More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 44

    Hima Mal Renu හිම මල් රේණු – 44

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    කාලය ගත වන බවක් මට නොදැනේ. එය එක් තැනක නැවතී ඇති සැටියකි. ගමේ කියා මා කැඳවාගෙන විත් දින ගණනක් ගත වී ඇති මුත් මට එය නොදැනිණි. අඳුරට පමණක්ම හුරු වූ මා හට කාලය පිළිබඳව හැඟීමක් හෝ මා සිටින්නේ කොහිද කියා හෝ හැඟීමක් දැනුණේම නැත.

    “මෙහෙ ඉද්දී ඔයාට සනීපයක් දැනෙයි…”

    මා පැමිණි දා ආච්චි අම්මා මා හිස අත ගාමින් කීවාය. එය එසේ වූවා නම් හොඳ යැයි කියා මටද සිතිණි. මා පැමිණි දා මගේ මිතුරෙකුගේ අම්මා යැයි කී අයෙකු ඒ මාධව යන අයගේ මවය. මා වැළඳගෙන හඬන්නට වන විට මට දැනුණේ අපහාසුතාවයකි. ඔවුන් මට සෙනෙහසක් දක්වන්නට ඇති වුවද කුමක් කිව යුතුද කියා හෝ එයට කුමන ප්‍රතිචාරයක් දක්වන්නටද කියා හෝ හැඟීමක් ඒ මොහොතේ මට නොදැනිණි. ශ්‍රීමා නැවතී සිටින්නේත් මෙහි බව ඈ මා හා කීවාය. ඇයට නැඟණියක් සිටී. ඇගේ නම සිඟිතිය.

    “මෙහෙම හරි ජීවිතේ බේරුණානේ ලොකු මැණිකේ…”

    මා බලන්නට පැමිණි ශ්‍රීමාගේ අම්මා එසේ කීවාය. එවිට මා සිතේ ඇති වූයේ අසරණ හැඟීමකි. මෙලෙස ජීවත් වන්නට සිදු වූවාට වඩා එදින මා මිය ගියා නම් හොඳ බව මට සිතෙන බව මම ඔවුන් හා පවසන්නට නොගියෙමි.

    “ඔයාට මාවත් මතක නැද්ද ආරාණ්‍යාක්කේ…”

    එසේ ඇසුවේ සිඟිතිය. ඇයව තියා මට මාවද මතක නැත.

    “අනේ නැහැ සිඟිති…ආරාණ්‍යාක්කාට කාවවත් මතක නැහැ…”

    මා වෙනුවට පිළිතුරු දුන්නේ ශ්‍රීමාය.

    “අයියෝ…එතකොට…අ..වී…”

    සිඟිති අසන්නට ගිය දේ කිසිවෙකු විසින් වළක්වන්නට ඇතැයි මට සිතුණේ ඇගේ හඬ එක්වරම නෑසී ගිය නිසාය.

    “සිඟිති…සිඟිති…ඔයා මොකක්ද අහන්න ගියේ…?”

    කුහුළින් මම ඇසුවද එයට ලැබුණු ප්‍රතිචාරයක් නැත. සිඟිති මා අසළ නොවීය. මා සිතේ ඇති වූයේ පුදුමයකි.

    “කෝ සිඟිති…?” මම ශ්‍රීමාගෙන් ඇසුවෙමි.

    “එයා දිව්වා ඔන්න ඔහාට…ලොකු මැඩම්ගේ පන්ති ඉවර වෙලානේ…ළමයි එක්ක සෙල්ලම් කරන්න දුවන්න ඇති…” ශ්‍රීමා කීවාය.

    “හ්ම්ම්…” මම දිගු හුස්මක් ඇද්දෙමි.

    මගේ මෙහි සිටින මිතුරු මිතුරියන්ද මා බැලීමට පැමිණියහ. ඒ අතර මාධව, භාෂිත සහ සිතාරා වූ බව කීවේ ශ්‍රීමාය.

    “අපි ඔයාව බලන්න ආවා…ඒත් ඔයාට සිහිය නැහැ…”

    ඒ කවුද කියා මම අසන විට ශ්‍රීමා කීවේ ඒ භාෂිත බවය.

    “යාළුවෝ ආවා කියලා නැන්දා මට කිව්වා…” මම කීවෙමි.

    “හ්ම්ම්…එකට හිටපු අපිවත් අමතක වෙන්න තරම් මෙහෙම දෙයක් වෙයි කියලා අපි නම් හිතුවේ නැහැ…”

    ඒ මාධව යැයි මම අනුමාන කළෙමි. දැන් දෙදෙනාගේ හඬවල් මට වෙන් වෙන්ව හඳුනා ගන්නට හැකිය.

    “මට මාවවත් මතක නැහැ…”

    මා හඬ බිඳී ගිය අතර දෑසින් කඳුළු ගලා යන්නට වන විට වහා වහා ඒවා පිස ගතිමි.

    “ඔයා කවදාවත් අඬපු කෙල්ලෙක් නෙවේ…අනික් අයවත් හිනස්සපු කෙනෙක් ආරාණ්‍යා…” ඒ හඬ භාෂිතගේය.

    “ඒ හිංදා වෙන්නැති මට දැන් අඬන්න වෙලා තියෙන්නේ…”

    සියල්ල මොහොතක නිහැඬියාවක ගිළී ගිය සෙයකි.

    “කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා…ඒ කාලේ අපි මොනතරම් සතුටින් හිටියාද…”

    භාෂිත ගේ හඬේ ශෝකයක් තැවරී ඇත.

    “මේ හැමදේම මගේ වරදනේ…”

    “ඔයාගේ වරද…?” භාෂිත ගේ උස් හඬින් මම තිගැස්සී ගියෙමි.

    “ඔ…ඔව්…ම..ම වාහනේ අරන් යද්දිනේ මේක වෙලා තියෙන්නේ…”

    යළි නිහඬතාවයක්. මා කුමක් ඇසුවත් කුමක් කීවත් එයට ප්‍රතිචාර දක්වන්නට පෙර පැතිර යන මේ නිහඬ බව මා සිතේ ඇති කළේ නොසන්සුන්තාවයකි.

    “හ්ම්ම්…අපි දැනන් හිටියේ නැහැ එහෙම දෙයක්…”

    සුළු මොහොතකට පසු භාෂිත කීය.

    “වෙච්ච දේ වුණා…අපි ඉක්මනින් සනීප වෙන්න බලමු…” ශ්‍රීමා කීවාය.

    මගේ අතීතය මෙන්ම මා පිළිබඳවද මට වැඩි යමක් ඔවුන්ගෙන් දැන ගැනීමට හැකිවේ යැයි මා සිතුවද නොයෙකුත් දේවල් මම ඔවුන්ගෙන් ඇසුවද මට පිළිතුරු ලැබුණේ වචන තෝරා බේරාගෙන පරිස්සමට බව මට වැටහී ගියෙන් මා සිතේ ඇති වූයේ කළකිරීම් මුසු බවකි. ඔවුන් මට නොපවසන යමක් මෙහි ඇතැයි මම අනුමාන කළෙමි. එදින මා නින්දට වැටී සිටිනාතරේ තිගැස්මෙන් යුතුව අවදි වූයේ බියකරු සිහිනයක් දැකීමෙනි.

    “දුව…දුව…ඇයි මොකද…හීනයක් දැක්කද…?”

    මා අසළ සිටි නැන්දා කළබල වූ හඬින් විමසන්නට වූ අතර මම මහා හඬකින් කෑ ගැසූ බවක් මා දැන ගත්තේ පසුවය. මුළු ගතම දහදියෙන් නැහැවී තිබූ අතර මගේ හඬින් බියපත්ව එහි පැමිණි ශ්‍රීමා පෙවූ වතුර විදුරුව මම එක හුස්මට පානය කළෙමි.

    “නිදා ගන්න දුව…ඒක හීනයක්…”

    නැන්දා පැවසුවේ මට පවන් සළමිනි. මම සෙමෙන් හිස කොට්ටය මට තබාගෙන දෑස් පියා ගත්තේ තවමත් ගැහෙන හදින් යුතුවය. මම මා දුටු බියකරු සිහිනය යළිත් මෙනෙහි කරන්නට වූයෙමි. මා දුටුවේ කළු පහැති දියරයක් මත වැතිර සිටින රූපයකි. ඒ කවුද කියා නිනව් නැති වුවද සමහරවිට ඒ මා මුහුණ දුන් අනතුර පිළිබඳව අපහැදිලි මතකයක්ද නැත්නම් සිහිනයක්ද කියා මට ස්ථීරවම පැවසිය නොහැකිය. කිසිවෙකු මට සිදුවූ දේ පිළිබඳව නිසි තොරතුරක් නොපවසන්නේ ඉන් මගේ මනසට යම් බලපෑමක් සිදුවනු ඇතැයි කියා වන්නට ඇති මුත් එලෙස නොපැවසීමෙනුත් සිදුවන්නේ මා මනස තව තවත් ව්‍යාකූලත්වයට පත් වීම බව ඔවුනට නොවැටහෙන්නේද…?

    “නැන්දේ…”

    නිදාගන්නට උත්සාහ කළද නින්දක් මා වෙත නොවූ නිසා මම පහත් හඬින් නැන්දා ඇමතීමි.

    “හ්ම්ම්…”

    නැන්දාත් අවදියෙන් බව මට වැටහිණි. මම ඇගේ නින්දටත් බාධා පමුණුවා ඇත.

    “ඔයාලා මට නොකියන මොනවා හරි තියනවා…ඇත්තටම මොකක්ද සිද්ද වුණේ…?”

    “ඔයාට නොකියන මොකුත් නැහැ දුව… වැඩිපුර හිතන්න එපා…”

    “හිතන්න එපා කිව්වාට…නොහිතා කොහොමද…? මට හිතෙනවා…මට මොකද වුණේ කියලා මට කල්පනා වෙනවා…වෙලාවකට මට එක එක රූප මැවෙනවා…ඒත් මං දන්නේ නැහැ ඒ කවුද කියලවත්…ඔයාලා මට නොකියන්නේ මට පිස්සු හැදෙයි කියලා හිතලාද…?”

    “අනේ…අනේ…ළමයෝ…එහෙම වෙන්නේ නැහැ…ඔයාගේ මනසට විවේකය ඕන..ඩොක්ටර් කිවේ ඔළුව වෙහෙසන්න එපා කියලනෙ…වැඩිපුර නොහිතා මනසට නිදහසේ තියෙන්න ඉඩ අරින්න…එතකොට ඔයාට හැමදේම මතක් වෙයි…රබර බෝලයක් වුණත් බලෙන් දිය යට ඔබන්න බැහැ…වගේ තමා අපිට බලෙන් මොකුත් කරන්න බැහැ…මනසට නිදහස ඕන…එතකොට ඉබේම මතක් වෙයි…”

    නැන්දා එසේ කීවද මා නොසිතා සිටින්නේ කෙසේද.? පාසල් නිම වී පැමිණි විගස සිඟිති මා සොයා දිව ආවාය. ඇගේ තොරතෝංචියක් නැති කතා අසන්නට මම ප්‍රිය කළා සේම ඇගේ සමාගමය මා සිතට යම් සහනයක් ගෙන ආවේය.

    “එදා අර ඔයා මොනවද කියන්න ගිහින් නැවැත්තුවේ…?”

    මම හදිසියේ සිහි වූ නිසා ඇසුවෙමි. ඇයට එය මතක නැති බව මට පෙනිණි.

    “කවද්ද…මට මතක නැහැ…”

    ඈ එසේ කියන්නට ඇත්තේ සැබෑවටම යැයි මම විශ්වාස කළෙමි.

    “මට වගේම ඔයාටත් අමතක වෙලාද…?” මම විහිළුවට මෙන් ඇසීමි.

    “සිඟිති…අන්න අක්කා තේ හදලා…ගිහින් බොන්න…”

    එවිට එහි පැමිණි නැන්දා කියන විට ඈ දිව යනු මට දැනිණි. නැන්දා උණුසුම් තේ කෝප්පයක් මා අත පත් කළාය.

    “මොනවද සිඟිති කියන්නේ…?”

    “එයත් මේ ගෙදර අනික් අය වගේම තමා… එක්කෝ සිඟිතිට මොකුත් කියන්න එපා කියලා ඇති…නැත්නම් එයා මොනවා හරි කියන්න යද්දී කවුරු හරි එයාට කතා කරලා කතාව මඟාරින්න හදනවා…”

    මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

    “ඒ නොදරුවා මොනවා දන්නවද ළමයෝ…”

    “මෝරපු මිනිස්සුත් හංගන්න හදන එකනේ වැඩේ…”

    “හංගන්න දෙයක් මෙතන නැහැ…මොනවා හංගන්නද…?”

    “ඒකම තමා මාත් අහන්නේ…මට නොකියන මොනවා හරිම තියනවා…”

    “අනේ මන්දා…” නැන්දා සුසුමක් හෙළමින් කීවාය.

    “අනේ මන්දා කියන එක උත්තරයක් නෙවේනේ…මට මේ හැමදේම දැනගන්න අයිතියක් තියනවා…ඇයි කියන්න බැරි…මම කොහොමද ඇක්සිඩන්ට් වුණේ කියලා…කොහේද ගියේ…මොකේද හැප්පුණේ…? මේ හැමදේම මට අභිරහසක්…”

    “ඔයාට විතරක් නෙවේ…ඔයා එදා කොහෙද ගියේ කියන එක අපිටත් අභිරහසක්…කවුරුත් දන්නේ නැහැ ඒ ගැන…ඒ නිසා අපෙන් ප්‍රශ්න අහල වැඩක් නැහැ…ඔයා ඉක්මනට සනීප වෙලා අපිට මේ හැමදේම කියන්න…”

    මා තිගැස්මට පත් කරමින් නැන්දා කීවේ යම් තරමක නොමනාපය මුසු හඬකින් බව මට පැහැදිළිවම වැටහිණි. මේ ඇසූ දෙයින් සිදු වූයේ මා තව තවත් අවුලට පත් වීම මිස සිත සහනයට පත් වීමක් නොවේ.

    ***** ***** ****** ***** ***** ****** *********** ***** ****** ***** ***** **
    ගෙවී යන දවස් සෑම විටම ඒකාකාරී විය. කළ යුතු දෙයක් නොමැතිව මම බොහෝ විට ශ්‍රීමා සමඟ හෝ නැන්දා සමඟ මිදුල පුරා ඇවිද්දේ ඔවුන්ගේ ආධාරයෙනි. එසේත් නැත්නම් මම මිදුලේ තබා දුන් අසුනක් මත හිඳගෙන පරිසරයෙන් ඇසෙන විවිධ ශබ්ද වලට සවන් යොමා ගෙන හිඳ සිටියෙමි. මෙහි විවිධ වර්ගයේ කුරුල්ලන්ගේ නාද රටා ඇසෙයි. සමහර විටෙක පරිසරය ඉතා නිහඬය. එහි කෙතරම් නිහඬ බවක් වී දැයි කිවහොත් මා හිඳ සිටි අසුනේම නින්දට ගිය අවස්ථා බොහෝය. එක් දිනක් නැන්දාත් මාත් මිදුලේ හිඳ සිටියෙමු. එය සැඳෑවක් බව ඈ මා හා පැවසුවාය. අප හිඳ සිටි තැනින් දැනුණ සිත පහන් කරවන සුලු සුවඳක් නාස් පුඬු සිප ගන්නා විට මම එයට ඉව ඇල්ලීමි. එය කුමන සුවඳක් දැයි කියා මට සිහියට නගා ගැනීම අපහාසු විය.

    “මොකක්ද ඒ සුවඳ…?” මම නැන්දා විමසීමි.

    “ඒ තමා සේපාලිකා මල්…දැන් තමා මල් පිපී ගෙන එන්නේ…ඔයා ආසයි ඒ මල් වලට…ඉන්න මං මලක් කඩලා දෙන්නම්…”

    ඈ එසේ කියා මා අතින් අල්ලාගෙන මගේ අත්ල මත යමක් තබමින් කීවේ සුවඳ බලන ලෙසය. මම සෙමෙන් එය නාසයට ළංකර බලන විටම ඒ සුවඳ හරහා මා මනස හරහා ඇදී ගිය කුමක් හෝ දෙයක් නිසා මම තිගැස්සී යන විට මා අත්ල මත වූ මලද මා අතින් ගිලිහී යන්නට ඇත.

    “ඇයි දුව මොකද වුණේ…?”

    නැන්දා ගේ හඬේ වූයේ කළබලයකි. එක වරම සිදුවූයේ කුමක්ද කියා මටද සිතා ගන්නට අපහසු විය.

    “ම…ම…දන්නේ නැහැ…එක පාරම මොකක්ද වුණා…කවුරු හරි කෙනෙක් මං ළඟ ඉන්නවා වගේ දැනුණා…”

    “ඔයා ළඟ…ඒ…කවුද…?”

    “අනේ…මං කොහොමද දන්නේ…කවුද කියලා…උස කෙනෙක් වගේ…අනේ මංදා…”

    තැති ගත් හඬකින් මම කීවෙමි.

    “මීට කළින් එහෙම වෙලා තියනවද…?”

    “අනේ මන්දා…මීට කළින් නිතර නිතර එක එක ඒවා පෙනුණා…ඒත් අද වගේ නෙවේ…අද හරි අමුතුයි…හරියට ඒ කෙනා මේ දැනුත් මං ළඟ ඉන්නවා වගේ…කවුද නැන්දේ ඒ…?”

    මම පුදුමයෙන් ඇසීමි.

    “ඔයාගේ මතකේ..ඔයාට ඉක්මනට ඒක ලැබෙයි දුව…”

    “ඇයි ඔයා එක පාරම එහෙම කියන්නේ…?”

    “ඔයා සේපාලිකා මල් වලට හුඟාක් ආසයිනේ…ඒ මල් එක්ක ඔයාගේ යටපත් වෙලා තිබුණ මතකය උඩට මතු වෙන්න ඇති…ඉස්සර සිද්ද වුණ දෙයක් ගැන ඔයාට දැනෙන්න ඇති…එහෙම දේවල් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්…අපිට වුණත් සමහර සුවඳ වල් දැනෙනකොට අතීතයේ යම් යම් දේවල් මතක් වෙනවා…ඒක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්…”

    “ඔයාට හිතෙනවද…මගේ මතකේ ඉක්මනට ලැබෙයි කියලා…?”

    “ඔව්…දුව…මට එහෙම හිතෙනවා…”

    “ඒත්…නැන්දා…මට පෙනුණේ කාවද…?”

    “ඔයාගේ යාළුවෙක් වෙන්නැති…භාෂිතත් නිතරම මෙහේ ආවනේ…”

    “භාෂිත…! එයා හුඟාක් උස කෙනෙක්ද…?”

    එයට පිළිතුරක් ලැබෙන්නට මඳ වේලාවක් ගත විය.

    “උසයි…ඒත් හුඟාක් නෙවේ…”

    ඒ පිළිතුරෙන් මා සිතට සහනයක් වන් හැඟීමක් දැනුණේ මන්ද කියා මම පුදුම වීමි. ඒ භාෂිත නොවේ නම් කවුරුන්ද..? මගේ පැරණි මතකයන් මා මනසින් මුළුමනින්ම පහව ගොස් නැත. එය තාවකාලිකව යටපත් වීමක් පමණක් බව දොස්තර මහතාද පවසනු මට ඇසී තිබිණි. සමහර විට යම් යම් දේවල ඇඳී මැකී යන්නේ ඒ නිසා විය යුතුය.

    එක් දිනක් නැන්දා මා කැඳවාගෙන වත්ත පහළට පැමිණියාය. අවට තිබෙන දේවල් ඈ මට විස්තර කරන්නට වූවාය. දිය පහරක් ගලා යන හඬ මා සවනට ඇසිණි. සුළඟ හැමුවේ අමුතු සිසිලසකිනි.

    “අපි දැන් ඉන්නේ දොළ ළඟ…ඉස්සර ඔයා මෙහේ ඉන්න දවස් වල කොයි වෙලෙත් ඒ දණ්ඩ උඩ ඉඳන් වතුරට කකුල් ඔබන් ඉන්නවා…ගෙදරට එද්දී කකුල් තැම්බිලා සීතලට…”

    නැන්දා ගේ සිනා හඬ මා සවන් වැකිණ.

    “මෙතන ලොකු කුඹුක් ගහක් තියනවා…දොළ පාරෙන් එහා පැත්තේ කුඹුරු යාය..ඊට එහා ශ්‍රීමාලාගේ ගෙවල්…ඊට පිටි පස්සෙන් කඳු ගැටේ…”

    නැන්දා එය විස්තර කරන විට තවත් අමුතු යමක් මා තුළ සිදු විය. මා හද ගැස්ම පවා වේගවත් වූ අතර මම ඇගේ අත තරයේ අල්ලා ගතිමි.

    “ඇ….ඇයි…දුව…?”

    “අනේ නැන්දේ…ඒ ටික ආයේ කියන්න…අර කුඹුරු යායට එහා තියෙන්නේ ලස්සන ලොකු ගෙයක්ද…මට මතකයි වගේ…”

    “නැහැ..දුව…ශ්‍රීමාලාගේ ගේ කටු මැටි ගෙයක්…ඒක හදලා තියෙන්නේ මැටි වලින්…ලොකු ගෙයක් නෙවේ…”

    මම දිගු හුස්මක් ඇදීමි. එසේ නම් මට දැනුණේ කුමක්ද.?

    “මට නිකන් ඒක දැනුණා වගේ…”

    “ඔයාගේ මතකේ හිමින් හිමින් හිමින් එනවා වගේ…”

    “ඒත් ඔය කියනවා වගේ තැනක් නෙවේ නම්…මට දැනුණේ මොකක්ද…? ඔයා එහෙම තැනක් දන්නවද…?”

    “එහෙම දෙයක් මම දන්නේ නැහැ…ඒත් මම දැකලා තියනවා…”

    “ඒ කොහේද නැන්දා…?” මම උනන්දුවකින් ඇසීමි.

    “ඔයාගේ කාමරේ…ඔයාගේ ඇඳ ඉස්සරහා බිත්තියේ එල්ලලා තියෙන වෝල් ආර්ට් එක…” ඒ ඇසූ මම පුදුමයට පත් වීමි.

    “ඒ….ඒ…එතකොට…ඒක චිත්‍රයක්ද…?”

    “ඔව්…ඒක දිහා ඔයා ගොඩාක් වෙලා බලන් ඉන්න එක පුරුද්දක්…ඒ නිසා ඔයාගේ මනසේ ඒක ඇඳිලා ඇති…”

    “අනේ…” මට කියවිණි.

    “අපි යමු…ටිකක් හරි මතකයක් තියෙන එක ගැන අපි සතුටු වෙමු….”

    නැන්දා මා අතින් අල්ලා ගනිමින් කීවාය.

    -හෙටත් හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page