ඝාතකයන් හදන්නෙ සමාජය විසින්මයි – Maargan (2025)
මිනිස්සු අතර වෛරය පැතිරෙන්න සමාජය විසින් පනවන විවිධ සීමා හේතු වෙනවා. උස් – පහත්, සුදු – කළු , ජාතීන්, ආගම් කාරණා මුල් කරගෙන මිනිසුන් තමන් අනිත් අයට වඩා උසස් බව හිතමින් කටයුතු කරනවා. ආසියානු සමාජයේ විශේෂයෙන්ම කාන්තාවො අතරෙ සම සුදු කරගැනීමේ උන්මාදයක් තියනව. වෙළඳ දැන්වීම්, රූපලාවණ්‍ය සමාගම් වගේ තැන්වලින් සුදු පැහැ සම බොහොම සුන්දර බවට කාන්තාවන් අතරෙ ප්‍රචලිත කරලා තියෙන නිසා සුදු වීමේ උන්මාදයට ඔවුන් ගොදුරු වෙනවා වැඩියි. සඟරාවක, රූපවාහිනී තිරයේ, වෙළඳ දැන්වීම්වල මේ හැම තැනකම ඉන්නෙ සුදු පැහැ සමක් ඇති ගැහැණුන්.

අභිරහස් ලෙස මරා දැමුන රම්‍යා කියන තරුණියගෙ මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පරීක්ෂක Dhruv ට භාර වෙනව. නගරයේ කසළ ගොඩක තිබිලා හමුවුණ, ඇගේ සිරුර අඳුරගන්න බැරි තරමට විරූපී වෙලා තිබුණා. ඒ විතරක් නෙමේ පැහැපත් තරුණියක් වුණ ඇගේ සිරුර අඟුරු කැටයක් තරමට කළු වී තිබුණා. මේ අන්දමින් මරා දැමුණ තරුණියන්ගේ සිරුරු මීට පෙරද හමුවී ඇති නිසා පරීක්ෂක Dhruv මෙය දාම ඝාතකයෙකුගේ ක්‍රියාවක් බව සිතනවා.

CCTV දර්ශන වල දක්නට ලැබෙන තැනැත්තා ඝාතකයා බව අනුමාන කරන ඔවුන් ඔහුව සොයා ගන්නවා. ඒ අනුව ඔවුන් Tamilarivu කියන තරුණයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අරඹනවා. නමුත් ඔහු ඝාතකයා නොවන බව ඉක්මනින්ම ඔප්පු වෙන අතර පිහිනුම් ක්‍රීඩකයෙක් වුණ ඔහුගේ සහයෝගයෙන් පරීක්ෂණය ඉදිරියට මෙහෙයවීමට Dhruv තීරණය කරනවා. මිනිස් සිරුර විරූපී කරමින් ඝාතන සිදුකරන මේ ඝාතකයා කවුරුන්ද?

සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව,සැලසුම් සහගතව, නාඳුනන කෙනෙක් වුව මරණයට පත්කළ හැකි අයෙක්. දාම ඝාතකයෙක්. බොහෝවිට ඔවුන් ඒ තැනට පත් වෙන්නේ, පත් කරන්නේ සමාජය විසින්. සුන්දරත්වයට හෝ වෙන කිසිම දෙයකට මිනුම් නොමැති බවත්, විවිධත්වය බොහෝ සුන්දර බවත් මිනිසුන් තේරුම් ගත් දිනෙක, ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්වෙනු නිසැකයි. එවැනි දිනක් කවදාම හෝ උදාවෙයි ද?




