Mandaramen Eha
“ඔව් ලොකු පුතේ…මං උඔගෙ අප්පච්චි..”
“අප්පච්චී…”
“මට තේරෙනවා… මුළු ගමටම මං මැරිලා… ඒත් උඔලා වෙනුවෙන් මං තාම ජීවත් වෙනවා..”
“මට හිතාගන්නවත් බෑ අප්පච්චී..”
“මටත් එහෙමයි…හිතාගන්නවත් බැරිඋනා වෙච්ච දේ…”
“ඇත්තටම මොකද උනේ අප්පච්චී…”
“ඒක ටිකක් දිග කතාවක්…සමහර තැන් මටත් තාම අපැහැදිළියි මයෙ පුතා..”
“මගෙ ඔලුව යකාගේ කම්මල වගේ අප්පච්චී…ඇයි මට මේ දේවල් නොකියන්නෙ..”
“උඔව දැකලා ගමේ උන් හැමෝම මට කිව්වෙ,කිරි හොද්දක් උනත් හරියට හැඳි ගාලා හැදුවොත් තමා පදමට රසට එන්නෙ කියලා….මං උඔව හැඳි නොගා අමුවට හැදුවෙ ඇයි දන්නවද…මට ඕන උනේ රසට ගුණට හැදුණු පුතෙක් නෙවෙයි..මං වගේ ටිකක් තදට,වසට හැදුනු පුතෙක්..”
“මට වෙච්ච දේ ගැන පුංචිම හරි ඉඟියක් දෙන්න අප්පච්චී…එහෙම නොවුනොත් හිතලා,හිතලා මට පිස්සු හැදෙයි…”
“ඉවසලා හිටහං මයෙ පුතා….මං ඉන්නෙ උඔත් එක්කමයි…හැමදේම කරන්න ඕනේ පරෙස්සමෙන්…මොකද මේවට අපේ ලේත් සම්බන්ධයි..”
“ඒ කිව්වෙ අප්පච්චි..”
“වෙලාව ආවම මං උඔට යන්න ඕනෙ පාර පෙන්නන්නම් මයෙ පුතා….මං යන්න ඕන වෙලාව හරි…”
මොහොතකින් කාලිංගගේ පියා නොපෙනී ගියේය. කාලිංග එහෙ මෙහෙ දුවමින් ඔහුව සොයන්නට විය.
“යන්න එපා අප්පච්චී…යන්න එපා….මට එක වචනයක් කියලා යන්න…අප්පච්චී… අප්පච්චී…”
යටි ගිරියෙන් කෑ ගසාගෙන අවදි වූ කාලිංග මොහොතක් එකම ඉරියව්වෙන් සිටියේ,සිද්ධ වූ දෙය සහ සිටින තැන ගැන අවබෝධයක් ලබාගනු පිණිසය. දුටුවේ හීනයක් බවත්,කනත්තේ සොහොන් කොතක් මත තමා ජිල්බූ සමඟ නිදා සිටිය බවත් තවම සොහොන් කොත මත ගොර අදිමින් නිදන ජිල්බුව දුටු කාලිංග අවබෝධ කරගත්තේය. කිහිපවරක් ජිල්බූව සොලවා ඇහැරවන්නට නොහැකි වූ තැන කාලිංග ඔහුට වේගයෙන් පා පහරක් ගැසීය.
“බුදු අම්මෝ..”
කියාගෙන සොහොන් කොතෙන් බිමට ඇද වැටුණු ජිල්බු ඇස් පොඩිකරමින් අවට බැලීය. කාලිංගව දුටු ඔහුගේ මුහුණට හිනාවක් නැගිණි.
“මාර නින්දක් ගියේ…අපි මේ කොහෙද ඉන්නෙ කාලිංගයියේ..”
“කනත්තෙ…”
“හපොයි බංඩාර මුත්තේ…” යැයි කෑගසාගෙන දුවන්නට සැරසුන ජිල්බුව කාලිංග බෙල්ලෙන් අල්ලා නැවැත්වීය.
“කොහෙද යකෝ තෝ ගාල කඩාගත්ත හරකා වගේ දුවන්න තනන්නෙ..”
“නොදුවා කොහොමෙයි ඉතිං…මේ යක්කු ගස් නගින ජාමෙ මාව කනත්තට දක්කං ආවම..”
“තෝව කනත්තට දක්කන්න මට මොලේ අමාරුවක් නෑ…අනික දැන් එළිවෙන්නත් කිට්ටුයි..අපි හුඟක් බිව්වද බං…”
“චන්දරය හවහ ගහෙන් බාපු මුට්ටි තුනම ගහලා අහක් වෙලා මයියොක්කා හට්ටි දෙකක් කෑව විතරයි මටත් මතක..”
“මගෙ ඔලුව පුපුරන්න වගේ කැක්කුමයි බං..යමං..වැවේ ටිකක් ගිලිලා එමු..”
කාලිංග ඉස්සර විය. වටපිට බැලූ ජිල්බූ ඉක්මනින් දුවවිත් කාලිංග හා එක් විය.
හොඳින් නඩත්තු කරන ලද අලංකාර උද්‍යානයක් සහිත දෙමහල් නිවසකි. නිවසේ ප්‍රධාන පිවිසුමේ සිට ගේට්ටුව දක්වා ම නාව කප්පාදු කරන ලද මල් වැටකි. නිවසේ දෙපස නිවසින් අඩක් උසට නැගුන ගරාජයන් දෙකකි. එක් ගරාජයක ලොරියක් ගාල් කොට තිබේ. ලොරියෙහි ඉදිරිපස වීදුරු මුහුණතට ඉහලින් “සුදු පුතා” යනුවෙන් සඳහන් කොට තිබේ. අනෙක් ගරාජයේ 2 ශ්‍රී වර්ගයේ කළු පැහැති මොරිස් මයිනරයක් නවතා තිබේ. නිවස තුළ සිට මිදුලේ නවතා ඇති සිය යතුරු පැදිය වෙත පැමිණි සුදු මහත්තයාගේ දෑස් උද්‍යානයේ කෙළවරකට යොමු විය. ගල්ගමුව නගරයම “සිරිවර්ධන මුදළාලි” ලෙසින් හඳුන්වන සුදු මහත්තයාගේ සහ ලක්මාල්ගේ පියා, උද්‍යානයේ කෙළවර මල් ආරුක්කුව යට හාන්සි පුටුවේ දිඟෑදී පයිප්පයක් උරමින් සිටියි. තමන් වෙත පැමිණෙන සිය වැඩිමහල් පුතු දුටු හෙතෙම, පයිප්පයේ දැවුණූ දුම්කොල රොඩු අළු බඳුනට දමා පයිප්පය පැත්තකින් තැබීය. සිය පියා අසලට පැමිණි සුදු මහත්තයා ඔහුගේ දෙපා නැමදීය.
“රත්නත්තරේ පිහිටයි..” සිරිවර්ධන මුදළාලිගේ ගැඹුරු හඬ අවදි විය.
“පප්පෙ..අද සියඹලා වලයි,බඩ ඉරිඟු වලයි මිළ ටිකක් බැහැලා..”
“ඒ දෙක යවන්නැතිව කොළඹ යවන්න ලොරියකට බඩු තියනවද..”
“තියනවා පප්පෙ..”
“එහෙනම් ඒ දෙක නැතුව ලොරිය යවනවා..”
“ඒත් මැනිං මාකට් එකට සියඹලයි,බඩ ඉරිඟුයි ඕඩර් එකක් තියනවා..”
“බඩු නෑ කියනවා….සතියක් දෙකක් නොයව ඉද්දි ඉබේම ගණං ඉස්සිලා එයි..”
“හොඳයි පප්පෙ..” සුදු මහත්තයා යන්නට හැරිණි.
“ලොකු ළමයා..”
“පප්පෙ..” සිය පියාගේ හඬින් සුදු මහත්තයා ආපිට හැරිණි.
“පොඩි එකා කොහෙද..”
“මල්ලි තාම නිදි මයෙ හිතේ..”
“තමුන් මල්ලිගෙ සිද්ධිය ගැන හොයලා බැලුවද..”
“මල්ලිගෙ ෆෝන් එකට මැදින්නෝරුව හන්දියෙන් කෝල් වගයක් ඇවිත් තිබුණා..”
“මැදින්නෝරුව හන්දියෙන්…”
සිරිවර්ධන මුදළාලි එය ප්‍රතිරාව කලේ තරමක් තිගැස්මෙනි. ඒ තිගැස්ම සිය පුතුගෙන් සඟවා ගන්නට ප්‍රයත්න දැරූවද, සිය පියාගේ ව්‍යාකූල මුහුණ සුදු මහත්තයා වහා හැඳින ගත්තේය.
“ඇයි පප්පෙ..”
“න්…නෑහ්…ම්ම්…තමුන් මොනවද කළේ ඉතිං..”
“මම ඒ නොම්බරේට කතා කරා…හන්දියෙ මහ කඩෙන් තමා ගත්තෙ..කවුද ගත්තෙ කියලා හොයාගන්න බැරි උනා…හෙට අනිද්දා ඒ පැත්තෙ ගිහිං එන්ඩ කියලා මං හිතං ඉන්නෙ..”
“එපා…ඕනෙ නෑ..”
සිරිවර්ධන මුදළාලිගේ හඬ ඇසුනේ වේගවත්වය. සුදු මහත්තයා සිය පියාගේ නොසන්සුන් මුහුණ තේරුම් ගන්නට මෙන් ප්‍රශ්නාර්ථයකින් බලා සිටියේය.
“තමුන් එහෙ යන්ඩ උවමනාවක් නෑ….මල්ලි ගැන ටිකක් ඇහැ ගහං ඉන්නවා….මං බලාගෙන දැන් දවස් කීපයක් රෑ දෙගොඩ හරියෙ බීගෙන ගෙදර එනවා….මට දැනගන්න ඕනෙ මිනිහා ආයෙ එහෙ යනවද නැද්ද කියලා විතරයි..”
“හොඳයි පප්පෙ..”
“හ්ම්හ්..දැන් ආ ගමන යන්ඩ පුළුවනි..”
සුදු මහත්තයා යතුරු පැදිය පණ ගන්වා ගේට්ටුවෙන් පිටව යනතුරුම එදෙස බලා හුන් සිරිවර්ධන මුදළාලි,නැවත පයිප්පය දුම්කොල වලින් පුරවා එය දැල්වීය. කල්පනාබර ඔහුගේ මුහුණ වසා දුම් රැළි කිහිපයක් පිට විය.
ගිරාතලාන වෑකන්දට පහලින් ඇති වෙල් යාය මැද පිහිටි විසල් කමතකි. කමත වටා ගොඩ ගැසූ පිදුරු කන්ද දිරාපත්ව අළු පැහැයක් ගෙන තිබේ. කමතේ කොනක අතුපතර විහිඳ ගිය දැවැන්ත කොහොඹ රුකකි. ඒ කොහොඹ රුකට පිටදී උන් කාලිංග පිදුරු ගොඩට පයින් ඇන්නේය. ඔහුගේ කකුල පිදුරු ගොඩ තුළට කිඳා බැස්සේය. ශාරික ඔහු අසළ හිටගත්තේ මේ මොහොතේය.
“ඇයි අයියෙ හදිසියෙ මට මෙතෙන්ට කතා කෙරුවෙ..”
“උඔට දැනෙනවද මස්සිනේ මේ කමතයි,කොහොඹ ගහයි..”
“අයියා මොනාද මේ අහන්නෙ..මේ ලොකු මාමගෙ කමත..මං පුංචි එකා කාලෙ ඉඳන් තිබුණු මේ කොහොඹ ගහ මට කොහොම අමතක වෙන්නද…”
“මේ කොහොඹ ගහට කතා කරන්න පුළුවන් උනානම් කියාවි නේද මගෙ අප්පච්චිට උන අපරාදේ..”
“ඇයි අයියෙ පරණ තුවාල කොනිත්ත,කොනිත්ත පාරන්නෙ..”
“ඒ තුවාලෙ පාරන්න,පාරන්න තමා මට සැනසීමක් දැනෙන්නේ මස්සිනේ…”
“ලොකු මාමගෙ මරණෙ අදටත් විසඳුනේ නැති අභිරහසක් තමා අයියේ…ඒත්..දැන් ඒ මත්තෙ නැහුනා කියලා ඇති ඵලේ මොකක්ද…”
“මට උඔ තරම් හයියට මගේ අප්පච්චිගෙ මරණෙ අමතක කරන්න බෑ මස්සිනේ…මගේ අප්පච්චිව මේ කොහොඹ ගහ යට සදාකාලිකව නිදි කරපු උන්ව හොයාගන්නකම් මගේ ඇස්වලට හරි හමන් නින්දක් එන්නෑ..”
“ලොකු මාම නැති උන අඩුව උඔට හා සමානව මටත් දැනෙනව මගෙ මස්සිනේ..”
ශාරික එසේ කීයේ කාලිංගගේ උරහිස් දැඩිව මිරිකා ගනිමිනි. කෝපයෙන් නළියන සිය ඇවැස්ස මස්සිනාගේ දෑස් දෙස බලන්නට ඔහු මැළි විය. මෙවන් මොහොතක ඔහු අස්වැසීම එතරම් පහසු නොවන බව ශාරික අත්දැකීමෙන් දනී. යමක් තදින් හිතේ කකියමින් ඇති විටෙක මිස ඔහු මෙතරම් සංවේදීව හැසිරෙනු දැකිය නොහැකිය. ශාරිකට හිතෙන්නේම මේ තමාගේ ලොකු මාමා කියාය.
“මයෙ අප්පච්චී කුකුල් කේන්ති කාරයෙක් බව හැබෑව මස්සිනේ..ඒත් දරුවෙකුටවත් නිය පිටින් පාරක් නොගහපු මනුස්සයට කඩු පාරක් ගහන්න අත උස්සපු පාහරයා කවුද කියලයි මට හොයාගන්න ඕනෙ..”
“ඉතිං ඔය මදෑ අයියෙ..කිසිම අපරාධයක් සදාකාලික රහසක් වෙන්නෑ….බංඩාර මුත්තා හැමදේම බලාන ඉන්නවා….ඉවසපං අයියෙ..”
“මං උඔගෙන් කාරණයක් අහන්න මට අවංකව උත්තරයක් දෙනවද මස්සිනේ..”
“ඕනෙම දෙයක් අහපං අයියේ…මගේ ජීවිතේ උඔට හංගපු කිසිම දෙයක් නෑ..”
“උඔගෙ අප්පච්චිගෙයි,මගෙ අප්පච්චිගෙයි අතර මොකක් හරි හිත් නොහොඳකමක් තිබුණද..”
කාලිංගගේ පැනයෙන් ශාරික වෙව්ලා ගියේය. ඔහු ඉද්ද ගැසුවාක් මෙන් හුන් තැනින් නැගිට්ටේ එහෙයිනි.