More
    spot_img
    NovelsMandaramen EhaMandaramen Eha - 15 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 15 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – මහ කමත වෙල් යාය මධ්‍යයේ කණිමින් පවතින කාලිංගගේ වගා ළිඳේ කටයුතු බොහොමයක් දුරට අවසන් බවට සළකුණු ළිඳ අවට දක්නට ලැබේ. ළිඳ දෙපසට වන්නට සිටුවා ඇති මහා ලී කඳන් දෙකක් මැදින් දමා ඇති එවන්ම ලී කඳක මැදට වන්නට බොලොක්කයක් සවිකොට තිබේ. ඊට දමාගත් තේඩාවක ආධාරයෙන් වේවැල් කූඩ උපයෝගී කරගෙන ළිං පතුලේ සිට ගොඩ දමන පස් ළිඳ වටා ගොඩ ගසා ඇති අතර ගුණේ එම පස් කඳුවල තැන් කිහිපයකින් පස් මිටට ගෙන පරික්ෂා කොට බලා එක් පසෙකින් කණුවක එල්ලී ළිඳ තුළට එබී බැලුවේය. ළිං පතුල තුළ සිටි මිනිසුන් දෙදෙනා ඔහුට පෙණුනේ අඟුටුමිට්ටන් මෙන්‍ කුඩාවටය. තමන්ට බොහෝ දුරින් සිටින්නෙකු අමතන අයුරින් ගුණේ හඬ නගා ඔවුන් ඇමතීය.

    “දැන්.. පස් කූඩ ටික ඩිංගක් තෙත ගතියට එනවා….දිය සීරාවක්වත් මතු උනාද කොල්ලනේ…”

    ගුණේගේ හඬ දෝංකාර දී නැවත ඔහුටම ඇසෙන්නට විය. ළිං පතුලේ සිටියවුන් උඩ බැලූයේ තවත් විනාඩි කිහිපයකට පසුවය.

    “අහවල් දිය උල්පත්ද මාමා…දැන් ඩිංගකට කලින් මගේ නාරස්සනේ පත කළු ගලක වැදුනා ටාං ගාලා….”

    “හුටා….එහෙනං කොරලා හමාරයි…කොහෙද ඉතිං මේ ලෝකයගෙ……….”

    යමක් කියන්නට කට හදමින් වටපිට බැලූ ගුණේ, අවසන් වචනය එහෙමම දිගට ඇදගෙන ගියේ තමන් දෙසට පැමිණෙන කාලිංගව දැකීමෙනි.

    “මොකෝ ගුණේ මාමා.. සද්දෙ දාගෙන ගොඩ දාන්නෙ..වතුර ඕං,මේං වගේද…”

    “සද්දෙ නෙමේ කාලිංග පුතා….දැන් තමා යුද්ධෙ පටං ගන්ඩ වෙන්නෙ…මහා පත කළු ගලක් මතු උනා නෙව මේ දැං…”

    “ඉතිං…”

    “ආය ඉතිං අහනවා….බඹ පාලොහකට එහා කපලා කළු ගලක් මාට්ටු උනා කියන්නෙ මෙච්චර දවසක් වෙච්ච මහන්සියම වතුරෙ ගියා වගේනෙ පුතා..”

    “කවුද දන්නෙ..කළුගලට යටින් තියෙන්නෙ වතුරද කියලා…”

    “වතුර තිබ්බා උනත් කළු ගල් එක්ක හැප්පෙන එක ලේසි පාසු කාරියක් නෙමෙයි පුතා…”

    “මං දන්නවා ගුණේ මාමා…මේ කාලිංග ආසයි කළුගල් එක්ක හැප්පෙන්ඩ..මොකද… කළුගල් අස්සෙ වෙන්ඩ පුළුවං මැණික් ගල් තියෙන්නෙ…”

    “හැප්පෙන්ඩනම් ඉතිං අපිටත් බැරියැ….ඒවට ඉතිං..මේවා තමා ඕනේ…”

    ගුණේ සිය මහපටැඟිල්ල සහ මැදගිල්ල එකට අතුල්ලා “ටික් ටික්” හඬක් නංවමින් පැවසූයේ මුදල් පිළිබදව බව හඳුනාගන්නට කාලිංගට අපහසු නොවීය.

    “ඔව්…සල්ලි ප්‍රශ්නයක් බව මං දන්නවා…ඒත් උඔ ඒක ප්‍රශ්නයක් කරගන්ඩ එපා ගුණේ මාමා….මේ කළුගලට යටින් තව කළු ගල් හතක් මතු උනත්, ඒ හතම කඩලා හරි මට මේ ළිඳෙං ඕනේ වතුර…ඒ වතුර සල්ලි කරන මන්තරේ මං දන්නවා…ඒ නිසා උඔ වතුර ගන්න සාත්තරේ ගැන බලපං..කවද්ද මේ ළිඳෙං වතුර මතුවෙන්නෙ…එදාට උඔගෙ අතට සල්ලිත් මතුවෙයි….මතකනෙ අපේ ගිවිසුම ගුණේ මාමා……”

    කාලිංග කීයේ ගුණේගේ පිටට තට්ටුවක් දමා ඔහුගේ අමුතු හිනාවද මුවේ තබාගෙනමය. ඉන් එහා වචනයක් කියන්නට ගුණේ එහි රැඳුනේ නැත.

    “කාලිංගයියා…….”

    කමතේ කොහොඹ ගස දෙසින් ජිල්බුගේ බෙරිහං දීම ඇසිණි. එදෙස බැලූ කාලිංග දුටුවේ කමතේ සිට උඩ පනිමින් තමන්ට අභිනයෙන් යමක් කියන්නට ඔහු දරන උත්සාහයයි.

    “ජිල්බුවා තේ ඇන්න ඇවිල්ලද කොහෙද…කොල්ලා ටිකත් ගොඩ අරගෙන කමත පැත්තෙ වරෙං ගුණේ මාමා….”

    ගුණේට පැවසූ කාලිංග කමත දෙසට ඇවිද ගියේය. ජිල්බු උන්නේ කමතේ ඒ මේ අත ඇවිදිමිනි.

    “මොකෝ බං උඔ මෙතන උඩ පැන,පැන නළියන්නෙ…”

    “අනෙ..අම්මේ..ඇති යාන්තං..මං හිතුවා කාලිංගයියා එන්ඩ තව පරක්කු වේවිය කියලා…”

    “මොකෝ උඔට තනිකං දෝෂෙද…”

    “වෙච්චි දේවල හැටියට මෙතන තනියෙං හිටං ඉන්නත් බයයි මට…”

    ” ඇයි…උඔට මොනාද උනේ…”

    “ඔහෙ බලාපල්ලකෝ…නොදන්න ගානට අහන අපූරුව…පිටවානෙත් හොල්මන් කරන ලෝකයා…මරලා දාලා හිටපු තැන හොල්මන් නොකර ඉඳීයැ….”

    කාලිංග සැනෙන් ජිල්බූ දෙස බැලූයේ ඔහු දවා හළු කරන තරමේ සැර බැල්මකි. එම බැල්මෙන් ජිල්බූ හැකිළී ගියේය. හෙතෙම ඇස් ගෙඩි දෙක කරකවමින් තතනන්නට විය.

    “නෑ… මේ….ඉතිං….මං….කිව්වෙ..අපේ ලොකු බංඩාර මාමා මැරුණු තැන හංදා…එක වංගියක් නූල් බැඳලා නොවැ ගොඩ ගියේ..හිතලා කිව්වා නෙමේ…බයට කියවුණා….”

    “මයෙ අප්පච්චිගෙන් උඔට අඹැටක තරම්වත් නපුරක් වෙන්නෑ ජිල්බුවෝ…මටයි,අම්මටයි ඇරුණම අප්පච්චිව පෙණුනෙ උඔට විතරයි..ඒ මයෙ අප්පච්චි මට වගේම උඔටත් ආදරේ නිසා බං…අම්මා කීවා උඔ කොළු ගැටයා කාලෙ ඉඳලා අප්පච්චිගෙ පස්සෙමලු…අම්මෙක්,අප්පෙක් තියා නමක් ගමක්වත් නොදන්න උඔට,ආදරේට ජිල්බු කියලා නම තිබ්බෙත් මයෙ අප්පච්චිලු….”

    කාලිංගගේ කතාවෙන් ජිල්බුගේ ඇස් වලට කඳුලක් ඉනීය. පිටි අල්ලෙන් කඳුලු සූරමින් ඔහු බුරුල් වූ නාසය ඉහළට ඇද්දේය. කාලිංග ජිල්බුගේ හිස අතගෑවේය.

    “නාඬා ඉඳිං ජිල්බුවෝ….මේ ළිඳට වතුර උනපුදාට මයෙ අප්පච්චි ආය මෙතනම ඉපදෙනවා….එදාට මයෙ අප්පච්චිව මරාගත්ත උන් මේ පොළොවෙම වැළලෙනවා..”

    “මට කාලිංගයියට බඩුවක් කියන්ඩ තියනවා…”

    “කියපං..”

    “දැං මං එනකොට පුංචි නිළමෙ ජැංඩි පහට ඇඳගෙන මොටෝ සයිකලේ නැගලා ගල්නෑව පැත්තට ගියානෙ…”

    “කා එක්කද…”

    “තනියෙං…”

    කාලිංගට ජිල්බුගෙන් අසන්නට ප්‍රශ්න රැසක් හිසට නැග ආවද, තමන් දෙසට පැමිණෙන ගුණේ ඇතුළු පිරිස දැකීමෙන් ඔහු කරාබාගත්තේය.

    සමන්තීගේ ගෙමිදුලේ සරලා සමඟ කවිරූ කිසියම් කාර්යයක නිරත වනු පෙනේ. ප්ලාස්ටික් කැබලි කිහිපයක් එක්කොට තබමින් කවිරූ යමක් හදන්නට උත්සාහ කරයි. සරලා ඊට උපදෙස් දෙමින් සිටින්නීය.

    “ඔහොම නෙමේ කවී…මේන්න මෙහෙම..මේ කෑල්ල..මෙන්න මෙතනට…ආං..දැන් කොහොමද..ලස්සනයි නේ…”

    “ඊයා… කැතම..කැතයි..”

    “ආහ්..ඇත්තද..එහෙනම් පණ්ඩිත රාළ හදනවකො බලන්ඩ ලස්සනට..”

    කවිරූ ප්ලාස්ටික් කැබලි කිහිපය උපයෝගී කරගනිමින් සොල්දාදුවෙකුගේ රුවක් සෑදු අයුරු දැක සරලාගේ නළල රැළි ගැන්විනි.

    “කවී පැටියා හපනනෙ..අම්මා පුතාට යසට කියලා දීලා තියනවා නේද..”

    “අම්මා නෙමෙයි…අප්පච්චි කියලා දුන්නෙ…මේ ඉන්නෙ අප්පච්චී..මේ මං…”

    සොල්දාදු රූපය අසළ පුළුන් බෝනික්කෙකුගේ රූපයක් තැබූ කවිරූ අත් පොඩි තලමින් සිනාසෙද්දි, සරලාගේ හදවත මොහොතකින් සසැලී ගියාය. සමන්තී කිරි බෝතලයක්ද රැගෙන ඔවුනතරට පැමිණියාය.

    “මෙන්න මයෙ අම්මට කිරි ගෙනාවා…මං පිල උඩින් පැදුර දාලා විස්කෝතුත් තියලා ආවෙ..කාලා, කිරි බීලා තමා ආයෙ සෙල්ලම් කරන්නෙ හොඳේ…”

    “කන්නෙ අත හෝදලානෙ අම්මා..”

    “ඇත්තනෙ මයෙ අම්මෙ..එන්න අපි අත් හෝදමු..”

    කවිරූ ඔසවාගෙන ගොස් අත සෝදවා පැදුරෙන් තැබූ සමන්තී සරලා වෙත නැවත පැමිණෙන තුරුත් ඈ උන්නේ මෙතෙක් සිද්ධ වූ කිසිවක් නොදුටුවාක් මෙන් බර කල්පනාවකය.

    “නංගී…” සරලා දැහැනින් මිදුනේ සමන්තීගේ ඇමතුමෙනි.

    “කෙල්ල හිතෙං සෑහෙන දුරක වගේ හිටියේ..කොහෙද අප්පේ ගියේ…”

    “ලක්මාල් අයියා අවසානෙට දැක්ක දවසෙ ඉඳලා වසන්ත අයියා ඉස්සරෝම දැක්ක දවසට එනකං ගියා..”

    “ඇඟට පතට නොදැනී ඔයත් මට ඇනුම් පද කියනවද නංගී..”

    “නෑ …අක්කා..නිතරම හිතේ ඇනෙන,දැනෙන දෙයක් ගැන ටිකක් දුරට හිතුවා විතරයි..”

    “හිතපු දුර ආපහු ඇවිත් බලද්දි ඉබේම මං වැරදිකාරයෙක් වෙලා ඇති නේද..”

    “ඕනම කෙනෙක් වැරදිකාරයෙක් කරන්ඩ කලිං නඩු අහනවනෙ අක්කා…”

    “ඉතිං..ඔයත් මගෙං නඩු අහන්ඩද යන්නෙ..”

    සරලා සමන්තීගේ පිටුපසින් පැමිණ ඇගේ ඉඟ වටා අත යවා උරහිසකට නිකට හේත්තු කර ගත්තාය.

    “නඩුවක් කීවට මොකද.. හිත ඉල්ලන මදිපාඩුවක්…හරස් ප්‍රශ්න ඔට්ටු නෑ.. උත්තරේ හරියට එනකං මං හාරා අවුස්සනවා හොඳද…”

    “මොන අවනඩුවක් විසඳන්න හදනවද මන්දා….අහන්නකෝ බලන්ඩ ඉතිං…”

    “අනිත් හැමදේම හිතෙන් අයින් කරලා ලක්මාල් අයිය ගැන විතරක්ම හිතුවොත් ඔයාට මොනාද එයා ගැන හිතෙන්නෙ..”

    “සරලා.. ඔයා මේ………….”

    “මං කියලමයි පටං ගත්තෙ අක්කා…මට උත්තර මිස ප්‍රශ්න එපා…”

    “ලක්මාල් කියන්නෙ වසන්තගේ හොඳම යාළුවා කියන එක ඇරෙන්ඩ ඒ මනුස්සයා ගැන වෙන කිසිම දෙයක් මං දන්නෑ නංගි..”

    “කෙනෙක් ගැන හිතට දැනෙන දේ ගැන කියන්ඩත් ඒ මනුස්සයගෙ හතර කේන්දරේ බලන්නෝනද අක්කා…”

    “ලක්මාල් පවුලක වැදගත් තාලෙට හැදුන ළමයෙක් කියලා එයාගේ හැසිරීමෙන් කියන්ඩ පුළුවන්…වසන්ත යාළුවෙක් කියලා මේ ගෙදරට එක්ක ආපු එකම පිරිමියා ලක්මාල් වෙන්ඩත් හේතුව ඒක වෙන්ඩැති…”

    “ඔය ලක්මාල් අයිය නිතරම වගේ කියන වසන්ත අයියට වෙච්චි පොරොන්දුව, එයාට මොනාහරි උනොත් ඔයාව බලාගන්ඩ කියලා වෙන්ඩ බැරිද අක්කා…”

    “දෙයියන්ගෙ නාමෙට අපි දැන් මේ කතාව නවත්තමු සරලා…”

    සමන්තී එසේ කීවා නොව කෑගැසුවාය. සමන්තීගේ කරේ එල්ලී උන් සරලා ඇයව අතහැර ඉදිරියට පැමිණ සිටගත්තාය.

    “ඔයා මෙතන හත් අඩිය පාගලා, නටලා, මොරදීලා මාව නවත්තන්ඩ හැදුවත්, මං මේ අහපු ප්‍රශ්නෙම සිය දහස්වාරයක් ඔයාගෙ හිත ඔයාගෙන් අහලා ඇති අක්කා…”

    “වසන්ත මැරුණෙ නෑ නංගී..එයා කොහෙහරි ජීවත්වෙලා ඉන්නවා කියලා මට විශ්වාසයි..”

    “ඉන්නවනම් එයාට දැන් එන්ඩ කල්….ඔයා හිත රවට්ටා ගත්තා හොඳටම ඇති අක්කා…”

    “ඔයා කියන්නෙ මට මිනිහෙක් හොයාගන්න කියලද..රටේ ලෝකේ මිනිස්සු මගේ මූණට කෙළ ගහයි නංගී..”

    “රටේ ලෝකේ උන්ට කුද ගහගන්ඩ කියන්න අක්කා….මුළු පවුලම විරුද්ධ වෙද්දි ඔයා වසන්ත අයියා එක්ක ගියානෙ…”

    “මගේ මෝඩකම් වලින් ඔයා මටම ගහනවා නේද..එදා එහෙම ගියෙ මගේ ආදරේ මට ඕන නිසා…”

    “කෝ අද ඒ ආදරේ අක්කේ…ඔයාටවත් හොයාගන්න බැරි ඈතකට අතුරුදහන් වෙලා නේද..අර පැදුරු කඩමාල්ලක වැටිලා විස්කෝතුවක් උලාකන්නෙ ඔයාගේ ආදරේ නෙමෙයිද….අම්මා කෙනෙක් විදිහට ඒ ආදරේ නෙමෙයිද වැඩියෙන් වටින්නෙ..”

    “ඒ දරුවගෙ ආදරේ වෙනුවෙන් මං කවුරුමහරි මිනිහෙක් හොයාගන්න ඕනෙද නංගී..”

    “කවුද එහෙම කියන්නෙ..දේවරූපයක් වගේ ඒ දරුවගෙ හිතේ ඇඳුන අප්පච්චි කෙනෙක් ඉන්නවා….හිතේ කහටක් නැතුව පුතේ කියාගෙන ඒ දරුවට යුතුකම් කරන අප්පච්චි කෙනෙක් ඉන්නවා….මං මෙච්චර වෙලා කිව්වෙ එයා ගැනයි අක්කා…”

    සමන්තීගේ මුවට අසරණ හිනාවක් නැග ආවාය. ඇය සරලාගේ කරවටා අත දමා ඇයව තමන් වෙතට ඇද ගත්තේ එම හිනාව දැඩිව මුහුණ පුරා පැතිර යද්දීය.

    “උඔ තාම පුංචි කෙල්ලෙක් නංගියේ…ඒකයි උඔට මේ විදිහට හිතෙන්නෙ..ඒත් මං බැඳලා දරුවෙක් ඉන්න ගෑණියෙක්…උඔ කියන තරම් සරලව,සැහැල්ලුව මට ජීවිතේ ගැන තීන්දු තීරණ ගන්න හයියක් නෑ මගෙ නංගියේ..”

    “මං පුංචි නෑ අක්කා….මල්වර නැකතෙන් ලොකු කෙල්ලෙක් වෙලා දැන් මට දහ අටත් පැනලා….ඔය මෝරපු හිත පිළිගන්න කැමති නැති ලොකු ඇත්ත මං කීවා….ඔව්…ඇත්ත…ජීවිතේ ඔයාගේ..තීරණත් ඔයාගේ…හැබැයි විපාක වලට අර දරුවත් වන්දි ගෙවනවා කියලා මතක තියාගන්න අක්කේ….මං ගිහිං එන්නම්…”

    සරලා යන්නට හැරුණාය. කවිරූ දිවවිත් සරලාගේ ඇඟේ එතුනෙන් ඈ ඔහුව වඩා ගත්තේය. ශාරිකගේ යතුරු පැදිය කඩුල්ල අසළ නතර වූයේ මේ මොහොතේය.

    Latest news

    Shooting in Hikkaduwa – හික්කඩුවේ වෙඩි තැබීමක්

    Shooting in Hikkaduwa හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්...

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...
    - Advertisement -spot_img

    Batman සදහටම සමුගනී

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල්...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>