NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 46

Tharu Mal Viyan තරු මල් වියන් – 46

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

අංජලීගේ වෙනස් වීම් දරා ගන්නට නොහැකිව ගයානි සිටියේ තදබල සිත් වේදනාවකිනි. වැලේ වනා තිබූ ඔවුන්ගේ රෙදි අතරින් ඇගේ ඒවා වැල මතම තබා අංජලීගේ ඒවා පමණක් රැගෙන විත් අංජලී ඇගේ රෙදි නමමින් යහන මත හිඳ සිටිනු දකින විට ගයානි ජනේලයෙන් පිටතට නෙත් යොමා බැලුවේ ඇගේ ඇඳුම් නොගෙන ආවේ මන්ද කියාය. සමහර විට ඒවා තවම වියළී නැතුවා වන්නට ඇතැයි කියා ඈ සිතුවාය. ගයානි කිසිත් නොකියා ගොස් වැල මත වූ රෙදි ටික රැගෙන ආවේ අහස පුරා වැස්සක පෙර නිමිති කියා පාමින් අඳුරු වළාකුළු පෙළගැසෙන විටය. රෙදි නම් හොඳින් වියළී ඇත. එසේනම් අංජලී සිතාමතාම ඇගේ රෙදි ටික දමා ආ බවක් වැටහී ගයානිගේ සිතේ ඇති වූයේ ශෝකයකි. ඈ තමාටත් මෙසේ වෙනස්කම් කරන්නේ තමා කළ කුමන වරදකටද කියා ගයානි සිතුවේ හැඬුම්බරවය. මහා වැස්සක් ඇද වැටෙන්නට වූයේ එක්වරමය. ගයානි නින්දට වැටුණේ පරිසරයේ වූ සුවදායි බව නින්දකට මඟ පෑදූ නිසාවෙනි. ඈ නින්දෙන් අවදිවන විට අංජලී කෝපි සාදාගෙන විත් තනිවම පානය කරමින් සිටියේ මේසයට හිඳගෙන කුමක් හෝ කාර්යයක නිරතවන අතරය. තමා නිදි නිසා ඈ තනිව කෝපි සාදාගන්නට ඇතැයි කියා ඈ සිතුවාය. යහනින් බැස ගත් ගයානි පිටුපසට පැමිණියේ රේණුකා හෝ සුරම්‍යා එහි ඇතැයි සිතා මුත් මුළුතැන්ගෙය තුළ කිසිවෙකු නොසිටියේය. මොර සූරන වැස්ස තවම තුරල්ව නැත. ගයානිද කෝපි කෝප්පයක් සාදාගෙන කාමරයට පැමිණියාය.

“මම හෙට ගෙදර යනවා අංජලී…ඔයාත් එනවද යන්න…?”

ගයානි අසන විට අංජලී ගෙළ හරවා මිතුරිය දෙස බැලුවාය.

“නැහැ අනේ…මං බෝඩිමේ ඉන්නවා…ඔයා යන්න…”

“දවස් දෙකක් ඔයාට ඉන්න පුළුවන්ද…?”

ගයානි යළිත් ඇසුවාය.

“මට දැන් කොයිකත් එකයි…හැමදේටම හුරු වෙලා ඉන්න එක හොඳයිනේ…අනුන්ගේ තැන්වල හැමදාම වැටිලා ඉන්නත් බැහැනේ…”

ඈ යළිත් ඇනුම්පදයක් එල්ල කරන විට ගයානි පෑරුණ සිතින් යටි තොළ සපාගෙන නිහඬව කාමරයෙන් මෑත්ව පිටුපසට ඇදුණාය. මේ මොහොතේ නම් ඇගේ සිත බෙහෙවින්ම රිදී තිබිණි. ඈ රංගිකාට ඇමතුමක් ගත්තේ වාවන්නට බැරිම තැනය. එහා පසින් ඇගේ හඬ ඇසෙන විටම ගයානිට මහා හඬින් හැඬිණි.

“අනේ ගයා…ඇයි මේ…මොකද වුණේ…?”

රංගිකා ඇසුවේ කළබලයෙනි.

“ම…ට තවත් දරාගන්න බැහැ…අංජලී මට හරියට වෙනස්කම් කරනවා…”

ඈ හඬ හඬා මිතුරිය හා සියල්ල කියවන්නට වූයේ සිතේ සිරකරන් සිටි වේදනාවය.

“මගේ රෙදි ගත්තේ නැති එකවත්…මට තේ හදපු නැති එකවත් මට කමක් නැහැ රංගි…ඒත් එයා ගහන හින්ට් වලට මගේ හිත රිදෙනවා…එයා කවදාවත් මෙහෙම කරලා නැහැනේ…”

“අනේ…ගයා…අඬන්න එපා…ඔයා දන්නවනේ එයා අවුළෙන් ඉන්නේ…ඒකයි ඔහොම කරනවා ඇත්තේ…අනේ එයා එක්ක තරහා වෙන්න එපා….මං ඔයාලා එක්ක ඉන්නයි තිබුණේ…එහෙම නම් මං ඔයා එක්ක හරි ඉන්නවානේ….අනේ මටත් හරි දුකයි ගයා…”

“ඔයාට හිතා ගන්න පුලුවන් නේ මං ඉන්න වේදනාව…මං හෙට උදේම ගෙදර යනවා…”

කඳුළු පිස ගනිමින් ගයානි කීවාය.

“ඔයා යන්නේ එයා එක්ක තරහා වෙලා නෙවේ නේද…?”

“නැහැ…ඒත් මට ඉන්න බැහැ…එයා හැමවෙලේම හින්ට් ගහනවා…”

“ඉවසන් ඉන්න ගයා…ඔයා ආයේ එනකොට මාත් එනවා ඔයා එක්ක…මං දවස් දෙක තුනක් ඇවිත් ඉන්නම් ඔය දෙන්න එක්ක…”

“එතකොට ආදි අයියා…?”

“එයා ප්‍රශ්නයක් නැහැනේ…මං කියන්නම් එයාට…අපි සඳුදා උදේ එමු… එයා එක්කම ආවෑකි…”

“හ්ම්ම්…”

සහනයට පත් විලසින් ගයානි හූ මිටි තැබුවාය. රාත්‍රියේත් ඉඳහිට වැසි ඇද වැටුණද එය සවස ඇදහැලුණු තරම් මහා වර්ෂාවක් නොවේ. ගයානි සිටියේ නිදිවර්ජිතවය. ඇගේ සිත දුකින් පිරී තිබිණි. ඉඳහිට ගලා යන කඳුළු බිඳු කීපයක් කොට්ටය මතට වැටී බොඳව ගියේය. ඇයට නින්ද ගියේ කොයි මොහොතේද කියා මතකයක් නොවූ මුත් කිසිවෙකුගේ ඉකි බිඳුම් හඬකින් ඈ තිගැස්සී අවදිව සවන් දුන්නාය. කාමරය වූයේ අඳුරේ වුවද යාබද නාන කාමරයේ දොර යටින් වැටුණ එළිය ගලා ආ බැවින් අංජලී යහන මත නොවූ බව සුළු මොහොතකින් ඇයට වැටහිණි. ඒ අංජලීය. මේ මහා රෑ අවදිව ඈ හඬනවාද…? ඉකි බිඳුම් හඬ තවත් ඇසේ. ගයානි සෙමෙන් යහනින් බැස ගත්තාය. තමා ඈ වෙත යා යුතුද..? ඈ තමා නොසළකා හැර ඇත. ඇයට ඕන දෙයක් කරගන්නට හැර නිහඬව සිටිය යුතුද..? මේ මොහොතේ ඈ ළඟට ගියා නම් ඈ තමාට යළිත් වරක් බැන වැදී එළවා දමනු ඇත. වෙන දෙයක් වූවා දෙන් යැයි සිතූ ගයානි අඩවන්ව තිබූ දොර විවර කරගෙන නාන කාමරයට එබුණාය. බිම හිඳගෙන කකුල් අතර මුහුණ හොවාගෙන හඬන මිතුරිය දැක ගයානිගේ සිත ඉසිළුම් නොදුන්නේය. ඈ වහා දුව ගොස් මිතුරිය අසළ බිම හිඳගෙන ඇයව තුරුළු කරගත්තේ ඇයද හඬා වැටෙමිනි. අංජලී හිස ඔසවා ගයානි වැළඳ ගත්තාය.

“අනේ…ගයා…මට මේක තවත් දරා ගන්න බැහැ…මං ඔයාට නපුරු වුණා…මට සමාවෙන්න ගයා…මං එහෙම කළේ හිතලාමයි…ඒත් මට ඒක කරන්න බැහැ ගයා…මට බැහැ…මට සමාවෙන්න…ගයා…මා එක්ක තරහා වෙන්න එපා…”

මහා හඬින් කෑ ගසමින් ඈ හැඬුවාය.

“අනේ අඬන්න එපා…ආන්ටිලාට ඇහෙයි…අඬන්නැතුව ඉන්නකෝ…”

ගයානිද හැඬුම නවතාගෙන මිතුරිය අස්වසන්නට වූවාය. සුළු මොහොතකට පසුව ඇගේ හැඬුම බාල විය. ගයානි අංජලී කැටුව කාමරයට විත් ඇයට නින්ද යන තුරුම ඇගේ හිස පිරිමදිමින් සිටියාය. පසුදින උදෑසන ඈ හැඳ පැළඳ සූදානම් වන විටත් අංජලී සිටියේ සුව නින්දකය. ඇයට යෑමට සිතක් නොවුණද ඈ නිවසට යන අදහස වෙනස් කරගන්නට නොසිතුවාය. ඈ අංජලී නින්දෙන් අවදි කර වූයේ ඇයට උණුසුම් තේ කෝප්පයක්ද සාදාගෙනමය.

“ඔයා යන්නද හදන්නේ…?”

අංජලී නැඟිට යහන මත හිඳ ගනිමින් ඇසුවේ නිදිගැට කඩමිනි.

“ඔව්…මං ගිහින් එන්නම්…මේ තේ බොන්න…නිවෙන්න කලින්…ඔයා නිවිච්ච තේ බොන්න ආසා නැහැනේ…”

අංජලී මඳහසක් පෑවාය.

“පරිස්සමින් ගිහින් එන්න…”

මිතුරිය වෙත පැමිණි අංජලී ගයානි වැළඳ ගනිමින් කීවාය.

“මං ආයේ එනවා බොල…හරියට මං යන්නම යනවා වගේනේ…”

ගයානි කීවේ සිනහසෙමිනි.

“ඒ වුණාට ඔයා ආයේ එනකොට මං නැහැ ගයා…මං යන්නම යනවා…”

අංජලී එසේ සිතුවා මිස මුවින් නොකීවාය.

“ඔයා මා එක්ක තරහා නැහැ නේද ගයා…?”

අලුත් වූ කඳුලින් දෑස් බොඳ වන විට අංජලී ඇගේ අතක් තරයේ අල්ලාගනිමින් ඇසුවාය.

“තරහයි…ඒත් දැන් යාළුයි…හරි මං පික් මී එකක් දැම්මා…මං යනවා…සඳුදා උදේට හම්බෙමු…”

ගයානි කීවේ රංගිකා එන බවක් ඇයට නොකියාය. ඉන් ඇයව පුදුම කරවන්නට ඈ සිතා සිටියාය. ගයානි සමඟ දොරකඩ තෙක් පැමිණ රථයට නඟින තුරුත් ඇයට අත වනමින් හිඳ පසුව ගෙතුළට පැමිණියේ සිත තුළ පටවා ගත් අලුත් ශෝකයකිනි.
——————————————————————————————————
ගයානි රථයේ යන අතරේම රංගිකාට ඇමතුමක් ගත්තාය. ඈ සිටියේ සතුටිනි.

“අංජලී වෙනස් වෙලා ආයේ…”

ගයානිගේ හඬ සතුටින් පිරී තිබිණි.

“වෙනස් වෙලා…ඒ කොහොමද…?”

“අනේ මෝඩි…එයා ආයේ පරණ අංජලීම වෙලා…”

ගයානි රංගිකා හා පෙරදින රාත්‍රියේ වූ සිදුවීම පැවසුවාය.

“අනේ ගයා…ඒ ඇත්තටමද…අනේ හරිම ෂෝක්…මං ඔයාට කිව්වේ එයා එක්ක තරහා වෙන්න එපා කියලා…”

“මං තරහා වුණේ නැහැ…මට දුක හිතුණා විතරයි…”

“දැන් ඉතින් හැමදේම හොඳින් සිද්ධ වෙයි ගයා…”

ගයානිද එය එසේ වේයැයි සිතුවාය. දැන් යළිත් ඇය සුපුරුදු අංජලීමය. කෙමෙන් කෙමෙන් සියල්ල යථා තත්වයට පත්වනු ඇත. ගයානි සැනසුම් සුසුමක් පිට කළාය.

“ඔයා එනවා නේද සඳුදට මා එක්ක…?”

රංගිකා සිය පළමු අදහස වෙනස් කරගෙන ඇතැයි සිතා ඈ ඇසුවේ සැකමුසු හඬකිනි.

“ඔව්…ඔව්…නැතුව…”

“අපිට කතා කරන්න හුඟාක් දේවල් තියෙයි…”

“හ්ම්ම්…”

“එයා පුදුම වෙයි මාව දැක්කාම…”

රංගිකා කීවේ එය සිතින් මවා ගැනීමට උත්සාහ දරමිනි.

අංජලී නොව තමන් සියලු දෙන මවිත වන්නට යන බවක් ඒ මොහොතේ ඔවුන් කිසිවිටෙක නොසිතූහ. මේ අතර ගයනි පිටව ගියාට පසුව අංජලී අල්මාරියේ දමා තිබූ ගමන් බෑගය ගෙන ගෙන යෑමට වුවමනා ඇඳුම් සූදානම් කරගන්නට වූවාය. ඇගේ සිතේ වූයේ සියුම් චකිතය මුසු හැඟීමකි. මෙතෙක් කලක් කොහේ ගියත් කුමක් කළත් ඒ ඔවූන් තිදෙනම එකටමය. අද ඈ තනිවම මෙවන් තීරණයක් ගෙන ඇත. එය ඇගේම තනි මතයට ගත් තීරණයකි. කවුරුන්වත් ඇයට බල කළා නොවේ. ඇගේ සිත නොසන්සුන්ය, කළබලකාරීය. මේසයට හිඳගෙන ඈ ගයානිට ලිපියක් ලියන්නට වූවාය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you