More
    NovelsRath Dothaluරත් දෝතළු - 01

    රත් දෝතළු – 01

    -

    spot_img

    රත් දෝතළු – 01

    “බෲම් බෲම්…ලොක්කක්කේ…”

    පැරණි බයිසිකල් රෝදයක් තල්ලු කරගෙන මිදුල පුරා දුව දුව සෙල්ලම් කරමින් සිටි මල්ලී මුළුතැන්ගෙයි දොරින් එබී මා අමතන විට මා සිටියේ රෝහල්ගත කර සිටි තාත්තාට ගෙන යෑමට බත් මුලක් බඳිමිනි. ඇදුම රෝගයෙන් පීඩා විඳි තාත්තා රෝහල් ගතකර අදට දින තුනකි. ස්ථීර රැකියාවක් නොකළ තාත්තා කළේ කුලී රැකියාවය. ටික කලක පටන් ඔහුට එයත් කිරීමට හැකියාවක් නොවූයේ වරින්වර ඇතිවන ඇදුම රෝගය නිසාය. ඇඟලුම් කම්හලක සේවයට ගිය මා හටද එය අහිමිව ගියේ කිරි කපන්න යන අම්මාට දිනකට දෙවරක්වත් තාත්තා බැලීමට රෝහලට යෑමට නොහැකි වූ බැවිනි. අම්මාට හිමි වූ සොච්චම් මුදලින් නිවසේ සියළු කටයුතු පිරිමසා ගැනීම අපහසු විය. සවස් වරුවේ ඈ ජිනපාල මුදලාලිගේ නිවසේ අත් උදව්කාරියක ලෙස සේවයට ගියේද නිවසේ වූ අඟ හිඟකම් නිසාය. තාත්තාගේ අසනීපය නිසාම අප නිවසත් ඉඩමත් ජිනපාල මුදලාලිට උකසට තැබීමට සිදු වීමෙන් තාත්තා සිටියේ ඒ පිළිබඳවත් බලවත් සිත් තැවුළෙනි. ඔහුගේ අසනිපයට මෙයත් බලපාන්නට ඇතැයි කියා මට සිතුණෙ වරක් දෙවරක් නම් නොවේ.

    “මේ ලෙඩෙන් මැරිලාම ගියා නම් ඉවරයි… කොහොමද අපි මේ ඉඩම බේරගන්නේ…?”

    අම්මා ඉඩම උකස් තැබීමට කළ යෝජනාව හමුවේ තාත්තා දුන්නේ එවන් ප්‍රතිචාරයකි.

    “ඒක මොනවා හරි කරගමුකෝ… ඔයා සනීප වෙලා ඉන්නකෝ සේරටම කලින්…”

    ඒ මොහොතේ අම්මා කීවේ නොසතුටෙනි.

    “අපි කීයටද යන්නේ ලොක්කාක්කේ…?”

    මල්ලීට තාත්තා බැලීමට යෑමට ඉවසුමක් නැති පාටය. ඔහු අද පාසැල් නොයා නැවතුණේද ඒ නිසාමය.

    “ඇඟ සෝදන් ලැහැස්ති වෙන්නකෝ…”

    මා කියූ පමාවට ඔහු ළිඳ වෙතට දිව ගියේය. මමද ඔහු පසු පස ගියේ තනිව ළිඳෙන් වතුර ඇද ගැනීමට ඔහුට නොහැකි නිසාය. වෙනදාට වඩා කලින් මම මල්ලී සමඟ රෝහලට පැමිණියේ ඔහුගේ නොඉවසිළිමත් බව නිසාමය.

    “අපි යන්නේ නැත්ද ඇතුළට…?”

    රෝගීන් බැලීමට තව අඩ පැයක් පමණ ඇත. මල්ලී ඇසුවේ අපි රෝහල ඉදිරිපිට සිටගෙන වේලාව ළංවන තුරු බලා සිටින විටය.

    “තව වෙලා තියනවා… දැන්ම ඇතුළට යන්න දෙන්නේ නැහැ…”

    මම කීවෙමි.

    “අයියෝ…! එහෙනම් ඇයි ආවේ… තව ටිකක් පරක්කු වෙලා එන්න තිබුණානේ… සෙල්ලම් කරන්න තිබ්බා…”

    ඔහු මැසිවිළි නගන්නට වූයේ මා ඔහු බලෙන් කැඳවාගෙන ආවාක් මෙනි.

    “දැන් තදියම් වෙලා දැඟළුවේ… අද ඉස්කෝලේ නොයා නැවතුණේ එහෙනම් තාත්තා බලන්න යන්න වුවමනාවට නෙවේ… සෙල්ලම් කරන්න නේද…?”

    ඔහුගේ කන් පෙත්තක් සොළවමින් මම ඇසීමි.

    “නැහැ…නැහැ… කළින් ආවා නිසා කිව්වේ…”

    මල්ලී කීවේ වරදකාරී හැඟීමෙන් මෙනි.

    “හෙටත් නොයා හිටියොත් බලාගමු…”

    මම දැඩිව කීවෙමි. පරිසරයේ වූයේ උණුසුමකි. අව් රශ්මියද වැඩි වන්නට විය. මම මල්ලීගේ හිස අතින් මුවා කරගත්තේ අව් රැලි නොවැටෙන්නටය. නිවසේ තිබූ එකම කුඩයද අබලන්ය. පාරේ එය ඉහළාගෙන එන්නට නොහැකි නිසා මම එය රැගෙන ඒමට නොසිතුවෙමි.

    “ලොක්කාක්කේ වතුර තිබහයි…”

    මල්ලී සුළු මොහොතකින් කියනවිට මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. ඔහුට සිසිල් බීම බෝතලයක් හෝ මිලදී ගන්නට තරම්වත් වැඩිපුර මුදලක් මා අත නැත. තාත්තාට ගෙනා වතුර බෝතලය ගෙන මම මල්ලීට දුනිමි. ඔහු එය මුව තබාගෙනම බීවේ උගුරු දෙකක් පමණි.

    “අද ඉස්කෝලේ යන්නනේ තිබුණේ… මෙතන්ට ඇවිත් අව්ව තපිනවා…”

    පිපාසයක් මටද දැනුණු බැවින් වතුර උගුරක් බී මම කීවේ බෝතලය නැවත බෑගයට දමා ගනිමිනි. දැන් දැන් ලෙඩුන් බලන්නට එන සෙනඟ ගේට්ටුව අසළට රොක්ව ඇත.

    “ඔයා එහෙනම් පරක්කු කරලා එන්න එපැයි…”

    මල්ලී නැවත නෝක්කාඩු කියන්නට විය.

    “හරි දැන් වෙලාව ළඟයි…”

    ඔහු සිත සනසන්නට මම කීවෙමි. අපට මඳක් නුදුරින් හුන් යුවතියක් වුවමනාවෙන් මදෙස බලා සිටිනු මා දුටුවේ අහම්බෙනි. ඈ මා දන්නා හඳුනන අයෙකුදැයි සැකයක් සිතේ ඇති වුවද ඇය හඳුනන බවක් මගේ මතකයේ නොවූ සේම ඈ පැළඳ සිටි අව් කන්නාඩිය නිසා මට ඇයව හඳුනා ගන්නටද නොහැකි විය. මඳහසක් ඈ වෙත පා කරමින් මම ඉවත බලාගතිමි.

    “අරවින්දි…”

    මා නම අමතන හඬ ඇසුණෙන් මම වහා හැරී බැලීමි. ඒ පෙර කී යුවතියයි. ඈ මා සමීපයට පැමිණියේ අව් කන්නාඩිය නළලත රඳවාගනිමිනි.

    “අඳුනන්න බැරිද…?”

    ඈ මා විමසන විට පුදුමයකුත් සතුටකුත් මා සිතේ ඇති වූයේ එක වරමය.

    “අනේ… නිරූ ඔයා…”

    ඇති වූ සතුට නිසා මට කෑ ගැසිණි. ඈ මගේ පාසල් මිතුරියයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඈ පාසල් ගමන නවතා රැකියාවකට ගිය බවක් මට දැනගන්නට ලැබිණි. මා මේ ඇයව දකින්නේ වසර ගණනාවකට පසුවය. නිර්මාණි බොහෝ වෙනස් වී සිටියාය. පාසල් කාලයේ ඈ තරමක් තරබාරු අයෙකු වුවද දැන් ඈ සාමාන්‍ය හැඩයෙන් යුත් පෙරට වඩා රූමත්ව සිටියාය. මට ඇයව මුලින් හඳුනාගන්නට නොහැකි වීම අරුමයක් නොවේ. පෙර කල කැරළි ගැසී තිබූ කොණ්ඩය පවා දැන් ගෙල දිගේ පහළට කඩා හැළුණේ දිය ඇල්ලක් මෙනි.

    “මට ඔයාව එකපාරම අඳුරගන්න බැරිවුණා…”

    ඇගේ රුව සිත් සේ නරඹමින් මම කීවෙමි.

    “මට හිතුණා… කොච්චර කාලෙකින්ද අපි හම්බවුණේ… ඔයා නම් එදා වගේම තමා…”

    ඈ සිනහසෙමින් කීවාය.

    “ඔව්… තාම ඒ ගොඩේ කෙල්ලම තමා…”

    මමද සිනහසෙමින් කීවෙමි.

    “ඔය කිව්වේ… ඒකට කියන්නේ ගොඩේ කම නෙවේ… ගැමිකම…”

    ඈ නිවැරදි කළේ මඳ නොමනාපයකින් යුතුවය. මම මඳහසක් පෑවෙමි.

    “ඒක නෙවේ… කවුද හොස්පිට්ල් එකේ ඉන්නේ…?”

    හදිසියේ සිහි වූ නිසා මම ඇසීමි.

    “ආච්චි අම්මා අසනීප වෙලා ඇඩ්මිට් කරලා… මාත් කොළඹ ඉන්නේ… ඊයේ හවස ආවේ අරවින්දි…”

    “ආච්චි අම්මට මොකද…?”

    “දැන් වයසයිනේ… අසනීප ගොඩයි… ඔයාගේ කවුද ඉන්නේ…?”

    “තාත්තා…”

    “අනේ… මාමාට මොකද…?”

    ඈ ඇසුවේ අනුකම්පා මුසුවය. මම ඈ හා තොරතුරු කෙටියෙන් පැවසුවෙමි.

    “මල්ලි දැන් ලොකුයි… අපි මෙයාව වඩාගෙනත් තියනවා… නේද අරවින්දි…?”

    මල්ලීගේ හිස අතගාමින් ඈ කියන විට ඔහු ලැජ්ජාවෙන් සිනහසුණේය. ගේට්ටුව අසල රැස්කකා සිටි සෙනඟ රෝහල් භූමියට පිවිසෙන විට අපිද ඔවුන් හා එකතු වුණෙමු. තාත්තාගේ වාට්ටු අංකය අසා ගත් නිර්මාණි අපෙන් සමුගත්තේ ආච්ච් අම්මා බලා පැමිණෙන බව පවසමිනි. ගිලන් යහන මත හිඳගෙන තාත්තා පෙරමඟ බලා සිටිනු මම දුර තියා දුටිමි. අප ළංවන විට ඔහු මුවේ ඇදුණු අවිහිංසක සිනහව දුටු මා සිත ඇවිළී ගියේය.

    “අද චණ්ඩියාත් ඇවිත්…”

    ඔහු සමීපයට පැමිණි විට මල්ලීගේ හිස අතගාමින් තාත්තා කීවේය.

    “අද ඉස්කෝලේ යන්නම බැහැ කියලා නැවතුණා… තාත්තා බලන්න ඕන කියලා…”

    “හෙට නම් ඉස්කෝලෙ යන්න ඕන චූටි පුතා…”

    තාත්තා දැඩි හඬින් කියන විට මල්ලී සිනහවක් පෑවේය.

    “හෙට සෙනසුරාදානේ…”

    ඔහු කියනතුරුම එය මටද සිහි නොවීය. මාත් තාත්තාත් එකට සිනහසුණෙමු. හෙට දිනයේ නිවසට යා හැකි බවක් දොස්තර මහතා පවසා තිබූ නිසා තාත්තා සිටියේ යම්තරමක සහනයකිනි. ඔහුගේ ඇඳුම් කීපය මම බෑගයට දමා ගත්තේ සෝදා ගෙනා ඇඳුම් කීපය කබඩයේ දමමිනි. නිර්මාණි පැමිණියේ අවසන් විනාඩි කීපයේදීය. තාත්තාටද ඇයව හඳුනාගන්නට නොහැකි විය.

    “අනේ මාමේ… අපි ඉස්සර මාමාලා දිහාමනේ හිටියේ… මං මනෝරත්නගේ දුව…”

    නිර්මාණි හඳුන්වාදෙන විට තාත්තා මවිත විය.

    “මේ මනෝගේ දුවද… තාත්තා ජිනපාල මුදලාලිට ඉඩම විකුණලා ගියත් හරි මට මුණගැහුණේම නැහැ… දැන් කොහොමද තාත්තාට…?”

    “තාත්තාගේ කකුල උළුක්කු වෙලා මාමේ… අද මං ආවෙත් තනියම… නැන්දා තමා ආච්ච් ළඟ හිටියේ… හවස අම්මා එයි… මං කියන්නම්කෝ තාත්තට මාමව මුණ ගැහුණා කියලා…”

    “තාත්තාව දකින්නත් ආසයි…”

    තාත්තා කීවේ කෙටි සුසුමක් හෙළමිනි. රෝගීන් බලන වේලාව අවසන් වූ බැවින් අපි තාත්තාට සමු දී රෝහලෙන් පිටව ආවෙමු. මාවත් මල්ලීවත් බොජුන් හලකට කැවවාගෙන පැමිණි නිරූපමා අපට පළතුරු බීම සංග්‍රහයක් කළාය.

    “ඒ ලේවල් කරලත් ජොබ් එකක් හම්බනූන එක අපරාධයක් නේද අරවින්දි…?”

    අනුකම්පා මුසු හඬකින් ඈ කීවේ මගේ තොරතුරු දැනගැනීමෙන් අනතුරුවය. මම කළේ සුසුමක් හෙළීමය.

    “ඔයා කවද්ද ආයේ යන්නේ නිරූ…?”

    “ඉරිදා හවස… මං හෙට එන්නම් ඔයාලා ගෙදර… අපිට කතා කරන්න ගොඩක් දේවල් තියනවා… නේද…?”

    මමද සතුටින් එයට එකඟ වූයෙමි. අවසන අපි සමුගන්නා මොහොතේ ඈ සුපුරුදු සෙනෙහසින් මා වැළඳ ගත්තාය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...
    - Advertisement -spot_img

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන් - Chocolate Brownies Chocolate Brownies කන්න කවුද අකමැති? චොක්ලට් චිප්ස්, බටර්, කොකෝවා පව්ඩර් දාලා හදන...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page