෝතළු – 24

    ඈ මවිතයට පත් බැල්මකින් අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලීය.

    “මම එස් ඕට කියන්නම් ත්‍රීවීල් එක යවන්න කියලා…”

    මා කිසිත් කීමටත් පෙරම ඔහු යන්නට ගියේ බිම වැටී තිබූ මගේ කුඩා අත් බෑගයද අහුළා දෙමිනි. ඔහු පිටව ගියේ තරප්පු පෙළ නැඟ නොව තාප්පය මැදින් වූ කුඩා ගේට්ටුවක් විවරකරගෙනය. මල් පඳුරු වලින් වැසී තිබූ නිසා මම එය මුලින් නොදුටුවෙමි.

    “එන්න ළමයෝ… අපි යමු ඇතුළට… ඔයා එනවා කියපු නිසයි මං මිදුලට ආවේ… ඔයා මට කියන්න ඕන මොකක්ද සිද්ධ වුණේ කියලා… මොනවද අර රස කතා ටික…? අපි ඔයාව ගොඩාක් වෙලා එළියේ තියන් හිටියා… නැත්ද…?”

    මම ඇයට රෝද පුටුව හරවා ගැනීමට සහාය වූයෙමි. පසුව එය තල්ලුකරගෙන එම නිවස තුළට පිවිසුණෙමි. තරමක විශාල ආලින්දයක් වූ එහි ගෘහ භාණ්ඩ නොවූ තරම්ය. දොර අසළම තබා තිබූ සුව පහසු පුටු කට්ටලයත් ස්ථාවර දුරකථනය තිබූ උස් රාක්කයත් කෙළවරක තබා තිබූ විසිතුරු භාණ්ඩවලින් පිරි වීදුරු කබඩයත් හැරුණු කොට වෙනත් කිසිත් නොවූ අතර එය ඉතා චාම් සිත් ගන්නා සුලු ආලින්දයක් විය. උසින් සහ පුළුළින් යුත් ජනේල සාදා තිබුණේ හිරු එළියත් වාතාශ්‍රයත් මනාව ගෙතුළට ගලා එන ලෙසිනි. විවරකර තිබූ ජනේලවලින් මට පිටුපස කුඩා ගෙමිදුල දිස්විය. තාප්පය දිගටම එක පෙළට සිටුවා තිබුණ ඉද්ද මල් ගස් මලින් පිරී තිබිණි. නිවස මෙතරම් හිස්ව තැබීමට හේතුව වන්නට ඇත්තේ මෙහි හිමිකාරියට රෝද පුටුව නිදහසේ හැසිරවීමට කියා මට සිතුණේ පසුවය.

    “ඉඳගන්න දරුවෝ…”

    කාරුණික හඬකින් ඈ ආරාධනා කළෙන් මම එහි වූ අසුනක හිඳගත්තේ ත්‍රී රෝද රිය පිටත් කළානම් ආපසු යන්නේ කෙසේද කියා සිතමිනි.

    “මොකද වුණේ… මට කියන්න ඒ විස්තරේ…?”

    ඈ විමසන විට මම වහා ඈ දෙස බැලීමි. ඈ තුළ ඇති කරුණාවන්ත මෘදු ගුණය අහස් නැමැත්තා අසලකවත් නැතැයි කියා මම සිතුවේ අලුතින් ඇති වූ නොමනාපය සමඟය. සිදු වූ දෑ ඈ හා පවසන්නට මැළිකමක් මසිතට දැනිණි. කුමක් කියන්නදැයි මා සිතන විටම අහස් එහි වූ මැද දොරකින් ආලින්දයට පිවිසුණේය. ඔහු එතනින් පැමිණියේ කෙසේද කියා මම සිතුවේ මවිතයෙනි. පසුව මට පෙනී ගියේ මේ නිවෙස් දෙකක් නොව එකම නිවසක් බවත් පසු කලෙක මෙය දෙකට වෙන්කර තිබුණේ ඉදිරිපස තාප්පයෙන් බවත්ය.

    “සුදු මම්මා… මම වීල් එක යැව්වා…”

    ඔහු එසේ කියා විත් අප අසලම අසුන් ගත්තේය. නෙත් කොණින් හෝ මේ ආඩම්බරකාරයා දෙස බැලීමට මට වුවමනා නොවීය. ඔහු මා සිත රිදවා තිබූ අතර ඒ ඇති වූ තුවාලය නම් ඉක්මනින් සුව වනු ඇතැයි කියා සිතිය නොහැකිය.

    “පුතේ ඔයා ඔෆිස් රූම් එක වහලා දාලද ආවේ… කවුරුහරි ආයෙමත් ඒවිද දන්නැහැ…”

    “දැන් දෙන්නෙක්ම ආවානේ සුදු මම්මා… එස් ඕට කියලා ආවේ… කවුරුහරි ආවොත් මට කෝල් කරයි…”

    “මම කොච්චරවත් මේ ළමයට කියනවා දරුවෝ… මට මගේ වැඩකරගන්න පුළුවන්… ඔයාලා කරදර වෙන්න එපා කියලා…”

    ඈ පැවසුවේ මා වෙත හැරී බොහෝ කලක් දැන හඳුනන අයෙකු හා කතා බහ කරන විලසිනි.

    “ඔව්… ඔව්… පුළුවන්… දැන් දැක්කනේ… තව ටිකෙන් වැටිලා ඔළුවත් පලාගෙන නවතින්නේ… සුදු මම්මාත් හරිම පණ්ඩිතයි…”

    ඔහුගේ හඬේ වූයේ ආදරණීය දෝෂාරෝපණයකි. ඔහු ඇයට බෙහෙවින් ආදරය කරන බව ඉන් පෙනී ගියේය.

    “දැන් ඒවා කමක් නැහැ… අපි මේ දරුවාව ළඟ තියන් කතාව… ඉතින් ළමයෝ… අරවින්දි කිව්වා නේද නම… කියන්නකෝ ඔය දරුවගේ විස්තර ටිකක්…”

    මම කෙටියෙන් මගේ තොරතුරු කීපයක් ඈ හා පැවසීමි.

    “ඉතින් කොහොමද අපේ චූටි පුතාගේ වොලට් එක හමුවුණේ…?”

    තරමක මවිතයෙන් ඈ විමසුවාය. මම ඒ විස්තරයත් යළිත් වතාවක් පවසන විට අහස් අසා සිටියේ මවිතයෙන් බව පෙනිණි.

    “මට පුදුමේ මිනිහා බස් එකක නැඟලා ගමනක් ගියා කීවාමයි…”

    අවසන ඔහු පැවසුවේ උපහාසයෙනි.

    “මම ඊයේ හවස කෝල් කරනකල් මේ ළමයා දන්නේ නැහැ වොලට් එක නැහැ කියලා… ආහ්… ඒක නැතිවෙලාද… කියලා ඇහුවේ කිසි ගානක් නැතුව… පුදුම ළමයෙක් තමා… ඔයා දැක්කද විහඟව…?”

    ඈ මා විමසුවාය. මම ඔහු නොදන්නා බවත් මගේ මිතුරිය නම් ඔහුව දන්නා බවත් මම කීවේ නොසැළකිලිමත් ලෙසිනි.

    “එයා දැන් ෆේමස් ඇක්ටර් කෙනෙක්…”

    ඈ කීවේ ආඩම්බරයෙන් මෙනි.

    “ආහ්… මං නම් දන්නේ නැහැ… අපේ ගෙදර ටී. වී එකක් තිබ්බේ නැහැ… ඒ නිසා දන්නැහැ… මට නම් ඒක මහ ලොකු දෙයකුත් නෙවේ ඒ නිසා…”

    මම යළිත් කීවේ එවැනි දෙයක් මා තැකීමක් නොකරන බව අවධාරණයෙන් යුතුව කියමිනි.

    “ඔව්… ඔව්… ඒක හරි… පුතේ… අපි මොනවා හරි බොමු… මට නම් තේ හොඳයි… ඔයා මොනවද බොන්නේ ළමයෝ…?”

    ඈ මා විමසුවාය.

    “ම්ම්ම්… තේ හොඳයි මැඩම්…”

    “එහෙනම් පුතේ තේ බොමු…”

    ඈ යෝජනා කළාය. ඔහු වහා නැඟී සිටියේ එයට කීකරුවය. තේ සාදන්නට යන්නේ මේ නපුරාද කියා මම සිතුවේ මවිතයෙනි.

    “කවුද මැඩම් තේ හදන්නේ…?”

    මවිතයෙන් මම අසන විට ඔහු වහා හැරී මදෙස බැලීය.

    “මම තමා වෙන කවුද…?”

    මම ඔහු දෙස බැලුවේ මුව ඇදකරමිනි. ඔහුගේ දෑස් වල යළිත් රැව්මක් දිස් විය.

    “කමක් නැත්නම් මං හදන්නද මැඩම්…?”

    මම වහා ඇසිමී.

    “ඇයි… හිතුවද මං තේ හදන්න දන්නැහැ කියලා…?”

    ඔහු නොමනාපයෙන් මෙන් ඇසීය.

    “අපේ අම්මා අපිට උගන්නලා තියෙන්නේ බැරිම වෙලාවක මිසක් පිරිමියෙක්ට කියලා කුස්සියේ වැඩක් කරවගන්න එපා කියලා…”

    එවිට ඔවුන් දෙදෙනාම මා දෙස බැලුවේ මවිතයෙනි.

    “ඒ ඇයි ළමයෝ…?”

    ඈ විමසුවාය.

    “අත තිබ්බොත් විනාශයක් කියලා අම්මා කියන්නේ…”

    මා කියනවිට ඈ උස් හඬින් සිනහසුණු අතර අහස් නෙරවාගත් බැල්මකින් මදෙස බලා සිටියේය.

    “මට පෙන්නන්න කිචන් එක…”

    අසුනින් නැඟී සිටිමින් මම කීවේ ඇගේ අනුමැතිය ලැබුණ නිසාය. ඔහු මට පෙරමුණ ගත්තේ නොකැමැත්ත සඟවාගෙන මෙනි. මුළුතැන්ගෙය ඉඩකඩ පහසුකම් සහිත ඉතා විශාල අංගසම්පූර්ණ වුවකි. මෙය නිර්මාණිගේ නවාතැනේ මුළුතැන්ගෙයට වඩා හතර ගුණයක් පමණ විශාලය. සියල්ල මනා පිළිවෙලකින්‍ යුත් වූ අතර පිරිසිදුය. අප නිවසවත් මේ මුළුතැන්ගෙය තරම් විශාල නැතැයි කියා මට සිතිණි.

    “ගම කොහේද කිව්වේ…?”

    ඔහු යළිත් විමසුවේ එහි වූ කබඩයක් විවර කරමින් තේ කොළ, සීනි, පිටි සහිත බෝතල රැගෙන පිටතින් තබමිනි. එහි වෙනසක් නොපෙණුනු බැවින් මම යළිත් වරක් ගම සඳහන් කළෙමි.

    “තේ හදනකක් මම මෙතන්ට වෙලා ඉන්නම්…”

    ඔහු කීවේ උපහාසය මුසු සිනහවකින් මදෙස බලමිනි.

    “ඇයි… මං මෙතන ඒවා හොරකම් කරන් යයි කියලා හිතන්ද…?”

    මම ඇනුම්පදයක් එල්ලකළෙමි. එවර ඒ දෑස්වල ඇතිවූයේ තරවටු පෙනුමකි.

    “නැහැ… ගෙට ගිණි තියයි කියලා බයට… ගමත් ඉතින් අහවල් දිහාවනේ…”

    ඒ හඬේ පවා වූයේ මා අවඥාවට ලක් කිරීමට දැරූ තැතකි.

    “ඇයි ඔයා ගිණි නිවන හමුදාවෙද මිස්ටර් අහස්…?”

    උපහාසයෙන් මමද ඇසුවේ කේතලයට වතුර පුරවා ගෑස් ළිප මත තබමිනි.

    “ළිප පත්තුකරන්න දන්නවද… මේවා දර ළිප් වගේ නෙවේ…”

    නැවතත් අර අපහාසාත්මක ස්වරය. මේ දින කීපයේ නිර්මාණි මට ඈ සතු වූ විදුලි උපකරණ ක්‍රියා කරවන සැටි උගන්වා තිබීම වාසනාවකි.

    “මම තුම්පනේ ඉඳන් නෙවේ ආවේ…”

    ළිප අව්ළුවා, ඔහු සේදුම් බේසම අසල තැබූ පීරිසි කෝප්ප සෝදමින් මමද ඇනුම්පදයක් එල්ල කළෙමි.

    “ආහ්.. මං හිතුවේ එහේ ඉඳන් ආවේ කියලා… පිරිමි හදන තේ බොන එක මදිකමක් නිසා වෙන්නැති පැනගෙන තේ හදන්න ආවේ…”

    මම එය නෑසුණා සේ සිටියෙමි. වතුර පැහෙන්නට එතරම් වෙලා ගියේ නැත. මම ඉක්මනින් තේ සාදා අඩුම කුඩුම සියල්ල අස්පස් කරන අතරේ මට දැනුණේ ඔහු මා දෙසම බලා සිටිනවා කියාය. එය යම් අපහසුතාවයක් සේ මට හැඟිණි.

    “තේ හැදුවා… පව්… ගිණි නිවන මහත්තයා ගිණි ගන්නකල් බලන් හිටියා…”

    යළිත් ඇනුම්පදයක් එල්ල කරමින් මම බන්දේසියත් රැගෙන ආලින්දය දෙසට ආවේ ඔහුට හිස ගස්සමිනි. ඔහුද මා සමඟම පැමිණියේය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 44

    රත් දෝතළු - 44 මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත්...

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා - Ahmadinejad ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page