Pini Muthu Palasa පිනි මුතු පලස
වැස්ස තවමත් තුරල්ව නැත.පාසල අසලට ළංවන විටත් එය නොකඩවාම ඇද හැලෙමින් තිබිණි. මා සිත වඩ වඩාත් වේදනාවෙන් සසළ වූයේ පාසල දකින විටය. වසර ගණනාවකට පසු මම නැවත පාසලට පැමිණියාක් බඳු හැඟීමක් මා සිතේ ඇති විය. වසා දමා තිබූ ගේට්ටුව විවර කරගෙන මම පාසල් භූමියට ඇතුළු වූයෙමි. පරණ පන්ති කාමරය ඉදිරිපිට එක පෙළට උස්ව නැඟී තිබූ කස ගස් පේළිය ශෝකී හැඟීමකින් බලා සිටින්නාක් මෙන් මට පෙනිණි. තවමත් ඇද හැලෙන වර්ෂාවත් ළමුන්ගෙන් තොර වූ පාසලේ නිහඬ බවත් මසිත පාළු හැඟීමකින් පුරවා දැමීය. පන්තියේ ළමුන් කිහිප දෙනෙකු පැමිණ ඇති බව මම දුටුවේ පසුවය. ඔවුන් සිටියේ අපේ පන්ති කාමරයේ නොව අනෙක් පස පන්ති කාමරයේ වීම ඊට හේතුවයි. දුලානි, විදුර, මාලිකා, සුදේශ් සහ රොෂානිත් බී පන්තියේ සෙනුර ඇතුළු කීප දෙනෙක් එහි විය.
“මංදි…ගුඩ් මෝර්නින්…”
ඔවුන් සියළු දෙනම එකතුව මට සුබ පතන විට මමද පෙරළා ඔවුනට සුබ පැතුවේ තෙත බේරෙනෙ කුඩය අකුළා පසෙක තබමිනි. දුලානි විත් මගේ දෑතින් අල්ලා ගත්තාය. ඇගේ අත සීතල වී තුබූ නිසාදෝ මම අලුතින් හිරිවැටී ගියෙමි. ගිම්හාන හෝ තරුෂි පැමිණ නොතිබූ නිසා ඒ හිස් කම අඩුව මා සිතට වඩාත් තදින් දැනෙන්නට විය. එය මඳකින් හෝ අඩු වූයේ දුලානි නිසාය.
“තරූත් නැහැ…ගිම්හානත් නැහැනේ… එයාලා එන්නේ නැති වෙයිද..?”
පාර දෙසට දෑස් යොමමින් මම ඇසුවෙමි. තරුෂි නෑවිත් සිටියොත්! කියා මා සිතේ ඇති වූයේ බියමුසු හැඟීමකි. මට ඇයත් සමඟ කතා කිරීමට බොහෝ දේ ඇත.
“ඒකනේ…සමන්මලීත් නැහැ…සමහරවිට වැස්ස නිසා වෙන්නැති…තව ටිකෙන් එයි…”
ඔවුන් පැමිණේවා කියා මම සිතින් පැතුවෙමි. ඇයට හොරෙන් මම සෙමෙන් සුසුමක් පිට කළෙමි.
“මට හරි බයයි මංදි…රිසාල්ට්ස් කොහොම වෙයිද මංදා…”
දුලානි පපුව මත දෑත් තබා ගනිමින් කීවාය. ඒ බිය මා තුළද විය.
“අම්මෝ…ඔව් අප්පා…ගෙදර ගිහිල්ලත් හමාරයි…අම්මා ඔළුව කයි…”
මාලිකාද කතාවට එක් වූයේ එසේ පවසමිනි. මාලිකාගේ අම්මා සැර පරුෂ අයෙකු බව අපි සැවොම දැන සිටියෙමු.
“ඔයාට බය වෙන්න දෙයක් නැහැනේ මාලිකා…ඔයා හුඟාක් මහන්සි වුණානේ…”
රොෂානි එසේ කීවේ ඊර්ෂ්‍යාව මුසු හැඟීමකින් වත් දැයි සැකයක් මා සිතේ ඇති වුවද ඇගේ සිනහවෙන් පිරුණු මුව එය එසේ නොවන බව කියා පෑවේය.
ඒ හැමදෙනටම වඩා බියෙන් සිටින්නේ මා බව දැන සිටියේ මා පමණි. ප්‍රතිඵල කෙසේ වුවත් මගේ ඉරණම දැනටමත් විසඳී අවසන් බව මම දැන සිටියෙමි. දෛවයේ ලියවී ඇති දෙය මට වෙනස් කළ නොහැකිය. එය එසේ වූවා කියා මට එය සතුටින් බාර ගන්නටද නොහැකිය.
“නොකීවට ඔයත් ඉන්නෙ බයෙන් නේද මංදි…”
මා සිතුවිළි කඩා විසුරුවා දමමින් දුලානි මා මුහුණට එබී කියන විට මම ආයසයෙන් සිනහවක් මුවේ තවරා ගතිමි.
“මොකෝ මංදි…මොනවා හරි ප්‍රශ්නයක්ද…?”
මම ඇගේ අතක් තරයේ අල්ලා ගත්තේ මට හැඬුම් ඒ යැයි බියෙනි.
“නැහැ…දුලා…මාත් බයෙන් ඉන්නේ…”
එසේ කියා මම ඇගේ කතාව මඟහැරියෙමි. ඈ නිහඬ වූයේ මා කියූ දේ ගැන සැකයක් නොමැතිවය. තරුෂි හෝ ගිම්හාන ඒවි යයි සිතාගෙන මම ගේට්ටුව දෙසම දෑස් දල්වා බලා සිටියේ නොඉවසිළිමත්වය. ප්‍රතිඵල බැලීමට පැමිණෙන ළමුන් එකා දෙන්නා අතරේ ඔවුන්ගේ ජායාවක් හෝ නොමැත. මේ වන විට වර්ෂාව නැවතී තිබුණද තවමත් සිහින් පොදයක් ඇද වැටෙමින් තිබිණි. තක්ෂිලා දිව ආවේ එවිටමය. ඈ දුර තියා අත වනමින් ඉක්මනින්ම අප අතරට පැමිණියාය. ඇගේ මුව මත සිනහවක් රැඳී තිබුණද ඒ සිනහව යටින් ඇති දුක්බර කතාව දැන සිටියේ කීයෙන් කී දෙනාද…? ඈ පමණක් නොව මාද ඇතුළුව අප සැවොමගේම ජීවිත තුළ කිසිවෙකු නොදන්නා දුක්බර කතාවක් සැඟවී ඇත. පෙර කලෙක තක්ෂිලා තුළින් දිස් වූ නොරුස්නා, දුෂ්ට පෙනුම දැන් ඈ කෙරෙන් දිස් නොවීය. ඒ වෙනුවට ඇගෙන් දිස් වූයේ පරිණත වූ යුවතියකගේ පෙනුමකි. මනුෂ්‍යයෙකු දුෂ්ට, රළු පරළු වන්නේ තමන් මුහුණ දෙන අත්දැකීම් අනුව යැයි කියා මම සිතුවෙමි. අතීතයේ අප අතර මොන තරම් හිත් අමනාපකම් තිබුණද මේ මොහොතේ ඈ දැකුමෙන් මම යන්තමට හෝ සැනසුමක් ලැබුවෙමි. ඇගෙන් විමසා දැන ගැනුමට මට තොරතුරු බොහෝමයක් විය.
“මංදාකිණි…”
හැමෝටම සුහද සිනහවකින් සුබ පතමින් පැමිණි තක්ෂිලා අවසන නතර වූයේ මා ළඟය. ඈ වැසි දියෙන් තෙමුණු සීතලව තිබූ අතකින් මා අල්ලා ගන්නා විට මම හිරි වැටී ගියෙමි.
“කොහොමද තක්ෂිලා…?”
මුව මත සිනහවක් නංවාගෙන මම ඇසීමි.
“ඉන්නවා ඉතින්…යාළුවෝ ටික බලන්න ඕන නිසා ආවා මිසක් ප්‍රතිඵල බලන්න නම් නෙවේ අද ආවේ…”
කෙටි සුසුමක් හෙළූ ඈ කීවේ සඟවා ගත් වේදනා මුසු වූ හඬකින් බව මට වැටහිණි. නොකී කතාවක් ඇගේ දෑස් තුළ ලියවී ඇතැයි කියා මට සිතිණි. ඇගෙන් කිසිත් අසන්නට තරම් දිරියක් මා තුළ නොවූ මුත් ඇසිය යුතු බොහොඉ දේ ඇත.
“අන්න තරූ එනවා…”
මාලිකා කෑ ගසන විට මම තක්ෂිලා කෙරෙන් දෑස් මුදවාගෙන පිටත බැලීමි. දුව, දුව මෙන් එන තරුෂි දකින විට මා සිතට දැනුණ සැනුසුම නම් අපමණය.
“ගිම්හාන නැත්තේ මොකෝ දන්නේ නැහැ…”
දුලානි විමසුවේ විදුරගෙන් වුවද ඔහු එය නොදන්නා බව අඟවමින් දෙවුර සළන විට තක්ෂිලා පිළිතුරු දුන්නාය.
“ගිම්හාන නැහැ….ආච්චි නැති වෙලා ගමේ ගිහින්…මම එන ගමන් ඒ පැත්තෙන් ආවේ…අල්ලපු ගෙදර අය කිව්වේ…”
මා සිතට අලුතින් දුකක් එකතු වූයේ මට යළි ඔහු මුණ නොගැසෙනු ඇතැයි සිතුණු නිසාය.
“මංදි…ඔයා ඇවිත්…මං මේ හිත හිතා ආවේ ඔයා නැත්නම් ගෙදර ගිහින් එක්ක එනවා කියලා…මේ වැස්ස නිසා පරක්කු වුණා අනේ…ඉතින්…හායි ළමායි…”
තරුෂි සැමටම අත වනමින් මගේ අතින් අල්ලා ගත්තේ සුපුරුදු ලෙංගතු හැඟීමෙනි.
“ඔයාලාව බලන්න ඕන නිසා මං ආවේ…”
මඳහසක් මුව මත රඳවාගෙන මම කියන විට ඈ මවෙත හෙළුවේ විමසුම් සහගත බැල්මකි.
“මොකද වුණේ…? මූණ හරි නැහැ…”
ඈ රහසින් මෙන් විමසුවාය.
“හරි නැති වුණත් කරන්න දෙයක් නැහැ…වෙන මූණක් තිබුණේ නැහැ දාන් එන්න…”
සිත තුළ වූ වේදනාව සඟවාගෙන මම සිනහසෙමින් කියන විට තරුෂි මවාගත් නොමනාපයකින් මදෙස බැලුවාය. ඇගේ උරමතට පහරක් ගැසූ මම තරමක් හඬින් සිනහසුණෙමි. යළිත් කලකට මා මුවට සිනහවක් නොනැගෙනු ඇතැයි කියා මම දැන නොසිටියෙමි. මේ ගෙවන සුළු මොහොත පවා මා ශෝකයෙන් ගෙවන්නේ මන්ද කියා මට ඒ මොහොතේ සිතුණ මුත් ශෝකය වඩා බලවත් විය. විදුහල්පති තුමා හෝ ගුරුවරුන් කිසිවෙකු තවම පැමිණ නොසිටි නිසා අපි බොහෝ වේලාවක් කතා බහ කරමින් කල් ගෙවීමු. තක්ෂිලා අතින් අල්ලාගෙන මම තරුෂි සහ දුලානිත් සමඟ පන්තියේ කෙළවරට ගියේ ඇයත් සමඟ නිදහසේ කතා බහ කිරීමටය.
“ඉතින් මොනවද විස්තර තක්ෂිලා…තාත්තා ලියුම් එවනවද…?”
කතා බහට මුල පුරමින් මම අසන විට ඈ පළමුව කෙටි සුසුමක් හෙළුවාය.
“ලියුම් නම් එවන්නේ නැහැ…ඒත්…නැන්දලා ගෙදරට කෝල් කරනවා…මං නම් කතා කරන්න යන්නේ නැහැ…අම්මායි නංගියි තමා කතා කරන්නේ…”
ඇගේ හඬේ වූ කළකිරීම මට වැටහිණි. අම්මා සමඟ වුවත් මට ඇත්තේද එවන් වූ කලකිරීමක් නිසා ඇගේ සිත වටහා ගන්නට මට හැකියාවක් මා තුළ විය.
“ඔයාලගේ අම්මා ලියුම් එවනවද…?”
ඈ පෙරළා මා විමසුවාය.
“එවනවා ඇති…දැන් අක්කා ලියුම් ආවත් මට කියන්නේ නැහැ…මං එයාගෙ ලියුම් කියවන්න යන්නේත් නැහැ…මට දැන් එයාගෙන් ඇති වැඩකුත් නැහැ…එයා අපි ගැන හිතුවා නම් අද අපි මෙහෙම අසරණ වෙන්නේ නැහැනෙ…මේ සම්බන්ධෙ නවත්වන්න කියලා කියපු එකට…ඒ දෙන්නම එකතු වෙලා මට දොස් කිව්වා…මං කිව්වේ වැරදි දෙයක්ද…?”
සිතේ වූ ආවේගයට මහ හඬින් හැඬේවි යයි බිය නිසා මම වහා නිහඬ වූයෙමි. තරුෂි මා දෑත තරයේ අල්ලා ගත්තාය. විදුහල්පති තුමාත්, දේවින්ද සර්ත් පැමිණි නිසා අපව ගෘහ විද්‍යාගාරයා කැඳවනු ලැබුවෙන් අපි සැවොම එහි ගියේ ගැහෙන සිත් වලිනි. ප්‍රතිඵල පිළිබඳ බියක් අපි සැමගේ සිත් වල විය. මා නම් සිටියේ දියෙන් ගොඩ දමන ලද මසෙකු සේ ගැහෙමිනි. ප්‍රතිඵල ඇසෙන විට මට හැඬිණි. තරුෂි, මාලිකා, සමන්මලී, විදුර සහ සුදේෂ් ඇතුළු කීප දෙනෙකුම හොඳින් සමත් වී තිබිණ. ගණිතය අසමත් වුවද මමද සාමාන්‍ය අන්දමින් සමත් වී සිටියෙමි. මම තව තවත් අසරණ වූ බවක් මට දැනිණි. කෙසේ වුවත් සමත් අසමත් බවෙන් දැන් ඇති පලක් නැත. මෙතෙක් සිත තුළ දරා සිටි දිරිමත් බවද මා කෙරෙන් පලා ගිය සෙයකි. සිත දිය වී යන බවක් දැනෙන විට මට හැඬුම නවතා ගන්නට නොහැකි විය. තරුෂි මා අතින් අල්ලාගෙන පිටතට කැඳවාගෙන ආවාය.
“අඬන්න එපා මංදි…ගණන් විතරනේ ෆේල්…ආයෙත් පාරක් ලියන්න…අනික සර්ත් කිව්වනේ ඒලෙවල් කරන්න කියලා ගණන් අරන් දෙන්නම් කියලා…”
විදුහල්පති තුමා එසේ කී බවක් මටද යාන්තමට ඇසිණි. ලේන්සුව ගෙන කඳුළු පිස ගනිමින් මම හිස සැලුවෙමි. ඈ සිතනවා ඇත්තේ මා හඬන්නේ විභාගය අසමත් වූ නිසා කියා වන්නට ඇත.
“න්…නැ…හැ…තරූ…මං අඬන්නේ මං…ෆේල් වුණ නිසාම නෙවේ…”
තරුෂි මා දෙස බලා සිටියාය.
“එහෙනම්…?”
මා මුවින් සුසුමක් පිටවූ අතර නොනවත්වා කඳුළු ගලා යන්නට විය. තරුෂි මා අතින් ඇදගෙන මෙන් දෙමහල් ගොඩ නැඟිල්ල දෙසට කැඳවාගෙන ආවාය. වැස්ස මේ වන විට නැවතී තිබූ අතර යාන්තමට හිරු එළියක් විහිදිණි.
“මොකක්ද වුණේ බං…? මුළ ඉඳන් මට කියපන්…උදේ ආව වෙලේ ඉඳන් මං දැක්කා මූණ අමුතු වෙලා තියන හැටි…ඒ වෙලෙත් මොනා හරි කියලා මඟෑරියා…”
කුතුහළයෙනුත් නොමනාපයෙනුත් යුතුව ඈ ගතු කියන්නට වූවාය.
“අක්කා මාව බන්දලා දෙන්න යන්නේ…”
මම වහා කියන විට ඇගේ දෑස් විසල් වූයේ මා බලා සිටියදීමය.
“මොනවා…! මංදි…උඹලාගේ අක්කාට පිස්සුද…කාටද බන්දලා දෙන්න හදන්නේ…ඇයි මේ හදිසියේම…?”
ඈ එකදිගටම විමසන්නට වූවාය.
“මං දන්නේ නැහැ තරූ…මං දන්නේ නැහැ…”
සුමිත් අයියා කරදර කරන්නට ආ දා පටන් සියළු දේ මම තරුෂි හා පැවසුවෙමි. ඈ සිටියේ කෝපයෙනුත් දත් මිටි සපමිනුත්ය.
“ඕකා මහ තිරිසනෙක්නේ…අඩු කඩන්න තිබ්බේ…එහෙම එකාව අක්කා ආයෙම ගෙට වැද්ද ගන්න හදනවාද…? අක්කාට ගහන්න ඕන සේරටම කළින්…එයා කරන්නේ ඊට වඩා අපරාධයක්… සහගහනවා ඕවා කවදා හරි…”
අප අතරේ පැතිර ගියේ දිගු නිහැඬියාවකි. තරුෂි කල්පනා කරමින් සිටියේ මගේ අත තරයේ අල්ලාගෙනය. මිතුරියන් අප අමතමින් අප සිටි දෙසට පැමිණෙන නිසා අපි ඔවුන් දෙසට ගියෙමු.
“ඔයාලා මෙතන…අපි ඔයාලව හොයන්න ආවේ…”
දුලානි කීවාය.
“ඔයා ආයේ ලියන්න මංදි…දුක් වෙන්න එපා…සර්ත් කිව්වනේ…”
මාලිකාද කීවාය. මම.මඳහසක් පෑවේ කතා කරගන්නට නොහැකි නිසාය.
“මම නම් ආයේ ලියන්නේ නැහැ…මං ගාර්මන්ට් එකට වැඩට යන්න කියලා හදන්නේ…අම්මා නම් කැමති නැහැ…ඒත් මට තාත්තා එවන සල්ලි වලින් කන්න බොන්නවත් හිතක් නැහැ…”
තක්ෂිලා කීවේ මා සිත යළිත් පාරවමිනි. ඇ කෙරෙහි උපන් අනුකම්පාවෙන් මසිත බර විය.
මිතුරු මිතුරියන් හැරදමා යන්නට මට සිතක් නොවූ මුත් මට වුවමනා වූයේ නිවසට යන්නටය. තව තවත් පමා වීමෙන් සිදුවන්නේ මගේ දුක වේදනාව අලුත් වීම පමණය. මේ විදුබිමේ සෑම බිම් අඟලක් පුරාම, වැලි කැටයක් පුරාම, හමා ඇදෙන සුළඟේ පවා අපේ මතකයන් රැඳී ඇත. ගෙවී ගිය සොඳුරු පාසල් අතීතය සිහිවන මොහොතක් මොහොතක් පාසාම මා සිත අලුත් වූ ගින්නකින් දැවිණි. කුමන දෙයක වුවද අගය දැනෙන්නේ එය අහිමිව ගිය පසුවය. සැමටම සමු දී මම තරුෂි අසළට පැමිණියෙමි. ඈ මා වැලඳ ගත්තේ හඬා වැටෙමිනි.
“අනේ මංදි…ඔයා වෙනුවෙන් අපිට කරන්න දෙයක් නැත්ද…?”
තරුෂි ඇසුවේ අනුකම්පා මුසුවය.
“දැන් මොනවා කියලා කරන්නද තරූ…? මේක මගේ ඉරණම…”
ඉකි බිඳුම පාලනය කරගැනීමට යත්න දරමින් මම කීවෙමි. සැවොම කීවේ තව මොහොතක් රැඳී සිටින ලෙසය. සිටියා කියා ඇති යහපතක් නැත. ඔවුනට සමුදී මම පිටව ආවෙමි. ප්‍රධාන දොරටුවෙන් පිටව මම යළිත් වරක් හැරී පාසල දෙස බැලුවෙමි. අලුතින් උපන් කඳුළු දෙපේළියක් කම්මුල් තෙමා ගලා යන විට මම ආපසු හැරී ආවේ තෝන්තු වූ හිසිනි.