රත් දෝතළු – 46
පාලිත මාමා සමඟ කතා බස් කළේ බොහෝ දිනකිනි. නිවසේ තොරතුරු මා දැනගත්තේ ඔහුගෙනි. නිවැසියන් සුවෙන් පසුවන බව ඔහු මා හා කීවේය. කේෂවට යළි සිය දෙපයින් නැඟිට ගැනීමට නොහැකි බවක් ඔහු හා පවසා තිබුණේ අම්මාය. අනුකම්පාවේ අංශු මාත්‍රයක්වත් මා සිතේ ඇති නොවීම පුදුමයක් කියා මට නොහැඟිණි. ඒ ඔහුට උරුම වන්නට තිබුණු දඬුවමකි. එදින පාලිත මාමා හා ප්‍රියනන්ද මාමා නොසිටින්නට කුමක් සිදුවන්නට තිබුණාද කියාවත් මම නොදනිමි. දුරකථන කතා බහ අවසන් කර මම විනිෆ්‍රීඩා මහත්මිය සොයා ඇගේ කාමරයට ඒමට සූදානම් වන මොහොතේ විහඟ මැද දොරින් එහි පිවිසුණේය.
“කෝ සුදු මම්මා…?”
ඔහු විමසුවේ මා ඉදිරියේ සිටගනිමිනි.
“කාමරේ ඉන්නවා…”
“එහෙනම් කමක් නැහැ…”
මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි.
“මොකද නිකන් පුදුමෙන් වගේ… මං ආවේ ඔයා එක්ක කතාකරන්න…”
“මා එක්ක මොනවා කතාකරන්නද විහඟ සර්…?”
නොමනාපයෙන් මම කීවෙමි.
“කතා කරන්න දේවල්ද නැත්තේ අනේ…”
ඔහු කීවේ මා දෙස හැඟීම්බර දෑසින් බලමිනි.
“මට වැඩ තියනවා…”
මම එසේ කියා ඔහු මඟහැර පිටුපසට පැමිණියෙමි. විනිෆ්‍රීඩා මහත්මිය සිටියේ කාමරයට වී පොතක් කියවමිනි. මමද ගොස් ඈ පසෙක හිඳ ගතිමි. විහඟ මඟ හැර සිටීමට නම් මා කළයුතු වූයේ ඈ අසලට වී සිටීමය. ඔහුද කාමරයට එබී බලා විනීෆ්‍රීඩා මහත්මිය අමතමින් ඇතුළට විත් යහන මත හිඳ ගත්තේය.
“මොකද චූටි පුතා… කම්මැළිද…?”
ඈ විමසුවේ ඔහු දෙස වුවමනාවෙන් බලමිනි.
“ඔව්… අප්පා…”
“ඔයාට මේ ටිකේ ෂුටින් නැත්ද…?”
පොත නවා උකුළ මත තබාගනිමින් ඈ විමසුවාය.
“මේ ටිකේ මොකුත් නැහැ…”
“කවද්ද අලුත් මුවී එක රිලීස් වෙන්නේ එතකොට…?”
“තව මාසයක් දෙකක් යයි…”
ඔහු කිවේ මා දෙසත් බලමිනි.
“අරවින්දි බලලා නැහැනේ අපේ චූටි පුතාගේ මුවීස්…?”
“අනේ නැහැ මැඩම්…”
මම වහා කීවේමි.
“බලන්නකෝ… ආස හිතෙයි…”
විහඟ එසැණින් කීය.
“මං ආස නැහැ…”
මම කීවෙමි.
“මොනවටද ආස නැත්තේ… මටද… මුවීස් වලටද…?”
“දෙකටම…”
ඔහු නෙරවා ගත් බැල්මක් මවෙත හෙළන විට විනීෆ්‍රීඩා මහත්මිය උස් හඬින් සිනහසුණාය.
“සුදු මම්මාත් මට කිණ්ඩියට නේද හිනා වෙන්නේ…?”
“හිනා වෙනවා නෙවේ ළමයෝ… හිනා යනවා… අරවින්දි වෙන්නැති මෙහෙම කෙළින්ම කතා කරපු පළවෙනි කෙනා…”
“එයා ඒ කිව්වේ නිකමට… නේද…?”
ඔහු මා දෙස බලා යළිත් විමසුවේය.
“නැහැ… මං ඇත්තටම කිව්වේ… මං ආස නැහැ ඔය මුවීස් වලට…”
“මාර ළමයෙක්නේ… එතකොට ඔයා ආස මොනවද…?”
“මං පොත් කියවනවා…”
“සුදු මම්මාටම හොඳයි… මට නම් ආසම නැති දෙයක්…”
“ඒකනේ මං එයාව ගෙන්න ගත්තේ…”
විනිෆ්‍රීඩා මහත්මිය කීවාය. ඒ මොහොතේ විහඟගේ ජංගම දුරකථනය නද දෙන්නට වූයෙන් ඔහු නැඟිට ඉවතට ගියේ එයට අමතමිනි.
————————————————————————————————————————————
අහස් විදෙස්ගතව සති දෙකකට ආසන්නය. ඔහු දිනපතා ඇමතුම් දුන්නද සිත තුළ වූ ඔහු නැති පාළුව ඇමතුම් වලින් නම් මැකිය නොහැකි විය. විහඟද මේ දිනවල මිතුරන් සමඟ විනෝද චාරිකාවක පිටත්ව ගොසිනි. ඔහු නිවසේ නොමැති එක නම් හොඳය. නොඑසේ නම් කුමක් හෝ කියමින් ඔහු මා කතාවට හසුකරගන්නට හදයි. දිවා කාලයේ විනීෆ්‍රීඩා මහත්මිය කෙටි නින්දකට වැටීම සුපුරුදු චර්යාවකි. එවන් විටෙක මම කරනුයේ ඇගේ පොත් කබඩයෙන් ගත් නවකතා පොතක් ගෙන කියවීමය. විහඟද නොසිටි නිසා බාධාකිරීමටද කිසිවෙකු නොවීය. ආලින්දයේ කෙළවර වූ අසුනක ගිළී මම පොත කියවමින් සිටියද සුළු මොහොතකින් නිදි බර බවකින් මා දෙනෙත් පියවී එනවිට අසුන මතින් නැඟී සිටි මා පොත පුටුව මත තබා ජනේලය අසලට ගොස් සිටගතිමි. මේ මොහොතේ අහස මඳ අඳුරකින් වෙළී යමින් තිබුණේ වැස්සක පෙරනිමිති කියාපාමිනි. තද වර්ෂාවක් ඇද වැටෙනවානම් හොද යැයි මට සිතුණේ මා මෙහි පැමිණියාටම වැස්සක් ඇද නොහැළුණු නිසාය. අහස වසාගෙන අඳුරු වළාකුළු එක් රොක් වන සැටි මම බලාසිටියෙමි. විවර කර තිබූ ජනේලයෙන් සීතල සුළඟක්ද ගෙතුළට හමා ආයේය. මීට සුළු මොහොතකට පෙර නිල්වන්ව තිබූ අහස මේ වන විටත් අළු පැහැයට හැරී තිබුණේ ක්ෂ්ණකයෙනි. “සට සට” හඬින් වැසි ඇද වැටෙන්නට එතරම් වේලාවක් ගතනොවීය. තාප්පය දිගේ එක පෙළට සිටුවා තිබූ ඉද්ද මල් ගස්වල වූ සුදු පැහැති මල් බිම විසුරුවමින් මහා තදින් වැසි ඇද වැටිණි.
අඳුර ගෙතුළටද ගලා ආවද මම හුන් තැනම හිඳ නිසොල්මන්ව වැස්ස දෙස බලා සිටියෙමි. මා බොහෝ වේලාවක් එසේ බලා සිටින්නට ඇත. වැසි හඬ හැරුණු කොට වෙනත් කිසි හඬක් නෑසුණ තරම්ය.
“වහිනකොට අහස ලස්ස්නයි… නේද…?”
මා දෙසවන් අසලම ඇසුණු හඬින් තිගැස්සී ගිය මා වහා හැරී බැලුවෙමි. ළය හරහා දෑත් බැඳගෙන අහස් මා පසුපසම සිටගෙන සිටිනු දැක මා සිත පුදුමයෙනුත් තිගැස්මෙනුත් ප්‍රීතියෙනුත් පිරී ගියේ එකවරමය.
“අහස්… සර්…”
මට කියවිණි. ඔහු කොයි මොහොතේ පැමිණියාද කියා වැටහුමක් මට නොවිණි. ඔහුගේ පියවර හඬ හෝ මට නෑසිණි. මා තුළ වූ තිගැස්ම ඔහුගේ දෑසට හසුවූවාදැයි සැකයකුත් ලැජ්ජා මුසු හැඟීමකුත් මා සිතේ ඇති වුවද ඔහු එය නොදුටු බවක් මම දැනගත්තේ අහස වෙත යොමු වී තිබූ ඔහුගේ දෑස් ඉන් මුදවාගෙන මුවේ රැඳුණු මඳහසකින් යුතුව මදෙස බැලූ නිසාය. ඒ බැල්ම ඒ දෑස් මා දෑස් හා ගැටෙන විට මසිත හිරිවැටී ගියේ විදුලි සැරයක් ගත පුරා දිවගියාක් මෙනි. මට එහා මෙහා වීමට හෝ ඉඩක් නොවූයේ ඔහු දැවැන්තයෙකු මෙන් මා අසලම වූ නිසාය. ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලන්නට නොහැකි බවක් දැනුණෙන් මම දෑස් බිමට යොමා ගතිමි. මෙතෙක් දිනක් සිත තුළ වූ පාළුව සාංකාව මුසු හැඟීම හිරු දුටු පිනි බිඳුවක් මෙන් පහව ගියේ කෙසේදැයි සිතාගන්නට පවා නොහැකි තරම්ය. මා සිතේ සතුට දෝර ගලා යන්නාක් මෙනි. විහඟ දුරින් සිටින විට පවා සිතට දැනෙන තරමක බිය මුසු හැඟීම අහස් මේ තරම් මා සමීපයේ සිටින මොහොතේ පවා නොදැනීම පුදුමයකි. ඔහුගේ පියවර හඬ මට නෑසුණේ මන්ද කියා වැටහුණේ මේ මොහොතේය. පාවහන් මුදාහළ ඔහුගේ සුදෝ සුදු නිරුවත් දිගටි දෙපා වලින් හඬක් නැඟෙන්නට ඉඩක් නොමැත.
“සර් කොයි වෙලේද ආවේ…? මට දැනුණේවත් නැහැ…”
යළිත් හිස ඔසවා ඔහු දෙස බලමින් මම ඇසිමී.
“ගෙදරටද… මෙතන්ටද…?”
මඳහසක් මුවේ තවරාගෙන ඔහු ඇසීය. ඔහු දෑස් වලින්ද සිනහසෙන්නාක් මෙනි.
“ගෙදරට ආවේ කීයටද… මෙතන්ට ආවේ කීයටද…?”
ඔහූ කී ලෙසම මම අසන විට ඒ මුවේ සිනහව පුළුල් විය.
“ගෙදරට ඇවිත් පැය භාගයක් ඇති… මෙතන්ට ඇවිත් විනාඩි දහයක් ඇති…”
අත රැඳි ඔරලෝසුව වෙත බැල්මක් හෙළනින් ඔහු කියන විට පුදුමයකුත් ලැජ්ජාවකුත් මා සිතේ ඉහිරිණි. එතරම් වෙලාවක් ඔහු මා සමීපයේත් හිඳ මට එය නොදැනීම නම් අරුමයකි.
“එච්චර වෙලා…?”
මම මවිතයෙන් ඇසීමි.
-හෙටත් හමුවෙමු-