More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 40

    Pini Muthu Palasa පිනි මුතු පලස – 40

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    මා හඳුනන කිසිවෙකු මා දෑසට හසු නොවීම වාසනාවකි. හවස් වන විට වැස්සක් ඇද වැටෙනු ඇතැයි කියා මම සිතුවේ පරිසරයේ වූ අධික උණුසුම නිසාවෙනි.

    “ඉතින් කොහොමද රජිව් අයියේ…රුවින්දි එහෙම සනීපෙන් ඉන්නවද…එයා නම් හොඳට එක්සෑම් පාස් වෙන්න ඇති නේද…?”

    කල් යල් බලා මම විමසුවේ සිතේ පැසවූ ඊර්ෂ්‍යාව නිසා නම් නොවේ. ඔහුගේ මුව මත අමුතු සිනහවක් සටහන් වනු මා දෑසට හසු විය.

    “ඔයා තාමත් හිතන් ඉන්නේ එයයි මායි අතරේ අෆෙයාර් එකක් තියනවා කියලා නේද…?”

    ඔහු එසේ පැවසූ ආකාරයට මා සිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඉහිරී ගියේය. එය එසේ වුවත් දැන් ඉතින් එයින් ඇති කාරිය කුමක්ද…?

    “ඉතින් ඒක එහෙම නෙවේද…?”

    සිනහවක් මුව මත නංවාගෙන මම අසන විට ඔහුද සිනහවක් පෑ අතර එහි සැඟව තිබූ අර්ථය කුමක්ද කියා මට සිතා ගන්නට අපහසු විය.

    “නැහැ…ඒක එහෙම නෙවේ…එහෙම දෙයක් තිබුණේ නැහැ…ඇත්තම කිව්වොත් එදා එහෙම දෙයක් වුණේ අහම්බෙන්…එයා මාව කාර් එකේදි කිස් කළා…ඒක ගිම්හාන දකින්න ඇති…හරි…ඒත් එයා කිස් කළේ මගේ කම්මුල…එහෙම කළේ ඇයි කියලා මං එයාගෙන් ඇහුවා…මට ඒකට හොඳටම කේන්ති ගියා…ආයේ මෙහෙම දෙයක් වෙන්න බැහැ කියලා මං එයාට තදින්ම අවවාද කළා…මං කාර් එකෙන් බැහැලා ආවේත් කේන්ති ගිහින්…රුවින්දි දැනගත්‍තා මට කේන්ති ගියා කියලා…එයා වටෙන් ඇවිත් මගේ අතේ එල්ලිලා සොරි කිව්වා…ගිම්හාන මල්ලි දකින්න ඇත්තෙ අන්න ඔය ටික…මං එයාට වරදක් කියන්නේ නැහැ…මොකද එයා ඔයාට මේ ටික ඇවිත් කිව්වේ…එයා ඔයාගේ හොඳ යාළුවෙක් නිසානේ…එහෙම නැතුව ඊර්ෂ්‍යාවට නෙවේ…මං ඔය වගේ දෙයක් දැක්කත් මාත් කරන්නේ ඕකම තමා…ඔය ප්‍රශ්නේ නිසා කමලුත් මට හොඳටම දොස් කිව්වා…සිද්ධ වුණේ මොකක්ද කියලා ඌ දන්නෙත් මෑතකදි..මං වැරදි නැහැ කියලා මට ඔප්පු කරන්න දවසක් එනකල් මං බලන් හිටියා…මං ඒකයි නිෂ්ශබ්දව හිටියේ…”

    මා සිතේ වරදකාරී මෙන්ම පසුතැවීමක්ද ඇති විය. මා එදා ඔහුට සවන් දුන්නේ නැත. නමුත් දැන් ඒ සියල්ල සිදුව හමාරය. ඇත්ත දැන ගත් පලියට මට මගේ ජීවිතය වෙනස් කර ගැනීමට හැකිද.? දිගු හුස්මක් ඇද මම ළය පුම්බා ගතිමි.

    “දැන් කෝ රුවින්දි…?”

    සුළු මොහොතකට පසුව මම ඇසීමි.

    “එයාලා ලංකාවෙ නැහැ…”

    “ලංකාවේ නැහැ…?”

    “ඔව්…එයාලා ඉතාලි ගියා…මෙහෙ ගෙවල් කුළියට දීලා…පවුලේ සේරම…”

    “හදිසියේම…?”

    “ඔව්…හදිසියේම ගියා…අපේ තාත්තා නැති වුණානේ…”

    ඔහු කියන විට මට හීල්ලිණි. දෙවියනේ..! ඒ බවක් මම දැන සිටියේ නැත. රජිව්ගේ මුහුණේ වූයේ දුක්මුසු අඳුරු පෙනුමකි.

    “අනේ…රජිව් අයියේ…ඒ මොනවා වෙලාද…කවද්ද…?”

    “දැන් මාස කීපයක් වෙනවා…අගෝස්තු නැති වුණේ…”

    “අනේ රජිව් අයියේ…දන්නෙවත් නැහැනේ…ඒ කියන්නේ ඔයාගේ එග්සෑම් දවස් වල…?”

    “ඔව්…මං එග්සෑම් ලිව්වෙ නැහැ මංදාකිණි…විභාගෙ දවස් වල තමා තාත්තා අසනීප වුණේ…හොස්පිට්ල් ඇඩ්මිට් කරලා දවස් දෙකයි…නැතිවුණා…ඊට පස්සේ අම්මාත් අසනීප වුණා…එයාට තාත්තා නැති වුණ එක දරා ගන්න බැරි වුණා…නහරයක් පුපුරලා…දැන් එයා පැරලයිස් වෙලා ඇඳට වැටිලා ඉන්නේ…දකුණු පැත්තම පණ නැහැ…කතා කරන්නත් බැහැ…”

    දෙවියනේ!..මට මේ අසන්නට ලැබෙන්නේ මොනවාද…? මට මේ කිසිත් දැන ගන්නට නොලැබිණි. කාගෙන් කියා දැනගන්නද.. කවුරු පවසන්නද…? ඔහු කෙරෙහි උපන් අනුකම්පාවෙන් මසිත බර විය.

    “දැන් කවුද මිස්ව බලාගන්නේ…?”

    “ප්‍රේමා නැන්දායි…මායි…එයා අපේ ගෙදර වැඩට ඉන්න කෙනා…”

    නිවසේ මෙවන් වාතාවරණයක් තිබියදීත් ඔහු මෙසේ මා සොයා විත් කාලය මිඩංගු කරන්නේ මා කෙරෙහි ඇති ආදරය නිසා නොවේද…?

    “ඔයා හිතනවා ඇති දැන් මං ගෙදර මෙච්චර ප්‍රශ්න තියන් වෙඩින් වල සිංග් කර කර ජොලියේ ඉන්නවා කියලා…නේද…?”

    දෙවියනේ…! එවන් සිතුවිල්ලක් හෝ මා සිතේ කොනකවත් ඇති නොවීය.

    “ඔයා මොනවාද අනේ මේ අහන්නේ…? මං එහෙම හිතුවෙවත් නැහැ…ඔයා මෙච්චර දෙයක් දරාගෙන ඉන්නේ කොහොමද කියලා නම් මට හිතුණා…”

    නොමනාපයෙන් මම කියන විට ඔහු මඳහසක් පෑවේය.

    “මං දරාගෙන ඉන්නවා…මගේ මනස රිලෑක්ස් කරගන්න තමා මං සිංග් කරන්නේ…ඒකත් නැත්නම් මට තේරෙන්නේ නැහැ මටම මොනවා වෙලා තියෙයිද කියලා…”

    “ඒත් රජිව් අයියේ…ඇයි රුවින්දිලා මේ වෙලේ ඔයාලාව දාලා යන්න ගියේ…එයාලා ඔයාලා එක්ක ඉන්නම ඕන වෙලාව නේද මේ…?”

    “රුවින්දිට ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි දෙයක් වුණ නිසයි…එයාලා ලංකාවේ හිටියා නම්…අපේ අම්මාව බලන්න වෙයි කියන බයටයි…එයාලා යන්න ගියා…”

    “මූණ දෙන්න බැරි දෙයක්…! ඒ කිව්වේ…?”

    “ඔව්…තාත්තා නැති වෙලා හරියටම සුමානයයි…හත් දවසේ දානේදාට පහුවදා…මාමයි නැන්දයි අපේ ගෙදර ඇවිත් ඉඳලා ගියා…රුවින්දි තනියම කියලා ගියේ…යනකොට නම් තනියම නෙවේ ඉඳලා තියෙන්නේ…තනියට කොල්ලෙකුත් ඉඳලා…මාමට අතේ මාට්ටු වෙලා…ඌ පැනලා ගිහින් තියෙන්නේ අල්ලපු වත්තේ තාප්පෙන්…හොරෙක් කියලා අල්ලන් පොලීසියට දෙන්න ගියාම මුළු ගමම මේක දැන ගත්තා…ඉතින් රුවින්දිට ගමේ ඉන්න බැරි වුණා…”

    “මොනවා…!” මා සිරුරේ හී ගඬු නැංවිණි.

    “ඔව්…අපිටත් හිතා ගන්න බැරිවුණා…අපි ඕන තරම් අපේ ගෙදරත් තනියම ඉඳලා තියනවා…ඒත් මං කවදාවත් වැරදි හැඟීමකින් එයාගේ අතකින්වත් අල්ලලා නැහැ…මට එයාව දැනුණේ මගේ නංගි වගේ හැඟීමක්…රුවින්දි ඒ කොල්ලා එක්ක හිටපු පළවෙනි දවස නෙවේලු ඔය…මීට කළිනුත් ඕන තරම් ගෙදරට ගෙන්නගෙන තියනවාලු…”

    “ඉස්කෝලේ යනකොටත්…!”

    “ඔව්…නැන්දලා ඕවා අපිට කිව්වේ නැහැ…මං දැන ගත්තෙත් කමල්ගෙන්…උන්ගෙ ගෙවලුත් ඒ ළඟනේ…කොහොමද රුවින්දිව මට කරගහන්න වුණා නම්… එයා ප්ලෑන් ගැහුවෙත් ඒකට…අම්මලත් පණ ඇරන්නේ හිටියේ…බැරි වෙලාවත් මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔය සේරම යන්නේ මගේ පිටින්…හොඳ වෙලාවට මාමටම මාට්ටු වුණේ…”

    ඔහු කියන දෙයත් සිදු වීමට ඉඩ තිබිණි. ඔවුන්ට මෙය දැන ගැනීමට නොලැබුණා නම්. රජිව් ගැලවී තිබුණේ අනූනවයෙනි.

    “මිස්ව සනීප කරගන්න බැරි වෙයිද රජිව් අයියේ…?”

    ඔහු මෙන්ම චිත්‍රා මිස් පිළිබඳවද උපන් අනුකම්පාවෙන් මම ඇසුවෙමි. රජිව් දිගු හුස්මක් ඇද්දේය.

    “බෙහෙත් කරනවා…බලමුකෝ…”

    තව මොහොතක් ඔහු හා කතා බහ කිරීමට වුවමනා වුවද කාලය ඊට හරස් විය. මා ඔහුගෙන් සමුගන්නට සැරසෙන මොහොතේ ඔහු කීවේ ඊළඟ සතියේත් ඔහු පැමිණෙන බවය. මම හිස සළා එයට එකඟ වූයෙමි. නිවසට එන අතර තුර පවා මම සිතුවේ ඔහු ගැනය. අපේ ජීවිත වල අපට මුහුණ පෑමට සිදුවන්නේ අප සිහිනෙන් හෝ නොසිතන නොපතන දේමය. රජිව් තාත්තාට ඉතා ආදරය කළ බව මම දැන සිටියෙමි. දැන් චිත්‍රා මිස්ද ඔත්පළව ඇත. ඔහුගේ ඉගෙනුමත් අතරමඟ නැවතී ඇත්තේ ඔහුට කරන සරදමක් ලෙසිනි. අතීතයේ කුමක් සිදුවුවද මේ මොහොතේ නම් චිත්‍රා මිස් කෙරෙහි මා සිතේ උපන්නේ අනුකම්පාවකි. දෛවය අප සමඟ කරන්නේ කුරිරු ක්‍රීඩාවකි.
    ——————————————————————————————————
    නිරෝෂා ම සොයා දිව එන විට මා සිටියේ ළිඳ ළඟ රෙදි සෝදමිනි.

    “ආනේ…කොයි වෙලේද ආවේ…මළ ගෙදර වැඩ ඉවරද…?”

    “ඔව්…අක්කා…සඳුදා ගත්තේ…අපි අද උදේ ආවේ…”

    “ඔයලා නැතුව පාළුයි…”

    සේදූ රෙදි මිරිකා මම වැල මත වනමින් කීවෙමි.

    “ඒකනේ එකනේ…අපිවත් අගේ වෙන්න එපැයි…”

    නිරෝෂා සිනහසෙමින් කියන විට මමද මඳහසක් පෑවෙමි.

    “අක්කා…”

    ඈ රහසක් අසන්නට මෙන් මවෙත ළං වූවාය. මම චීත්තයෙන් දෑත් පිස ගෙන එයත් වැල මත වනා නිරෝෂා දෙස වුවමනාවෙන් බැලීමි.

    “ඔයා ඉරිදා පොළට ගියාද…?”

    ඈ වට පිට බලමින් ඇසුවාය.

    “ඔව්…ගියා…”

    “අරයා ආවද…?”

    “ඔව්…”

    මම කෙටියෙන් කීවෙමි.

    “එහෙනම් හොඳයි…ඒක නෙවේ…අක්කා දන්නවද වැඩක්…?”

    ඈ තවත් යමක් කියන්නට හදන්නාක් මෙනි.

    “මොකක්ද නිරෝෂා…?”

    උනන්දුවක් පෙන්වා මම ඇසීමි.

    “අපිට අද එනකොට තිලක් අයියව හම්බවුණා…”

    “තිලක් කිව්වේ…?”

    කුහුළින් මම ඇසුවේ පෙර දිනක පූජිත හමුවීමට එනවා යැයි කී තිලකුත් නිරෝෂා මේ කියන තිලකුත් එක් අයෙකුදැයි සිතමිනි.

    “පූජිතයියාගේ යාළුවෙක්…කුරුණෑගල ඒජන්සියක වැඩකරන්නේ…”

    “ඉතින්…?”

    “පූජිතයියා රට යන්නලු හදන්නේ…”

    ඒ ඇසූ පුවතින් මම පුදුමයට පත් වූයෙමි. මම එවන් දෙයක් දැන නොසිටියෙමි.

    “පෙරේදා එයා මෙහෙ ආවද…? අපේ නෑයෝ වෙනවානේ…අපේ ගෙදර යන්නත් එක්ක ඇවිත් තියෙන්නේ…අපි හිටියේ නැහැනේ…”

    “මම දන්නෙ නැහැනේ එයා රට යන්න හදනවා කියලා…”

    “ඒක තමා මම මේ ඔයාට කියන්න හැදුවේ…ඔයාට කිය, කිය යයිද…? එයා යන්න හදන්නේ එදා අර මෙහේ ආව ගෑණු කෙනා එක්ක…”

    එය ඇසීමෙන් මා තුළ තිගැස්මක් ඇති විය. ඔහු ඇයත් සමඟ කුමක් කළද කොහේ ගියද මට කම් නැත. නමුත් ඔහු විවාහ වී සිටින්නේ මා සමඟය. මගේ ජීවිතය විනාශ කොට ඔහු වෙනත් එකියක් හා විදෙස් ගත වීමට යනවා යැයි අසන්නට ලැබෙන විට මා සිතේ ඇති වූයේ ඉවසිය නොහැකි කෝපයකි.

    “රට බැරි නම්…ඕන මඟුලක ගියත් මට කමක් නැහැ නිරෝෂා…ඒත් මුංට මෙහෙම නටන්න ඕන නම් මොකටද මාව කසාඳ බැන්දේ…මගේ ජීවිතේ විනාශ කළේ…මුං සේරම එකතු වෙලා මට මගේ ජීවිතේ නැති කළා…”

    මට හැඬිණි.

    “අනේ…අක්කේ…අඬන්න එපා…ඔයා මේවා දන්නව කියලාවත් අඟවන්න එපා…මටත් දුකයි අක්කේ…අම්මයි මාත් හැම වෙලේම ඒ ගැන කතා වෙනවා…”

    සුසුමක් හෙළමින් නිරෝෂා කීවේ මගේ උරමත දෑත තබමිනි.

    “මම මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැහැ නිරෝෂා…”

    කඳුළු පිස ගනිමින් මම කීවේ බිඳුණු හඬිනි. හැඬුවා කියා පලක් නොවන බව මටද වැටහිණි. මගේ ජීවිතයත් මහ සයුරක් මැද අතරමං වූ නෞකාවක් වැනිය. එය කොයි අතකට යාදෝ කියා මමම නොදනිමි.

    “ඉවසීමෙන් ඉන්න අක්කේ…එක අතකට…පූජිතයියා රටවත් යනවා නම් හොඳයි… හිටියත් ඔයාට වද දෙන එකනේ කරන්නේ…”

    මටද එය සිතිණි.

    “ඔව්…එකාතකට ගියා නම් හොඳයි තමා…මෙහෙ හිටියත් දෙන්නා එකට පවුල් කන එකනේ කරන්නේ…”

    “ඔව් අක්කේ…ඔයාට මෙහෙට වෙලා නිදහසේ ඉන්න පුළුවන්…”

    මගේ ජීවිතයට එවන් නිදහසක් ලැබේදෝ කියා මට විශ්වාස නැත.

    “නැන්දම්මා එක්ක නිදහසේ ඉඳියි…”

    උපහාසයෙන් මම කීවෙමි.

    “එයා ඔය හයිරම් පෙන්නන්නේ…පූජිතයියා ළඟ ඉන්න නිසානේ…නැතිවුණාම ඉඳියි මීක් නැතුව…”

    ඇගේ කතාවට මා මුවට සිනහ නැඟිණි.

    “ඔව්…ඔව්…බලමුකෝ…”

    “පෙරළුණු පිට හොඳයි කියනවනේ…”

    නිරෝෂා කීවේ යළිත් මුවේ සිනහවක් නංවාගෙනය.

    -නැවතත් 17 වන සඳුදා මුණ ගැසෙමු-

    Latest news

    At the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

    At the Hambantota Bird Park - නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ...

    Namal Rajapaksha නාමල්ට ඇප මත මුදා හැරීමට නියෝග

    Namal Rajapaksha - අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්...

    Yatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

    Yatinuwara Incident - යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.52...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 27

    Tharu Mal Viyan තරු මල් වියන්අම්බුළුවාවේ සිට බලන කල මුළු ගම්පොළ නගරයම පෙනෙන්නේ ඉතා සුන්දරවය. සීතල සුළඟ සමඟ ශාමින්ද...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page