More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල්වියන් - 44

    Tharu Mal Viyan තරු මල්වියන් – 44

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල්වියන්

    අංජලීට මේ සිදු වූ සිදුවීම් පෙළ සිහිනයක් මෙනි. වික්‍රමාරච්ව් දොස්තර මහතා ඉතා කාරුණික පුද්ගලෙයෙකු විය. තමා අතින් සිදු වූ වරද ගැන ඔහු සිය දහස් වාරයක් ඇගෙන් සමාව ඉල්ලූ අතරම ඇයට අහිමිව ගිය ඇගේ ජංගම දුරකථනය වෙනුවට අලුත් එකක් මිලදී ගෙන දුන්නේ එය තමාගේ වරද බව පවසමින් අංජලී නොකමැත්ත පළ කරන විටමය. පසුව ඇයව කැඳවාගෙන විත් උදෑසන ආහාර සමඟ කෝපි කෝප්පයක්ද පානය කරමින් සිය දුක්බරිත කතාව ඈ සමඟ පවසන්නට වූයේ ඈ ගයානිට ඇමතුමක් ගෙන අවසන් වූ විටය.

    “යාළුවා බය වෙලාද…?”

    ඈ ඇමතුම විසන්ධි කළ පසුව ඔහු ඇසුවේය.

    “ඔව්…අපි දෙන්නා කතා කර කර ඉන්නකොටමනේ මේක වුණේ…අනික මං හදිසියේ ආවේ…ඒ නිසා එයා දන්නෙත් නැහැ මං ආවා කියලා…”

    ඈ සත්‍යයම පැවසුවේ ඔහුගේ මෘදු කරුණා ගුණය ගැන පැහැදීමෙනි.

    “දුවේ…යන තැනක් කාට හරිම කියලා යන්න…ඒක යුතුකමක් විතරක් නෙවේ…අද මෙහෙම දෙයක් වෙලා බේරුණා…ඊට වඩා දෙයක් වුණත් කවුරුත් දන්නේ නැහැ ඔයා ආ ගිය තැනක් වත්…”

    එය කාරුණික අවවාදයක් විය. ඈ සුසුමක් හෙළමින් එයට එකඟව හිස සැළුවාය.

    “ඔයා ඉන්නෙත් මං වගේම මොකක් හරි ප්‍රශ්නෙක වගේ…?”

    ඈ සුසුමක් හෙළූ නිසා ඔහු ඇසීය.

    “ඔව්…මං මෙහෙ ආවෙත් ඒ නිසා තමා…”

    “මට තේරෙනවා…මගේ පුතා නැති වෙලා අදට සතියයි…”

    එවර දිගු සුසුමක් ඇද ගත් වික්‍රම කීය. අංජලී මවිතයෙන් බලා සිටියාය.

    “ඒ කොහොමද සර්…?”

    “එයා හිටියේ ඉංග්‍ලන්ඩ්…කාර් ඇක්සිඩන්ට් එකක්…කාර් එක ගිනි අරන්… අන්තිමේ එයාගේ අළු ටික විතරයි ගෙනාවේ…”

    ඔහුට හැඬිණි. සිය ලේන්සුව ගෙන ඔහු වහා වහා කඳුළු පිස ගත්තේය.

    “මං ඒ අළු අරන් එන්න තමා මෙහෙට ආවේ…ඒ කල්පනාවෙන් ඩ්‍රයිව් කළා මිසක් මට සිහියක් තිබුණේ නැහැ…”

    ඔහු නිහඬ විය. අංජලී කුමක් පවසම්දැයි නොදැන නිහඬව සිටියාය.

    “මගේ වයිෆ් ඉන්නේ හරිම අවුලෙන්…අපි කතෝලික…එයා මගේ හිත හදන්න හදනවා නිතරම…ඒත් මට දුකයි…මායි පුතයි හුඟාක් එකතුයි…දෙවියන් වහන්සේ උන්වහන්සෙගේ මල් උයන සාසන්න තෝර ගන්නේ ලස්සනම මල් කියලා ෆාදර් නිතර කියනවා…ඒ කතාව ඇත්ත වෙන්නැති… හොඳ අය ඉක්මනින් මැරිලා , පව්කාර අපි ජීවත් වෙනවා…”

    අංජලී තිගැස්සී ගියාය. එසේනම් අම්මාද ඒ මල් අතරින් ලස්සනම මලක්ද කියා ඇයට සිතිණි. ඈ මෙවන් කතාවක් ඇසූ පළමු වතාව නිසා මවිත වූවාය.

    “කතෝලික අපි හිතන්නේ මරණය සැපතක් විදියට…ඒත් ජීවත් වෙලා ඉන්න අයට තමා වේදනාව…”

    ඇගේ සිත අලුතින් පෑරිණි.

    “මට තේරෙනවා…මගෙත් අම්මා නැති වුණේ මට අවුරුදු දහතුනේදි…”

    ශෝකී හඬකින් ඈ කියන විට වික්‍රම පුදුමයෙන් ඈ දෙස බැලුවාය.

    “මොකක්…මොනවා වෙලාද…?”

    “හාර්ට් ඇටෑක් එකක්…”

    ඔහු හිස ඉහළ පහළ වැනුවේ කල්පනාකාරී ලෙසය.

    “මගේ වයිෆ් කැමති වෙයි ඔයාව මුණ ගැහුණා නම්…ඒත් දැන් පරක්කු වෙනවා… ඔයාට ඕනම දෙයක් ඕනම උදව්වක් ඕන වුණොත් මට කතා කරන්න දුව…”

    වික්‍රම සිය කාර්ඩ් පතක් ඇයට දිගු කරමින් කීය. ඈ එය අතට ගත්තේ මඳහසක් පාමිනි.

    “ඕනම උදව්වක්ද…?”

    ඈ එය විහිළුවක් සේ සළකා ඇසීය.

    “ඔව්…ඕනම උදව්වක්…”

    “මට මෙහෙන් ජොබ් එකක් හොයලා දෙන්න…”

    ඈ එසේ කීවේ ඔහුගේ ප්‍රතිචාරය දැක ගන්නටය.

    “ජොබ් එකක් හොයා ගන්න එක එච්චර අමාරු නැහැ…මගේ යාළුවෝ ඉන්නවා…ඔයාට ඔෆිස් එකක ජොබ් එකක්නේ ඕන…හරි…ඒක වුණා කියලා හිතාගන්න…”

    ඔහු කියන විට ඇයට අදහාගන්නට නොහැකි විය. එය කීවේ විහිළුවට වුවද ඔහු කතා කළේ හෙට වුවත් රැකියාව ලැබෙන ලෙසකිනි.

    “ආහ්..මං නිකමට කිව්වේ…ඒත්… ඇත්තටම පුළුවන් වෙයිද…? මං දැනට ජොබ් එකක් කරනවා…”

    ඈ ඔහු සමඟ එම තොරතුරු පැවසුවාය. රැකියාවක් සොයා ගත හැකි බව ඔහු කීවේ ඉතා විශ්වාසයෙනි. මේ නම් ඇයට දෝත පුරා ලැබුණු වාසනාවක් සේ ඇයට හැඟිණි. අවසන ඈ වික්‍රම දොස්තර මහතාගෙන් සමුගෙන පැමිණියේ ඉතා ඉක්මනින් නැවත ඔහු හමුවන්නට එන බවට වූ පොරොන්දුවත් සමඟය.
    ——————————————————————————————————
    ගයානි සිටියේ අංජලී සමඟ තරමක නොමනාපයෙනුත් කෝපයෙනුත් යුතුවය.

    “ඇති ඔයින් ගියා…මීට වඩා දෙයක් වුණත් එච්චරනේ…”

    ගයානි කෝපය මුසුව කීවාය. අංජලී එය නෑසුණා සේ සිටියාය. ඈ වික්‍රමාරච්චි දොස්තර මහතා පිළිබඳව කිසිදු දෙයක් ඈ හා පැවසුවේ නැත. දැන් ඇගේ එකම අරමුණ ඔහුට කියා රැකියාවක් සොයා ගෙන මෙහින් පිටව යෑමය. ඈ සිතුවේ ඒ පිළිබඳවය. ගයානි තනිව දමා යෑමට සිත හදා ගත නොහැකි වුවද ඇයට කළ හැකි කිසිත් නැත. මියුර ඈ රැක බලාගනු ඇත. දැන්ම කිසිවකට හදිසි නොවිය යුතුය. සියල්ල නිහඬව බලා සිටිය යුතුය. මේ හදිසියේ ඈ රැකියාවෙන් ඉවත් වී ගියහොත් ඔවුන් එකත් එකටම තමා සිටින තැන සැක සිතා තමා සොයා එනු ඇති බවට සැකයක් නැත. කිසිවෙකු එය දැන නොගත යුතුය. මෙතැන් පටන් තමාට තමා පමණක් බව සිතා කටයුතු කළ යුතුය. මේ සියල්ල සිතමින් සිටි නිසා ඇයට ගයානි කියන කිසිත් නෑසිණි. ඈ ශාමින්දගේ නම කියනු ඇසී ඈ තිගැස්මෙන් ගයානි දෙස බැලුවාය.

    “මොනවද කිව්වේ…?”

    ඈ නින්දෙන් පිබිදුණාක් මෙන් ඇසුවාය.

    “අයියා අහනවා මොකෝ මෙයාගේ ෆෝන් එක ඕෆ් කියලා…?”

    එවර ඈ සිය තුරුළට ගෙන සිටි කොට්ටය පසෙක දමා එරමිණියා ගොතාගෙන හිඳ ගත්තාය.

    “ඔයා අයියාට කිව්වෙ නැහැ නේද…?

    ඇගේ හඬේ වූයේ බියපත් බවකි. ගයානි හිස සැළුවාය.

    “නැහැ…ඒත් ඉතින් අයියා ඔයාට මෙසේජ් කරලා තියනවා…මගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා…?”

    “එහෙම කියන්න…ඒත් මේ ගැන එයාට කියන්න එපා…දැන්ම එපා…”

    දුක්මුසු හඬකින් ඈ කීවාය. ගයානි මිතුරිය දෙසම බලා සිටියාය.

    “එයා කවදාහරි දැන ගනියිනේ…”

    “ඒකට කමක් නැහැ ගයා…දැන්ම එපා…මට කාගෙවත් අනුකම්පාවක් ඕන නැහැ…මේ ලෝකේ මෙහෙම දෙයක් වුණ පළවෙනි කෙනා මම නෙවේනේ…”

    එවර ඈ කතා කළේ කෝපය මුසුවය.

    “හ්ම්ම්…ඒක ඔයාටම තේරුණානේ…?”

    “ඔව්…දැන් තමා තේරෙන්නේ…”

    ඈ එසේ කියා නිහඬ වූවාය. ගයානි මොහොතක් මිතුරිය දෙස බලා සිටියාය.

    “ඔයාගේ තාත්තාව හම්බෙන්න ගිහින් දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර හම්බුණාද…?”

    “එයා මගේ තාත්තා නෙවේ…එයා තාත්තා කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක්වත් නෙවේ…අනික මං ගියේ මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නෙවේ…මෙච්චර කාලයක් කියා ගන්න බැරි වුණ දේවල් එයාගේ මූණටම කියලා එන්න…මට දැන් හිතට සතුටක් දැනෙනවා…”

    අංජලී සැබෑවටම කීවේද සිනහවක් පාමිනි.

    “හ්ම්ම්…කමක් නැහැ…ඔයාගේ හිත හැදෙනවා නම්…”

    ගයානි එසේ කියා නිහඬ වූවාය. කෙසේ වුවත් සිත තුළ සැනසීමක් නැත. එය කිසිවෙකු රැගෙන ගියාක් මෙනි. පෙර වූ සැහැල්ලුව නැවත ලැබෙන්නේ නැත. දැන් තමා වෙනස්ම අයෙකු බවට පත්ව ඇති බවක් ඇයට හැඟිණි. රංගිකා ගයානිගේ දුරකථනයට ඇමතුමක් ගත් මොහොතේ අංජලී සමඟ කතා කරන්නට සූදානම් වුවද ඈ එක් එල්ලේම කියා සිටියේ ඇයට කතා කරන්නට දෙයක් නොමැති බවය. ඉන් ගයානිගේ මෙන්ම රංගිකාගේද සිත තදින්ම පෑරිණි. සිරිවර්ධන යුවළත් හේෂාන් සහ ඉන්ද්‍රාණිත් සවස අංජලී මුණ ගැසෙන්නට නවාතැනට පැමිණියේ අනපේක්ෂිතවය. අංජලීගේ සිත ඔවුන් ඉදිරියේ දියාරු වී යෑමට සූදානම් වන විට ඈ සිත ගලක් කරගෙන ඔවුන් ඉදිරියට ගියාය.

    “දුව…කොහොමද…? ඔයා ගෙදර ආවේ නැති නිසා අපි ආවා ඔයාව බලන්න…”

    වෙනදා දුව ගොස් සිරිවර්ධන යුවළට මැදිව හිඳගෙන දොඩමළු වන අංජලී අද දුරින් හිඳ ඔවුන් දෙස බලා සිටියේ නාඳුනන පිරිසක් දුටුවාක් මෙනි.

    “ඒ මගේ ගෙදර නෙවේනේ…මං මොකටද එහේ යන්නේ…බෝඩිමට වෙලා ඉන්න එක සැපයි…”

    ඈ දුන් පිළිතුරෙන් ගයානි පමණක් නොව ඔවුන් සැවොම මවිතයට පත් වූහ. හේෂාන් දුක්බර දෑසින් අංජලී දෙස බලා සිටියේය.

    “ඒ ඔයාගෙත් ගේ තමා දුව…ඔයා අපේ දුව…”

    හේෂාන් කීවේ පෑරුණු සිතිනි. දීපිකා අසුනින් නැඟිට අංජලී අසලට පැමිණියාය.

    “ඔයා කාත් කවුරුත් නැති කෙනෙක් නෙවේ දුව…අපි ඔයාගේ පවුල…අපි හැමෝම…කවුරුත් කියපු දෙයක් නිසා හිත රිදව ගන්න එපා ළමයෝ…”

    ඈ පැවසුවේ මෘදු හඬකිනි. සිත දියාරු වී මහ හඬින් හැඬෙනු ඇතැයි ඇයට සිතුණද ඈ සිත දිරිමත් කරගෙන නොහඬා සිටියාය.

    “ලොකු අය අපි පොඩි කාලේ සුරංගනා කතා කියනකොට අපි ආසාවෙන් අහන් ඉන්නවා…ඒවා ඇත්ත කියලා හිතලා…දැන් අපි ලොකුයි…ඒ අහපු සුරංගනා කතා හරි ලස්සනයි තමා…ඒත් ඒ හැමදේම බොරු…දැනුත් මේ ඔය වගේ කතා කිව්වාම රැවටෙන්න මං පොඩි බබෙක් නෙවෙයි… අපි ඇත්තට මූණ දෙන්න ඕන…”

    දීපිකා දොතොල්පට සපාගෙන හිස බිමට නැඹුරු කරගත්තාය. පෙර සිටි අංජලී කවදාවත් මෙසේ කතා කරන්නේ නැත. සිරිවර්ධන බලා සිටියේ වේදනාවකින් හදවත කකියන විටය. මේ කතා කරන්නේ ඈ නොව, ඇගේ සිතේ ඇති වේදනාව බව ඔහුට නම් මනාව වැටහිණි. ගයානි ඇගේ අතින් තරයේ අල්ලා ගත්තේ ඇගේ කතාවෙන් දීපිකාගේ සිත රිදෙන්නට ඇතැයි සිතුණු නිසාය. ඈ කවදාවත් කිසිවෙකුගේ සිතක් රිදවූ අයෙකු නොවන බව ගයානි හොඳාකාරවම දැන සිටියාය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page