Elio – දෙනෝදාහක් අතර හිටියත් සමහරවිට අපිට ලොකු තනිකමක් දැනෙන වෙලාවල් තියෙනවා. අපි වෙනුවෙන් කවුරුවත් නැහැ කියන ඒ හැඟීම මනුස්සයෙක්ට දරාගන්න අමාරු හැඟීමක්. ඒ වෙලාවට අපිට හිතෙනව පිටසක්වළට ගිහින් හරි යාළුවෙක් හොයාගන්න. අපේ හිත සනසන බැඳීමක්.

එකොළොස් හැවිරිදි Elio ට ත් මේ හැඟීම දැණුනා. එයා ජීවත්වුණේ එයාගෙ නැන්දා Olga එක්ක. ඇය ඔහුට ආදරේ වුණත් ඇගේ වැඩ රාජකාරි එක්ක ඔහුට ඒක ඒතරම් දැණුනෙ නැහැ. Elio ගෙ ලොකුම ආසාව වුණේ අභ්‍යවකාශයට යන්න, පිටසක්වළ ජීවීන් ඉන්නවද කියලා හොයාගන්න එක. පිටසක්වළ ජීවීන් ඇවිත් තමාව පැහැරගන්නවනං කියලා ඔහු හිතුවා. හිතුව විතරක් නෙමේ ඔවුන්ගෙ අවධානය ගන්න එක එක දේවල් කළා. මේ ලෝකේ යාළුවො නැති ඔහු හිතුවා එහෙන් හරි යාළුවෙක් හොයාගන්න. ටිකක් විතර මුරණ්ඩු Elio දිගටම උත්සාහ කළා. එක දවසක්, ඇත්තටම පිටසක්වළ ජීවීන් ඇවිත් ඔහුව අරගෙන ගියා. මේ කතාව Elio ගෙ ඒ Journey එක ගැන.

I Just Wanna Belong Somewhere …

ජීවිතේ ඇතුලෙදි අපි හොයන්නෙ හිමිකමක්. අයිතිවෙලා ඉන්න තැනක්. ජීවත්වෙන බව දැනෙන්නෙ එතකොට. බැඳීමක්, යහළුකමක් නැතිවුණාම අපිට හිස්කමක්, අරමුණු රහිත බවක් දැනෙනවා. හරියට space එකේ පාවෙනව වගේ. වෙනත් ග්‍රහලෝකයක් තරම් ඈතට හිතුවත්, අපිට ඕනෙ කෙනා ඉන්නෙ පිටසක්වළ කියලා හිතුවත් අපි තේරුම් නොගත්තට ඒ ආදරෙ අපිට ආදරෙන් අපි ළඟම ඉන්නව. විශ්වය පුරාම හොයලා හරි අපි, අපිව අයිති තැන සොයාගන්න ඕනෙ. ආදරේ තියෙන්නෙ එතැන, අපි අයිති එතැනට!



