අලුත් අවුරුදු නිවාඩුවට නුවරඑළියේ රවුමක්
සිංහල, දමිළ අලුත් අවුරුද්ද උදාවීමට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි. අලුත් අවුරුදු කාලයත් සමග නුවරඑළියට උදාවන්නේ වසන්ත සැණකෙළියයි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නුවරඑළිය පිරී යන්නේ මේ කාලයේයි. මේ නිසා අපි කලින්ම ඔබවත් අරන් නුවරඑළියේ සංචාරය කරන්න හිතුවා. එන්න! අපිත් එක්ක නුවරඑළිය වටේ රවුමක් යන්න. ඉන්පසු මෙදා අවුරුදු නිවාඩුව ගත කරන තැන ඔබටම තීරණය කරන්න පුළුවන්.

ග්‍රෙගරි වැවේ රවුමක්
ග්‍රෙගරි වැව නගරය ආසන්නයේම තිබෙන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මෙය වර්තමානයේදී පහසුකම් රාශියකින් සමන්විතය. ග්‍රෙගරි වැව ඉංග්‍රීසි පාලන සමයේ ජල ක්‍රීඩා සඳහා ඔවුන් විසින් භාවිත කළ ස්ථානයකි. පසුව නගරයට ජලය ලබා ගැනීමට ජලාශයක් බවට පත් කර ඇත. අද වනවිට සංචාරකයන් සඳහා මෙහි බෝට්ටු සවාරි යෑමට, විවිධ ක්රියාකරකම්වල යෙදීමට පහසුකම් සපයා තිබේ.

නුවරඑළියේ සංචාරක සිත් දිනූ තවත් ස්ථාන බොහොමයකි. හග්ගල මල් වත්ත, අඹේවෙල ෆාම්, හෝර්ටන් තැන්න, සීතා අම්මාන් කෝවිල, ලවර් ස්ලීෆ්, සඳතැන්න ආදී ස්ථාන රැසක් ඒ අතර වේ. එහෙත් නුවරඑළිය සංචාරය කරන ඔබට වෙනස්ම වූ අත්දැකීමකට මුහුණ දීමට කැමති නම් නගරය ආසන්නයේම තවත් අපූරු සංචාරක ප්‍රදේශ කිහිපයක්ද තිබේ. ඒ අතරින් සිංගල් ට්‍රී, නුවරඑළිය උසම ගම්මානය ශාන්තිපුර විශේෂයෙන්ම කැපී පෙනෙන ස්ථාන දෙකකි.

තරුණ පිරිස් වඩා කැමති සිංගල් ට්‍රී
සිංගල් ට්‍රී නුවරඑළිය මධ්‍යයේ පිහිටා තිබේ. නගරයේ සිට බදුල්ල දෙසට පැමිණෙද්දී මෙය තරණය කිරීමට ඔබට හැකිය. ඔබගේ පෞද්ගලික රථයේ ගොස් කිලෝමීටරයක් පමණ පා ගමනින් යා යුතුය. අධික සීතලෙන් යුක්ත සිංගල් ට්‍රී තරුණ පිරිස් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. විදේශිකයෝද මෙය තරණය කිරීිමට පැමිණෙති.
“සිංගල් ට්‍රී නගරයට ලොකු ආලෝකයක්. මේ කන්දේ දිය ඇල්ලක් කාලෙකට කඩා වැටෙනවා. එය හඳුන්වන්නේ ග්ලෙන්ඩ් ෆෝල් ඇල්ල කියලා. දැන් කන්ද උඩ ජනාකීර්ණ නිසා තද වැහි කාලෙට විතරක් ඒ ඇල්ල දකින්න පුළුවන්. මේ කන්ද මුදුනේ රජයට අයත් ආයතනයක් තියෙනවා. කන්ද නගිනවා නම් හොඳම වෙලාව සවස ඉර බැහැගෙන යනකොට. උඩට යන්න යන්න සීතලයි. සුළඟත් ඒ වගේමයි. හරිම අපූරුයි. තරුණ අය තමයි වැඩිපුරම එන්නේ. විදේශිකයෝ ආවම පැය ගණන් උඩට වෙලා ඉන්නවා.” එලෙස අප හා පැවසුයේ ගැමියෙකි.

උසම ගමට යන විදිය
නුවරඑළියේ උසම ගම්මානය ශාන්තිපුරය. මෙහි නැරඹුම් මැදිරියක්ද ඉදිකර තිබේ. එහි සිට නුවරඑළිය නගරය ඒ අවට හරි අපූරුවට දිස් වේ. මෙම ස්ථානයට සංචාරය කළ අපට දැන ගැනීමට හැකි වූයේ සති අන්තයේ හා විශේෂ නිවාඩු දිනවලදී සංචාරකයන්බොහෝ පිරිසක් (200 කට වැඩි ) පැමිණෙන බවය. ශාන්තිපුර අතීත කතාවක් සහිත ගම්මානයකි.





