Tharu Mal Viyan තරු මල් වියන්
අම්බුළුවාවේ සිට බලන කල මුළු ගම්පොළ නගරයම පෙනෙන්නේ ඉතා සුන්දරවය. සීතල සුළඟ සමඟ ශාමින්ද තමා දැඩිව අල්ලා ගෙන සිටියේ බඳ වටා දෑත යවාය. හමන සුළඟ තදය. බියක් නොදැනුණේ තමා සුරක්ෂිත දෑතක සිරවී සිටින බව දත් නිසාය. පෙර දිනක පැමිණි විටක මෙහි මුදුනටම නඟින්නට නොහැකි වූයේ සෙනඟ සිටි බැවිනි. අද නම් එම අත්දැකීම ලබන්නට හැකි වූයේ ශාමින්ද නිසාය. ඔවුන් බොහෝ වෙලාවක් එහි සිටියේ එතනින් බැස යන්නට ඇති ලෝභ කමටමය.
“අම්බුළුවාව ලස්සනටම දැක්කේ අද…”
යළිත් පහළට බසින අතරේ ශාමින්ද කීවේය. එහි අරුත ඇයට අමුතුවෙන් පහදන්නට වුවමනා නොවීය. ඇයටද එය එසේම දැනී තිබිණි.
“අනේ…මට ආයේ එන්න ඕන…”
ගයානි කීවේ ආපසු හැරී බලමිනි.
“අපි එමු ආයේ…”
මියුරද කීවේ එයට එකඟවය. පහළට බසින අතරේ අහිකුණ්ටක මිනිසාගේ කර මත දමාගෙන සිටින පිඹුරා දකින විට නම් ඇති වූයේ බිය මුසු හැඟීමකි.
අංජලී ශාමින්ද සමඟ එතනින් මෑත් වූයේ බිය නිසාවෙනි.
“උන් කන්නෙ නැහැ ළමයෝ…”
“හ්ම්ම්…මං දන්නවා…බය නෙවේ…ඒ මනුස්සයා කොහොම කරේ සර්පයෙක් දාගෙන ඉන්නවද මංදා…”
“ඔය ගොඩක් අය කරේ දාගන්නේ ඉතින්…”
ශාමින්ද කීවේ සිනහසෙමිනි.
“අහක ඉන්න සර්පයෝ මොකටද කරේ දාගන්නේ…නේද අංජලී…?”
ගයා එවර කීවේ ඇගේ අත අල්ලා ගනිමිනි.
“මෙයා කොහෙන්ද ආවේ…දැන්ද මාව මතක් වුණේ…?”
අංජලී මවා ගත් නොමනාපයකින් කීවාය.
“හරි…හරි…ළමයෝ ඉතින්…ඔයාගේ තනියට කෙනෙක් හිටියානේ…අපි නැති වුණාට මොකද…?”
එවර ගයානි කියන විට අංජලී ලැජ්ජා මුසු වූ හැඟිමෙන් වහා නිහඬ වූයේ බිමට යොමාගත් හිසිනි. එදිනම ඔවුන් දළදා මාළිගාවට ගොස් යළි පේරාදෙණිය උද්භිද උයනටද ගියේ දහවල ආහාර එහිදි ලබා ගන්නට සැළසුම් කරමිනි.
“මාමාවත් බලාගෙන යන්නත් පුළුවන් ඕන නම්…”
මේනක එසේ කීවේ මව දෙස බලාන එයට ඈ දක්වන ප්‍රතිචාරය කුමක්දැයි දැන ගැනීමටය. අංජලී තිගැස්සී ගියේ පියා සිටින්නේ නුවර බව සිහි වූයේ මේ මොහොතේ නිසාය. ඔහු සිටින්නේ කොහිද කියා හෝ ඈ දැන නොසිටියාය. මේනක මේ මොහොතේ එසේ පැවසුවේ විහිළුවට යැයි කියා ඈ සිතුවාය.
“ඇත්තටම ඉතින් යන්නත් තිබුණා තමා…”
ඉන්ද්‍රාණිද එයට එකඟව කීවාය.
“නැහැ…නැහැ…මොකටද…එයා මෙච්චර කාලෙකට ආවද අපිව බලන්න…අපිව තියා දුවව බලන්නවත් නාපු උන්ගෙ ගෙවල් වලට යන්න ඕන නැහැ…”
හේෂාන් කීවේ නොරුස්සුම් මුසුවය.
“මං නිකන් කිව්වේ තාත්තේ…”
මේනක වහා කීවේ පියා නොසතුටු වූ බව දැකය. අංජලී රිය කවුළුවෙන් ඉවත බලා සිටියා මිස කිසිත් නොකීවාය. මාමා කීවේ ඇත්තය. පියා තමා බැලීමටවත් මේ වන තුරු නොපැමිණියේය. මවගේ වියෝවෙන් පසුව ඔහුව දුටුවේද මේනකගේ විවාහ උත්සවය දාය. ඈ මුවින් ගිළිහෙන්නට ගිය සුසුම ඈ වළකා ගත්තේ අසීරුවෙනි.
උද්‍යානයේ අස්සක මුල්ලක් නෑර ඇවිද ඇවිද දැන් නම් හොඳටම මහන්සිය. දෙපා රිදුම් දෙයි. අංජලී පයින් ගසක් යට තණ බිම මත වාඩි වූයේ තව දුරටත් ඇවිද යන්නට තරම් ශක්තියක් නැතිවා වාගේය.
“හම්මේ ඇත්තටම මහන්සියි දැන්නම්…”
ගයානිද ඈ අසළම හිඳ ගනිමන් කීවාය. මියුරත් ඈ පසෙක හිඳ ගන්නා විට රංගිකාද දිව විත් තණ බිම මත දිගාවී හිස තබා ගත්තේ අංජලීගේ කළවා මතය.
“ඔය ළමයාට පාඩුවේ ඉන්න දෙනවද….?”
ශාමින්ද පැවසුවේ විහිළුවටය.
“ඇයි…ඉරිසියාද…?”
රංගිකා වහා ඇසුවේ අංජලී අසළ සිටගෙන සිටින ශාමින්ද දෙස හිස හරවා බලමිනි.
“ඔව්…ජෙල…”
“ඔව්…ඔව්…පේනවා…ඊර්ෂ්‍යාව බේරෙනවා…”
ඔහුව අවුස්සන්නට රංගිකාද කෑ ගැසුවාය.
“එහෙනම් මොකටද තව බලන් ඉන්නේ…?”
“ඔයාට නම් ඉඩක් නැහැ හැබැයි…නේ අංජු…?”
ඈ දෙදෙනාගේ වාදය අසා සිටියේ මුහුණෙන් බේරෙන ලැජ්ජා මුසු හැඟීමෙනි. මේ ගෙවී යන්නේ ජීවිතයේ සුන්දරම දවස් නොවේදැයි ඇයට සිතිණි. කාලය අල්ලා නැවතිය හැකි වූවා නම් කියා ඇයට සිතිණි. හෙටින් පසුව නැවත සුපුරුදු ජීවිතයට හුරු විය යුතුය. ඉන්පසු මාලකගේ විවාහයයි. එයට සහභාගී වනවාද කියා තවම සිතා නැත. සහභාගී නොවුණොත් එවිට එය නැන්දාත් මාමාත් කුමක් සිතනු ඇතිද..? ඈ මෙසේ සිතමින් සිටියේ ශෝකය මුසු හැඟීමෙනි.
ශාමින්ද ඈ අසල හිඳ ගන්නා විට රංගිකා නැඟිට හිඳ ගත්තේ ඔහුට බැන වදිමිනි.
“මහ කරදරකාරයෙක්…ගයා… ඔයාගේ අයියාව හදා ගන්න…”
ඈ මුහුණ ඇද කරගනිමින් කීවාය.
“දරුකමටද…?”
ශාමින්ද අනික් පසට ඇසීය.
“ලොකු වැඩියි දැන්…”
එසේ කීවේ මියුරය.
“ඔය ඉන්නේ…එයාට කියන්න…හදා ගන්න…”
ගයානි කීවේ අංජලී පෙන්වමිනි. ඈ තිගැස්මෙන් ගයානි දෙසත් ශාමින්ද දෙසත් බැලුවාය.
“ආහ්…”
ඇයට කියවිණි.
“එහෙමද ආසා…?”
ශාමින්ද අසන විටම එහි පැමිණි හේෂානුත් සිරිවර්ධනත් නිසා එම කතා බහ එසේම නැවතී ගියේ වාසනාවට මෙනැයි අංජලී සිතුවාය.
“අපි යමුද…? දැන් පහටත් කිට්ටුයි…තව ටිකෙන් මෙතන වහනවානේ…හරි මහන්සියි අද නම්…”
හේෂාන් ඇසුවේ අන් අයගේද අනුමැතිය පතන බැල්මකින් බලානය.
“යමු…කෝ ආන්ටිලා…?”
ශාමින්ද එකඟව ඇසුවේය.
“එයාලා අපි එනකල් බලන් ඉන්නවා…යමු එහෙනම්…”
සිරිවර්ධනත් හේෂානුත් පෙරමුණ ගන්නා විට නැඟී සිටි සෙස්සෝද ඔවුන් අනුගමනය කරමින් පසු ගමන් ගත්හ.
“මේ දවස් ටික හරිම ලස්සනට ගෙවුණා…”
එදින රාත්‍රී ආහාරයෙන් අනතුරුව ආලින්දයේ කතා බහ කරමින් සිටින විට එසේ කීවේ හේෂාන්ය.
“ඒක නම් ඇත්ත අංකල්…අපිත් මාර විදියට එන්ජෝයි කළා…”
ආදිත්‍යද එය අනුමත කරමින් කීය. අංජලී සිටියේ ඉස්තෝප්පුවට වී ශාමින්ද සමඟ කතා බහකය. ආලින්දයේ වන කතා බහ ඔවුනටත් ඇසිණි.
“ඇත්තටම හරිම ලස්සන දවස් ටිකක් ගෙවුණේ…නේද අංජලී…?”
රාත්‍රී අහසට දෑස් යොමා සිටි අංජලී වහා එම හඬින් ශාමින්ද දෙස බැලුවේ ඔහු අදත් තරු ගනිනවාදැයි අසමින් ඇයට විහිළු කරනු ඇතැයි සිතාය.
“හ්ම්ම්….අල්ලලා නවත්ත ගන්න තිබුණා නම්…නේද…?”
ඔහු කී දේ අනුමත කරමින් ඈ විමසුවාය.
“කරන්න බැරිත් ඒකමනේ…”
සුසුමක් සුළඟට පා කරමින් ශාමින්ද කීය. ඒ කුමක් නිසා ඔහු මුවින් නික්මුණා දැයි කියා ඇයට සිතා ගන්නට අපහසු විය.
“අන්තිමේදී ඉතුරු වෙන්නේ හැමදේකම මතකයක් විතරයි…”
ඈ කීවේද රාත්‍රී අඳුරටය. අදත් අහසේ තරු මල් වියනක් සෑදී ඇත. ඒ යටින් ඇවිද යන්නට ඇත්නම් කියා ඇයට සිතිණි.
“ඔව්…ඒක ඇත්ත…”
ඈ දෑත් බැඳ ගත්තේ ශීත කබායට යටින් ගතට දැනුණු සීතල නිසාය.
“අපි යමු ඇතුළට…ඔයාට සීතයි…”
තව මොහොතක් ඈ තමන් ළඟ තබා ගන්නට වුවමනා වුවද ශාමින්ද කීවේ ඈ ශීතලයෙන් මඳක් වෙව්ළනු දැකය.ඔහුට කීකරුව ඈ ඔහු සමඟ ගෙතුළට පැමිණියාය. සිරිවර්ධන ගීතයක් ඇරඹුවේ එවිටය. ඔහුට වූයේ ගැඹුරු හඬකි.
“මාගේ මතකේ ඔබේ රුව ඇඳෙයි
සුහද මා ජීවිතේ ඔබ සතුයි…”
එය ගයන්නේ තමන් වෙනුවෙන්දැයි කියා අංජලීට එක්වරම සිතිණි. ගිම්හානි පසෙක හිඳ ගනිමින් අංජලී ඉක්මන් බැල්මක් ශාමින්ද වෙත හෙළුවාය. ඔහුද ඈ දෙස බලා සිටින බව ඈ දුටුවාය. ඈ වහා නෙතු බිමට යොමා ගත්තේ සිතේ ඇති වූ මඳ ලැජ්ජා මුසු හැඟීමෙනි. රාත්‍රිය ගෙවී නොයා තිබේ නම් කියා ඇයට සිතිණි. සියළු දෙනම එකතුව අත් පුඩි ගසමින් සිරිවර්ධනගේ ගායනයට තාලය සැපයූහ. එකක් අවසන් වන විට එකක් ලෙස ඔහු ගීත කීපයක් ගැයූහ. ශාමින්දට සිංහල ගීත වල පදවැල් මතකයේ නොවීය. ඔහු තාල සැපයුවා පමණි. වරින්වර ඔහුගේ දෑස් අංජලී දෙසට යොමු වන විට ඇයත් ඔහු දෙසස බලා සිටින බව දුටුවේය. ඒ හැමවරම ඈ කළේ තිගැස්සුණු සිතින් ඉවත බලා ගැනීමය. මේ ඇරඹෙන්නට යන්නේ නොකී කතාවක ආරම්භයද…? සියල්ල නිම වී ඔවුන් නින්දට යන විට පාන්දර දෙකට ආසන්න විය.
——————————————————————————————————
නිවැසියන් තමා පමණක් හැර දමා ගම්පොළ යාම කෙරෙහි මාලක සිටියේ නොසතුටෙනි. ඔහුට ඉන්ද්‍රාණිට හෝ මේනකට ඇමතුමක් ගෙන එන්නේ කවදාද කියා අසන්නට සිතුණද ඔහු එසේ නොකළේ සිතේ ඇතිව තිබූ නොසතුට නිසාය. සංචලාට ඔහුගේ මුහුණේ ඇති වෙනස වැටහිණි.
“මොකද අනේ ඔයා ආව වෙලේ ඉඳන් මූණ පුම්බන්…?”
ඈ එසේ ඇසුවේ ඒ නිසාය. ඔහු නොමනාපයෙන් ඉවත බලා ගත්තා මිස කිසිත් නොකීය.
“අපරාදේ නේද මාලක…අපිට බ්‍රයිඩ්මේඩ්ස්ලට අංජලීවයි, ගයානිවයි, රංගිකාවයි ගන්න තිබුණා…”
සංචලා එසේ කීවේ ඇගේ සිතේ එවන් අදහසක් තිබූ නිසා නොවේ. එයට මාලක දක්වන ප්‍රතිචාරය කුමක්දැයි දැන ගැනීමටය.
“එයාලා කීයටවත් එන්නෙ නැහැ…”
ඔහුගේ මුවින් එක්වරම පිට විය.
“ඇයි…?”
ඈ ඇසුවේ මවිතයට පත්වය. ඔහු කෙටි සුසුමක් මුදා හැරියේය. ඔහු පිළිතුරක් දෙන තුරු ඈ බලා සිටියේ විදහාගත් දෑසින් ඔහු දෙසම බලානය. මාලක කිසිත් නොකීවේ සංචලා ගැන දැන සිටි නිසාය. මේ විවාහය ඔහුට වුවමනාමදැයි ඔහු තම සිතින්ම විමසා බැලුවේය. නුවුමනා වුවද දැන් කළ හැකි කිසිත් නොමැත. තමා ඉක්මන් වූවා වැඩිය කියා ඔහුට සිතිණි.
“එයාලා කැමති වෙන්නේ නැහැ ඉතින්…එයාලා ඉස්සර ඉඳන් කියලා තිබුණේ තුන්දෙනාගෙන් මුළින් මැරි කරන කෙනාගේ බ්‍රියිඩ්මේඩ්ස්ලට යනකල් වෙන කාගෙවත් ඒවට යන්නෙ නැහැ කියලා…”
“ආහ්…ඔයාට ඒකත් කියලානේ…?”
ඈ මුව ඇදකරමින් කීවාය.
“මට කියපු එකක් නැහැ…මං අහගෙන ආදි අයියා එක්ක රංගි කියනවා…”
මාලක කීවේ නොසතුටෙනි. තමාත් අංජලීත් අතර සබඳකමක් තිබූ බවක් ඈ දැන සිටියා නම් කුමක් සිදුවනු ඇත්ද කියා ඔහු සිතුවේ නිකමටය. මේ මොහොතේ එය පවසනවාදැයි දෙගිඩියාවකින් ඔහු පසු විය.