More
    NovelsRath Dothaluරත් දෝතළු - 42

    රත් දෝතළු – 42

    -

    spot_img

    රත් දෝතළු – 42

    විහඟ කඩවසම් බවින් යුත් වුවද අහස් තරමටම කඩවසම් යැයි කියා මට නොසිතිණි. නමුත් ඔහු මා සිතේ ඇතිකර තිබුණේ යම් තිගැස්මකි. ඔහු මා දෙස හෙළූ බැල්ම නොතකා මම පිඟන් සෝදා මේසයට තැබුවෙමි. ඔහු ගැල්වූ විළවුන් සුවඳින් මුළුතැන්ගෙයම පිරී ගියාක් මෙනි.

    “ගුඩ් මෝර්නින් සුදු මම්මා…”

    ඔහු අප අසළට පැමිණි විනිෆ්‍රීඩා මහත්මියට ළංව ඇගේ මුව සිපගනිමින් කීවේ යටැසින් මා දෙසත් බලමිනි. එහි වූයේ මනමාල පාටකි.

    “මෙයා එනවා දන්නෙත් නැහැ… යනවා දන්නෙත් නැහැ… වාඩි වෙන්න… ඔයා බත් කනවනේ… බත් විතරයි තියෙන්නේ… තේ බීලා ඉන්නවද කනවද…?”

    ඈ එක දිගටම විමසුවාය.

    “සුදු මම්මා හිතන්නවත් ඉඩ දෙන්නේ නැහැනේ… එක දිගටම කියවන් යනවා…”

    “හිතන්න දෙයක් නැහැ… තියන දෙයක් කන්න තමා තියෙන්නේ…”

    “ඒක නම් කමක් නැහැ… මං කල්පනා කළේ බත් කාලා තේ බොනවද… තේ බීලා බත් කනවද කියලා…”

    ඔහු මා දෙස බලා කියන බව මට ඔහු දෙස නොබලාම පැවසිය හැකිය. මම නිහඬවම විනීෆ්‍රීඩා මහත්මියට කෑම බෙදුවෙමි.

    “බත් කාලා තේ බොන්නකෝ… ඕක කල්පනා කරන්න තරම් දෙයක් නෙවේ…”

    ඈ කීවේ උපහාසයෙන් මෙනි.

    “එහෙනම් ඒකත් විසඳුණා… ඒත් සුදු මම්මා මම කල්පනා කළේ… සුදු මම්මා ඔයා අලුත් කෙනෙක් වැඩට අරන්… මොන නර්සින් හෝම් එකෙන්ද මෙයා ආවේ…?”

    මම පුටුවක් ඇද මේසයට හිඳ ගන්නා ගමන් ඔහු දෙසට බැල්මක් හෙළීමි. ඒ දෑස්ද මා වෙතම දැල්වී ඇති බව දැක මම වහා දෑස් බිමට නැඹුරු කොට ගෙන ඔහුට කෑම බෙදාගන්නට ඉඩ හැර බලා සිටියෙමි.

    “ලේඩීස් ෆර්ස්ට්…”

    ඔහු කීවේ බඳුන් මවෙත ළංකරමිනි.

    “තෑන්ක්ස්…”

    මම පහත් හඬින් කීමි.

    “අරවින්දි ආවේ වැඩට නෙවේ ළමයෝ…”

    විනිෆ්‍රීඩා මහත්මිය ඒ අතරේ කීවාය.

    “අරවින්දි…? ඒකද එයාගේ නම එතකොට? නම නම් හොඳයි… එහෙනම් එයා මොනවද මෙහෙ කරන්නේ…?”

    “මම එයාව දරුකමට ගත්තා… එයා මගේ දුව…”

    ඈ කියනවිට මම තිගැස්මෙන් ඈ දෙස බැලීමි. ඇගේ මුහුණේ වූයේ බැරෑරුම් බවක් මිස උපහාසය මුසු බවක් නම් නොවේ. මා හද ගැස්ම පවා එක්විටම නැවතුණු සෙයකි. විහඟ උපහාසයට මෙන් හඬ නඟා සිනහසෙන්නට විය.

    “සුදු මම්මාත් කරන ජෝක්…”

    ඔහු කීවේ සිනහව නවතා නොගෙනමය.

    “මොකද චූටි පුතා හිනාවෙන්නේ… මං ජෝක් කරනවා කියලද හිතුවේ…?”

    ඇගේ හඬේ වූයේ නොමනාපය මුසු බවකි.

    “ආර් යූ සීරියස් සුදු මම්මා… ඇත්තට කියන්නකෝ… කවුද මේ කැලෑ මල…?”

    මසිත ගැස්සිණි. ඔහු එලෙස මා හැඳින්වූයේ මා හැඳ සිටි චීත්ත ගවුම නිසාද.?

    “මං සීරියස් තමා කියන්නේ…”

    මට එක්වරම ඔහු දෙස බැලිණි. ඒ දුඹුරු වන් දෑස් නළල මත රැඳුණේ පුදුමයෙනි. මම දීසි ඔහු වෙතට ළංකළෙමි.

    “ඇත්තටම සුදු මම්මා… කවද්ද ඔයා මෙහෙම දෙයක් ඩිසයිඩ් කළේ… මම යන්න කලින් එහෙම දෙයක් කියලා තිබුණේ නැහැනේ…”

    “ඒක හදිසියේ හිතපු දෙයක්….”

    “අනේ මන්දා සුදු මම්මා… මං ඒත් කල්පනා කළේ… දරුකමට හදාගන්නත් මෙයා ලොකු වැඩි නැත්ද කියලා…”

    එයට නම් මා මුවට සිනහා නැඟුණෙන් මම එය සඟවා ගනු වස් බිමට හිස නැඹුරු කොටගතිමි.

    “පොඩි ළමයෙක් අරන් හදාගන්නකොට මං නාකි වෙලා ඉඳියි…”

    “ඔව්… ඉතින්… ඒකත් ඇත්ත… සුදු මම්මාට තිබුණේ මාව හදාගන්න…”

    මම සිනහව නවතාගෙන සිටියේ අපහසුවෙනි. කතා බහෙන් මට වැටහී ගියේ විහඟ අහස්ට වඩා හාත්පසින්ම වෙනස් අයෙකු බවය. ඒ බව විනීෆ්‍රීඩා මහත්මියද මා සමඟ පවසා තිබුණාය.

    “ඔයා කෙල්ලෙක් වුණා නම් හදාගන්න තිබුණා… අනික ඉතින් කුරුල්ලෙක් වගේ ඉඟිලෙන්න දඟළන ඔයා වගේ කෙනෙක්ව කොහොමද එක තැනක තියාගන්නේ…? දැන් ඉතින් කාලා ඉන්න… ඔයාත් හරියට කතා කරන්නේ පිට මනුස්සයෙක් වගේ…”

    ඇගේ හඬේ වූ උපහාසය නිසාදෝ ඔහුගේ කතාව නැවතිණි.

    “වාව්… සුදු මම්මා… කෑම ටික නම් පට්ට රසයි… මං ඒත් හිත හිතා හිටියේ ශීලාගේ දිය හොද්ද කන්න වෙයිද දන්නැහැ කියලා…”

    විනීෆ්‍රීඩා මහත්මිය මා දෙස බලා මඳහසක් පෑවා මිස කිසිත් නොකීවාය.

    “සුපිරි…”

    ඔහු කීවේ බත් කටක් මුවේ රුවාගෙනමය.

    “කෑම හිරකරගන්නේ නැතුව කන්න චූටි පුතා…”

    “මේ කෑම නම් හිර වුණත් කමක් නැහැ සුදු මම්මා… ඇත්තටම කවුද මේ… කොහේ ඉඳන්ද ආවේ…?”

    විහඟ නම් එක් මොහොතක් නිහඬද සිටිය නොහැකි අයෙකුය. අහස් ඊට හාත්පසින්ම වෙනස්ය. විහඟ එසේ නොවේ. ඔහු නමටම ගැලපෙන අයෙකුය. කුරුල්ලන්ද එසේමය. නිතරම කිචි බිචි නගති. මුවට නිදහසක් නැත්තේමය.

    “අරවින්දි ගෙනාවේ අහස්… දැන් ඒ ඔයාගේ අක්කා…”

    විනීෆ්‍රීඩා මහත්මිය අවධාරණයෙන් මෙන් කියන විට ඔහු මා දෙස බැලුවේ දෑස් විහිදාගෙනය. ඔහු සිවුරු හඬක් නැංවීය.

    “මයි ගෝඩ් සුදු මම්මා… ඒකත් එහෙමද… එහෙනම් මෑන් දැන් තමා හරිම ට්‍රැක් එකට ඇවිත් තියෙන්නේ… ඒකත් හොඳයි… බට් අවුලකට තියෙන්නේ මෙයාට අක්කා කියන්න වෙන එකයි… මොකද එයා එහෙම පේන්නේ නැහැනේ…”

    ඔහු කීවේ විනෝදකාමී හඬකිනි. මම විනීෆ්‍රීඩා මහත්මිය දෙස බැලුවේ සඟවාගත් සිනහවෙනි. ඇයත් සිටියේ සිනහව තදකරගෙන බව මට පෙනිණි.
    ඔහුගේ කතාබහ විනෝදශීලී සහ සිනහ උපදන සුලු වුවද අහස්ගේ කතා බහින් මා සිත රිදෙන්නේ මන්ද කියා මම ඒ අතරේත් සිතුවෙමි.

    “කොහොම වුණත් කමක් නැහැ චූටි පුතා… එයාට සහෝදරියක්ට වගේ සළකන්න ඕන… දඟ වැඩ කරන්න හදන්න එපා… එච්චරයි…”

    ඈ පැවසුවේ අවවාදයකටත් වඩා දැඩි හඬකින් යුතුවය. එය අවධාරණයෙන්ම පැවසූවකි.

    “මං දැන් ලොකුයිනේ සුදු මම්මා…”

    “ඒකම තමා මටත් තියෙන බය… මං මුලින්ම කිව්වේ ඒ නිසා තමා…”

    විහඟ නිහඬ වුවද මා සිතේ ඇති වූයේ තැතිගැන්මකි. ඈ ඔහුට අනතුරු අඟවන්නට ඇත්තේ ඔහු ගැන හොඳින්ම දන්නා නිසා වන්නට ඇත. ඔහු බොහෝ යුවතියන් ඇසුරු කරන අයෙකු බව මා මුලින් ඇමතුම දුන් දාම දැනගතිමි. නමුත් ඉතින් ඉන් මට ඇති කාරිය කුමක්ද? ඉන්පසුව කතා බහක් නොමැතිවම අපි ආහාර ගෙන අවසන් කළ මුත් ඔහු වරින් වර මදෙස බලනු මා නෙතට හසු වුවද මම එය නොදුටුවා සේ පසුවීමි.

    “තරහා නැතුව මට තේකක් හදලා දෙනවද…”

    මම නැඟිට මේසය අස් පස් කිරීමට සූදානම් වන මොහොතේ ඔහු මා විමසීය.

    “මැඩම් තේ බොනවද…?”

    මම ඇසීමි.

    “කරදරයක් නැත්නම් ළමයෝ…”

    ඈ කීවාය. මම ඇගේ හිස් පිඟාන අතට ගන්නා විට විහඟද සිය පිඟාන මවෙත දිගු කළේය. මම ඔහු දෙසට එක් බැල්මක් හෙළා විනිෆ්‍රීඩා මහත්මියගේත් මගේත් පිඟන් රැගෙන ආවේමි.

    “චූටි පුතා පිඟාන සෝදලා තියන්න… මෙතන වැඩකාරයෝ නැහැ…”

    “ඒක නම් මං සෝදන්නම්කෝ… සුදු මම්මා මෙයාව දරු කමට හදාගන්න ගත්තලු… මෙයා ඔයාට මැඩම් කියනවා… අනේ මන්දා මම කන්ෆියුස් වෙලා ඉන්නේ…”

    ඔහුට පිටුපා සිටි නිසා මා මුවට නැඟි සිනහව ඔහුට නොපෙනෙන්නට ඇත.

    “ඔයා කන්ෆියුස් වෙන්න ඕන නැහැ…”

    “හරි…හරි… එහෙම ඉන්නම්කෝ… මේ ශීලා කවද්ද එන්නේ…? මගේ රෙදි ගොඩාක් තියනවා සෝදගන්න…”

    “ශීලා දැන්ම එන්නේ නැහැ… රෙදි ටික ඔයා වොෂින් මැෂින් දාලා සෝදගන්න… ඒක මහ ලොකු දෙයක් නෙවේනේ… ඔයා ට්‍රැවල් කරනකොට කොහොමද රෙදි සෝදගත්තේ…?”

    ඈ ඇනුම්පදයක් එල්ල කළාය.

    “අනේ… මං ආසම නැති දෙයක් තමා රෙදි සෝදන එක…”

    “එහෙනම් ඇඳුම් නැතුව ඉන්න… ඔයා කොහොමත් අඳින්නේ කඩමාලු නේ… පේන්නේ නැත්ද… හැමතැනම ඉරිලා…”

    “මේක තමා දැන් ට්‍රෙන්ඩ් එක…”

    “විකාර… හිඟන්නෝ වගේ…”

    “සුදු මම්මාට ඕවා එක්ස්ප්ලේන් කරන්න මට බැහැ… මම තේ බීලා ටිකක් එළියට යනවා… සමන් එක්ක යන්නේ… සුදු මම්මලා කොහෙවත් යන්නේ නැහැනේ…?”

    “ඕන දිල්ලියක යන එකයි… සමන් එක්ක යනවා නම් යන්න කලින් අපිට ට්‍රයි ෂෝ එකක් ගෙනල්ල දෙන්න… අපි සුපර් මාර්කට් යන්න ඕන…”

    “මොකටද ට්‍රයි ෂෝ… මං එන්නම්… මට හවස ගියා නම් ඇති…”

    විනීෆ්‍රීඩා මහත්මිය නිහඬ බැල්මක් මවෙත හෙළුවාය. මම තේ සාදා ඔවුන්ට පිළිගන්වා කාමරයට පැමිණියේ වෙනත් ගවුමක් හැඳ ගැනීමටය.

    -හෙටත් හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page