Kehelbaddara Padme – බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට පසුගියදා ලබා දුන් තර්ජනාත්මක දුරකථන ඇමතුම ලබා දුන්නේ තමා විසින් නොවන බව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා පවසනවා.
ඒ අනුව, ස්වර්ණවාහිනී Live@ Sri Lanka සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, පසුගියදා ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ තමාගේ මිතුරෙක් වන බවයි.
තමාට අයත් වසා දමා තිබූ හෝටලයකට පොලිසිය පැමිණීම සම්බන්ධයෙන් තමාගේ මිතුරෙකු මාර්ගයෙන් පොලිසියෙන් විමසීමක් කළ බවද, එහිදී තමා එම දුරකථන ඇමතුමට සවන් දීම පමණක් කළ බවද, තමන් විසින් තර්ජනය කරන බවට පවසන්නේ නම් තමාගේ කටහඬ සමග එය පරීක්ෂා කර බැලිය හැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
තමාගේ නම අපරාධකාරයෙක් ලෙස සටහන් වී අවසන් බවත්, තමා පටන් ගත් දේ අවසන් කර ඇති බවත්, තමාට පාඩුවේ සිටීමට ඉඩ ලබා දුනහොත් පාඩුවේ සිටින බවයි ඔහු පවසා ඇත්තේ.
තමාට පහර දුන්නොත්, කා හට වුවත් තමාද පහර දෙන බවයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.



