More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 26

    Tharu Mal Viyan තරු මල් වියන් – 26

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    ගම්පොළ පැමිණීම ගැන අංජලී සතුටු වූවාය. මේ පරිසරය මෙන්ම සිරිවර්ධන යුවළද ඇගේ සිතට සහනයක් සැනසුමක් ගෙනාවේය. උදෑසන මිහිදුමෙන් වටවන කඳු වළල්ල, පරිසරයේ පැවති හී ගඬු නංවන සීතල, ඉඳහිට ඇද වැටෙන පොදය, කඳුකරයේ තැනින් තැන පිපී ඇති විවිධ මල් වර්ග මේ සියල්ල තමා වෙනත් ලෝකයකට ගෙන ආවාක් මෙන් ඇයට දැනිණි. ඇගේ තුවාල වූ සිත සුවපත් කිරීමට තරම් බලයක් මේ පරිසරයේ ඇතැයි කියා ඇයට සිතිණි.

    “හරි ලස්සනයි අක්කා මේ පරිසරය…ගයායි රංගියි එක්ක ආවා නම් කියලා හිතෙනවා…”

    අංජලී කීවේ අලුත් අවුරුදු දිනට පසු දිනයේය. ඔවුන් පසු දින අම්බුළුවාවට යාමට කතා කරගෙන සිටියෝය. අංජලී කියන විට ගිම්හානි මඳහසක් පෑවා මිස කිසිත් නොකීවාය. ගයානිත් රංගිකාත් සිහි වන විට ඇයට ශාමින්දවද සිහි වූයේ නිතැනිනි. පෙර දින ඔහු ඇමතුමක් ගත්තේ ඇයට සුබ පතන්නට මෙන්ම ඈ ගයානි අත ඔහු වෙත යැවූ තිලිණයට ස්තූති කරන්නත් සමඟමය. ඈ යැවූ රතු පැහැති ටී ෂර්ටය හැඳ ඔහු ඡායාරූපයක් එවා තිබිණි. එහි ඔහු ඉතා කඩවසම්ව දිස් විණි. ඈ මුවින් ගිළිහෙන්නට ගිය සුසුම ඈ වළකා ගත්තේ අපහසුවෙනි.

    “යාළුවෝ හිටියා නම් පාළුවක් නැහැ තමා…”

    ගිම්හානිද එය අනුමත කරමින් කීවාය.

    “එයාලට එන්න විදියක් නැහැනේ…අනික ගයාගේ අයියාත් ආවේ ගොඩ කාලෙකින්නේ…ඒ නිසා මෙදා පාර කොහෙවත් යන එකක් නැහැ…”

    “හ්ම්ම්…”

    ගිම්හානි කෙටි සුසුමක් හෙළමින් කීවාය. සිරිවර්ධන යුවළගේ සෙනෙහස ළඟ අංජලීට සිහිපත් වූයේ අම්මාත් තාත්තාත්ය. ඔවුන්ගේ කැඳැල්ල තුළ කවදාවත් මෙවන් සෙනෙහසක් පිරී තිබූ බවක් ඇගේ මතකයට නොආවේය. අම්මා අතින් වූ අඩුපාඩුව කුමක්දැයි ඇයට සිතා ගන්නටත් අපහසු විය. ඈ තාත්තා ගැන කොතරම් සොයා බැලුවාද….ඔහුට කෙතරම් ආදරය කළාද…අම්මා ඔහුව සතුටින් තබන්නට කෙතරම් වෙහෙසුණාද….? ඈ පුංචි අම්මාට වඩා කෙතරම් ලස්සනද..! ඈ මුවින් සුසුමක් ගිලිහුණේ නොදැනුවත්වමය. මේනකත් ගිම්හානිත් වරින් වර ඇමතුම් ගනිමින් පාර බලන්නේ කිසිවෙකු පැමිණෙන නිසාවෙන්දැයි කියා අංජලී සිතුවද ඒ ගැන ඔවුන්ගෙන් අසන්නට නොසිතුවාය. සිරිවර්ධන යුවළ මුළුතැන්ගෙයි දහවල කෑම පිසින විට අංජලීද ඔවුනට සහාය වූවාය.

    “කවුරු හරි නෑදෑයෝ ටිකක්වත් එනවා වගේ…ඇන්ටි මේ මඟුල් ගෙදරකට වගේ උයන්න යන්නේ ඒ නිසාද…?”

    අංජලී කැරට් අලයක් සුද්ද කරමින් ඇසුවාය.

    “ඔව්…අපේ ඥාතී කට්යටික් එනවා අද…”

    සිරිවර්ධන කීය.

    “අවුරුදු පාටි…අද එහෙනම්…”

    අංජලී සිනහසෙමින් කීවාය.

    “අපිට අම්බුළුවාවේ යන්න බැරි වෙයිද හෙට…?”

    ඈ අලුතින් පැනයක් නැඟුවාය.

    “ඒ මොකෝ…අපි යමු…”

    පුදුමයට පත්වූවාක් මෙන් දීපිකා කීවාය.

    “දැන් ගෙදර අය වෙඩින් එකට බරටම ලැහැස්ති වෙනවද දුව…?”

    සිරිවර්ධන ඇසුවේ අංජලීගෙනි. ඈ තිගැස්මෙන් ඔහු දෙස බැලුවාය.

    “ආහ්…ලොකුවට දෙයක් නැහැනේ ඉතින්…”

    “හ්ම්ම්…අනේ මන්දා…මේ ළමයා නම් මේනක පුතා ළඟින්වත් තියන්න බැහැ…”

    දීපිකා කීවේ ශෝකී හඬකිනි.

    “අතේ ඇඟිලි පහම එක වගේ නැහැනේ අනේ…”

    එවර ඔහු එසේ කීවද ඒ හඬේද ශෝකයක් ඇතැයි කියා අංජලීට සිතිණි.

    “අංකල්ලා එනවා නේද වෙඩින් එකට…?”

    අංජලී ඇසුවාය.

    “නෑවිත් කොහොමද…අපි එනවා…හේෂාන් මගේ යාළුවා විතරක් නෙවේනේ දැන්…”

    ඔහු කීවේ මඳහසක් පාමිනි. පිටතින් ඇසුණු කටහඬවල් කීපයක් නිසා අමුත්තන් පැමිණ ඇති බවක් පෙනිණි.

    “ආහ්…කට්ටිය ආවා වගේ…”

    දීපිකා ගවුමට උඩින් හැඳ සිටි ඒප්‍රණය ගළවා දමා දෑත් පිසගෙන ආලින්දය දෙසට පියවර තැබුවාය. අංජලී මුළුතැන්ගෙය අස්පස් කරන්නට සිරිවර්ධනට සහාය විය.

    “යමු දුව ඉස්සරහට…කට්ටිය ඇවිත්…”

    සිරිවර්ධන ඇයටද අමතමින් ආලින්දය දෙසට යාමට සූදානම් විය.

    “අංකල් යන්න…මං මේ ටික අස් කරලා දාලා එන්නම්…”

    නාඳුනන අය ඉදිරියට යෑමට නොකැමැත්තෙන් ඈ කීවාය.

    “හරි…එහෙනම්…හිමින් එන්නකෝ…”

    ඔහු ගිය පසු මුළුතැන්ගෙය අතුගා දැමූ අංජලී පිටුපස දොරින් මිදුලට බැස්සාය. මිදුලේ කෙළවරක වූ රෝස පඳුරේ කහ පැහැති රෝස මල් කීපයක් පිපී තිබිණි. අංජලී සෙමෙන් එදෙසට පියවර තැබුවේ සුළඟ දිගේ හමා ඇඳුණු රෝස මල් සුවඳට ඉව අල්ලමිනි. හැඳ සිටි ශීත කබායත් පසා කරගෙන ගතට දැනුණේ තද සී තලකි. රෝස පඳුර වෙත ආ අංජලී මල් නටුවෙන් අල්ලාගෙන මලට මුව තබා එය සිප ගත්තේ දෑස් වසාගෙනය. මලින් හැමුවේ ඉමිහිරි සුවඳකි.

    “එක ඉත්තක මල් දෙකක් පිපුණා වගේ…”

    ළඟින්ම ඇසුණු හඬින් ඈ තිගැස්මෙන් දෑස් විවර කර බැලුවාය. දුටු දසුනින් ඇයට සිය දෙනෙත් අදහාගත නොහැකි විය.

    “ශ්..ශාමි…න්…ද…ඔයා…මෙහේ…?”

    ඔහු සිනහමුවෙන් ඈ වෙත පියවර තැබුවේය. ඇයට මෙය අදහාගත නොහැකිය. ඔහු මෙහි පැමිණියේ කෙසේද…?

    “අවුරුදු දෙන්න වෙයි කියලා හීමට මෙහෙ ආවා නේද…?”

    ඈ ඇසූ දෙයට පිළිතුරක් නොදී ඔහු පෙරළා ඇසීය.

    “අනේ…අවුරුදු දෙන්නම්…ඕක මොකක්ද…? කෝ ගයාලත් ආවාද…?”

    ඔහු දැකුමෙන් සිතේ උපන් ප්‍රීතිය සඟවාගෙන ඈ ඇසුවේ ඔහු දෙසම දල්වා ගත් දෑසින් යුතුවය.

    “ගයා එන්නම ඕනද…අපි විතරක් ආවම මදිද…?”

    දඟකාර සේ ඔහු ඇසුවේ ළය හරහා දෑත් බැඳ ගනිමිනි. මේ සීතලේ ඔහු හැඳ සිටියේ සැහැල්ලු කමිසයකි. සීතලක් දැනෙන පාටක් වත් නැත. ඈ බලා සිටියේ පුදුමයෙන් එසේ සිතමිනි. ඔහු ඇසුවේ කුමක්ද කියාවත් ඇයට නෑසුණා සේය.

    “නැහැ…ඒත් ඉතින්…”

    ඈ පැකිළෙමින් පිළිතුරු දුන්නේ තමා මේ දකින්නේ සිහිනයක්ද කියා සිතමිනි. එවර ගයානිත් රංගිකාත් ඈ සොයා පිටුපසට දිව ආවෝය. අංජලී දෙදෙනා අතරට පැන්නේ සතුටින් ඉපිළෙමිනි.

    “හරි හොඳ නැහැ අනේ…ඔයාලා එනවා කියලා නිකන්වත් කිව්වේ නැහැ…”

    ඈ සතුටට නෝක්කාඩු කීවාය.

    “අපි ඔයාව සර්ප්‍රයිස් කරන්න ආවේ…මාමලාත් ආවා…”

    ගයානි කියන විට අංජලීගේ දෑස් තුළ ඇති වූයේ තිගැස්මකි.

    “නැහැ…නැහැ…එයාලා ආවේ නැහැ…එයාලා එනවා නම් අපි එන්නෙත් නැහැනේ…”

    ඇගේ සිත හඳුනා ගත්තාක් මෙන් ගයානි වහා කීවාය.

    “අනේ අයියා…අපි ටිකක් ඇවිදින්න යමුකෝ…අර බලන්නකෝ අර පැත්ත මාර ලස්සනයි…අම්බුළුවාවත් පේනවා…”

    ගයානි ඇවිටිළි කරන්නට වූවාය. ශාමින්දද එයට එක පයින්ම කැමති වූයේ අංජලී සමඟ කතා බහ කරන්නට අවස්ථාවක් උදා වන බැවිනි.

    ගිම්හානිත් මේනකත් පෙර ගමන් ගත් අතර සෙස්සෝ සෙමෙන් ඔවුන් දෙදෙන පසු පස ගමන් ගත්හ.ආදිත්‍යයත් රංගිකාත් මියුර සහ ගයානිත් ඔවුන් පසුපසම ශාමින්දත් අංජලීත්ය.

    “හරි මහන්සියි අනේ…මේ පොඩ්ඩ නැඟලා…”

    ගයානි කෑ ගැසුවාය.

    “මං වඩා ගන්නද…?”

    මියුර ඇසුවේ ඇයට පමණක් ඇසෙන්නටය.

    “ආස ඇති…”

    “ආස නම් තමා…ඒත් ඉතින් අයියා ඉන්නවනේ…”

    ගයානි එවර ඔහුගේ බාහුවට පහරක් ගැසුවේ ලැජ්ජා මුසුවය.

    “දැන්ම ඉඳන් ඔය කොල්ලට ගහලා වද දෙන්න ගත්තද…?”

    ආදිත්‍ය ඇසුවේ ගලක් මත අඩ මානයට හිඳ ගනිමිනි.

    “ඒකනේ ආදි අයියා…මේ කටු අත් වලින් ගහන කොට පට්ට රිදෙනවා…”

    මියුර එසේ කියන විටත් ගයානි ඔහුට තවත් පහරක් ගැසුවාය. අංජලී එදෙස බලා සිනහසෙන සැටි ශාමින්ද බලා සිටියේ ආදරය පිරිණු දෑසිනි.

    “මං නම් හිතුවේ නැහැ ඔයාලා මෙහෙ එයි කියලා…”

    අංජලී කීවේ තවමත් නොවියැකුණු සිනහව පිටින්මය.

    “ඔයා පුදුම වුණා කියලා මං දැක්කා…”

    ඈ යළිත් ලැජ්ජා මුසු සිනහවක් පෑවාය. ඒ මොහොතේ ඔහු දැකීමෙන් සිතේ ඇති වූ හැඟීම පවසා ගන්නට වචන නැත.

    “පුදුම නොවී තියේවියැ…එකපාරම ඇස් ඉස්සරහා ඇවිත් ඉන්නකොට…අයියාලාවත් මට නිකමට වත් කිව්වේ නැහැනේ…එයාත් උදේ ඉඳන් මඟ බලා බලා හිටියේ ඒක තමා…”

    “ඉතින්…එහෙම කියලා ආවා නම් ඔයා කැමතිද මෙහෙම පුදුම වුණ එකට වඩා…?”

    ශාමින්ද ඇසුවේ ඇගේ දෑස් දෙස බලානය. ඈ පිළිතුරක් නොදී කළේ සිනහවක් නංවාගෙන ඔහු දෙස බැලීමය. ඒ දෑසුත් සිනහසෙනවා කියා ඔහුට සිතිණි.

    “මං ප්‍රශ්නයක් ඇහුවේ ළමයෝ…”

    ඔහුට එය දැනගන්නටම වුවමනා වූවාක් මෙනි.

    “නැහැ…”

    “නැහැ කිව්වේ මොකටද…කියලා ආවා නම් හොඳයි කියන එකටද…?”

    “නැහැ අනේ…නොකියා ආව එක හොඳයි…”

    “ඒකනේ…”

    ඔහු එසේ කියා කඳු මුදුනට දෑස් යොමු කළේය. මිතුරන් පෙනෙන්නට නැත. අංජලීගේද අවධානය එදෙසට යොමු විය.

    “අනේ…එයාලා අපිව දාලා ගිහින්…අපිත් යමු…”

    “යමු…”

    එවර ශාමින්ද ඇගේ අතින් අල්ලා ගන්නා විට ඈ අලුතින් තිගැස්සී ගියාය. ගත කිලිපොළා ගියේ සියුම් හිරිවැටීමක්ද සමඟ මුත් එය මේ ශීතලය නිසා නම් නොවන බව ඇයට සහතිකය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page