More
    NovelsMandaramen EhaMandaramen Eha - 25 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 25 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – ලක්මාල් වළං පෝරණුවක් අසල කෙටි බැම්මක් මත හිඳගෙන, අමු මැටි වළං පදම් කරනා ගැහැණු, මිනිසුන් වෙත අරමුණකින් තොර බැල්මක් යොමාගෙන සිටියි. සකපෝරුව කැරකෙන රිද්මයත්, අතකොළුව වළං මත පතිත වන තාලයත්, ඔහුට මේ මොහොතේ දැනෙන්නේ ජීවිතය මෙනි. භ්‍රමණය,චලනය සහ පීඩනය තුළ කලාවක් නිර්මාණය වේ. ඒ කලාව තුළම මිනිසුන් ජීවත්වීමේ අරගලයක යෙදී සිටියි. තමා අරමුණකින් තොරව කරමින් සිටි රැකියාවද දමා පැමිණ තිබේ. “ඩොග්” හඬින් යමක් බිම පතිත වන හඬට ඔහුගේ අවධානය ඒ දෙසට යොමු කළේය. අත් කරත්තයක ගුලි කෙරූ මැටි බෝල රැගෙන ආ කොළුවෙකු ඒවා සකපෝරුව අසල හැලූ බව ඔහුට අවබෝධ වූයේ ඉන් පසුවය. තරුණ කොළු ගැටයා හිස් කරත්තය රැගෙන යන දෙසට සිය දෑස ඇද්දූ ලක්මාල්ට, කුරුම්බා ගෙඩි දෙකක්ද අතැතිව තමන් වෙත පැමිණෙන අදීෂව දැකගන්නට ලැබිණි. ඔහු හුන් තැනින් නැඟිට ඔහු පෙරමඟට ඇවිද ගියේය.

    “බීපං..ගිණියමට කියාපු බෙහෙත..”

    අදීෂ එක් කුරුම්බා ගෙඩියක් ලක්මාල් අත තැබූයේ, සරදම් හිනාවක් මුවැතිවය.

    “ඔලුවනම් ගිණි කබලක් වගේ තමා බං..රස්සාව දාලා ආපු එක මෝඩකමක් කියලා තේරුණේ ගෙදරට පය තිබ්බාමයි..”

    “ඒකට කියන්නෙ තදියම බං..කුරුම්බා බීවට ඒක ඇරෙන්නෑ…කොහිල ටිකක් කටු පිටින් කාපං..”

    අදීෂ හඬ නඟා සිනාසෙන දෙස අමනාපයෙන් බලමින් ලක්මාල් වළං පෝරණුව ඇති අට්ටාලය අසලින් මදක් ඈතට ඇවිද ගියේය. අදීෂද ඔහු අනුගමනය කළේය.

    “දැන් මොකක්ද උඔ කරන්න හිතාගෙන ඉන්නේ..”

    අදීෂ එසේ ඇසූයේ ලක්මාල් පසුපස ගමන් කරමිනි.

    “මමනම් කිසි දෙයක් හිතලා නෑ…ඒත් පප්පා මට හිතන්න දෙයක් ඉතුරු කරලත් නෑ…”

    “මට තේරුන්නෑ…”

    “මට ගල්ගමුවෙ ෆැන්සි හවුස් එක බලා ගන්නලු..සුදු අයිය ගල්නෑවෙ එකට දාලා…”

    “අඩෝව්..මරුනෙ..”

    “ඔව්, මට මරු පෙනිලා තමා තියෙන්නේ..උඔ දන්නවනෙ මට ඔය බිස්නස් කෙරුවාව හරියන්නෑ කියලා..”

    “උඔට හරියන කෙරුවාවල් ඔක්කොම උඔ මේ වෙද්දි කරානෙ බං..දැන් මදෑ…ගෙදර මිනිස්සුන්ට හරියන දේකුත් කරපං..”

    “මට නිදහසේ ඉන්න ඕනේ බං..”

    “මේක නිදහස ලැබිලත් නිදහසක් නැති රටක් බං..උඔ මේ බම්බුවක් කියනවා..”

    ලක්මාල් පුරුදු අමනාප බැල්මෙන් අදීෂ වෙත දමා ගැසීය. කලෙකින් මුණගැසුණු තම මිතුරාව තව දුරටත් කෝපයට පත් කළ යුතු නැතැයි අදීෂ වහා තේරුම් ගත්තේය.

    “මං උඔට හිත නිවෙන කතාවක් කියන්නද එහෙනම්..”

    අදීෂ එසේ කියද්දි ලක්මාල් කුහුලෙන් ඔහු දෙස බැලීය.

    “මොකක්ද අර ගිරාතලානේ වසන්තයගෙ ගෑණිගෙ නම බං..”

    “සමන්ති..”

    “හම්මේහ්ං..ඒ නම ආපු ඉක්මන..අනික බලහං ඒ නම කියවුණු ටෝන් එකේ හැඩ..”

    “අදීෂයා මේ හු…”

    “හෝව්..හෝව්..මෙතන කුණුහරුප කියන්නෙපා වැඩ කරන මිනිස්සු ඉන්නවා…එදා අපි සමන්තිලාගේ ගෙදර යද්දි හම්බවුණේ පොඩි කෙල්ලෙක්..කවුද මේ…”

    “සරලා…”

    “ආන්න හරි..ඒ කෙල්ල මේ අල්ලපු ගමට ඇවිත් ඉන්නවා…”

    ලක්මාල් මොහොතක් මවිතයෙන් අදීෂ දෙසම බලා සිටියේ, ඔහු කියූවේ බොරුවක් යැයි නැවත කියාවිද යන සැකයෙනි. එකෙණෙහිම ඔහුගේ ජංගම දුරකතනය නාද වන්නට විය. කලිසම් සාක්කුවෙන් එය ඇදගත් ලක්මාල් දුරකතන තිරය දෙස මොහොතක් බලා සිටියේය.

    ජිල්බු මැදින්නෝරුව හන්දියේ “මහකඩය” අසල ඒ මේ අත කැරකෙමින් සිටී. විටෙක එක තැන නතර වේ. තවත් විටෙක ඔලුව වේගයෙන් කසයි. එතැනින් කඩයට ඇතුලු වන්නන්ට බයාදු ලෙස සිනාසෙයි. තමාටම මොන,මොනවදෝ මුමුණා ගනී.

    “අප්පේහ්…අඩේඒඒ…මේ කාලියාගෙන් මට විසුමක් නැති හැටි..කන්න ගත්තත් මේකා ජිල්බූබූ…කියනවා…බුදියගන්න හැදුවත් ජැල්බූඌඌ..ගානවා…බලං ගියාම ලෝකයා මාමගෙ අවතාරෙ දාහෙන් සම්පතක්නෙ මුට වඩා….”

    “මොනාද බොල තෝ තනියෙං කුටු,කුටු ගාන්නේ..”

    ජිල්බූ තිගැස්සී ගියේ තමා අසලම ඇසුණු කාලිංගගේ කටහඬිනි. ටික වේලාවක් වචන සොයාගන්නට තතනමින් සිටි ජිල්බූ,

    “ගත්තද..ගත්‍තද..”

    කියා හදිසියේ ඇසූයේ කාලිංගගෙනි.

    “මොනාද බොල තෝ ගත්තද අහන්නේ..”

    “ඇයි දැන් මේ මාවත් ඩොක්කං ආවේ ටැලිෆෝං කෝල් එකක් දාන්ඩ කියල නොවැ…”

    “තෝ හිතුවෙ මං ටැලිෆෝං කෝල් සිලි,සිලි බෑග් වල දාං අරං එනවා කියලද බොට පෙන්නන්න ඈහ්..”

    කාලිංග ජිල්බුගේ හිසට අත මිටිකොට පහරක් ගසා, කඩය ඉදිරිපස නවතා තිබූ සිය මේට් වර්ගයේ යතුරු පැදිය දෙසට ඇවිද ගියේය. හිසට වැදුණු පහරින් සිය කට ඇදවී, දිව එළියට දමාගෙන සිටි ජිල්බුද, කාලිංග පසුපස දිවගියේ, මොහොතක් හෝ ප්‍රමාද වුවහොත්, තමාට සිදුවන්නේ ගිරාතලානටම පයින් යෑමට බව දන්නා හෙයිනි. ජිල්බු යතුරු පැදිය අසලට යන විටත් කාලිංග එය පණ ගන්වා අවසන්‍ ය. ජියරය මාරු කිරීමට පෙර, ජිල්බූ ගෙම්බෙකු මෙන් යතුරු පැදියේ පසුපස අසුනට පැනගත්තේය. ඒත් සමඟම ජියරය මාරු වූ බැවින් සමබරතාව රැකගන්නට වෙර දරමින් ඔහු බොහෝ දුරක් ගියේ යතුරු පැදියේ එල්ලී මෙන් අඩමානයටය.

    “බංඩාර මුත්තේඒඒ..තව ඩිංගිත්තක් එහෙ,මෙහෙ වුණානම් මගේ හතර,හන්දි කඩලා යනවනෙ මේකෙං පතබෑවිලා…”

    ජිල්බුට ඒ වචන ටික පවා කියාගත හැකිවූයේ කිලෝමීටර් භාගයක් පමණ ගොස් පිටුපස අසුනේ සමබරතාවයෙන් වාඩි වූ පසුවය. කාලිංග ජිල්බුට නොපෙනෙන්නට මුව කොනක සිනාවක් තබාගත්තේ ඉදිරිපස බලාගෙන යතුරු පැදිය පදවමිනි.

    “කාලිංගයියේ…”

    ජිල්බූ පිටුපස සිට ඉදිරියට නැවී වේගයෙන් කෑ ගසා එසේ කාලිංගව ඇමතූයේ, සුළං පහරේ වේගවත් බව නිසා සිය කටහඬ ඔහුට නෑසේවියැයි සිතාය.

    “මොකෝ බොල තෝ යටිගිරියෙන් කෑගහන්නෙ..මං බීරෙක් කියලා හිතුවද..”

    කාලිංගද ජිල්බුව ඇමතුවේ ඒ හා සමාන වේගයකින් කෑගසා පිටුපස බලමිනි.

    “දැන් සරලා චුටි අපිට එහේ එන්ඩ කියලා කීවැයි..”

    “මොන සරලෙක්ද බො….”

    කියා පටං ගත්තද, හදිසියේ යමක් මතක් වූවාක් මෙන් කාලිංග මගදී කතාව වෙනස් කළේය.

    “ආහ්..ඔව්, ඔව්..උඔව එක්කගෙන එන්නම කීවා…”

    “අම්මපා…ඒ මොකෑ දන්නෑ…”

    “එහේ ඉන්නවලු අඳ,ගොළු,බිහිරි වයසක අම්මණ්ඩි කෙනෙක්..උන්දැව උඔට ජෝඩු කරන්ඩ..”

    යැයි කියා කාලිංග “හැක්..හැක්..” හඬින් සිනාසෙන්නට වූ අතර, ජිල්බූ මුහුණ හකුලා ගනිමින් නිහඬ වූයේය.

    කුඩා කවිරූ තාරුකාගේ නිවස මිදුලේ ඇහැළ ගස පාමුල බංකුවේ සෙල්ලම් කරමින් සිටියි. ගස වටා විසිරී ඇති ඇහැළ මල් එකතු කොට වැලි පිරවූ පොල් කටුවක ඒවා රටාවකට අතුරන ඔහු, පිට ලෑලි බංකුව මත එම පොල්කටු පිළිවෙලකට තබයි. සමන්තී සහ තාරුකා ඊට මඳක් නුඳුරෙන් කතාබකය.

    “මංනම් කියන්නෙ නංගී ඔය ජිල්බු කියන ඒවා ඒ තරම් බරපතලව ගන්න හොඳ නෑ…”

    සමන්තී එය තාරුකාට අවධාරණය කරමින් සිටියේ, බංකුව අසල සෙල්ලම් කරනා කවිරූවද ඇස ගසාගෙනය.

    “ඒ වුණාට මට හිතෙන්නෙම එදා අයියා ඔය බයික් එකෙන් පන්නගෙන යන්නැත්තෙ ලක්මාල් අයිය පස්සෙ..”

    “දැන් එතකොට ඔයා කීවේ ජිල්බු කීවා කියලා ඒ වෙන මහත්‍තයෙක් පස්සෙ කියලා..”

    “ඒ ටික තමා මට පැහැදිලි නැත්තෙ..එක්කො ජිල්බු බොරු කියනවා නැත්තං ඒ වෙන කෙනෙක්..”

    කඩුල්ල අසල නැවැත්තූ තැපැල් නයින්ටි වර්ගයේ යතුරු පැදිය වෙතට දෙදෙනාගේම දෑස් යොමු වූහ. ඒ ශාරිකය.

    “මේ..කිසි දෙයක් එයාටනම් කියන්නෙපා අක්ක හොඳේ..”

    තාරුකා එය සිහින් හඬින් සමන්තීට කීයේ, ශාරික කඬුල්ල පැන තමන් දෙසට පැමිණෙන අතරවාරයේය.

    “අක්ක,නඟෝ දෙන්න බරපතල සාකච්ඡාවක වගේ..”

    ශාරික එසේ කීයේ, බංකුව අසල සෙල්ලම් කරමින් සිටි කවිරුගේ හිස අතගාමින්, ඔවුන් දෙසට පැමිණෙමිනි.

    “ඔව්, අපි මේ මස්සිනාගෙයි අපේ නංගිගෙයි මඟුල ගන්න උජාරුව ගැන තමා කතාවෙවී හිටියේ..”

    සමන්තී එය සැහැල්ලු ලෙස කීවද, ශාරිකගේ මුහුණ වෙනස් හැඩයක් ගන්නා අයුරු තාරුකාගේ බැල්මට හසු වූවාය. ඔහු තමන් දෙස කෙලින් නොබලන වග අවබෝධ වන්නට, ඇයට එතරම් වේලාවක් අවශ්‍ය නොවීය. ඇස අගින් කුඩා දැවිල්ලක් පටන් ගෙන පපුව හරහා පැතිර යනු ඇයට දැණුනාය. මේ මොහොතේ වඩාත්ම සුදුසු සන්සුන් වීම බව ඇය හැඳින්නාය. ඇතුළාන්තයෙන් නොපැණියද, ඇය ශාරික වෙත වියලි සිනහවක් නැඟුවාය.

    “මං මේ සමන්ති අක්කට පණිවිඩයක් කියන්න ආවේ..”

    ශාරික ඒ අයුරින් වචන අහුලා ගත්තේය.

    “මේ..මට…”

    සමන්තී විමතිය පළ කළාය.

    “ඔව්, අක්කා කීවනෙ පහුගිය දවස්වල රස්සාවක් කරන්න තිබ්බනම් හොඳයි කියලා…”

    ශාරිකගේ එම වචන කිහිපය සමන්තීට වඩා කුහුල දැනවූයේ තාරුකාටය. ඇය වේගයෙන් හුස්ම ගත්තේ ඉන් මිදීම සඳහාය.

    “ඔව් අක්කේ, මං වැඩ කරන තැන අයිතිකාරයගෙ ගල්ගමුවෙ කඩේට ලියන මහත්තයෙක් ඕනෙලු..”

    සමන්තීගේ දෑස අමුතු ආලෝකයකින් දිදුලද්දී, තාරුකා ඉන් වික්ෂිප්ත වූවාය. එකෙණෙහිම කාලිංග සහ ජිල්බූ රැගත් යතුරු පැදිය කඩුල්ල අසල නතර කෙරිණි.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page