Pini Muthu Palasa පිනි මුතු පලස
නිවාඩු දින කීපය මා නිවසේ ගත කළේ අපහසුවෙනි.සිත තුළ පෙරළි කරනා දහසකුත් සිතුවිළි කිසිවෙකු හා පවසන්නට නොහැකිව මා සිටියේ නොසන්සුවය. මහා බරක් මා සිත මත පැටවූවාක් මෙන් මට දැනේ. ජනේල් කූරු මත හිස තබාගෙන අඳුරු අහසට නෙත් යොමා මා කොපමණ වේලාවක් සිටියාද කියා මට නිනව්වක් නොවීය. සිහින්වට වැටුණු සිරි පොදය මහා වැස්සක් බවට පත් වූයේ බලා සිටියදීමය. මේ දින කීපයේම අහස මෙලෙසය. එය මහා හඬින් හඬන ගැහැණියක බඳුය.
“මේ වැස්ස නිසා රෙද්දක්වත් වේල ගන්න බැරි හැටි…”
වැස්සේ හඬ පරයා අක්කාගේ මැසිවිළි හඬ මට දොර ඇසළින් ඇසිණි. වැස්සේ කරච්චලයත් ඉවසිය හැකිය. අක්කා හැමදේටම නඟන කන් කෙඳිරිල්ල නම් ඊටත් වඩා හිස රදයකි.
“චූටි නංගී…”
ඇගේ හඬින් මම ගෙළ හරවා දොර දෙස බැලීමි. දොර රෙද්ද අතරින් ඈ හිස පොවා කාමරයට එබුණාය.
“කෑම බෙදනවද…සුමිතුත් ආවා…මොකෝ කල්පනාව…?”
“මොකුත් නැහැ….”
මම නොරිස්සුමෙන් වහා කීවෙමි. ඈ දොර රෙද්ද අතැර දමා නොපෙනී ගියාය. මා කල්පනා කරන දෙය පවා ඇයට කිව යුතුද කියා මම සිතුවේ නොමනාපයෙනි. මේ දින කීපයේ මට අක්කා කෙරෙහිද දැනුණ නොරුස්සුම වැඩිය. ඇගේ සැමියාට කෑම බෙදා දීමවත් ඇයට කළ නොහැකිද…?
“මිනිහාට කෑම බෙදන්නත් මම ඕන…”
මම සිතුවේ කෝපයෙනි. මම පිටතට ආවේ ඊටත් සුළු මොහොතකට පසුවය. කෑම මේසයට කෑම බෙදා තබා මම කාමරයට ඒමට සූදානම් වන විටම සුමිත් අයියාද කෑම කාමරයට පැමිණියේය. ඔහු හොඳටම බීමත්ව ඇති බව දැනුණේ ඔහුට පෙර මත් පැන් ගන්ධය හමා ආ නිසාවෙනි. අපුළක් මා සිතට දැනුණේ ඔහුගේ ලොවි ගෙඩි දෙකක් මෙන් රතු වූ දෑස් දකින විටය. අමුතු බැල්මක් මවෙත හෙළූ ඔහු වෙත මම රවාගත් බැල්මක් හෙළා කාමරයට ඒමට සූදානම් වන විටම ඔහු යළිත් මා ඇමතුවේය.
“කෙල්ලේ…වතුර එකක් ගේනවද…?”
මම ආපසු හැරුණේ කෝපයෙන් යුතුවය. අක්කාගේ සැමියා වුවද මම ඔහු කෙලෙසකවත් ප්‍රිය නොකළෙමි. ඔහු මා ඇමතූ ස්වරයද මා සිතේ ඇති කළේ නොරුස්සුම් මුසු හැඟීමකි.
“ඔය වීදුරුවට පුරෝලා තියෙන්නේ…”
කෝපයෙන් මම කීවෙමි.
“හී…බොන්න…නෙවේ…”
සුමිත් අයියා දත් ටික පෙන්වා සිනහවක් පාමින් කීවේය.
“එහෙනම් නාන්නද…?”
කෝපයෙන් ඇසූ මා ඔහුට රවමින් කාමරයට වැදී දොර වසා ගතිමි. සුමිත් අයියා කුමක් හෝ පැවසුවද වැසි හඬ නිසා එය මට නෑසිණි. අක්කා කුමට ඔහු හා විවාහ වූවාද කියා මට සිතා ගැනීමට අපහසු විය. බීමටම ඇබ්බැහි වූ සුමිත් අයියා හම්බ කරන මුදලින් කළේද බීම පමණමය. අම්මා එවන මුදලත් වෙළඳ සළෙන් ලැබෙන ආදායමත් නොවූවා නම් අක්කාටද ගෙවන්නට සිදුවන්නේ දුක්බර ජීවිතයකි. එසේ කියා මට ඈ කෙරෙහි අලුත් අනුකම්පාවක් ඇති වුණා නොවේ. ජනේලය අසළට වන් මා පිටත ඇද හැළෙන වර්ෂාව දෙස බලා සිටින විට මා සිතේ නොපහන් බව කෙමෙන් කෙමෙන් දුරු වන්නට විය. තෙත බරියම් වූ මයිනෝ ජෝඩුවක් වැසි දියෙන් බේරෙන්නට තටු සළමින් නෙල්ලි ගසේ අත්තෙන් අත්තට පනිමින් කරන දඟය දැක මා මුවට සිනහවක් නැඟිණි. එක තැනකට වී සිටියා නම් වැසි දියෙන් බේරී සිටීමට තිබුණා නොවේදැයි උන්ට නොතේරුණා විය හැකිය.
“චූ…ටි…නං…ගී…”
සුමිත් අයියාගේ උස් හඬින් මම තිගැස්සී ගියෙමි.
“බත් ටිකක් ගේනවද…?”
ඔහු යළි අසනු ඇසී මා සිතේ යටපත්ව තිබූ නොමනාපයත් නොරුස්සුමත් යළි හිස ඔසවන්නට වන විට මම පිටතට ආවේ කෝපයෙනි. කෑම මේසය මම සූදානම් කළේ මේසයට හොඳි මාළු සියල්ලම තබා කූඩයෙන් වසාය. කූඩය හැර බැලූ මා සිතේ කෝපය දෙගුණ තෙගුණ විය. බන්දේසියට බෙදූ බත් මෙන්ම හොඳි මාළු පිණිද එසේමය. එයට අතවත් තැබූ බවක් පෙනෙන්නට නොවීය.
“ඇස් පේන්නේ නැත්ද…මෙතන බත් ඇරලා තියන කොට බෙදා ගෙන කන්න බැරිද…?”
හඬ නැඟෙන ලෙස කූඩය වසා දැමූ මම කෝපය මුහුණටම දමා ගැසීමි.
“හී…දැක්කේ නැහැ…”
මෝඩ සිනහවක් පාමින් ඔහු කීය.
“දැක්කේ නැහැ…ඇසුත් පොට්ටයි වගේ…”
මම යළිත් කාමරයට ඒමට හැරුණෙමි.
“පොහ්…මෙයාගේ සැර…අක්කාට හපන් නංගී…”
ඉක්කාවක්ද සමඟින් සුමිත් අයියා ගොත හඬින් කියන විට මම ඔහුට රවමින් කාමරයට පැමිණියෙමි. කළකිරීම් මුසු හැඟීමක් මා සිත වටා එතෙන්නට වූයේ ඔහුගේ හැසීරීම් කෙරෙහිය. අක්කාට කතා නොකර හැම එකටම ඔහු මට කතා කරන්නේ මන්ද කියා මම සිතුවේ කෝපයෙනි.
——————————————————————————————————
සඳු දින මා පාසල් ගියේ දෙගිඩියාවෙනි. චිත්‍රා මිස් දැනටමත් අප ගැන දැන සිටිනවාදැයි කියා සැකයකින් මා සිත පෙළිණි. රජිව්ද උදෑසනම පාසලට පැමිණ සිටි අතර ඔහු මා දැක පන්ති කාමරය අසළට පැමිණියේය.
“ඔයා හොඳින් නේද මංදාකිණි…?”
ඒ හඬේ වූ ලෙංගතු බව මා හදවතට තදින්ම දැනිණි. ඒ දෑස් මා දෙස විපරම්කාරී බැල්මකින් බලන බව මට පෙනිණි. සමහරවිට මා තවමත් සිත් තැවුළෙන් සිටිනවා යැයි ඔහු සිතුවා වන්නට ඇත.
“අනේමන්දා රජිව් අයියේ…මගේ හිතට බයයි…තක්ෂිලා මිස්ට අපි ගැන කියලා ඇත්ද…?”
සැකමුසු හඬකින් මම ඇසීමි.
“එහෙම මොකුත් දැන ගත්තා කියලා නම් මට පෙනුණේ නැහැ…එහෙම දැන ගත්තා නම් එයා ඒක මේ වෙත්දී මගෙන් අහලා…”
මා අස්වසන අදහසින් ඔහු එසේ කීවා කියා මට නිකමට සිතිණි.
“ඒත්…මගේ හිතට නම් මහා මොකක්ද වගේ…”
“හිත අවුල් කර ගන්නේ නැතුව ඉන්න මංදාකිණි…ඔයා ඔහොම අවුළෙන් ඉත්දී මටත් අවුල්…”
කෙටි බිත්තියට බර දී ඔහු හැඟීම් ගොන්නක් ලියවුණු දෑසින් මදෙස බලා කීවේය. ඒ බැල්මට මා සිත හිරි වැටී ගියේය. ඉවතක බලන්නට සිතුණද මා දෑස් ඔහුගේ දෑසින් මුදවා ගන්නට අපහසු බවක්ද මා සිතට දැනිණි.
“ඔයා පව්…මංදාකිණි…”
එවිට මම තිගැස්සුණු බැල්මකින් ඔහු දෙස බැලීමි.
“ඒ ඇයි…?”
පහත් හඬකින් මම ඇසුවේ ඔහු එවැන්නක් පැවසුවේ මන්ද කියා පුදුමයෙනි.
“ආදරේ නිසා පව් කිව්වේ…”
මා මුහුණට ලේ පිරී එන බව මටම දැනිණි.
“මූණ රතු වුණා…රෝස මලක් වගේ…”
මා කෙරෙන් නෙත් මුදවා නොගෙනම ඔහු කියන්නට විය.
“විකාර…රෝස මල නඩු දායී…අපහාස කළා කියලා…”
මඳහසක් මුවේ තවරා ගනිමින් මම කීවේ ලැජ්ජා මුසු හැඟීම එළෙසම තිබියදීමය.
“රෝස මලත් කැලේ මංදාකිණි…ඔයා ළඟ…”
මම ඔහුගේ දෑස් දෙස එක එල්ලේම බලා සිටියෙමි. බොරු වර්ණනා වලට ගැහැණුන් රැවටිය හැකිය. ඔහු එසේ පවසන්නට ඇත්තේ බොරුවටය. මා මුවේ සිනහව පුළුල් විය.
“ඕවාට මං අහුවෙයි…”
මවා ගත් නොමනාපයක් පළ කරමින් මම කීවෙමි.
“අහු වුණානේ…”
ඔහු පැවසුවේ දඟකාර සිනහවක් මුව මත රඳවාගෙනය.
“යන්න…”
ලැජ්ජා මුසු හැඟීමෙන් මම කීවෙමි. ළමුන් එකා දෙන්නා පාසලට පැමිණෙන විට රජිව් මා කෙරෙන් සමු ගත්තේ නොකමැත්තෙන් මෙනි. දවස කෙමෙන් ගත වී ගියේ මා බියෙන් සිටි කරුණට අදාළ කිසිවක් සිදු නොවීමය. එයින් මා සිතට යම් අස්වැසිල්ලක් ඇති විය.
“ඔයා බොරුවට බය වෙලා…”
තරුෂි මා සවනට රහසින් කීවද මා සිතේ බිය මුළුමනින්ම පහව නොගියේය. දින දෙක තුනක් මෙලෙස ගෙවී යන විට මා සිතට මඳින් මඳ යම් සැනසුමක් වන් හැඟීමක් ඇති විය. ඉඳහිට රජිව් මුහුණට මුහුණ හමුවන විටක අපි දෑසින් පමණක් දොඩමළු වී එකිනෙකාගෙන් වෙන් වූයෙමු.
“මොකෝ දැන් තත්වේ…?”
දිනක් ගිම්හාන මා විමසුවේ අහළ පහළ කිසිවෙකු නැති බව දැනය.
“අනේ මන්දා…”
දෙවුර සළමින් සුසුමක් මුදා හළ මම කීවෙමි. වෙනත් යමක් කතා කිරීමට අවකාශය නොවූයේ ඒ මොහොතේ තක්ෂිලා පන්තියට ආ නිසාය. ඈ සිය අසුනේ අසුන් ගත්තේ නෙත් කොණින් හෝ අප දෙස නොබලමිනි. පුදුමයකට මෙන් ඈ පහුගිය දින කීපය පුරාම පසු වූයේ දිගු නිහැඬියාවකය. එයත් මා සිතට යම් අමතර බරක් විය.
“මෙයා මේ ටිකේ මාර සයිලන්ට්…”
ගිම්හාන රහසින් කීවේ මා සිතූ දෙයමය.
“මටත් බය ඒකමයි ගිම්හාන…” මමද කීවෙමි.
ගිනි කන්දක් වුව පුපුරා යාමට පෙර බොහෝ නිහඬ මෙන්ම නිෂ්චලය. තක්ෂිලාද එසේ නිහඬ ඒ හේතුව නිසාද, ඇයත් කුමක් හෝ දෙයකට අර අඳිනවාද…?
“ආහ්…මොකද දෙන්නා…සතර කන් මන්ත්‍රණයක්ද…?”
තරුෂි පන්තියට ගොඩ වූයේ එසේ අසාගෙනය.
“අපිට ඔය සතර කන් අට කන් නැහැනේ…අනික් අයට වගේ…”
ගිම්හාන එසේ කියන විට තක්ෂිලා වහා හිස හරවා අප දෙස බැලුවාය.
“හින්ට් ගහන්නේ මටද…?”
ඈ කෝපය මුසුව අසන විට අපි තිදෙන මුහුණින් මුහුණ බලා ගතිමු.
“මේ තක්ෂිලා…අහක යන ඒවා බලෙන් ඔළුවට දා ගන්න හදන්න එපා…”
තරුෂිද කීවේ කෝපයෙනි.
“තොප්පිය හරි නම් දාගත්තාවේ…”
ගිම්හාන ගේ කතාවට තක්ෂිලා ඔහු වෙත රැවීමක් පා කළාය.
“මට ඔය තොප්පි දාගන්න ඕන නැහැ…අපි බලමුකෝ…තොප්පි වැටෙයිද…බෙල්ලට තොණ්ඩු වැටෙයිද කියලා…”
තක්ෂිලා ඒ කී කතාවට මා සිත සළිතව ගියේය.ඈ මටද රවමින් හිස ගස්සා ඉවත බලා ගත්තාය. දුක්බර දෑසින් මම ගිම්හාන දෙස බැලීමි. ඔහුගේ මුහුණ කෝපය නිසා රත් පැහැ ගෙන තිබිණි. කුමක් හෝ යමක් කීමට මෙන් සැරසෙන විට මම වහා ඔහු වළකාලුවෙමි. එයින් සිදුවන්නේ තක්ෂිලා තව තවත් කෝපයට පත් වීමය.
“තොණ්ඩු වැටෙනකල් වෙන්නැති ආසාවෙන් බලන් ඉන්නේ…අපිත් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා…”
තරුෂි මා උරමතට සෙමෙන් තට්ටුවක් දමමින් කීවාය. තක්ෂිලා මෙලෙස මා සමඟ වෛරයකින් පසු වන්නේ මන්ද කියා මට සිතා ගැනීමට අපහසුය. මා දැනුවත්ව ඇයට වරදක් නොකළෙමි. මා මුවින් පිට වූයේ දුක්බර වූ සුසුමකි.
එළඹි දින කීපයේම රජිව් පාසල් නොආවේය. ඔහු නොදැක සිටි නිසාදෝ මා සිතට දැනුණේ සාංකාකූල හැඟීමකි. අපට කතා බහ කිරීමට අවස්ථාවක් උදා නොවූවත් ඔහු දෙස බලා හිඳ හෝ මට සිත සනසා ගන්නට වත් ඔහු පැමිණියා නම් කියා මට සිතිණි. කමල් කීවේ ඔහුට සෙම්ප්‍රතිෂ්‍යා උණ වැලඳී ඇති බවය.
“හැම තැනම වෛරස්…රජිව් අයියාටත් ඒක වෙන්නැති එහෙනම්…”
තරුෂිද කීවාය.
“අනේ…බෙහෙත් අරන් නැත්ද ඉතින්…?”
ඔහු පිළිබඳව උපන් අනුකම්පාවෙන් මම ඇසීමි.
“අරන් ඇවිත් කියලා කමල් අයියා කිව්වා…එයා ඊයේ හවස ගියා කිව්වේ බලන්න…කන්නේ බොන්නෙත් නැහැලු…රුවින්දිලු සාත්තු කරන්නේ…”
තරුෂි කියූ දෙයින් මා සිත සියුම් ඊර්ෂ්‍යාවකින් හිරි වැටී ගියේය. යටි තොල්පට සපාගෙන මම වහා ඉවත බලා ගත්තේ මා මුහුණේ යම් වෙනසක් ඇති වූවා නම් එය තරුෂිට පෙනෙනු ඇතැයි සිතාය.
“දුක හිතුණාද…? ඒ ගැන ඒ තරම් හිතන්න යන්න එපා…එයා කොහොමත් ඔය ගෙදරට යන එන කෙනානේ…”
මා සිත හඳුනා ගත්තාක් මෙන් තරුෂි කීවේ සිත සැනසුමට මෙනි.
“එයා ඉස්කෝලේ නොයා…එහේ ඉඳන් එයාගේ ආවතේව කරනවද එතකොට…?”
කෝපය මෙන්ම ඊර්ෂ්‍යාවත් නොමනාපයත් මුසුව මම ඇසීමි. තරුෂි උස් හඬින් සිනහසෙන විට මම ඈ වෙත හෙළුවේ නොපහන් බැලමකි.
“මට රවන්න එපා ඉතින්…එයා එහේ නැවතිලා ඉන්නේ නැහැ මං හිතන්නේ…ඉස්කෝලේ ඇරිලා ඇවිත් බලලා යනවා ඇති…එයා දන්න හෙදකම්…තේකක්වත් හදා ගන්න දන්නැතිලු…”
තරුෂිගේ හඬේ වූයේ උපහාසය මුසු බවකි.
“ඔයා කොහොමද දන්නේ…?”
“ඊයේ කමල් අයියා එහෙ ගිහින්ලුනේ…රුවින්දිත් ඒ වෙලේ ඉඳලා…ගෙදරට ආපු මනුස්සයෙක්ට තේකක් දෙන එක සිරිතක්නේ…මිස් කිව්වලු රුවින්දිට තුන් දෙනාටම එක්ක තේ ටිකක් හදන් එන්න කියලා…මේකි ගත් කටටම තොඳොල් වෙලා කිව්වාලු…අනේ නැන්දී…මං තේ හදන්න දන්නේ නැහැනේ…කියලා…”
තරුෂි රඟපාමින් එය කී ආකරයට මා මුවින් සිනහවක් පිට පැන්නේය.
“අම්මේ…ඇති යාන්තම් හිනාවක් ආවා…”
ඈ කීවේ අස්වැසිල්ලක් ලද්දාක් මෙනි. සැබෑවටම මා සිතට යම් සැහැල්ලුවක් දැනිණි.
“බලන්න යන්න විදියක් නැහැනේ…”
මම යළිත් කීවේ අලුතින් ඇති වූ ශෝකී හැඟීමෙනි.
“කොහොමද යන්නේ…? ඔයාට කොහොමත් එන්න බැහැනේ…අනික මිස් බලයි මොකද අපි ආවේ කියලා…මිස් නැතත් රුවින්දි ඉන්නවානේ…”
ඇගේ නම සිහි කරන විටත් මා සිත සියුම් ඊර්ෂ්‍යාවකින් පිරී යයි.
“හ්ම්ම්…ලියුමක් වත් ලියලා කමල් අයියා අතේවත් යවන්න තිබුණා නම් නේද…?”
“අම්මෝ…ඒක නම් කරන්න එපා…මිස්ට අහුවුණොත් එහෙම ඇපත් නැති වෙයි…”
ඈ කී දේ සැබෑවක් යැයි වැටහුණු බැවින් මම එම අදහස සිතින් අයින් කර දැමුවෙමි. එදින සවස ගිම්හාන රජිව් බලන්නට යන බව කී නිසා මම සිත නිදහස් කොට ගත්තේ ඔහු හා පවසන්නට බොහෝ දේ ගිම්හාන හා පවසමිනි. ඉන් මා සිතට දැනුනේ යම් අස්වැසිල්ලක් වුවද එය වැඩි වේලාවක් මා සිතේ රැඳුණේ නැත. පාසල නිමා වීමට තිබුණේ තව සුළු මොහොතක් පමණි.
“මංදාකිණි අක්කා ඉන්නේ මේ පන්තියේද…?”
කුඩා පන්තියක ගැහැණු ළමයෙකු පැමිණ බිත්ති කණ්ඩියේ එල්ලී විමසන විට මම තිගැස්සී ගියෙමි.