දරුවන් ජංගම දුරකතන ඇබ්බැහියෙන් මුදවමු – Mobile Phone Addiction
කොවිඩ් වසංගතයත් සමග මඟ හැරුණු ඉගෙනුම් ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීමට මාර්ගගත අධ්‍යාපන රටාවක් නිර්මාණය විය. මේ පසුබිම මත ළමයින් අන්තර්ජාලය ළංකර ගැනීමට පෙළැඹීමත් විද්‍යුත් උපාංග නිරතුරු භාවිත කිරීමත් දක්නට ලැබුණි. මාර්ගගත අධ්‍යාපනයෙන් බැහැර වෙලාවන්හිදිත් අසීමිතව ජංගම දුරකතනය හා කාලය ගත කරන දරුවන් තුළ ඒ ඇබ්බැහිය නිසාම හැසිරීමේ වෙනස්කම්ද විය. තවද ඇබ්බැහිය ඔඩු දිවීම නිසාද දරුවන් පිළිබඳව කණ වැකුණු කනගාටුදායක පුවත් කිහිපයක්ද මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. ඒ අනුව ජංගම දුරකතනය භාවිත කළ 15හැවිරිදි දැරියක් පියාගේ හදිසි කෝපය මත ජීවිතයෙන් වන්දි ගෙවීමත්, කොළඹ එක්තරා ජනප්‍රිය පාසලක ගුරුවරියන් සහ සිසුවකු සමඟ පැවැත්වූ සබඳතාද අන්තර්ජාලය හරහා ලැව් ගින්නක් සේ පැතිර යෑමට මුල් වූයේද දරුවන් විද්‍යුත් මෙවලම් සමඟ දක්වන දැඩි ඇබ්බැහියේ අනිටු පල ලෙසිනි.

මේ උදාවී ඇත්තේ දරුවන්ටත් මවුපියන්ටත් අභියෝගාත්මක අවදියක් වන අතර ළමයින්ට සියලුම දෙනාගේ ආදරය, කරුණාව, රැකවරණය අවැසිම මොහොතක්ය. දරුවන්ගේ සමාජ පරිසරය තුළ ඔවුන් කරන කියන දෑ මෙන්ම ඇසුරු කරන පුද්ගල කණ්ඩායම් නිසා තම දරුවා සුරක්ෂිතද යන්න දරුවන් කෙරෙහි අන් කවරදාටත් වඩා විමසිලිමත් විය යුතු වකවානුවකි.
එක් එක් දරුවන් හා බැඳුණු ආතති තත්ව, නොසන්සුන්කාරීබව, බියට අමතරව අන්තර්ජාලය අසීමිත ලෙසත් අනවශ්‍ය ආකාරයට පරිහරණයෙන් දරුවන් අතර පහත අන්දමේ වෙනස්කම් දැකිය හැකිවේ. එනම් අන් කවරදාටත් වඩා ආවේගශීලී බව, හුදෙකලා වීමට ඇති කැමැත්ත, රාත්‍රියට අවදිව සිට පසුදා දවල් වනතුරු නිදා ගැනීමෙන් නිදා ගන්නා රටාව වෙනස් වීම, ආහාර වේල් අතපසු කිරීම මගින් ආහාර රටාවෙහි වෙනස්කම් , අධික බිය, විනෝදාංශවලට වෙනදා තිබූ උනන්දුව අඩු වීම, අධ්‍යාපන කටයුතු අතපසු කිරීම වැනි දෑ දැකිය හැකි වේ. ඒ වගේම ළමයින් මෙවැනි විද්‍යුත් උපාංග නිතර භාවිත කිරීමෙන් ඇති වන අහිතකර බලපෑම්ද වේ.

එනම් නිරන්තරයෙන් උද්වේගකර සහ ප්රකෝපකාරී ජවනිකා නැරැඹීමෙන් ළමයින්ගේ සිත් තුළ කලහකාරී බවක්, නොසන්සුන් බවක් ඇති වේ. ළමයින්ගේ සිතීමේ හැකියාව, නිර්මාණශීලී බව සහ හැඟීම් පාලනය කර ගැනීම ඉතාම දුර්වල මට්ටමක පවතී. විශේෂයෙන්ම පාඩම් වැඩ කෙරෙහි අවධානයද අඩු වී යෑමට පුළුවන. ඒ හැරුණු විට නින්ද හා සම්බන්ධ ගැටලු ගණනාවක්ම ඇති වේ.
විද්‍යුත් උපාංගවලින් නිකුත් කෙරෙන ආලෝක ධාරා මගින් නිදිමත ඇති කිරීමට උදවු වෙන මෙලටොනින් නම් හෝමෝනය ශ්‍රාවය කිරීම ප්‍රමාද කරයි. නින්ද වැඩෙන ළමා මනසට අත්‍යවශ්‍ය දෙයකි. නිසි ආකාරයට නින්ද නොලැබීමෙන් දරුවාගේ මානසික යහපැවැත්මටද බාධා පැමිණේ.
විද්‍යුත් උපාංග භාවිතයේ ඇබ්බැහිතාව
විද්‍යුත් උපාංග මගින් මොළයේ ඇති ඩොපමින් නම් හෝමෝනය ශ්‍රාවය වීම උත්තේජනය කර දරුවාට ඒවායේ ඇලී ගැලී සිටීමට පෙළඹ වීමක් ඇති කරයි. ඔබගේ දරුවා විද්‍යුත් උපාංගවලින් මොහොතකට හෝ මිදීමට අකැමැත්ත ප්‍රකාශ කරයි නම් එය ඇබ්බැහියේ ප්‍රධාන ලක්ෂණයකි. පාසල් නොයන වයස්වල පසුවන කුඩා දරුවන්ගෙන් පවා ජංගම දුරකතනය ඉවත් කළ විට එය නැවත ලබා දෙන තුරු නොනවත්වා හැඩීම, ආවේග ශීලී ලෙස හැසිරීම වැනි අමුතු හැසිරීම් රටා සමහර විට ඔබත් අත්විඳ ඇත. මෙය සිදුවූයේ කාගේ වරදින්ද යන්න සිතා බලන්න. ඔබට නිවසේ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට අවැසි වූ විට දරුවාට ජංගම දුරකතනය අතට දුන් අවස්ථා කෙතරම්ද? ඔබ මෙය නිතර කළ විට දරුවාටද එය නැතුවම බැරි දෙයක් වනු ඇත.

සෞඛ්‍ය ගැටලු
දිනයේ වැඩි කාලයක් ක්‍රියාශීලී බවින් තොරව ගත කරන නිසා මෙන්ම නිසි වෙලාවට ආහාර නොගැනීමෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්රවනතාව ඉහළ ගොස් ඇත. තවද අන්තර්ජාලය හරහා සිදුවන රැවටීම්, හිරිහැර සහ අපයෝජනවලට ගොදුරු වීමේ හැකියාවද ඇති කරයි. යම් පුද්ගලයකු හමුවී මුහුණට මුහුණ සාකච්ඡා කෙරෙනවා මෙන් නොව අන්තර්ජාල හමු වීම්වලදී අප පරෙස්සම් විය යුත්තේ වෙනත් පුද්ගලයකුගේ නමින් වෙනත් රූපවලින් පෙනී සිටීමට ඕනෑතරම් අවකාස ඇති බැවිනි.
විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ මොළයේ හැඳීම්වලට අදාල කොටස් මනාව වර්ධනය වී තිබුණද, තීරණ ගැනීමට අදාල කොටස් සම්පූර්ණයෙන්ම වැඩී නොමැත. මේ හේතුව නිසා එවැනි වයස්වල පසුවන දරුවෝ බුද්ධියට වඩා හැඳීම්වලට මුල් තැන දෙති. අධ්‍යාපනයෙන් බැහැර කාලයේදී මෙවැනි විද්‍යුත් උපාංග අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට අපට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයකි.
දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙනම මාර්ගගත ගිණුමක් සාදා දීම
සමහර යෙදුම් සහ අන්තර්ජාල ක්‍රීඩාවලට ප්‍රවේශ විය නොහැකි ලෙස සීමා පැනවීම
විද්‍යුත් උපාංග භාවිත කළ හැකි අවස්ථා සහ ස්ථාන ගැන සීමා පැනවීම. උදාහරණයක් ලෙස කෑම මේසයේදී , පොත් පාඩම් කරන විට සහ නිදා ගැනීමට යෑමේදී දුරකතන භාවිතයට තහංචි පැනවිය හැකිය. මෙකී සීමා කඩකළහොත් ඒ සඳහා දරුවාට දැනෙන ප්‍රතිචාරයක් ලබා දීම. මෙයින් අප අදහස් කරනුයේ දරුවාට පහර දීම නොවේ. දරුවා වෙනදා බලන වැඩසටහනක් බැලීමට ඉඩ නොදීම වැනි කාරණයකි.

අන්තර්ජාලයේ ඇති දරුවාගේ වයසට නොගැළපෙන දේවල් ගැන දරුවාව දැනුවත් කිරීම.
වැරැදි නිවැරැදි ගැන දරුවාට අවබෝධ වීමට සහාය දීම.
දරුවා තුළ ස්වයං විනයක් ඇති කර ගැනීමට උදව් වීම
සමහර වැඩසටහන්වල පෙන්වන මනඃකල්පිත දෑ අනුකරණය කිරීම නුසුදුසු බව දරුවාගේ වයස අනුව ඔහුට තේරුම් යන පරිදි ඒත්තු ගැන්වීම.

වැඩිහිටියකු ලෙස ඔබ ආදර්ශවත් වී දරුවා ඉදිරියේ විද්‍යුත් උපාංගවල නිරත නොවීමට වගබලා ගැනීම
අධ්‍යාපනයෙන් බැහැර කාලයේදී වෙනත් සතුට උපදවන ක්‍රියාකාරකම්වල යෙදීමට දරුවාව යොමු කරවීම.
දරුවා හදාවඩා ගැනීමේදී ඔබ මෙතෙක් භාවිත කළේ ලිහිල් පිළිවෙතක් නම් දරුවා තුළ හික්මීමක් විනයක් ඇති ඛල හැකි ක්‍රමවේදයක් අනුගමනය කරන්න.
මීට අමතරව ඔබගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් ළමයින් වෙනුවෙන් කැප කරන්න. එය පලදායි මෙන්ම ගුණාත්මක කාලයක්ද විය යුතුය. ඔබගේ අවධානය සහ ආදරය ළමයාට වැඩිපුරම අවශ්‍ය කාලයකි මේ. රැකවරණය සහ ආදරය පිරුණු හැදෙන වැඩෙන දරුවා විද්‍යුත් උපාංගවලට අනිසි ලෙස ඇලුම් කිරීමට පෙළඹෙන්නේ නැත. නිවසේ අයටත් තමන් වැදගත් පුද්ගලයකු බවට සිතෙන තාක් ඔබ ආදරය සිතේ පමණක් තබා නොගෙන දැනෙන්න දරුවාට ආදරය කරන්න.
කතාබහ
ධාරා අබේනායක




