ලෝකයේම අවධානය දිනු වඳුරු පැටියාගේ කතාව
සමහරවෙලාවට වචන දාහකට වඩා අපිට ඕනෙ එකම එක උණුසුම් වැළඳ ගැනීමක්. ආදරේ කියන්නෙ එවැනි හිත නිවන, සනසන හැඟීමක්. හුස්ම ගැනීම තරම්ම, ආදරය, කරුණාව, තවකෙකුගේ උණුසුම අපිට අවශ්‍යයි. මිනිස්සුන්ට විතරක් නෙමේ, මේ ලෝකෙ ඉන්න හැම ජීවියෙක්ටමත්. ආදරේ කියන්නෙ අපි කාටත් දැනෙන දෙයක්. විශ්වයේ භාෂාව ආදරේ. ආදරේ පාඩම අපි ඉගෙන ගන්නෙ අම්මගෙන්. කුස තුළට ආව දවසෙ ඉඳලම උණුසුමත්, රැකවරණයත් දීලා අපිව ලොකු මහත් කරන්නෙ අම්මා. දරුවෙකුට මවකගේ උණුසුම අහිමිවීම තරම් වේදනාවක් වෙන කොහෙන් ද?

තමන්ටත් වඩා ලොකු, දුඹුරුපාට සෙල්ලම් ඔරංඔටන් කෙනෙක් අරන් එහෙ මෙහෙ යන පුංචි වඳුරු පැටියෙක් ගැන social media වල මේ දවස්වල හැමෝම කතා වෙනව. කවුද මේ වඳුරු පැටියා? දැක්ක ගමන් හරිම හුරතල් දර්ශනයක් කියලා හිතුනත්, මේ වඳුරු පැටියගෙ කතාව ගොඩක් දුක්බරයි.
පන්ච් (Punch) කියන මේ වඳුරු පැටියා ඉපදෙන්නෙ 2025 ජූලි 26 වැනිදා ජපානයේ ටෝකියෝවල ඉචිකාවා නගර සත්වෝද්‍යානයේ. අම්මලා තමන්ගෙ දරුවන්ට පණටත් වඩා ආදරේ වුණත් අම්මගෙ ආදරේ ලබන්න තරම් පන්ච් වාසනාවන්ත වුණේ නැහැ. ඉපදුණ ගමන්ම වගේ පන්ච්ගෙ අම්මා තමන්ගෙ පැටියව අත්හැරලා දැම්මා. සාමාන්‍යෙන් මේ macaque කියන වඳුරු විශේෂය තමන්ගෙ පැටවුන්ට බොහොම ආදරේ කරමින්, රැකවරණය සපයමින්, විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරමින් සහ, උණුසුම, පෝෂණය ලබා දෙමින් පැටවුන්ව උස් මහත් කරත්, පන්ච් සම්බන්ධ තත්වය වෙනස් වෙලා තිබුණා. මවගෙ උණුසුම නොමැතිකම නිසා පැටියා හිටියෙ ජීවිත අවදානමක. ඒ නිසා සත්වෝද්‍යානය කාර්ය මණ්ඩලය පන්ච්ව බලා කියාගත්තා. වඳුරු අම්මෙක් තමන්ගෙ පැටියෙක්ට ලබා දෙන ආදරේ දෙන්න ඔවුන් හැකි උපරිම උත්සාහ කරා. ඒත් මේ ලෝකෙ මොන දේටද අම්මෙක්ගෙ ආදරේ සම කරන්න පුළුවන් වෙන්නෙ?

කෑම බීම, බෙහෙත් මේ දේවල් ලබා දුන්නත් පන්ච්ට උවමනා මව් සෙනෙහස සපයන්න විදිහක් නොමැති නිසා ඔවුන් දුඹුරු පැහැ විශාල ඔරංඔටන් සෙල්ලම් බඩුවක් පන්ච්ට ගෙනවිත් දුන්නා. එතැන් පටන් පන්ච්ගෙ යාළුව වුණේ මෘදු, දිග ලොම් තියෙන සෙල්ලම් ඔරංඔටන්ව. පන්ච් නිතරම ඒක ළඟ තියාගත්තා. එහෙ මෙහෙ අරන් ගියා. ගොඩක් වෙලාවට එයට තුරුල්වෙලා නිදාගත්ත, අම්මගෙ තුරුලෙ නිදියනව වගේ. සෙල්ලං ඔරංඔටන් පන්ච්ගෙ ජීවිතේම වෙලා තිබුණා. සෙල්ලම් බඩුවත් අරන් එහෙ මෙහෙ යන, තුරුල්වෙලා ඉන්න පන්ච්ව social media වල viral වුණේ ඊට පස්සෙ. ලෝකය පුරාම මිනිස්සු මේ පුංචි වඳුරු පැටියගෙ කතාව අහල බලලා සංවේදී වුණා. පන්ච්ගෙ ඡායාරූප හැම තැනම share වෙන්න ගත්තා. පන්ච් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත්වුනේ බොහොම ඉක්මනට.




