More
    NovelsMandaramen EhaMandaramen Eha - 14 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 14 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – ගිරාතලාන වැවේ පිටවාන දිගේ මඳ දුරක් ඇවිද ගිය ශාරික එහි කොනටම වන්නට හිඳගත්තේ පොල් වත්තට මුහුණලා ය. එහි සිට පොල්වත්ත හරහා මීටර් හාර පන්සියයක් දුරට දෑස් යොමද්දී මහ කමත වෙල් යාය පෙනෙයි. මහ කමතෙහි තැනක උස්ව නැඟුණු පස් කඳු කිහිපයක් පෙනෙන්නේ කාලිංග විසින් කැණීම් කටයුතු සිදු කරනු ලබන වගා ළිඳේ විය යුතුයැයි ශාරිකට සිතිණි. පෙරදා මහකමතේ හමුවෙන් පසුව තාමත් ශාරිකට කාලිංගව මුණ ගැසුණේ නැත. එදින ඔහුගේ හැසිරීම මතකයට නැගෙද්දී ඔහුව මුණ ගැසීම සඳහා යෑමටද ශාරිකට ඇත්තේ පැකිළීමකි. තමා කාලිංගට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට දැනුවත්ව වරදක් කර නැතත්, ඔහු මෑතක සිට හැසිරෙන්නේ කිසියම් වරදකාරී හැඟීමකින් බව ශාරිකට අවබෝධ වෙමින් පවතී. එය අසා පැහැදිලි කර ගත හැකි මානසික මට්ටමක කාලිංග පසු නොවෙනවා මෙන්ම, වෙනත් කිසිවෙකුගෙන් ඊට නිසි පිළිතුරක්ද අපේක්ෂා කළ නොහැකිය. මේ සියලු සිදුවීම් එකිනෙක ගළපා බලද්දී තමා ටික කළකට හෝ මේ පරිසරයෙන් ඉවත්ව යා යුතු බවට ඉහත සිදුවීම් තමාට ඉඟි කරනවා නොවේදැයි ශාරිකගේ හිත මොර ගෑවේය.

    “ශාරූ..”

    ඇතුළතින් දැවෙමින්, තැවෙමින් තිබූ හදවතට සිහිල් යමක් තැවරුවාක් මෙන් ඒ හඬ සනීපයක් රැගෙන ආවද, ශාරික හිස නඟාවත් එදෙස නොබැලුවේය. තාරුකා ශාරිකගේ උරහිස් මතට දෑත් බර කරමින් ඔහු අසලින් හිඳ ගත්තාය.

    “මොකෝ මේ බුකවගෙන ඉන්නෙ..”

    “හිනාවෙලා ඉන්න තරම් හේතුවක් නැති නිසා..”

    “පුංචි නිළමෙට දැන් මාව පේන එකත් බුකවගන්න හේතුවක් වෙලාද…”

    “තාමනම් නෑ….මේ සිද්ධ වෙන දේවල් හැටියට හෙට අනිද්දා එහෙම වෙන්නත් බැරි නෑ..”

    “මිරිකනවා මං උඔගෙ බෙල්ල….”

    “පුළුවන්නම් ලොකු දෙයක්..ඔයාගෙ අතින් මැරෙන එක පණ නහගන්නවට වඩා නම්බුකාරයිනෙ…”

    ශාරිකගේ ගෙල වෙතට සැහැල්ලුවෙන් එසවූ තාරුකාගේ දෑත යමක තදින් ගැටුණා ක් මෙන් අප්‍රාණිකව පහලට වැටිණි. ප්‍රබෝධයෙන් පිරි ඇගේ මුහුණ කුහුලෙන් බර වූවාය.

    “මගෙ අයියේ..”

    මේ ශාරික සිය ජීවිතයේ වඩාත් ප්‍රිය කරන වචන දෙකය. දවසට වරක් හෝ අසන්නට රිසි,විඳින්නට උවමනා හඬය. ඔහුගේ ඇසිපිය වේගයෙන් සැලුණේය. උරහිස් වලින් අල්ලා තාරුකා ඔහුව තමන් දෙසට හරවා ගත්තාය.

    “දෙයියනේ…ඇයි මේ ඇස්වල කඳුළු පිරිලා..”

    “මගේ අතින් ඔයාලගෙ පවුලට මොනාම හරි වැරැද්දක් වෙලා තියේද තාරු…”

    “නෑ.. දෙයියනේ..නෑ.. ඇයි මෙහෙම නිස්කාරණේ හිත රිදවගෙන..”

    “ඔව්..මගේ හිත රිදුණා….හැබැයි නිස්කාරණේ නෙමෙයි…හේතු කාරණා එක්ක…”

    “මෙන්න වැන්දා මගෙ අයියේ…ඔලුව වටේ අත යව,යවා නහය මිරිකන්න ඔට්ටු වෙන්නැතිව කියන දෙයක් කෙලින්ම කියන්ඩ මටත් තේරෙන්ඩ…”

    “ටික දවසක ඉඳලා කාලිංගයියා මට මූණ දිලා කතා කරන්නෑ….මං නැන්දම්මගෙ කෙනෙහිලිකම් ඉවසුවෙ කාලිංගයියා හයියට හිටපු නිසා….එයත් මෙහෙම කරද්දි මට දරාගන්න බෑ තාරු…”

    “මේ…අපේ..අයියා…”

    “ඔව්…මං හිතුවට කාලිංගයියා ඔයාගෙ,මගේ චූටිගෙ,සමන්ති අක්කගෙ අපි හැමෝගෙම අයියා කියලා….තව දුරටත් එයා මගෙයි චූටිගෙයි අයියා වෙන්න කැමති නැති ගානයි..”

    තාරුකාගේ හිත වහා දිවගියේ පෙර දිනයක උස්ගල විහාරයේදී, සිය මව සේනපුර පොඩි හාමුදුරුවන් ඉදිරියේදී නෑදෑකම් ගැන කී කතාව වෙතටයි. එසේනම් ඒ හා සමාන සිදුවීමකට තම සොහොයුරා නිසා ශාරිකද මුහුණ දෙන්නට ඇත. මෙවැනි සිදුවීම් එකට පෑහෙනවා යනු, තමන් දෙදෙනා නොපෑහෙන්නට හේතු හැදෙනවා යන්න දැනී තාරුකාගේ හදවත තත්පර කිහිපයකට නතරවනු ඇයට දැණිනි.

    “මං තීරණය කළා ටික දවසකට ගමෙන් ඈත් වෙලා ඉන්න තාරූ….මේ වෙනස්කම් දරාගෙන තවදුරටත් මට මෙහේ ඉන්න බෑ..”

    “එතකොට මං..”

    “මේ වෙනස්කම් වලට ඔරොත්තු දෙන්න බලන්න…එහෙම නැත්තං අමාරුවෙන් හරි ඒවට හැඩගැහෙන්න…ඔය දෙකෙන් කෝක කරත් වැළි කෙලියෙ ඉඳන් තිබ්බ අපේ නෑඳෑකම් බිඳෙන්න හොඳ නෑ..”

    තාරුකා මහ හඬින් හඬාගෙන ශාරිකගේ ඇඟට කඩා වැටුණාය. ක්ෂණයකින් ඇඟට දැණුනු පීඩනය පාලනය කරගනු වස් ශාරික එක් අතක් වාන මත ගසා වාරු ගෙන,අනෙක් අතින් තාරුකාව අල්ලා ගත්තේය.

    කුලතුංග මුදළාලිගේ කඩය ඉදිරිපිට බංකුවේ සුපුරුදු පරිදි ගැමියන් කිහිප දෙනෙක් දාං අදිමින් පසුවෙති. කඩයෙහි ඉදිරිපස කොටසෙහි තැනක තබා ගත් මැටියෙන් තැනූ දහයියා ලිප් දෙකක ආප්ප සැකසෙමින් පවතී. ලොකු නැවුම් මැටි මුට්ටියක් ලිපට නුදුරෙහි තබාගෙන,එයින් පොල්කටු හැන්දකට ගත් ආප්ප මිශ්‍රණය තාච්චි දෙකට වැක්කෙරූ කුලතුංග මුදළාලි තාච්චි දෙක රටාවකට වටයක් කරකවා නැවත ලිප් දෙක මත තැබුවේය. අනතුරුව මුට්ටියේ කට රෙදි කඩකින් වසා පසෙක තබා, කර ලේන්සුවෙන් ගෙල වටා ගලන දහඩිය පිස දැමීය.

    “හම්මේ..යාන්තං අදට ආප්ප කෙරුවාව අහවරයි බොලල්ලා….ආයෙ උඔලා ආප්ප හෙම අහනවා නෙමේ ඕං…”

    “මොනාද කුලේ මාමා….කන්ඩ පටං ගත්තා විතරනෙ…හැමදාම කට රවට්ටනවා විතරනෙ..ටිකක් යහමින් මුට්ට්ය හදලා ගන්න එපෑයැ….බඩ,කට පිරෙන්ඩ කන්ඩ..”

    “උඔලගෙ බඩයි,කටයි,හිතයි පුරවන්ඩ ඉතිං මට මේ කපේදි හම්බෙන්නෑ….මුට්ටි පදම් කරලා ආප්ප පුච්චන එක ඔය ගිලින තරම් ලේසි කෙරුවාවක් නෙමේ..නැහෙන මං නොවැ මේකේ රඟේ දන්නෙ..”

    “කුලේ මාමට දැන් තේරෙනවා නොවැ පෙළවහක් කොරගත්තෙ නැති එකේ රඟේ..එහෙම වෙලා තිබ්බනම් හාමිනේ මුට්ටිය යහමින් පදම් කරලා දෙනවා, මාමට තියෙන්නෙ ආප්ප පුච්චගෙන,පුච්චගෙන යන එක විතරයි..”

    “මේ මහතුවෝ….මං ඔතෙන්ට ආවොත් හෙම ඔබනවා මේ රත් වෙච්චි තාච්චිය බොගෙ කටේ..ණයට ගිලිනවා මදිවට තව එනවද මෙතන නොසන්ඩාල කතා කියන්ඩ..”

    මොහොතක් ගැමියන් අතර දැඩි නිහැඩියාවක් පැවතිණි. ඇතැමෙක් සිනහව පිටවෙනු වළකාලීම සඳහා අතෙන් මුව තද කොටගෙන උන්හ. හැල්මේ දිව ආ ජිල්බු පිරිස අතරට කඩා වැදුණේ මේ මොහොතේ ය.

    “මොකෝ බං මේ කඩි කුලප්පුව..”

    ගැමියෙකු ජිල්බුගෙන් ඇසූවද,අත පය ඒ මේ අත වීසි කරමින් යමක් කියන්නට උත්සාහ කළද ජිල්බුගේ මුවින් කිසිඳු හඬක් නිකුත් නොවීය. කුලතුංග මුදළාලි ජිල්බු අසළට පැමිණියේය.

    “මේකා මොහොකට හරි ගජරාමෙට බයවෙලා බොලල්ලා….මහතුවෝ වතුර ටිකක් ඇන්න වර..”

    කුලතුංග මුදළාලි ජිල්බුව බංකුව මත ඉන්දවීය. මහතුන් රැගෙන ආ වතුර කෝප්පය එක හුස්මට හිස් කළ ජිල්බු බරට හුස්මක් ඉහළට ගෙන පහලට අත හැරීය. සරමේ වාටියක් ගෙන පවන් සලා ගත්තේය.

    “තෝ කාට බයවෙලාද ජිල්බුවෝ හති මුනිං දාගෙන දුවං ආවෙ..”

    “කුලේ මාමා…අර..අර..පිටවාන..”

    “ඔව්..බොල ඒක පිටවාන තමා….තෝ ඒකටද බයවුණේ…”

    “ලෝකයා මාමා….කාලිංගයියගෙ අප්පච්චි…”

    “මං දන්නවා බොල..ලෝකය කාලියගෙ අප්පා විතරක් නෙමේ..සමන්තිගෙ,තාරුකා කෙල්ලගෙත් අප්පා….ලොකු බණ්ඩාරිගෙ මිනිහා….ඉස්සෙල්ලා තොට වෙච්ච සංගදිය කියලා හිටුකෝ..”

    “ලෝකයා මාම පිටවාන ළඟ ඉඳලා මට කතා කෙරුවා..”

    “හෑහ්…ලෝකයා.. තොට..කතා කෙරුවා..”

    ජිල්බු කියූ දෙයම ප්‍රතිරාව නැංවූ කුලතුංග මුදලාලිගේ මුව පළල් වී ඇරිණි. ඔහු ගැමියන් දෙස බැලූයේ විමතියෙනි. ගැමියන්ගේ මුහුණවලද එකී ත්‍රාසයම පිරී තිබිණි.

    “ඉස්සෙල්ලම ලොකු බංඩාරි නැන්දට..ඊට පස්සෙ කාලිංගයියට…ලෝකයා මාම ඒ ගමන මට බැල්ම හෙලන්ඩ වගේ යන්නේ…හපෝයි.. බංඩාර මුත්තේ….”

    ජිල්බු තනියම තොල් මතුරන්නට පටන් ගත්තේය.

    “තොට විකාරද ජිල්බුවෝ….ලෝකයා මැරිච්ච තැන්වල දැන් තනි අරටු ගස් බොල..බඩජාරි කමට පුළුටු ජාති ගිල,ගිල ඉර බහින ජාමේ වැව් පිටිවල හක්කලං කොරනකොට ඔහොම වෙනවා….මෙන්න මේකව පංසලට ඩොක්කං ගෙහුං පිරිත් නූලක් ගැට ගහං වරෙල්ලා…”

    “හපෝයි..මටනං බෑ.. පිටවාන ළඟින් යන්ඩ..ලෝකයා මාම මගෙ බොටුව මිරිකයි…”

    පිරිස බලෙන් මෙන් ජිල්බුවද ඇදගෙන වෑකන්දට ගොඩ වූහ.

    “මහතුවෝ..” කුලතුංග මුදළාලිගේ ඇමතුමෙන් පිරිසෙන් මිදී මහතුන් ඔහු වෙත ආයේය.

    “ලොකු හාමුදුරුවොත් දඹදිව ඉඳලා වැඩලා ඉන්නෙ….හැත්ත බුරුත්ත පිටිං යන්ඩ ඕනෙ නෑ….උන් ගෙහුං ඒවි….එතකං උඔ මෙහෙට වෙලා ඉඳිං..”

    යැයි මහතුන්ට කියූ කුලතුංග මුදළාලි වැවේ දෙපස මෙන්ම කඩයේ පිටුපසටද එබිකං කර පැමිණ බංකුව මත හිඳ සිටි මහතුන් අසළ සිට ගත්තේය.

    “උඔට කිව්වට මොකද මහතුවෝ….ඔය ලෝකයා මැරුණු දවසෙ හැන්දෑවෙත් මගෙං කහට කෝප්පයක් බීලා ගියේ..මේ බංකුවෙ..ඕං ඔය උඔ ඉඳං ඉන්න තැනම ඉඳගෙන..”

    කුලතුංග මුදළාලිගේ කතාවට මහතුන් ඉද්ද ගැසුවාක් මෙන් බංකුවෙන් නැගිට්ටේය. ඒ වේගයට බියවූ මුදළාලිද අඩි කිහිපයක් පිටුපසට පැන්නේය.

    සරලා සිය නිවසේ ආලින්දයේ හාන්සි පුටුවට වී පොතක් කියවමින් උන්නාය. හීන් බංඩාරමැණිකේ කිහිප වාරයක් ආලින්දයට කර පොවා නැවත ගෙතුළට ගියේ හාන්සි පුටුව දෙස උවමනාවෙන් විපරම් කරමිනි. සරලා දනී. සිය මව මේ සොයන්නේ තම සොහොයුරා වන ශාරිකවයි. යාන්තමට බිම් කළුවර මෝදු වන විට ඔහු ගෙදර නොපැමිණියේ නම් හීන් බංඩාරමැණිකේගේ හැසිරීම මෙබඳුය. සිය පියා කෙරෙහි තිබූ භක්තිය එලෙසම ආදරණීයව තම සොහොයුරා කෙරෙහිද පැවතීම විටෙක සරලාට පුදුම සහගතය. නැවතත් ගෙතුළ සිට ආලින්දයට කර පෙවූ හීන් බංඩාරමැණිකේ ආපිට හැරුණේ ගෙට වදින්නටය.

    “මේ මොකෑ අපෙ අම්මා..”

    “ඇයි චූටී..”

    “ඇයි කියලා නේන්නං මාත් අහන්නෙ.. අපෙ අම්මා.. එළියට බෙල්ල දික් කර,කර ඇතුළට රිංගන්නෙ..”

    “හොඳටම රෑ බෝවෙලා නොවැ චූටී..”

    “එහෙනං මං ඇතුළට ගිහිං පොත කියවන්ඩද අපෙ අම්මා…”

    “කමක් නෑ චූටී ඔහොම ඉන්ඩ..”

    පොත පසෙකින් තැබූ සරලා සිය මවගේ අසළට ගොස් ඇගේ උරහිසට හිස තබා ගත්තාය. හීන් බංඩාරමැණිකේ සිය දියණියගේ හිස මෘදු ලෙස පිරි මදින්නට වූවාය.

    “ලොකූ දැන් එයි අපෙ අම්මා.. වෙන කොහෙවත් යනවයැ.. කාලිංගයියලයෙ දිහා ඇත්තෙ..”

    “ලොකූ අහේතුකව මේ තරම් රෑ බෝ වෙන්නෑනෙ චූටි..ඒකයි මගේ හිතට හරි මදි..”

    “ඇයි අපෙ අම්මගෙ හිතට හරි නැත්තෙ..”

    “මං ඊයෙ රෑ ඔයාලයි කිරි අම්මව හීනෙන් දැක්කා..”

    “අපෙ අම්මගෙ අම්මා..”

    “නෑ….ඔයාලයි අප්පච්චිගෙ අම්මා….කැලේගම කිරිඅම්ම..”

    “අපි හුඟ කාලෙකින් ඉස්කෝලෙ නැන්දලයි දිහා ගියෙත් නෑනෙ..ඒක වෙන්ටැ අපෙ අම්මා..”

    “ඉස්කෝලෙ අක්කා මට දොස් කියනවා ඇති චූටි….ඔයාල දෙන්නව එයාගෙන් ඈත් කරනවා කියලා..”

    “ඉතිං අපි බුදුරුවකන්දෙ ගිහිං ඉස්කෝලෙ නැන්දව බලලා එමුකෝ අපෙ අම්මා..”

    “ඔව්… ලොකූ ආවම අහල බලමු..”

    සරලාගේ මුවට ජයග්‍රාහී මන්දස්මිතයක් නැග ආවාය. ඒ සිය මව මෙතෙක් වේලා සිතෙහි සඟවාගෙන සිටි කාරණය මතු කරගන්නට තමා සමත් වූවාය යන සතුටිනි.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page