NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 68

Pini Muthu Palasa පිනි මුතු පලස – 68

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

අම්මා කොස්සත් රැගෙන ආලින්දය හරහා ඉස්තෝප්පුව දෙසට ඇදුණේ ගේ අතුගාන්නටය. මම රෙදි ටික ගෙට ගෙනවිත් පුටුව මත දමා ඒවා නමමින් සිටියෙමි.

“හරි යසයි උඹ කරපු හරිය…”

අම්මාගේ උස් හඬින් මම තිගැස්සී ගියෙමි. ඈ කාට එසේ පවසනවාදැයි කියා බැලීමට මම ජනේලයෙන් පිටතට එබි කම් කළෙමි. ඇසිලින් නැන්දා තාර ගමනින් නිවස දෙසට එමින් සිටියාය. ඈ දුටු මා සිතේද ඇති වූයේ කෝපයකි.

“මොකක්ද නාලිනියෝ මම කළේ…?”

“අනේ උඹ තොත්ත බබා…ඔහොම නැවතියන්…උඹ තව අඩියක් තියන්න එපා…උඹ මගේ කෙල්ලගේ ජීවිතේ නැති කරලා තව අහනවා මොනවද කළේ කියලා…පලයන් මෙතනින් මගේ කොසු පාර නොකා…කපුකම් කරලා…තව එනවා මෙතන…”

“මේ නාලිනියෝ…මම බලෙන් බැන්දුවේ නැහැ…”

“මගෙන් කුණුහරප නාහා පලයන් මෙතනින්…උඹ ආයේ මේ පැත්තටවත් එන්න එපා…”

අම්මා ඇයව බැන වැදී එළවා ගත් එක ගැන නම් මම සතුටු වෙමි. ඇසිලින් නැන්දා තාරා ගමනින් ආපසු යනු දැක මා මුවට සිනහ නැඟිණි. මා මුවින් සුසුමක් පිට විය. සැනසුමක් නම් සිතට නොදැනිණි. ඇති වූයේ තවත් එක් කළකිරීමක් පමණි. රෙදි ටික නවා තබා මම කාමරයට පැමිණියේ අළස හැඟීමෙනි. නිවස පාළුය. නිශාද නිවසේ නැත. ඈ මහ ගෙදර ගොසිනි. අම්මාද අක්කාගේ නිවසට යනවා කියා පිටව ගියේ ඊටත් සුළු මොහොතකට පසුවය. ජනේලය අසල සිටගෙන මම හිස් දෑසින් පාර දෙස බලා සිටියෙමි. ගේට්ටුව අසළ නැවතූ යතුරු පැදියක හඬින් මම වහා එදෙස වුවමනාවෙන් බැලුවේ අයියාවත් පැමිණියාද කියා මුත් මේ මොහොතේ නම් ඔහු පැමිණෙන්නේ නැත. ඒ රජිව් බව හඳුනා ගන්නට මට එතරම් වෙලාවක් ගියේ නැත. මම වහා පිටතට දිව ආවේ තරමක චකිතයකිනුත් බියකිනුත් යුතුවය.

“ර…රජිව් අයියේ… ඔයා… කොහෙද… මෙහේ…?”

වටපිට බලමින් මම ඇසීමි.

“වෙන කොහෙද…ඔයාව බලන්න ආවේ…”

සිතට දැනුණු සියුම් සතුට මම සිත තුළම සඟවා ගත්තේ පුංචි දෙයකින් වුවද මා ලබන සතුට ඉක්මනින් මා කෙරෙන් ගිළිහී යන බව අත්දැකීමෙන් දැන සිටි නිසාය.

“හොඳ වෙලාවට මේ වෙලේ කවුරුත් ගෙදර නැහැ…”

“හිටියත් මට මොකද…මම අද ආවේ කෙළින්ම ගෙදරට ඇවිත් ඔයාට කතා කරනවා කියලා හිතාගෙන…”

“ප්‍රශ්නයක් ඇති කරගන්න එපා…එදා ඔයා මාව ඇරළවලා ගියදා ඉඳන් අයියා මට ගෙයින් එළියට බහින්න තහනම් කළා…”

ඔහුගේ මුවේ ඇඳුණේ උපහාසය මුසු සිනහවකි.

“ඕක කරන්න තිබුණේ මීට කලින්නේ…නංගිව බන්දලා දෙනකොටත් බකන් නිලාගෙන හිටපු එක්කෙනා…දැන් මොකද මේ කාඩ් බෝර්ඩ් වීරයෙක් වෙන්න දඟලන්නේ…මේවට කොයි පැත්තෙන්ද හිනා වෙන්න ඕන මංදාකිණි…?”

මම දොතොල් පියාගෙන සිනහව සඟවා ගත්තේ ඔහු කී දේ සත්‍යයක් වූ නිසාය.

“ඔයා කියන එක නම් ඇත්ත තමා…ඒක එයාලාට තේරෙන්නේ නැහැනේ…”

“ඒවයින් වැඩක් නැහැ…ඔයාට බැරිද එළියට පැන ගන්න…මට ටිකක් නිදහසේ ඔයා එක්ක කතා කරන්න ඕන…”

එයට ඉඩක් ලැබෙනු ඇතැයි කියා විශ්වාසයක් නම නැත.

“කොහොමද එන්නේ…? තරූවත් හිටියා නම් එහෙ එනවා කියලා හරි එන්න තිබුණා…”

“ඒකනේ…”

“හෙට උදේ ස්ටේෂන් එක ළඟට එනවද…?”

මම අසන විට ඒ මුවේ ඇඳුණේ පියකරු සිනහවකි.

“හරි…දහයට…”

මම එයට එකඟව හිස සළා ගෙතුළට ආවෙමි. පැමිණෙන බවට පොරොන්දු වුවද මට නිවසින් යාමට අම්මා අවසර දෙනු ඇතිද කියා විශ්වාසයක් මා සිතේ නොවීය. ඇරත් මා යන්නේ කොහේ යනවා කියාද.? මම දස අතේ සිතුවෙමි. පසුදින මම සූදානම් වී අවසන අම්මාට කීවේ පාසලට ගොස් අස්වීමේ සහතිකය රැගෙන විගස පැමිණෙන බවය.

“මොකද මේ හදිසියේ අස්වීම ගන්න හදන්නේ…?”

අම්මා වහා විමසුවාය.

“මට නම් මොකටවත් හදිසියක් තිබුණේ නැහැ…හදිසි වෙලානෙ මේවා මෙහෙම වුණේ…අස්වීම අරන් තියාගන්න ඕන…ජොබ් එකකටවත් යන්න වුණොත් එහෙම…”

අම්මා වෙනත් යමක් නොවිමසා නිහඬ වූයේ මා එල්ල කළ ඇනුම්පදය නිසාය. එකාතකින් ඈ මා විශ්වාස කොටගෙන මෙසේ පැමිණීමට දුන් අවසරයම මදිද..?මම සිතුවේ මුවේ ඇඳුණු සිනහවක්ද සමඟය. නිවසින් එළියට බසින විට උදෑසන දහය පසු වී තිබිණි. රේල් පාර දිගේ මම ඇවිද ආවේ යම් තරමක ගැහෙන සිතිනි. හරියට මා සිත මත කෝච්චියක් ධාවනය වන්නාක් මෙනි. පෙර කලෙකත් මා රජිව් මුණ ගැසෙන්නට ගියේ මෙවන්ම වූ චකිතය මුසු බියකිනි. රේල් පාර දිගේ එන අතරේ මට අතීතය සිහි විය. සමහර දිනවල මම පාසල් නිම වී පැමිණියේ රේල් පාර දිගේය. සමන්මලී හෝ මාලිකාද සමහර දිනෙක මා සමඟ පැමිණියාය. අපි තරගයට මෙන් පීල්ල දිගේ ඇවිද ගියෙමු. ඒ හැමවරම වැඩි දුරක් ඇවිද යන්නේ මාය. ඒ අතීතයත් මේ වරථමානයත් අතර ඇත්තේ කෙතරම් වෙනසක්ද…? ඔවුන්ට පෙර මම දිවි ගමනේද බොහෝ දුරක් ගෙවා ඇතැයි කියා මට සිතිණි. එය අසත්‍යයක් නොවේ. මේ ගෙවුණු කාලයට මම බොහෝ අත්දැකීම් ලැබුවා නොවේද..? වෙනදා මෙන් දුම්රිය පළ පාළුය. අරලිය ගස් පේළියේ වෙනදා වගේම මල් පීපී හාත්පස මල් සුවඳින් පිරී තිබිණි. එම සුවඳට ඉව අල්ලමින් මම ඉක්මන් පියවර තබමින් රජිව් සොයා දෑස් දිවවූයෙමි. යකඩ කුළුණකට බර දී සිටගෙන ඔහු පෙරමඟ බලා සිටිනු දැක මා සිතට දනුණේ සැනසුමකි.

“මම හිතුවා නෑවිත් ඉඳියි කියලා…”

ඔහු කීවේ අත රැඳි ඔරලෝසුවේ වෙලාව බලමිනි.

“දහයට එනවා කිව්වට…පස්සෙ මතක් වුණේ දහයට කෝච්චිය යනවා කියලා…ඒ නිසා ටිකක් පරක්කු වෙලා ආවේ…ගොඩක් වෙලාද ඇවිත්…?”

“දැන් ටිකක් වෙලා…කොහොමද ගෙදරින් ආවේ…?”

“ඉස්කෝලෙට ගිහින් අස්වීම අරන් එන්නම් කියලා…”

ඔහු දෑස් උඩ රන්දා මදෙස බැලුවේ දඟකාර සිනහවක් මුව මත රඳවාගෙනය.

“ඉතින් අද බදාදා නෙවේනේ…”

“අම්මට ඒක ගානක් නැහැ…”

“එතකොට ගියාම අහයි…කෝ අස්වීම කියලා…”

“එතකොට කියනවා බදාදා එන්න කිව්වා කියලා…බොරු නෙවේනේ…”

දෑස් යටින් ඔහු දෙස බලමින් මම සිනහසුණෙමි.

“එහෙනම් ආයේ එදාටත් අපිට හමුවුණෑකි…”

මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි.

“ආයෙමත්…?”

“ඔව්…අද සහතික දෙන්නේ නැති නිසා ආයේ බදාදා එන්න ඕන කියන්න…මාත් තවම අස්වීම ගත්තේ නැහැ…දෙන්නම එමු…”

සිනහවක් මුව මත තවරාගෙන ඔහු කීවේ ඇසක් ඉඟි මරමිනි.

“අම්මෝ…මෙයා වැඩිය කපටි නැහැ…”

“ඔව්…නැතුව ඉතින් කොහොමද ඔයාව මුණ ගැහෙන්නේ…?”

එසේ හෝ ඔහුව හමුවනවා නම් මටද එය සතුටකි, සැනසුමකි. පාසල් ළමුන්ගේ කටඬවල් වලින් වා තලය පිරී ඇත. එය හරියට මුහුදු රළ බිඳෙන හඬට සමානය. අපි බොහෝ වෙලාවක් කතා බහ කළෙමු. ඔහු ළඟ සිටින විට කාලය ගත වන බවක් නොදැනිණි. නමුත් මෙහි අවසානය කුමක් වේදැයි කියා මට සිතා ගන්නට නොහැකිය. මම නිවසට එන විට දහවල් දොළහටද ආසන්නය. අම්මාත්, නිශාත් එකතුව කුමක් හෝ කෑමක් සාදමින් සිටියෝය. නැන්දම්මාත්, ලේලියත් මිතුරියන් සේ කල් යැවීම නම් සතුටුය.

“ආහ්…චූටි දුව…මොකද වුණේ…අස්වීම ගත්තද…?”

මා දුටු සැණින් අම්මා ඇසුවාය.

“නැහැ අප්පා…බදාදා එන්න කිව්වා…පන්තියේ තව ළමයි ටිකක් ඇවිත් හිටියා…අපි ටිකක් කතා කර කර හිටියා…”

මා පමා වූයේ මන්දැයි ඇසීමට පෙර මම කියා දැමුවෙමි.

“හ්ම්ම්ම්….”

“හරි මහන්සියි අප්පා…”

මම අසල වූ පුටුවකට බර දෙමින් කීවේ දැඩි වෙහෙසකර බවක් මවා පාමිනි.

“අපරාදෙ රස්තියාදුව…හොඳ වෙලාවට යාළුවෝ හරි හමුවුණේ නේද චූටි නංගී…?”

නිශා මා විමසුවාය.

“අනේ ඔව් අප්පා…ගොඩ කාලෙකට පස්සේ යාළුවෝ හමුවුණේ…”

මමද මවා ගත් අනුකම්පා මුසු බවකින් කීවෙමි. නිශා මට ශීතල බීම වීදුරුව පිළිගැන්වූවාය.

“අනේ…ඔයාට නම් පින්…”

අයියා වැන්නෙකුට නිශා වැන්නියක හොඳ වැඩියැයි සිතමින් මම බීම වීදුරුව රස බැලීමි.

“දෙන්නා එකතු වෙලා මොනවද හදන්නේ…?”

කෑම සුවඳට ඉව අල්ලමින් මම ඇසුවෙමි.

“ඩෙසර්ට් එකක්…”

“වාව්…රස පාටයි…”

එය අගය කරමින් පැවසූ මම බීම වීදුරුව හිස් කොට කාමරයට පැමිණියෙමි. අම්මා මා පිළිබඳව සැකයක් ඇති කර නොගැනීම සතුටකි. මා වැරදි ගමනක් ගියා නොවේ.

පසුදින උදෑසන මල්ලිකා නැන්දාත් නිරෝෂාත් මා බලන්නට පැමිණියෝය. ඔවුන් දකින් විට මා සිතේ සතුටක් ඉපදිණි.

“අක්කා නැතුව පාළුයි…”

මගේ අතින් අල්ලා ගනිමින් නිරෝෂා කීවාය.

“මටත් ඔයාලව නිතර මතක් වෙනවා…”

“ඒ නම් බොරු…නේද අම්මා…?”

මල්ලිකා නැන්දා මඳහසක් පෑවාය. අපි කතා බස් කළෙමු. අම්මා තනිවම සිටින බව මල්ලිකා නැන්දා කීවාය. නිරෝෂා එවිට මුව සෑදුවේ කුමක් හෝ පවසන්නට බව මට ඉවකින් මෙන් වැටහිණි.

“දුව දන්නවනේ…පූජිතට වෙඩි තියල තියෙන්නේ රාජකරුණාගේම උන් කියලා…”

මම හිස සැළීමි.

“දඬුවම් ලබන්න ඕන උන් ඉතින් ජීවතුන් අතර නැති එකයි වැඩේ…”

“හිටියත් උන්ට දඬුවම් ලැබෙන එකක් නැහැ අක්කේ…”

අම්මාද කතා බහට මැදිහත්ව කීවාය.

“ඒක නම් හැබෑව…පූජිත මැරුණු නිසා කියනවා නෙවේ දුවේ…ඒත් පහුගිය කාලේ කොල්ලා සෑහෙන්න වෙනස් වුණා…දුවත් නිසා වෙන්නැති…මනුස්සයෙක් හොඳ වෙනකොට මේ ලෝකේ ඉන්න වාසනාවක් නැති එකයි වැඩේ…අන්තිම කාලේ හරි මේ කොල්ලා හොඳට හිටියනේ…”

සුසුමක් හෙළමින් මල්ලිකා නැන්දා කීවාය.

“පූජිත මිනිහා ගාවින් අයින් වෙනවා කියනකොටම මිනිහා බය වෙන්නැති…අනික පූජිත ඔය මිනිහගේ ජාවාරම් වැඩ ගොඩක් පොලීසියට ඔත්තු දීලා තියනවා…”

“අක්කා කොහොමද දන්නේ…?”

“පූජිත නැති වෙන්න ටික දවසකට කලින් මට ඒ විස්තර කිව්වා…”

“ඒක තමා ඌ පළි ගත්තේ…”

“කොහොම වුණත් ඉතින් දුවට වුණේ අසාධාරණයක්…”

“ඇ…ඇයි නැන්දේ එහෙම කිව්වේ…?”

“පූජිතගේ දෙයක් වුණත් ඔය ළමයට අයිති වෙන්න ඕන…”

“අනේ නැන්දේ…ඕවා ලැබුණත් මට වැඩක් නැහැ…අම්මා මා එක්ක කුළල් කා ගනීවි…අනික එයා මම එහේ ඉන්නවට කැමති වුණෙත් නැහැනේ…”

“ඒක නම් ඇත්ත…”

නිරෝෂාද මා කී දේ අනුමත කරමින් කීවාය.

“ඕක නම් මොකක්ද නිරෝෂා…සහෝදරයොත් මට කළේ අසාධාරණකම් තමා…”

අම්මාට මල්ලිකා නැන්දා සමඟ කතා බහ කිරීමට ඉඩ හැර මාත් නිරෝෂාත් කාමරයට ආවෙමු.

“අක්කා දන්නේ නැහැනේ…දැන් මාර වැඩේ වෙලා තියෙන්නෙ…”

යහන මත හිඳ ගනිමින් නිරෝෂා කීවේ රහසින් මෙනි.

“ඒ මොකක්ද නිරෝෂා…?”

කුහුල් සිතින් මම ඇසුවෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you