NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 08

Hima Mal Renu හිම මල් රේණු – 08

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

මම නිවසට ගොඩ වන විටම නංගී උඩු මහලේ සිට පහළට දිව ආවේ ඈ අලුතින් මිලදී ගත් ගවුමත් හැඳගෙනමය.

“ලොකූ ….මේ…ලස්සනයිද..? ”

ඈ වටයක් කැරකී මා ඉදිරියේ සිට ගත්තේ ගවුමේ හැඩ පෙන්වමිනි. තද රතු පැහැයෙන් යුත් පුළුල් කරක් සහිත දණ හිස තෙක් දිගු ගවුමට ඈ දිස් වූයේ බෝනික්කෙකු ලෙසිනි. ඇගේ දෑස්වල වූ දිලිසීම සතුට නිසා ඇති වූවක් නිසා මා සිතේ ඇති වූයේ අනුකම්පා මුසු හැඟීමකි.

“ෂා ! හරිම ලස්සනයි නංගී…ඔයා හෙට රෑට අඳින්නේ ඕකද…? ”

මම ඈ අගය කරමින් කීවෙමි.

“ඔව් ලොකූ….ඇත්තටම ලස්සනයි නේද…?”

“ඔව් අනේ…ඇත්තටම ලස්සනයි…හැබැයි ඉතින් අපිට මෙයාව පරිස්සම් කරන්න වෙයිද දන්නැහැ…”

“ඒ… මොකෝ..? ”

“ඇයි ඉතින් හෙට පාර්ටියට බෝයිස්ලාත් එනවා ඇති නේ….”

මම විහිළු කළෙමි.

“අනේ…ලොකූ…”

ඈ ගවුමේ පැහැයටම මුහුණ රතු කරගෙන පුංචි අම්මාගේ කාමරයට දිව ගියාය. නංගී පුංචි අම්මා අසළ සිටින විට හැසිරෙන විදියත් ඈ අසළ නැති විට ඇගේ හැසිරීමත් දෙයාකාරය. ඈ මට හිතවත් හෝ ලෙංගතු නොවුවද තව වරෙක එය එසේ නොවේ යැයි හැඟුණු අවස්ථාද බොහෝ විය. පුංචි අම්මා ඇගේ සිතට විෂ වපුරනවා යැයි කියා මට සිතුණේ වරක් දෙවරක් නොවේ. ඈ නොවූවා නම් මාත් නංගීත් අතර මීට වඩා හොඳ අන්‍යොන්‍ය බැඳීමක් ඇති වීමට බොහෝ විට ඉඩ තිබුණා යැයි කියා මට සිතේ. ගුණතුංග මාමා සමඟ කතා බහ කරමින් තාත්තාද නිවසට ගොඩ වන විට මම සෙමෙන් තරප්පු පෙළ නැංගෙමි.

“චූටි…එන්න තේ…බොන්න…”

නැන්දාගේ උස් හඬ මා පසුපස ගලා ආ අතර ඈ දැන් මගේ තේ කෝප්පයත් රැගෙන උඩු මහලට පැමිණෙන බව දන්නා නිසා මම ආපසු නොහැරීම මගේ කාමරයට පැමිණියෙමි. පොත් ටික මේසය මත තබා මම සඳළුතලයට පිවිස එහි තබා තිබූ අසුනක හිඳ ගත්තේ කෙඩෙත්තු ගතිනි. සිහිල් සුළඟක් ගත සිප හමා ඇදෙන විට මා ගතට මෙන්ම සිතට ද දැනුණේ නැවුම් බවකි. විලෝ පඳුරේ දඟ කරන කොණ්ඩ කුරුළු ජෝඩුව අද පෙනෙන්නට නැත. නැන්දා මා වෙත පැමිණෙනු දැක මම ඇයට සිනහාවක් පෑවෙමි.

“වැඩි වැඩියෙන් ලැබේවා…ලබන ආත්මයේත් අපි එක්කම ඉපදේවා…!”

මම ඈ දිගු කළ තේ කෝප්පය අතට ගත්තේ එසේ කියමිනි.

“නැතුවට කමක් නැහැ….”

නැන්දා කීවේ බොරු අමනාපයක් මවා පාමින් මා ඉදිරියේ වූ අනික් අසුනේ හිඳ ගනිමිනි.

“ඔන්න ඉතින් බැහැ කියන්න එපා….ඔයා නැත්නම් කවුද මං ගැන බලන්න ඉන්නේ…”

ඈ එවිට මුව ඇද කළාය.

“බටර් නොගා ඉන්නවා ළමයෝ… මේ…ඒක නෙවේ…දැන් හෙට මොකක්ද අඳින්නේ …? නංගි නම් ලස්සන ගවුමක් අරන්…”

නැන්දා කතාව වෙනතකට යොමු කරමින් විමසුවාය.

“ඔව්…මං දැක්කා….ඒක නම් ලස්සනයි නේ…?”

“හ්ම්ම්….දැන් ඔයා මොකක්ද අඳින්නේ…?”

“අර ලා…කහ පාට දිග ගවුම …ඒක ළඟඳිනේ මැහුවේ…ඒක අඳින්නම්…”

“හ්ම්ම්….ඒක නම් හොඳයි තමා…හැබැයි ඉතින් හෙට එතන්ට එන අය නම් භාගෙට ඇඳන් එයි…”

නැන්දා උපහාසය මුසුව කීවාය.

“ඔව්.ඉතින් ….ඒක නම් එහෙම තමා.. මේක අපේ ගම නෙවේනෙ…”

ඇගේ කතාවට එකඟ වෙමින් මම කීවෙමි. මා දිගට ගවුම් අඳින්නට හුරු වූයේ ආච්චි අම්මා නිසාය. කුඩා කල මගේ ගවුම් මැසුවේ ආච්චි අම්මාය. ඈ අප දෙදෙනාටම දණහිසෙන් පහළට දිගු ගවුම් මසා දුන්නද පුංචි අම්මා නංගීට ඒවා ඇන්ද වූ බවක් මා මතකයේ නැත. ඈ කෙටි ගවුම් හෝ කොට කළිසම් නංගීට මිලදී ගෙන දුන්නේ ආච්චි අම්මා රිදවීමට මෙනි. මේ නිසා ආච්චි අම්මා සිටියේ නොසතුටෙනි. අදටත් මා කැමති දණහිසෙන් පහළට ඇඳුම් අඳින්නටය.

“ගිහින් බලන්නකෝ…”

නැන්දා මා අතීතයෙන් වර්ථමානයට කැඳවමින් කීවාය.

“මං නම් යන්න ආස නැහැ අප්පා…එපා වෙනවානේ…”

නොසතුටෙන් මම කීවේ සැබෑවටමය.

“යන්න…යන්න…ගිහින් බලන්න…තනියම නෙවේනේ යන්නේ…එහෙම නම් මාත් එපා කියනවා…ඔයා යන්න බැහැ කිව්වොත් තාත්තාගේ හිතටත් හරි නැති වෙයි… ඕවටත් ගිහින් බලන්න ඕන…ඒකත් අත්දැකීමක් නේ …”

“හා ඉතින්…ඔයා කියන නිසා යන්නේ…” හුස්මක් අදිමින් මම කීවෙමි.

********** ****************** *********************** ******************
මා කවදාවත් ප්‍රිය සම්භාෂණ ප්‍රිය කල අයෙකු නොවෙමි. ගමේදී වුවද මා විවාහ උත්වයකට හෝ සහාභාගී වූයේ ඉඳහිට හෝ නැත්නම් නොයා බැරි නිසාම නම් පමණකි. මෙවන් රාත්‍රී සාදයකට සහභාගී වන්නේ පළමු වතාවට බව සැබෑ මුත් නිවසට වී සුව නින්දක් ලැබීමට තිබුණා නම් කියා මට බොහෝ වර සිතිණ.

“මේ ෆීල්ඩ් එකේ මෙහෙම නිතරම පාර්ටීස් තියනවා ලොකු දුව….අපි ඒවට ජොයින් වෙන්නම ඕන….මේක කාලා බීලා ජොලි කරලා එන්නම යනවා නෙවේ…අනෙක් අය දැන අඳුන ගන්න ඕන…..එකිනෙකා එක්ක මුහු වෙන්න ඕනා…..නැත්නම් අපි අතරමං වෙනවා…”

මගේ උදාසීන බව දැකදෝ අපි එන අතරේ තාත්තා කීවේය.

“මට තේරෙනවා තාත්තා….”

“ගිහින් බලන්නකෝ…බෝරින් වගේ නම් ගුණතුංග මාමා ඔයාව ගෙනත් ඇරළවයි…”

තාත්තා එසේ කියන විටම මම ඊට විරුද්ධ වූයේ ගුණතුංග මාමාව රස්තියාදු කිරීමට ඇති අකැමැත්ත නිසාය.

“මං ඉන්නම් තාත්තා…”

“අනේ ඔව් ලොකූ….ඔයා නැත්නම් මටත් පාළුයි…”

නංගී ඒ මොහොතේ කීවාය.

එය සමුද්‍රාසන්නයේ වූ තරු පන්තියේ හෝටලයක් විය. අපි එන විටත් බොහෝ පිරිසක් පැමිණ ඇති බව දැක මම පුදුම වූයෙමි.

“ගොඩාක්…අය ඉන්නවානේ මාවන්…”

පුංචි අම්මා තාත්තාට කීවාය.

“ලංකාවේ ඉන්න කෝටිපති බිස්නස්මන් ලා මෙතන ඇති…”

තාත්තා කීවේ නොසැළකිලිමත්වය.

“තාත්තිත් ඒ අතරේ ඉන්න එක ගැන මම නම් සතුටුයි…”

නංගී තාත්තාගේ බාහුව වටා දෑත යවමින් කීවේ උඩ පනිමිනි. පුංචි අම්මා අලුතින් මිලදී ගත් සාරියේ රැළි සැකසීමට උනන්දු වූවා මිස තාත්තා කෙරෙහි අවධානයක් යොමු නොකළාය.

අපි ඇතුළට පිවිසෙන විටම හෝටල් සේවකයෙකු විසින් අප පිළිගත් අතර අප වෙනුවෙන් වෙන්කර තිබූ මේසයක් වෙත අපව කැඳවා ගෙන විත් අපට අසුන් පැනවීය. ඒ සමඟම ශීත කළ බීමකින්ද අපට සංග්‍රහ කෙරිණ. මම අවට සිසාරා බැල්මක් හෙළුවේ නා නා විධ මිනිසුන් අතරේ අඳුනන කිසිවෙකුවත් සිටීද කියා දැක ගැනීමටය. නමුත් මේ කොන්ක්‍රීට් වනයේ මා හඳුනන අය කෙසේ සිටින්නද කියා අනික් අතට මට සිතිණ.

සුළු මොහොතකට පසු සංවිධායක මඬුල්ලේ කිහිප දෙනෙකු එකතුව පැමිණි අයට ස්තූති කරමින් කෙටි ස්තූති කතාවක් පවත්වා අනතුරුව සාදය ඇරඹුණ බව දන්වා සිටියේය. අප මේසය අසළට පැමිණි තාත්තාගේ මිතුරන් කිහිප දෙනෙකු ඔහු ඉවතට කැඳවාගෙන ගිය අතරේ පුංචි අම්මාද අසළක හුන් ඇගේ පැරණි මිතුරියක සමඟ කතාවට වැටී සිටියාය. නංගී වට පිට බලන්නට වූයේ ඇයට සරිලන මිතුරියක සොයා ගැනීමට මෙනි.

“මේ…ලොකූ…අපිත් අර කා එක්ක හරි ජොයින් වෙමුකෝ….හරී…….බෝරින් ලොකූ…”

ඈ මට රහසින් මෙන් කීවේ නුදුරින් වූ මේසයකට හිඳගෙන බීම බොමින් සිටි යුවතියන් සහ තරුණයන් කිහිප දෙනෙකු දැකය.

“දන්න කියන අය කවුරුත් නැතුව කොහොමද අනේ යන්නේ..?”

අදිමදි කරමින් මම කීවෙමි.

“ගිහින් අඳුන ගමු…”

ඈ අසුනින් නැඟී සිටිමින් කීවද මම පැකිළෙමින් හුන් තැනම හිඳ සිටිනා විට නංගී ඔවුන් වෙත පිය මැන්නේ චකිතයකින් තොරවමය. සුළු මොහොතකින් ඇයත් ඔවුන්ගේම කෙනෙක් බවට පත්ව සිටිනු මම දුටිමි. ඒ අතර තුර පුංචි අම්මා කතා බහ නවතා කොහේදෝ ඉසව්වක නෙත් රඳවාගෙන සිටිනු දැක මා දෑස් එම ඉසව්ව සොයා ලුහුබඳින්නට විය. සමහරවිට ඒ ඇගේ පැරණි මිතුරියක් දෙස වන්නට ඇතැයි මා සිතූ මුත් ඒ කාන්තාවක නොව පිරිමි අයෙකු බව දැක මම පුදුම වීමි. තාත්තාගේ වයසේම මෙන් පෙනුමක් සහිත ඔහු මනා කඩවසම්, උත්තුංග දේහයක් සහිත , අඩි හයක් පමණ උසකින් යුත් මුහුණ පුරා රැවුල වැවූ අයෙකු විය. දුර තියා දුටු ඔහු සැර පරුෂ අයෙකු මෙනැයි කියා බැලූ බැල්මට පෙනිණ. මමද ඔහු දෙස මොහොතක් වේලා බලා සිටියේ දෑස් ඔහු කෙරෙන් මුදවා ගන්නට නොහැකිවාක් මෙනි. පුංචි අම්මාද තවමත් ඔහු දෙසම බලා සිටින බව මම දුටුවේ නෙත් ඉවත රඳවා ගන්නා මොහොතේය. ඒ ඇගේ පැරණි පෙම්වතාදැයි සැකයක් මා සිතේ ඇති විය. ඔහු සිටියේ කිසියම් කාන්තාවක සමඟ පිළිසඳරේය. පුංචි අම්මා මෙවන් බැල්මකින් තාත්තා දෙසවත් බලා නොසිටින බව දැක මා සිතේ ඇති වූයේ පුදුමයක් මෙන්ම සැකමුසු බවකි. මා මුවට නැඟුණු උපහාසය මුසු සිනහාවෙන්ම මම පුංචි අම්මා දෙස බැලීමි. ඇයද නෙත් ඉවතට ගෙන මා සිටි දෙසට බැල්මක් හෙළන විට මා දෑස් සමඟ ගැටී ඈ තුළ තිගැස්මක් ඇති වූ බව මම පැහැදිළිවම දිටිමි. ඈ එසේ තිගැස්සුණේ මන්ද කියා පුදුමයකුත් මා සිතේ ඇති විය. ඈ වියළි සිනහාවක් මුව මත ඇඳ ගන්නා විට මම නොසැළකිලිමත් ලෙස ඉවත බලා ගතිමි.

“මිස්ටර් දරණියගල නම් තාම හැන්ඩ්සම්…එයා නම් වයසට යන්නේ නැහැ වගේ…”

පුංචි අම්මා සමඟ සිටි අය පවසනු මා සවන් වැකිණ. ඇගේ හඬ උස්ව තිබුණේ පසුබිමින් ඇසුණු සංගීතය නිසාය.

“දැරණියගල…”

මම ඒ නම සිතින් කීප වරක් මිමිණුවේ මතකයේ තබා ගැනීමටය. වටපිටාවේ පිඟන් එකිනෙක ගැටෙන හඬ, වීදුරු එකිනෙක ගැටෙන හඬවල්, කතා බස් මෙන්ම ඝෝෂාකාරී සංගීතයත් ඇරඹුණ නිසා මම අසුනින් නැඟී සිටියේ මඳක් පිටතට යාමටය. පසෙක වූ දොරටුවකින් මම කොරිඩෝවකට පිවිසියෙමි. එහි කිසිවෙකු පෙනෙන්නට නොසිටි අතර දැල්වී තිබූ ලා පැහැති විදුලි පහන් එළි වලින් කොරිඩෝවේ අඳුර පළවා හරින්නට නම් නොහැකි විය. මුහුදු සුළඟ ගත සිප හමා යන විට දැනුණේ සියුම් සීතලකි. පිටත කුඩා තණ පිටියකිනුත් තැනින් තැන ඝනව වැවුණු වැටකෙයියා පඳුරු වලින් මෙන්ම තැනින් තැන මනා පිළිවෙළකට සිටුවන ලද සුදු පැහැ අරලියා ගස් වලිනුත් අලංකාර වුවා සේම එහිද තැනින් තැන ලා කහ පැහැති විදුලි පහන් එළි දල්වා තිබුණේ අමුතු අලංකාරයක් ඇති කරලමිනි.
මුහුදේ රළ හඬ යාන්තමට මා සවන් වැකුණද ශාලාව තුළින් ඇසුණු ඝෝෂාකාරී සංගීතය නිසා එයද යටපත්ව ගියේය. අඳුරු කොරිඩෝවේ වූ වේවැල් අසුනකට බරදී මම රාත්‍රී අහසට නෙත් හෙළුවෙමි. මා සිටි තැනට තාරකා නොපෙනුණාද නැත්නම් අද අහසේ තාරුකා නොපිපුණාද කියා මට සිතා ගන්නට නොහැකි විය. නිවසට වී සිටියා නම් කියා මට සිතුණේ ඒ මොහොතේදීය. මම මඳ වේලාවක් එලෙස හිඳ සිටියෙමි. කුඩා උද්‍යානය දෙසින් ඇසුණු උස් සිනා හඬක් නිසා මගේ සිතුවිලි වලට බාධාවක් ඇති විය. මම සෙමෙන් දෑස් ඔසවා එදෙස බැලීමි. අරලිය ගහක් යට එකිනෙකාට තුරුළු වූ යුවළක් සිටිනු මා දෑසට හසු විය. මම ඔවුන් කෙරෙන් නෙත් මුදවා ගෙන ඉවත බලා ගන්නට සැරසෙන මොහොතේ ඒ කවුදැයි හඳුනා ගත් බැවින් මම වඩාත් වුවමනාවෙන් එදෙස බැලුවේ අසුනේ මඳක් ඉදිරියට නැඹුරු වෙමිනි. මා සිතුවේ මා දෑස් මා රවටා ඇතැයි කියා මුත් මට වැරදීමක් සිදුව තිබුණේ නැත.

“දෙවියනේ!…”

එසේ පිටවුණේ මා මුවින්ද නැත්නම් හදවතින්ද කියා මට සිතා ගන්නට නොහැකි විය. තරුණයෙකුට තුරුළු වී සිටියේ අන් කවරකු හෝ නොව නංගීය. මා හද ගැස්ම පවා නැවතුණ සෙයකි. ඈ තරුණයෙකු සමඟ මෙලෙස කුළුපඟව හැසිරෙන්නේ බොහෝ කලක් පටන් ඔහුව දැන හැඳින සිටියාක් මෙනි. තරුණයා මට පිටුපා සිටි නිසා මට ඔහු හඳුනා ගත නොහැකි වුවද නංගී හැඳ සිටි ගවුම නිසා නොවේ නම් මට ඇයවද මේ මඳ අඳුරේ හඳුනා ගත නොහැකි වනු ඇත. පුදුමයත් නොසන්සුන්තාවයත් මා සිත කළඹවා තිබූ සේම එහි, එම අඳුරු කොරිඩෝවේ ඔවුන් දෙස බලා සිටින්නේ මා පමණක් නොවන බව මා දැන ගත්තේ නුදුරින් වූ අසුන පසු පසට කරමින් කිසියම් අයෙකු නැඟී සිටින හඬ නිසාය. මෙතෙක් වේලා ඔහුද ඔවුන් දෙස බලා හිඳ සිට ඇති අතර ඔහුද මා මෙහි පැමිණ හිඳ ගන්නවා දකින්නට ඇතිවාට සැකයක් නැත. මා මුළින් ඔහු නොදුටුවේ මෙහි වූ අඳුර නිසාය. අඳුරේ හුන් ඒ රුව හඳුනා ගත් මා සිතේ ඇති වූයේ පුදුමයක්ද, තිගැස්මක්ද නැත්නම් සතුටක්ද කියා මට සිතා ගැනිමට අපහසු විය.

“අ..වී…ශ්.. ”

මම සිතින් ඒ නම මිමිණුවෙමි. ඔහු බොහෝ වේලාවක් එහි හිඳින්නට ඇති මුත් ඔහු මා දැක, දැකත් නිහඬව සිටියේ මන්ද..? ඔහු මා නොදුටුවා සේ ඉවත බලාගෙන මා පසුකර පියමනිමින් ඉවත ගියේ මා ඔහු දෙස මුව හයා බලා සිටින විටය. ඒ මුව මත ඇඳුණු සරදම් සහගත සිනහව මට මඳ අඳුරේ වුවද පෙනිණ.
මමද නැඟී සිටින්නට සූදානම් වන මොහොතේ නංගී අර තරුණයාට තුරුළු වී ශාලාව දෙසට පිය මනින බව දැක මම කම්පනයෙන් එම අසුනේම ගිලී ගියේ පිටත ආලෝකයෙන් මට ඔහුගේ මුහුණ හොඳ හැටි පෙනුණ නිසාය. පෙරටත් වඩා මා හද ගැස්ම වේගවත් වන්නට වූයේ ඒ තරුණයා අන් අයෙක් නොව ටෙලාන් බව හඳුනා ගත් නිසාය.

-හෙටත් සවස 5 ට මුණ ගැහෙමු-

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you