Sadewthara
“මොකක්ද ළමයො වුණේ..”
ගේට්ටුවෙන් ඇතුල්වනවාත් සමඟම සමදරා සිය දියණියගෙන් එසේ ඇසුවාය. මව එය තමාගෙන් ඇසූ බව දනිතත්, ඒ අසන්නේ කුමක් ගැනදැයි තාරා නොදැන සිටියාය.
“හොස්පිට්ල් එකට ගිය වෙලේ ඉඳලා සදෙව් පුතා මට ගෙදර යන්න කියලා බල කරනවා…ඔයා අවුලෙන් ඉන්නේ කියලා…මොකක්ද වුණේ..”
සමදරා ප්‍රශ්නය විස්තර කරද්දී, තාරා අවුල්ව ගියාය. සදෙව් තමාව මෙලෙස අපහසුවට පත් කරාවියැයි ඇය කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත.
“ඇ..යි..එයා අම්මට..කීවෙ..නැ..ද්..ද..”
තාරා වචන අහුලමින් කතා කළේ, හොරාට කලින් කෙසෙල් කැනක් සේ වැට පැනීමට නොහැකි නිසාය.
“කීවනම් මං ඔයාගෙන් අහනවද ළමයෝ…”
සමදරා තරමක් උස් හඬින් කීයේ, ගෙට ගොඩවන අතරවාරයේය.
“ෂ්..ෂ්..ෂ්…”
තාරා සිය දෙතොලට ඇඟිල්ල තබා සමදරාට නිහඬ වන ලෙස පැවසුවාය.
“සීයා නිදාගත්තා විතරයි දැන්..”
සමදරා හඬ නොනැඟෙන ලෙස නිවසට ඇතුල් වී පාවහන් ගලවා, බෑගය පැත්තකින් තබා, නැවත තාරා අසලට පැමිණ, ඇයවද කැඳවාගෙන මිදුලට ගමන් කළාය.
“හරි..දැන් කියමුකෝ විස්තරේ..”
තාරා සටකපටකම් දන්නා එකියක නොවේ. එබැවින් ඈ සිදුවූ සියල්ල ඉස්පිල්ලක්,පාපිල්ලක් නෑර සිය මව ඉදිරියේ දිග හරින්නට වූවාය. ඉහලට ගත් හුස්ම පහලට නොගෙන සමදරා ඒ සියල්ල අසා හිඳ අවසන, දෑස් නළලේ තබා ගත්තාය.
“හත් දෙයියනේ..මොනාද ළමයො මේ කරගත්තේ..”
“මට තේරෙන්නෑ අම්මා…මටත් තාම හිතාගන්න බෑ….”
තාරා දෑස් වල පිරුණු කඳුළු සහිතව වෙව්ලුම් හඬින් කීවාය.
“ඇයි මං අහනකං ඕක හංඟගෙන හිටියේ..”
“සදෙව් කිව්වා ඒ ඔක්කොම රිපෝර්ට් කරා…ආයේ කාටවත් බලන්න බෑ කියලා…”
සමදරා තාරා දෙස පරික්ෂාකාරී බැල්මක් හෙලුවාය.
“ඔයා මට කියපු හැමදේම ඇත්තනෙ..”
“අනේ අම්මා….”
තාරා හඬමින් සිය මවගේ ඇකයට වැටුණාය. සමදරාගේ හදවත මෙතෙක් කාලයක් නොවූ බරකින් හා බියකින් පිරී යන්නට වූවාය. තම දියණිය දැන් සිටින්නේ මෝරා වැඩුණු,පිරිපුන් යෞවනයේ බව ප්‍රථම වරට ඇයට දැඩිව දැනෙන්නට වූවාය. තව දුරටත් ඇය සිය පියාගේත්, තමාගෙත් සුරතලිය බව සිතීම අණුවන බව සමදරාට වැටහෙන්නට වූවාය. තාරා වටා යෞවනයේ ඇස් බැන්ඳුම් වැටෙමින් තිබෙනා වග වටහාගන්නට සමදරාට මේ එක සිදුවීම ප්‍රමාණවත් වූවාය. පියෙකුගේ රැකවරණය නොලද්දේ වීද, කිසිවෙකුගෙන් වචනයක් නාසා තමා දියණියව ඇති,දැඩි කළ බව සමදරාට විශ්වාසය. එහෙත් ජීවිතයේ පළමු වරට සිය දියණියට තම රැකවරණය ප්‍රමාණවත් නැතැයි යන බිය විසින් සමදරාගේ හිත සොලවන්නට වූවාය. තාරාගේ හිස අතගාමින් සිටි සමදරා හදිසි තීරණයක් ගත්තාක් මෙන්,
“ඔයා හෙට ඉඳලා හොස්පිට්ල් යන්නෝනෙ නෑ තාරා..”
කියා සිය දියණියට කීවාය. එහෙත් තාරාගෙන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
“ඔයාට ඇහුණද මං කියපු දේ..”
කියා සමදරා සිය උකුලේ හිස හොවා සිටිනා දියණියගේ මුහුණට එබුණාය. තාරාට නින්ද ගොස් තිබුණාය. ඇහැරවන්නට ලෝබ සිතෙනා තරමට ඇය තමාගේ ඔඩොක්කුවේ සැප නින්දකය. සමදරාගේ පපුව හරහා සියුම් රිදීමක් ඇදී ගියාය. ඒ සැනෙන්ම ඇස් අගට උණුසුම් කඳුළු ගුලියක් පිරෙන වගද ඇයට දැණුනාය. සිය දියණියගේ කොපුලක් වසා තිබූ කෙස් කන් පෙත්ත ඉහලින් රැඳවූ සමදරා පහත් වී තාරාගේ කොපුලක් තදින් සිම්ඹාය. මීට වසර විසි ගණනකට පෙර දැණුනු කිරි සුවඳක් සමදරාගේ නැහැ පුඩු වලට දැණුනාය.
සදෙව් එක එල්ලේම මාලක දෙස නෙත් යොමා සිටියේය. කිහිප වරක් සදෙව් දෙස බැලූ මාලක ඉවත බලා ගත්තේය.
“උඔට මොකද්ද මේ ගැන හිතෙන්නේ..”
අවසන සදෙව් මාලකගෙන් විමසා සිටියේය.
“උඔ දැන් මොකක්ද මගෙන් අහන්නෙ කියපංකෝ…”
“මං මෙච්චර වෙලා අහන්නෙ එකම එක දෙයයි මචං..මේ ෆොටෝ එක සෝෂල් මීඩීයා ගියේ කොහොමද..”
“දැන් උඔ කියන්නෙ ඕක මං කරා කියලද..”
“කවුද බං දැන් එහෙම එකක් කිව්වේ..මං අහන්නෙ උඔගෙ අදහස..එතන හිටියෙ උඔයි,මමයි, නිම්නයි, තාරයි, මිහිරයි..ෆොටෝ එක තාරගෙයි,මිහිරගෙයි..එතකොට උන් දෙන්නා අයින් කරන්න වෙනවනෙ..මොකද උන් දෙන්න ෆොටෝ ගහගෙන දාගත්ත වෙන්න බෑනේ..”
“දෙන්න කෙසේ වෙතත් මට මිහිරයවනම් විශ්වාස නෑ…ඌ කොහොමත් ඒ ටිකේම හිටියෙ තාරට ඇහැ ගහගෙන..”
සදෙව් සෘජුවම මාලකගේ මුහුණ බැලුවේය. ඔහු මිහිරට එරෙහි මේ චෝදනාව මාලකගෙන් බලාපොරොත්තුව සිටියේය. එහෙත් මේ මොහොතේ මාලක සමඟ මිහිරව සුද්ධ කිරීමට යෑමෙන් තමා බලාපොරොත්තු වන දෙය ඉෂ්ඨ නොවන වග සදෙව් තේරුම් ගෙන සිටියේය.
“හරි..මිහිරයාම මේක කරා කියමුකෝ.. උඔ හිතන්නෙ ඒ ඇයි..”
“වෙන මොනාටද..තාරගෙ අනුකම්පාව අරගෙන ලකුණු දාගන්න..”
“කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්න ඔච්චර වටේ යන්නෝනෙද බං..පිරිමියෙක් වගේ කෙලින්ම අහන්න තිබ්බනෙ..”
“උඔ මටද කිව්වේ..”
මාලක කළබලයට පත්ව එසේ ඇසුවේය. සදෙව්ගේ මුහුණට සිනහවක් නැඟ ආයේය.
“යකෝව්..අපි කතා කර,කර හිටියේ මිහිරය ගැන…දැන් උඔමනෙ කීවේ ඌ තාරා ගැන ඉන්ට්‍රෙස්ටින් කියලා…උඔ මොකෝ මේ වලිගෙ පාගගෙන..ඇයි උඔටත් තාරා ගැන මොනාහරි අදහසක් තියනවද..”
සදෙව් අසන්නට වූයේ සුපුරුදු සිනහව මහ හඬින් පුපුරා හරිමිනි. ඉන් මාලක දැඩි ලෙස අපහසුවට පත් වූ වගද සදෙව් නිරීක්ෂණය කරමින් සිටියේය.
“පිස්සුද බං..තාරා වගේ එකක් දාගන්න ඔච්චර කට්ට කන්න ඕනේද..උඔට ඕනේනම් හෙට දාගෙන පෙන්නන්නම්..”
“එච්චර ලේසිනම් එපා ඉතිං..ඒකී ඔහේ මිහිරයා සෙට් කරගත්තාවේ..”
“ඌට හරියන්නෑ බං ඒකිව..ඌ අමු ගොඩයා…”
“උඔට හිතෙන විදිහට තාරව සෙට් වෙන්නෙ කාටද..”
“වෙන කාටද බං උඔට..උඔට..”
මාලක එය පැවසූයේ පෙර නොවූ තරම් දැඩි උද්‍යෝගයෙනි.
“ඒත් ඉතිං මිහිරයා ඒකිට කැමතිනම් මං උදැල්ල දාන එක හරි නෑනේ නේද බං..”
සදෙව් එලෙස පැවසූයේ මාලකගේ ඉරියවු සියුම් ලෙස,නිරීක්ෂණය කරන අතරවාරයේය. මාලක සෙමෙන් සදෙව්ගේ ඇඳ අසලට පැමිණියේය.
“උඔ තාරට කැමතිනම් මං මෙහෙම කරද්දි මිහිරයව සීන් එකෙන් අයින් කරන්නම්..උඔ මොකද කියන්නේ..”
සදෙව් පිළිතුරක් දෙන්නට මොහොතක් පමා වූයේය. ඒ මොහොතේ රෝහල් කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬ ඇසිණි.
“තාරද කොහෙද ගිහිං දොර ඇරපංකො මචං ප්ලීස්..”
සදෙව් මාලකට එසේ පවසද්දී, ඔහුගේ මුහුණ විරූපී වන අයුරු සදෙව් දුටුවේය. මාලක දොර අසලට ගොස් එය විවර කලේද තරමක් අපහසුවෙනි. විවර වූ දොරින් කාමරයට ඇතුල් වූයේ නිම්නාය. මාලක තිගැස්සී ගියද, එය නොපෙනෙන්නට වියලි සිනහවක් දෙතොලට නඟා ගත්තේය.
“ඕහ්ං..වට් අ සර්ප්‍රයිස්..ආර් යූ ස්ටිල් අලයිව්..”
සදෙව් කෑගසා එසේ පැවසූයේ නිම්නාටය. නිම්නා කෙලින්ම පැමිණියේ සදෙව්ගේ ඇඳ අසලටය.
“ආසාවෙන් ඉන්නැති නේද තාර පැටියෙක් පී..පී ගගා එයි කියල…අයි නෝ දැට්ස් වයි යූ වර් සර්ප්‍රයිස්ඩ්..”
කියා සදෙව්ගේ හිස අතින් කොට්ටයට ඔබා තද කළ නිම්නා, මාලක දෙසට හැරුණාය.
“මෙයා මොකද මේ කුකුලත් අතින් අරං..”
“මං කෝල් කරලා ගෙන්න ගත්තා…පොඩි මඟුල් කපුකමක් කරගන්න..”
“කාවද..අර තාරා පැටියවයි, ඔයාවයිද..”
“නෑනේ..මාලකයා කියන්නේ තාරා මිහිරයත් එක්ක සෙට් වෙලා කියලා…දැන් ඉතිං සෙට් වෙනවනම් ඉන්නේ ඔයයි,මායි තමා…මොකෝ හිතන්නෙ මාලකයා…අපි දෙන්න සෙට් වෙයි නේද..”
එවරනම් මාලක ක්ෂණිකව තිගැස්සී ගියේය. නිම්නා කුහුලෙන් යුතුව මාලක සහ සදෙව් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. සදෙව් සිය සුපුරුදු සිනහව බලෙන් මෙන් විකාගෙන මාලකගේ ඇදව ගිය මුහුණ දෙස මවාගත් බැරෑරුම් ස්වරූපයකින් බලා සිටියේය.